අද නුඹ කොතැනද අද මා කොතැනද දන්නේ නෑ නුඹ මටත් හොරා

 ඡායාරූපය:

අද නුඹ කොතැනද අද මා කොතැනද දන්නේ නෑ නුඹ මටත් හොරා

ආදරේ කියන්නේ මහ අවස්ථාවාදී, කුහක, ආත්මාර්ථකාමී සිතුවිල්ලක් කියන එක පිළිගන්න ගොඩාක් දෙනෙක් කැමති නෑ. මොකද අපි හැමෝම ආදරේ කරන නිසා අපි බයයි අපිටම එහෙම කියාගන්න. ඒත් අමාරුවෙන් හරි පිළිගන්න වෙන ඇත්ත ඒක තමයි. ආදරය කියන්නේ සඳ එළිය සේ පරම පිවිතුරු එකක් නෙවෙයි. ආදරය කියන්නේ මොහොතක අවශ්‍යතාවක්. ඒක පස්සේ බැඳීමක් වෙනකොට ජීවිතයට නැතුවම බැරි තරම් ලංකරගන්නවා. බැඳීම කියන වචනයෙන් වියුක්ත කරලා ආදරය කියන එක අරං බැලුවම ඒක ඇත්තටම Sexual attraction එකක් විතරයි. පස්සේ ඒ ආකර්ෂණය නිසාම පරිස්සම් කරන්න පටං ගන්නවා. ඒකට Caring කියලා තමයි කියන්නේ. ඒක ශිෂ්ඨ වචනේ. හැබැයි හිත ඇතුලේ තියෙන්නේ බය. තමන් ආකර්ෂණය වෙලා දිනාගත්තු කෙනාට තව කෙනෙක් ආකර්ෂණය වෙයි කියලා තියෙන බය. හැබැයි කොහොම කොයි විදිහට Care කරනවා කියලා හිතුවත්, “ඔයා නැතිවුණොත් මං මැරෙනවා” කියලා කිව්ව කී දෙනෙක් අද ඒ කිව්ව කෙනා නැතුව සතුටින් ජීවත් වෙනවාද කියලා හිතලා බලන්න. මේ ජීවිතේ ඇතුලේ අපිට ඇතිවෙන හැම බැඳීමක්ම ඒ වගේ “එන්නේ මුලු ලෝකෙටත් වැඩිය මං ඔයාට ආදරෙයි”, “ඔයා නැතුව තත්පරයක් ඉන්න බෑ ” කියාගෙන. හැබැයි අත්හැරලා යනකොට යන්නේ හෙවනැල්ලටවත් නොකියා. එහෙම ගිය අය ගැන හිතලා බලන්න. අද එයාලා කොහේද? මොනවා කරනවා ඇතිද? ආපහු හදිස්සියේ හරි හමුවුණොත් ඉස්සර තරම් ආදරේ දැනෙයිද?

මේ ඉර හඳ යට හමුවී ආදරයෙන්

කතා කරපු අය සෙනේ වඩපු අය

ළඟ පාතකවත් නෑ..

ඉඩක් ලැබුන වෙලාවක හිතලා බලන්න “හුස්මක් ගානේ ආදරෙයි “ කිව්ව අය, “මටත් වැඩිය මට ඔයාව වටිනවා “ කියලා කිව්ව අය. “ඔයා තමයි මගේ ලෝකේ “ කිව්ව අය අද කොහේද? ආදරේ කියන්නේ ඔය කියන තරම් පරම පිවිතුරු උත්තරීතර එකක් නම් ඒ විදිහට අවස්ථාවාදීව වෙනස් වෙන්න බෑ. ඒකයි මම ආදරේ කියන එක මොහොතක හැඟීමක් කියලා කියන්නේ ඒ මොහොතේ හැඟීම පස්සේ බැඳීමක් වුනාම සමීප බවක් දැනෙනවා. එච්චරයි. මේ සිංදුවෙන් කියන්නෙත් ඒකම තමයි. එච්වඩ් ජයකොඩි ගායනා කරන මේ ගීතයෙන් කියන්නේ අපි පට්ට සුන්දරයි උත්තරීතරයි කියලා හිතාගෙන ඉන්න ප්‍රේමයේ Reality එක.

අද නුඹ කොතැනද අද මා කොතැනද

දන්නේ නෑ නුඹ මටත් හොරා

ජීවන මහ මග සටන් වැදී ඇත

නාඳුනනා පෙම්වතුන් වෙලා

සාමාන්‍යයෙන් ආදරය කියන එත හිතට දැනෙන්න පටං ගන්නේ අවුරුදු 13දි 14 දි විතර. විරුද්ධ ලිංගිකයින් ගැන ආකර්ශණය වැඩි වෙන්නේ “හිතින් love“ කරන්න ගන්නේ ඔය කාලේ. ඊට පස්සේ කොහොම හරි ආදරේ කරන්න පටං ගත්තම දැනෙන්නේ නිකං අර හිංදි ෆිල්ම් එකක් වගේ. හැබැයි Reality එක ඊට වඩා දුරයි. ආදරේ කරන කාලේ අත් පටලාගෙන එකට තුරුල් වෙලා යන හුරතලය කසාද බැන්දට පස්සේ නැති වෙන්නේ මේ කියන Reality එක නිසා. තරුණ කාලේ ආදරේ කරලා දිනාගන්නවා ප්‍රේම සටන. ඒ ජයග්‍රහණය හරි සුන්දරයි. ඊට පස්සේ දෙන්නට තියෙන්නේ ජීවිත සටන දිනන්න. ජීවිත සටන දිනන එක අර අත් අල්ලගෙන යන තරම් සුන්දර නෑ. මේ සිංදුවෙන් කියන පෙම්වතා වියපත් කෙනෙක්. ඔහු තරුණ කාලේ අත් අල්ලගෙන, අහුමුළු වල තුරුළු වෙලා ජීවිතේ බෙදාගත්ත අයට පස්සේ කාලෙක වියපත් වුණාම ජීවිත සටනට මුහුණ දෙන්න වෙනවා. එතකොට අර ඉස්සර ආදරෙන් කථා කරලා තුරුළු වෙලා හිටපු අය ගැන හිතන්න වෙලාවක් නෑ. හරියට නාදුනන පෙම්වතුන් වගේ දෙපැත්තකට වෙලා සටන් කරනවා. මේ පෙම්වතා හිතනවා “එදා ආදරෙන් හිටපු අය අද කොහේද දන්නේ නෑ - කොහේ හරි ජීවිතය එක්ක සටන් කරනවා ඇති” කියලා මේ පෙම්වතා හිත හදාගන්නවා.

මේ වෙළඳ පළ ක්‍රමය තුළ ආදරය කියන්නේ එක බිස්නස් එකක් විතරයි. පෙම්වතුන් පෙම්වතියන් අතරෙ හුවමාරු වෙන තෑගි වලින් ආදරේ භෞතික වටිනාකමක් එකතු වෙලා. ගොළු හදවතේ දම්මි සුගත්ට දෙන්නේ වෙරළු අහුරක්. අද සුගත්ලා ධම්මිලාට කොහේ හරි Barista එකේ කෝපි පොවනවා එහෙම නැත්තං බහුජාතික සමාගම් පරණ වෙච්ච චිකන් කවනවා. මේ සිස්ටම් එක ඇතුලේ ආදරයටත් මිලක් නියම වෙනවා. කසාද බඳින්න ගියාම Photo ගහන්නේ ලංකාවේ හොඳම ෆොටෝගැපර්, Wedding එක ගන්නේ සුපිරි Hotel එකක. බැඳලා යන්නේ මේ විදිහට මේ හැම එකකටම අද වෙළඳ පලේ මිලක් නියම වෙලා ඉවරයි. ඒ වගේ ලෝකයක නාදුනනා පෙම්වතුන් යුවළක් විදිහට ඈත් වෙලා ජීවන මහමඟ සටන් කරන්න වෙනවා තමයි.

දැන හඳුණා ගත් කාලේ ඉඳලා

ළබැඳි දයාවෙන් සිටිය නිසා

අප වෙනුවෙන් අප නමින් හෙලන්නට

හෙටටත් කඳුළක් ඉතිරි වෙලා

පෙම්වතිය අත්හැරලා ගියාට මේ පෙම්වතා තවම ඉන්නේ වැඩවසම් ප්‍රේමයක. ඔහු හිතනවා ඇය තමන්ගේ ප්‍රවේණියක් කියලා. ඒ නිසා ඔහු තවමත් අතීතය ගැන දුක්වෙනවා. “අපි ඉස්සර ඉඳලා ළබැඳි දායවෙන් හිටියේ” ඒ නිසා අපි වෙනුවෙන් අපිට කඳුළක් ඉතිරි වෙලා තියෙනවා කියලා. මෙතනදි ඔහු “අපි” කියන එක යොදාගන්නේ ඒක පාර්ශ්විකව. පෙම්වතියගේ අවසරයක් නැතිව. මේ නිසා තමයි ඔහු “ඇය තමන්ගේ ප්‍රවේණියක්” කියලා හිතන බව තහවුරු වෙන්නේ. ඔහු තවමත් දුක් වෙනවා මගහැරුණු ප්‍රේමය ගැන. ඒ එක්කම ඔහු හිතනවා “එයා දැන් කොහේහරි ජීවන මහමඟ සටන් කරනවා ඇති මම වගේම ” කියලා.

ආදරය කරන කාටත් අවසානයේ වෙන්නේ මේක තමයි. ආපස්සට හිතලා බලන්න එදා ආදරෙයි කියලා ලඟින් හිටපු අය අද කොහේද කියලා. එදා “ඔයා නැතිවුනොත් මැරෙනවා” කිව්ව අය කී දෙනෙක් තවමත් ජීවතුන් අතරද කියලා. ආදරේ කියන්නේ හරියට අයිස් ක්‍රීම් එකක් වගේ එකක්. Reality එක කියන Corn එක වචන කියන අයිස් ක්‍රීම් වලින් වහපු නිකම්ම නිකං දියවෙන අයිස් ක්‍රීම් එකක් !!

[අරවින්ද ඉන්ද්‍රජිත්]

News Order: 
19
මාතෘකා