නිල ඇඳුම් ලා ගත් සර්පයන් අතර

 ඡායාරූපය:

නිල ඇඳුම් ලා ගත් සර්පයන් අතර

1985 බක් මහේ සිංහල හා හින්දු පරණ අවුරුදු දිනට පෙර දින මිරැන්ඩා හේමලතා කුරුවිට අලුතින් ගොඩනඟන නිවහනේ වැඩ කළ අයගේ සියලු ගෙවීම් සිදු කර ඔවුන් ගම් පළාත් බලා පිටත් කර හැරියාය. සිය හඬන හදවතේ කෙඳිරිය කිසිවකුට නෑසෙන්නට සලස්වමින්; වැඩ කළ අයට අලුත් අවුරුද්දට ආශිර්වාද කළාය. පසුව ඇගේ හිතවතියක් වූ නීලිකා රණතුංග සොහොයුරියගේ ගෙදර ඇය එදින රාත්‍රිය ගත කළාය. එහෙත් නින්ද ඇය අසලට පැමිණියේ නැත. මුළු රාත්‍රිය පුරාම ඇගේ ජීවිත කතාව සිනමාපටයක් මෙන් “මුදී” සමඟ ගත කළ කාලයේ සිදුවීම් මනස තුළ දිග හැරෙන්නට විය. දෙදෙනා එක්ව ගොඩනැඟු නව නිවහන හෙවත් ඔවුන්ගේ සිහින මාළිගයට ගොස් මොහොතක් ගත කිරීමට ඇයට සිතිණි. උදාවන්නේ පරණ අවුරුදු දිනයයි. මිරැන්ඩා තම මිතුරියට කුරුවිට යන බව පවසා අලුයම පිටත් වූවාය. කුරුවිට බසයකටද නැග්ගාය. සාම්ප්‍රදායික ගැහැනියක ලෙස මිරැන්ඩා අලුත් අවුරුද්දට තම මවගේ ගෙදර සිටිය යුතුය. නැතහොත් “මුදී”ගේ එරත්න ශාලාවේ ගෙදරට යා යුතුය. එහෙත් ඇය බසයෙන් බැස්සේ මලව හන්දියෙනි.

ඒ ඔවුන්ගේ සිහින මාළිගය හැදෙමින් පවතින ස්ථානයයි. ඇය ඒ අසල කුඩා කඩයකට ගොඩ විය. දිවා ආහාරයට යමක් ගෙන උළු පහක් පමණක් සෙවිලි කර ඇති නිවස වෙත පිය නැංගාය. පරිසරය නිසසලය; පාළුය. දොර පියන් ඇති එක් කාමරයක ගොඩ ගසා තිබූ ලී ගොඩක් මත ඇය වාඩි වූවාය. විශාල සුසුමක් පිට කරමින් ඇය අහස දෙස බැලුවේ වහලක් නැති බිත්ති අතරිනි. විශාල සුසුමක් සමඟ ඇගේ දෙනෙතෙන් කඳුළු ගංගාවක් ගලා හැලෙන්නට විය. එය දැන් දකින්නට බිත්තියක හූනකුවත් නොමැති බව ඇය දැන සිටියාය. ඇය කිසිවකු ඉදිරියේ හඬා දොඩා නැති තැනැත්තියකි. කඳුළින් දෙකම්මුල් තෙත් වෙද්දී ඇය එය පිස දැමීමට නොගියාය. ඇසටම ඇති වී ඇස කඳුළු වගුරවීම නවතාලන තෙක් ඇය නිසොල්මන්ව සිටියාය. එම තත්පර හෝ විනාඩි හෝ පැය ගණන පිළිබඳ නිනව්වක් ඇයට නොතිබිණි. ඇයට දිනය තුළ කිරීමට වෙනත් රාජකාරියක්ද නොතිබිණි. ඇගේ ඒකාත්මිකභාවය නැති කිරීමට විටින් විට අවට පිපිරෙන රතිඤ්ඤා හඬට නොහැකි විය.

වෙනදා තත්පරයක බර පවා දැනෙන ඇයට කාලය ගත වීම පිළිබඳ කිසිදු නිනව්වක් නැති සේය. දිවා කාලය ගෙවී වටපිට පරිසරය අඳුර විසින් ගිල ගනිමින් තිබිණි. ඇය සිටි ඉරියව්වෙන්ම සිට ඇත. ක්ෂණයෙන් අඳුර ඝන අන්ධකාරයක් බවට පත් විය. අහසෙන් නිකුත්වන සහන් එළිය ඇයට මද පවනක් සලසමින් සිහින් ආලෝකයක් දී තිබිණි. එම සහන් එළියෙන් එක් කෙළවරක තිබූ පලංචියක් ඇයට යහනක් සේ දිස් විය. ඇය පලංචිය උඩට නැඟ දෙපා උඩට ගෙන හිඳගත්තාය. කපරාදු නොකළ බිත්තියට ඇය හේත්තු වූවාය. ඇගේ අත් බෑගය හිසේ බර ගනිමින් කොට්ටයක් බවට පත්විය. ඇගේ සිත අවට පරිසරය හා ඒකාත්මික විය.

කුඩා මාවවුලෝ යන ගමන වැරදී බිත්ති වටා කරකැවී නැවත අහසේ නොපෙනී ඉගිලී යති. මහ වවුලෝ අහසේ ඉගිලෙන භූතයන් මෙන් පියා සලති. ඇය දෑස් වසාගෙන “මුදී”ගේ අවතාරයවත් පැමිණ තම තනිකම තුරන් කරතැයි අපේක්ෂාවෙන් ඉඳහිට ඇස් ඇර අවට බැලුවාය. ඒත් එවැන්නක් සිදුනොවුණි. නැවත නැවත විටින් විට ඇය එම ක්‍රියාවම කළාය. වටින් පිටින් අඳුර මැඩගෙන සහන් එළිය උළු නැති වහල අතරින් දිස්වන්නට විය. ඒ අතර කාලයේ නින්ද ඇය අසලටවත් පැමිණ නොතිබිණි. එහෙත් පාළුවක් හෝ තනිකමක් ඇගේ සිතට ඇතුළු නොවූයේ ඇගේ සිත තුළ මුදී හා එක්ව බැඳීමෙන් සිටි නිසාවෙන් යැයි ඇය සිතුවාය.

මේ වන විට බොහෝ අය අවුරුදු ලැබීමට පෙර පන්සල් වෙත ඇදෙනු ඇත. පන්සලේ ඝණ්ටා නාදයත් ළඟ ළඟම ඇසෙන්ට විය. පූජා කර්ම සඳහා ගැයෙන ගාථා හඬත් සමඟ ඇයද පළමුව පන්සිල් ගත්තාය. තෙල්, මල්, සුවඳ දුම් නොමැතිව සියල්ල සිතින් පූජා කරමින් බුදු රුවක් සිතින් මවාගෙන සියලු ගාථා කියා දැහැන්ගත වූවාය. ඇයට කිසිදු පාළුවක්, තනිකමක්, බියක්, චකිතයක් යන කිසිදු හැඟීමක් දැනීමක් ඇති නොවුණි.

“ඉදං මේ ඤාතීනං හෝතු

සුඛිතා හොන්තු ඥාතයෝ ”

ඇය මන්තරයක් පරිද්දෙන් නොනවත්වා එම ගාථාව පිරිසක් සිතින් මවා ගෙන සඡ්ඣායනය කළාය.

“ඉමිනා පුඤ්ඤ කම්මේන” ගාථාව තෙවරක් කියූ ඇය තමා විසින් මෙතෙක් කරන ලද සියලු කුසල කර්මයන්ගේ සහ ඉදිරියේ ඔහු වෙනුවෙන් ජීවත් වී කරන සියලුම කුසල කර්මයන්ගේ පිං බලයෙන් මගේ ‘මුදී’ට මෙවන් අකල් මරණ කිසි දින සිදු නොවේවා. අවසන දුකෙන් තොර නිවන් අවබෝධ වී නිර්වාණය පසක් වේවායි ඇය සෙමින් මුමුණමින් පැතුවාය.

එය කොතෙක් වේලා සිදුවුණාදැයි ඇය නොදනී. ඇගේ සිත තැන්පත් වන තෙක් එම පැතුම් මිමිණූ බව පමණක් ඇයට මතකය.

රාත්‍රිය පහන් වී තිබිණි. වටපිටාවේ දැල්වෙන රතිඤ්ඤා හඬ පළාතම ගිගුම් දෙමින් වැඩි වන්නට විය. අලුයම් ජාමයේ ඈත සිට කොහාගේ නාදය ඇසේ. ඊට පිළිතුරුද ඒ සමඟම ඇසේ. ඇය පලංචියෙන් බිමට බැස්සාය. සෙමෙන් සෙමෙන් එළියට පැමිණ කොට බිත්තියක් මත වාඩි විය. පසුව වතුර කරාමයකින් මුහුණ සෝදා ගත් ඇය නැවතත් කොට බිත්තිය මත වාඩි වීමට සූදානම් වූවා පමණි.

“හානේ අර මැඩම්? කොයි වෙලාවෙද ආවෙ?” අල්ලපු ගෙදර දිසානායක තැපැල් ස්ථානාධිපතිවරයාගේ බිරිඳ තම විස්මය ප්‍රකාශ කරමින් හඬ අවදි කළාය.

ඇයට එකවර කීමට වචන නොතිබිණි. බොරු කීමටද පුරුද්දක් නැත. ඇය මොහොතක් යනතුරු නිහඬව සිටියාය.

“ඊයෙ රෑ ගේ බලා කියා ගන්න කවුරුත් හිටියේ නැහැනෙ... වැඩ කරන කට්ටියත් ගමේ ගියානෙ... ඉතින් ගේ පාළුවට යවන්නත් බෑනෙ......”

ඇය වචන එකතු කරමින් ඇත්ත කීවාය. දිසානායකගේ බිරිඳ කාරුණික තැනැත්තියකි. ඇගේ දෙනෙත් දෙස බලාගෙන මිරැන්ඩා වචන එකතු කරද්දී ඇගේ දෙනෙත තෙත් වී කඳුළින් පිරිණි. ඒ ලෙන්ගතුකමේ කඳුළුය. ඔවුන් අතර තිබූ සැබෑ සබැඳියාවේ කඳුළුය.

මුදියන්සේගේ නැඟණියගේ ස්වාමිපුරුෂයා එරත්න මහ විදුහලේ එවකට විදුහල්පතිවරයාය. ඔහුද ඔවුන් අභිමුව නතර වූයේ එම මොහොතේය. මිරැන්ඩාව පාළු ගෙදර රාත්‍රියේ නතර වීම ගැන අසා ඔහුද කනස්සල්ලට හා විස්සෝපයට පත් විය. අලුත් අවුරුදු දිනයේ දිසානායකගේ ගෙදර උදෙන්ම ඇයට යෑමට සිදුවූයේ ඔවුන්ගේ ආදරබර හෘදයංගම ආරාධනාව නිසාය. නැඟණියගේ ස්වාමිපුරුෂයා හදමින් පවතින නිවස බලාගැනීමේ වගකීම බාර ගත්තේය. මිරැන්ඩා සැනසිලි සුසුමක් ගෙන අවුරුද්ද ගත කිරීමට හැකි වූ බවක් පෙන්වමින් ඉතා අපහසුවෙන් අවුරුද්ද ගත කළාය. එහෙත් “මුදී” සමඟ ගත කළ සොඳුරු සන්ධ්‍යාවන් ඇයට කිසි දින මතකයෙන් ඉවත් කිරීමට නොහැකි විය.

මෙම නිවස නිම කිරීම ඇගේ ජීවිතයේ කොටසක් විය. මීපේ රාජකාරිය කරන අතරතුර තනියෙන්ම නිවස නිමකිරීමද ඇය ඉටු කළාය. නැවතත් මිරැන්ඩා ගෙදර වැඩ කරද්දී මහා රෑ පවා ලී සෙවීමට යෑමට සිදුව තිබිණි. ඊට පසු ඇගේ තනියට ගෝලයන්ගේ සහයෝගයද එකතු විය.

මිරැන්ඩා තුන් මාසයේ පින්කම එරත්න ග්‍රාමයේ ශාලාව ගෙදරදී විශාල ජන සහභාගිත්වයකින් සිදු කළාය. වසරේ පින්කම කුරුවිට ගෙදරදී සිදු කෙරුණි. 1970 ජනවාරි 10 දින මිරැන්ඩාගේ පියා අහිමි වීම තරුණ මිරැන්ඩා දුටුවේ මහා ඛේදජනක සිදුවීමක් ලෙසය. එමෙන්ම 1985දී තම සැමියා අහිමි වීමද ඇය දුටුවේ ඊටත් වඩා ඛේදජනක සිදුවීමක් ලෙසය. ඇගේ ජීවිතයට ඇය හඬා වැටී ඇත්තේ මේ අවස්ථා දෙකේ පමණි.

ඇය මේ වන විට මීපේ සෞන්දර්ය අධ්‍යාපන ආයතනය ගොඩනඟන කාලයයි. මීපේ ඉඩම ලබාගැනීමේදී මුදියන්සේ ඉටු කළ සේවය හේතුවෙන් ඇයට ඔහු මීපේද සිටින වග දැනුණි. ඇය එහි කම්කරු නිවසක් ප්‍රථමයෙන් නිමවා එහි පදිංචි වූවාය. එම ආයතනයේ පාලකවරයා වූයේද මිරැන්ඩාය. ඇයට තනියෙන් රත්නපුර නගරයේ තම සැමියා සමඟ සිටි නිවසේ සිට පැමිණීම අපහසු වෙමින් තිබූ බැවින් එහි නතර වීම ඇයට ඉතා පහසුවක් විය. අක්කර 15ක පාළු ගණ කැලෑවක් බඳු ඉඩමේ කම්කරු නිවසේ සිට ඇය තම රාජකාරි ඉටු කළේ යකඩ ගැහැනියක ලෙසිනි.

මිරැන්ඩාගේ නව නිවස නිමවා තිබුණේ කුරුවිට රත්නපුර පාරේ මලව හංදිය ආසන්නයේය. ඔහු ජීවතුන් අතර සිටියදී නිවසේ වැඩ නිම කිරීමට වඩා තම සහෝදර සහෝදරියන්ගේ පවුල්වලට උදව් කිරීම හේතුවෙන් නිවසේ වැඩ අතපසු විය. කෙසේ හෝ මිරැන්ඩා නිවසේ වැඩ නිම කළේය. කුරුවිට ගෙයි වැඩ නිම වූ පසු ඇය ඇගේ මෑණියන්ද සමඟ කුරුවිට පදිංචිය පිණිස ආවාය. මේ වන විට මිරැන්ඩාට අලුත්ම ප්‍රශ්නයකට මුහුණදීමට සිදු විය.

එම නිවස පිහිටා තිබුණේ කුරුවිට පොලිස් බල ප්‍රදේශයේය. විශේෂයෙන් පොලිස් බල ප්‍රදේශය සඳහන් කළේ නීතිඥ ජී. වී. මුදියන්සේගේ මරණයෙන් පසු ඔහුගේ මිතුරකු වූ කාකි ඇඳුම් ලාගත් සර්පයකු පරිදි නිලධාරියකු නිසාවෙනි. ඔහුගෙන් මිරැන්ඩාට ප්‍රශ්ණ ඇති වූයේ එම නිවස ඔහුට ලබා ගැනීමට ඕනෑ වුණු බැවිනි. ප්‍රථමයෙන් නිවස කුලියට ඉල්ලමින්ද එය නොලැබූ විට කාමරයක් හෝ කුලියට ඉල්ලමින්ද බලපෑම් කරන්නට විය. පසුව ඇය සිය තනියට තම මව එහි රැගෙන ආවේ ඇගේ ආරක්ෂාව පිණිසය. මව සිටියද එම නිලධාරියා ගොදුරට ඉව කරමින් සිටින සර්පයකු ලෙස ඇය හඹා ඒම නතර නොකළේය. පසුව ඇය ගෙය වසා දැම්මාය.

මිරැන්ඩා හේමලතාට සවියක් වූ තම ආදරණීය ගමන් සගයා වන මූදීගේ වියෝව තුනී කර ගැනීමට ඇගේ සම්පූර්ණ කාලයම තම රාජකාරිය වෙනුවෙන් වැය කිරීමට සිදුවිය. රාජකාරියෙන් පැවරී තිබූ අලුත් වගකීමත් සමඟ වන වදුලින් පිරි විශාල භුමිය සෞන්දර්ය අධ්‍යාපන ආයතනයක් බිහි කිරීම වෙනුවෙන් කැප කිරීමට නිරත විය. මිනිසුන් නොගැවසෙන පාළු භූමියේ තනිකමක් මිරැන්ඩාට නොදැනුණි. මිරැන්ඩා තුළ ජීවත් වූ මුදීගේ මැදිහත් වීම මත ජාතික අධ්‍යාපන ආයතනයට ලබා ගත් ඉඩමේදී ඔහු තමා ආරක්ෂා කරන බවත් ඇයට දැනුණි. එහෙයින් වඩාත් ජවසම්පන්නව මිරැන්ඩා තනිකඩ ජීවිතයට හුරු වූවාය.

මතු සම්බන්ධයි.

[අනුර දහනායක]

News Order: 
1
මාතෘකා