මිථ්‍යාව පසුපස යෑමේ විද්‍යාත්මක හේතු

 ඡායාරූපය:

මිථ්‍යාව පසුපස යෑමේ විද්‍යාත්මක හේතු

නිවසේ හෝ කාර්යාලයේ හෝ සිටින අවස්ථාවක ක්ෂණිකව මහා ශබ්දයක් ඇසෙන, අවදානමක් යයි හැඟෙන අවස්ථාවක එය විමසා බැලීමට කාන්තාව ඉදිරිපත් වන්නේ කලාතුරකිනි. ඒ කාර්යය පුරුෂ පක්ෂය වෙතින් සිදුවීම ස්වභාවයයි. බොහෝවිට කාන්තා පක්ෂය මෙහිදී ඒ කාර්යය සඳහා පුරුෂ පක්ෂය යොමු කොට පසු බසී. ගැරඬියෙක්, නයෙක් හෝ පොළඟෙක් නිවසට හෝ කාර්යාලයට රිංගන විට පමණක් නොව, ගෙම්බෙක්, කැරපොත්තෙක් හෝ මී පැටියෙක් පැමිණියත් කාන්තා පක්ෂය කරන්නේ බියෙන් කෑගැසීම හෝ දුවගොස් එතැනින් පලායාම වුවද, එහිදී සත්ත්වයා පාලනය කරන්නේ පුරුෂ පක්ෂය විසින්ය. නිවසේ හෝ කාර්යාලයේ විදුලි පරිපථයේ පිපිරීමක් හෝ දැවීයාමක් සිදු වූ විට ඒ වෙත අවධානය යොමුකිරීමට පසුබටවන කාන්තාව ඒ වගකීම භාර කරන්නේ පුරුෂ පක්ෂයටය.

ලෝකයේ ජීවත්වන සත්ත්ව කොට්ඨාස ලක්ෂ ගණන අතරින් හෝමෝ සේපියන් හෙවත් අප දන්නා මිනිස් සත්ත්වයින් සැලකීමේදී කාන්තාවන් සහ පුරුෂයින් (නැතහොත් ගැහැනුන් සහ පිරිමින්) අතර පැහැදිලි වෙනස් ලක්ෂණ රැසක් දක්නට ලැබෙන බව ඉතා පැහැදිලිය. ශාරීරික හෙවත් කායික ලක්ෂණවල වෙනස අපට පැහැදිලිව දැකගත හැකි වුණාට කායික ලක්ෂණ හා සම්බන්ධ සමහර භෞතික ලක්ෂණවල වෙනස්කම් වගේම මානසික තත්ත්වයේ වෙනස පැහැදිලිව ප්‍රදර්ශනය නොවන බව අප අවබෝධ කරගත යුතුය.

පාරිසරික මෙන්ම ජීව විද්‍යාත්මක හේතු අනුව කාන්තාවන්ගේ සහ පුරුෂයන්ගේ කටහඬවල්වල වෙනස්කම් දකින්නට ලැබීම ස්වාභාවිකය. මූලික වශයෙන් කාන්තා කටහඬට (VOICE) පුරුෂ කටහඬට වඩා වැඩි සංඛ්‍යාතයක් හෙවත් කාරතාවයක් (PITCH) ස්වභාවයෙන්ම ලැබී ඇත. ස්වභාවයෙන්ම ලිංගික ලක්ෂණවල ඇති වෙනස නිසා කාන්තාවට විරුද්ධ ලිංගිකයා පාලනය කිරීමට මෙන්ම පැටවුන්ගේ ආරක්ෂාව පාලනය කිරීම සඳහා ගැහැනිය සතු ශාරීරික ලක්ෂණවලින් කටහඬේ උස් කාරතාව අත්‍යවශ්‍ය සාධකයකි.

ගැහැනු සහ පිරිමි කටහඬවල නිරීක්ෂණය කළ හැකි තවත් වෙනසක් වන්නේ උච්චාරණයේ (ARTICULATION) වෙනසයි. එය සැලකීමේදී පුරුෂ කටහඬේ උච්චාරණය රළු (ROUGH) වන අතර කාන්තා කටහඩේ උච්චාරණය සෞම්‍ය (SOFT) ලක්ෂණයක් සතුය. කාන්තාව සතු මෙම ලක්ෂණය බොහෝවිට ලිංගික කටයුතුවලදී විරුද්ධ පාක්ෂිකයාගේ අවධානය තමන් වෙත යොමු කර ගැනීමට මෙන්ම දරුපැටවුන් වෙත සෙනෙහස සහිත පණිවිඩ ලබාදීමට උපකාර වන්නකි.

සන්නිවේදනය (CONVERSATION) කිරීමේදීද ස්ත්‍රී සහ පුරුෂ කටහඬ භාවිත කිරීමේ වෙනස්කම් තිබේ. යම්කිසි කරුණක් තහවුරු කිරීමේදී පුරුෂ පක්ෂය සිය කටහඬේ ශබ්දය (VOLUME) ඉහළ මට්ටමකින් භාවිතා කරන අතර කාන්තාව එවන් අවස්ථාවල සිය කටහඬේ කාරතාව (PITCH) හෙවත් සංඛ්‍යාතය වැඩි කොට කතා කිරීම ස්වභාවයයි.

ස්වාභාවික සහ පාරිසරික සාධක කළමනාකරණය සඳහා සිය කටහඬේ විශේෂ ලක්ෂණ භාවිත කළද කාන්තාව පුරුෂයාට වඩා ශාරීරික ලෙස ශක්තිමත්කමින් දුර්වල වීම හේතුවෙන් කාන්තාව මානසික තත්ත්වයෙන් පුරුෂයාට වඩා පහළ මට්ටමක සිටීම පැහැදිලිව පෙනීයන අවස්ථා බොහෝය. කාන්තාව සතු ශාරීරික දුර්වලකම ඇය මානසික වශයෙන් දන්නා සාධකයකි.

මිනිසාගේ පරිණාමයේ මුල් අවධිවල කාන්තාවගේ ශාරීරික දුර්වලකම ගැටලුවක් නොවුයේ එය ස්වාභාවික ලක්ෂණයක් වූ නිසා මෙන්ම, ආහාර සොයාගැනීම සහ සතුරන්ගෙන් ආරක්ෂාව ලබාගැනීම වැනි පියවරවලදී පුරුෂ පාක්ෂිකයා පෙරමුණ ගත් නිසාය. සතුන් අතර මෙම ලක්ෂණය අද වුවත් දක්නට ලැබේ. සුනඛ රැලක් වෙත එල්ලවන සතුරු උවදුරකදී ගැහැනු සුනඛයින් ප්‍රථම සංඥා උස් හඬින් නිකුත් කළද, සතුරා වෙත දුවයෑමේදී පෙරමුණ ගන්නේ පුරුෂ සුනඛයින්ය.

පරිණාමයට භාජනය වූ හොමෝසේපියන්ස් අද වන විට ස්වාභාවික ජීවිතයෙන් බොහෝ වෙනස් වී ඇතත් කාන්තාව සහ පුරුෂයින් අතර දකින්නට ලැබෙන කායික ශක්තියේ පරතරය එසේමයි. පරිණාමය වීමේ ප්‍රතිඵලයක් ලෙස එදා හෝමෝ සේපියන්ලා මුහුණ දුන් ස්වාභාවික පරිසරයට වඩා වෙනස් වූ සංසිද්ධි වලට මුහුණ දීමට අපට සිදු වී තිබුණත් කාන්තාව සතු ශක්ති හීනභාවය නිසා ඒ ඒ අවස්ථාවල කාන්තාව පරිසරයට මුහුණපාන අවස්ථාවලදී සිය මානසික තත්ත්වය කෙසේද යන්න පෙනී යයි.

නිවසේ හෝ කාර්යාලයේ හෝ සිටින අවස්ථාවක ක්ෂණිකව මහා ශබ්දයක් ඇසෙන, අවදානමක් යයි හැඟෙන අවස්ථාවක එය විමසා බැලීමට කාන්තාව ඉදිරිපත් වන්නේ කලාතුරකිනි. ඒ කාර්යය පුරුෂ පක්ෂය වෙතින් සිදුවීම ස්වභාවයයි. බොහෝවිට කාන්තා පක්ෂය මෙහිදී ඒ කාර්යය සඳහා පුරුෂ පක්ෂය යොමු කොට පසු බසී. ගැරඬියෙක්, නයෙක් හෝ පොළඟෙක් නිවසට හෝ කාර්යාලයට රිංගන විට පමණක් නොව, ගෙම්බෙක්, කැරපොත්තෙක් හෝ මී පැටියෙක් පැමිණියත් කාන්තා පක්ෂය කරන්නේ බියෙන් කෑගැසීම හෝ දුවගොස් එතැනින් පලායාම වුවද, එහිදී සත්ත්වයා පාලනය කරන්නේ පුරුෂ පක්ෂය විසින්ය.

නිවසේ හෝ කාර්යාලයේ විදුලි පරිපථයේ පිපිරීමක් හෝ දැවීයාමක් සිදු වූ විට ඒ වෙත අවධානය යොමුකිරීමට පසුබටවන කාන්තාව ඒ වගකීම භාර කරන්නේ පුරුෂ පක්ෂයටය. නිවසට යමෙක් පැමිණ, තරමක් දැඩි ස්වරයෙන් “කවුද ගෙදර” කියා විමසන අවස්ථාවක කාන්තාවන් නිශ්ශබ්දතාව රකිමින් නිවසේ සිටින පුරුෂ පක්ෂය දොර වෙත යැවීම සාමාන්‍ය තත්ත්වයයි.

කාන්තාව ශක්තියෙන් සහ එඩිතර කමින් දුර්වල වන බවට උදාහරණ රැසක් සඳහන් කළ හැක්කේ කාන්තා පක්ෂය ශාරීරික ලෙස තමන් දුර්වල බව ප්‍රත්‍යක්ෂ කරගෙන සිටින අතර මානසික වශයෙන් ඒ අවබෝධය ඔවුන් සතු වීම නිසාය. මෙම යථාර්ථයේ එක් කණගාටුදායක ප්‍රතිඵලයක් වනුයේ බහුතර කාන්තාවන් සංඛ්‍යාවක් අද්භූත, නොපෙනෙන බලවේගවල පිහිට පැතීම හෙවත් මිථ්‍යාවට රැවටීමට යොමු වීමයි.

දේවබල, විශ්වබල හෝ අද්භූත බල ආදී විවිධ නම්වලින් හඳුන්වනු ලබන මිථ්‍යාව කෙරේ මහා විශ්වාසයක් තැබීම අතින් කාන්තාව පෙරමුණේ සිටින බවට සාක්ෂි බොහෝය. පන්සලේ, පල්ලියේ, කෝවිලේ, දේවාලයේ කට්ටඩිරාළ අසල, ජෝතිෂ්‍ය කාර්යාලයේ, බෝධි පූජාවේ, මල්වට්ටි පූජාවේ, ධාතු වන්දනාවේ, භාවනා මධ්‍යස්ථානයේ ආදී විශ්ව, දේව, අද්භූත බල සහිත යැයි විශ්වාස කරන ස්ථානවලදී සහභාගී වන ජනතාවගෙන් බහුතරය කාන්තාවන් බව පැහැදිලිය.

මේ සඳහා ඇති ආසන්නම උදාහරණය රුවන්වැලි මහා සෑය මත තැන්පත් කිරීමට යෝජිත අභිනව චූඩාමාණික්‍ය බණ්ඩාරනායන සම්මන්ත්‍රණ ශාලාවේ නොවැම්බර් 18,19 සහ 20 දිනවල මහජන ප්‍රදර්ශනයට තබා තිබූ අවස්ථාව මෙන්ම එම චූඩාමාණික්‍යය කොළඹ සිට අනුරාධපුරය වෙත ප්‍රවාහනය කළ අවස්ථාවේ බැතිමත් කාන්තාවන් කඳුළු සලමින්, දොහොත් මුදුන් දී වන්දනාමාන කරමින් මිථ්‍යා ගංඟාවේ ගිලී සිටි අවධියයි.

චූඩාමාණික්‍යය වැඳපුදා ගැනීමට පැමිණි බැතිමතුන්ගෙන් මහා බහුතරය කාන්තාවන් වූ අතර සමහර කාන්තාවන් ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මෙවන් වදන්ය. “බුදුහාමුදුරුවන් දැක්කා වගේ සතුටක්” “මේකනං මගේ පෙර පිනක් නිසා මට ලැබුණ දෙයක් කියලා හිතෙනවා, මගේ වාසනාව.”

අද්භූත හෙවත් නොපෙනෙන බලවේගවල පිහිට පැතීමට කාන්තාව මෙතරම් පෙලඹීමට හේතුව වන්නේද ඇය සතු දුර්වල පෞරුෂයයි (ශක්තියයි). ඒ දුර්වලකම පූර්ණත්වයට පත් කර ගත හැකි වේයයි බලපොරොත්තුවෙන් ඔවුන් නොපෙනෙන බලවේගයක පිහිට ලබාගැනීම උදෙසා පුදපූජා, යාතිකා, ගීතිකා, ජ්‍යෝතිෂ්‍ය වැඩසටහන්, බෝධි වන්දනා ලක්ෂ ගණන් පිච්චමල් වන්දනා, ධාතු වන්දනා, විශ්ව බල ප්‍රදර්ශ-න, පල්ලි, දේවාල හෝ කෝවිල්වල දේව වන්දනා ආදියට සහභාගී වීමට පෙළගැසී සිටීම ස්වභාවයයි.

කාන්තාවන් මිථ්‍යා මතවල එල්ලීගෙන විවිධ ප්‍රෝඩාකාරයින්ගේ පිහිට පැතීමට පෙලැඹීම නිසා සමාජයට සිදුවන අගතිය අප්‍රමාණය. දේවබල, භූතබල, විශ්ව බල, යනාදිය මිථ්‍යාවන් බවට පැහැදිලි වී දිගුකලක් වුවත් තවමත් මිථ්‍යා විශ්වාසවල ඇලී ගැලී සිටීම අද පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ යථාවබෝධය දුර්වල කිරීමට හේතුවන සාධකයක් වී ඇත.

විද්‍යාත්මක සහ තාක්ෂණික අවබෝධය දූ දරුවනට ලබාදීම සඳහා සංස්කරණය වී ඇති පාඨමාලා තුළින් විශ්වය සහ පරිසරය පිළිබඳ දූ දරුවන්ට ලැබෙන යථා දැනුම් සම්භාරය ආපස්සට තල්ලු කිරීම මිථ්‍යාවෙන් සිදුවන අයහපත් ප්‍රතිඵලයක් බව අවබෝධ කර නොගන්නා අම්මලා, තාත්තලා දූ දරුවන් මිථ්‍යා විශ්වාස වෙත යොමු කරන අතර කාන්තාවන් බහුතරයක් මිථ්‍යාවේ ගිලී සිටීම නිසා මෙම වරදට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ අම්මලා වන බව පැහැදිලිය.

මිථ්‍යාව පසුපස යන කාන්තාවන්ට ඒ දුර්වලකම නිසාම විවිධ ආපදා සහ හිරිහැරවලට ලක්වීමට සිදුවීමද ඉතා කණගාටුදායකය. කොහේවත් නැති හාස්කම් සහ අද්භූත බලවේග තමන් සතුයයි පවසන සියල්ලන්ම කපටි ප්‍රෝඩාකාරයන්ය. ඔවුන්ගේ මිථ්‍යා මතවලට රැවටී ඔවුන්ගේ පිහිට පැතීමට ඉදිරිපත් වන සියලු කාන්තාවන් ආර්ථික පරිහානියට පත්වීම සාමාන්‍ය දෙයකි.

ඊට වඩා කණගාටුදායක දෙය වන්නේ, ඒ මිථ්‍යාවට රැවටෙන කාන්තාවනට මුහුණ පාන්නට සිදුවන ලිංගික බලපෑම්ය. මිල මුදල් සූරාගැනීමට අමතරව විවිධ දේවාල සහ ආගමික මධ්‍යස්ථානවලදී ලිංගික අල්ලස් ගැනීම සාමාන්‍ය දෙයක් වී ඇති අතර, සමහර සිදුවීම් අවසන් වන්නේ කාන්තාවන් මරණයට පත්වීමෙන් බව ජනමාධ්‍ය මඟින් පෙන්වා දී ඇති අවස්ථා රැසකි.

[කේ.ආර්. අභයසිංහ] බාහිර කථිකාචාර්ය, විද්‍යා පශ්චාත් උපාධි ආයතනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

මාතෘකා