දෙනෙත් අහිමි වූ ඔහු දෙසවනින් ලෝකය දකින්නේය : බ්‍රයන් බ්‍රොව්ස්කි

 ඡායාරූපය:

දෙනෙත් අහිමි වූ ඔහු දෙසවනින් ලෝකය දකින්නේය : බ්‍රයන් බ්‍රොව්ස්කි

තම පවුලේ ගොවිපොළ අසළ වූ බොරළු මාවතේ පාපැදිය පදවාගෙන යමින් සිටින ‘බ්‍රයන් බ්‍රොව්ස්කි’ මඟ දෙපස වූ නිල් තණ තීරු හා තුරුලතා දෙස සිය නෙත් යොමවමින් ඉතා සුපරික්ෂාකාරීව ගමනේ යෙදෙන්නේ එම මාර්ගයේ ධාවනය වන සෙසු මෝටර් රථ සමඟ නොගැටීමට ප්‍රවේසම් වෙමිනි. නමුත් බ්‍රයන් යනු අනතුරුවලට ආගන්තුකයකු නොවේ. වරෙක ඔහු මාර්ගයෙන් පිට පැනීම නිසා පාපැදිය පෙරළී ගිය අතර තවත් අවස්ථාවකදී පල්ලමකින් ලෙස්සා යෑම නිසා සිය කනද තුවාල කර ගත්තේය. දෛනික ජීවිතයේ මෙබඳු සිදුවීම් බ්‍රයන් හට අහඹුවක් නොවන්නේ ඉපදුණු දා සිට ඔහු ගොවිපොළක හැදී වැඩුණු නිසාම පමණක් නොව ඔහු දෑසින් මෙලොව දැකීමේ වරම අහිමිව උපන්නකු බැවිනි.

උපතින්ම දෙනෙක් අඳ වූ බ්‍රොව්ස්කි දෝංකාරය ආශ්‍රයෙන් වස්තූන්හි පිහිටීම සොයා ගැනීමෙහිලා (echolocation) උපන් හපනෙකි. කෙටියෙන් කිවහොත් දෑසම නොපෙනෙන බ්‍රොව්ස්කි ලෝකය දකින්නේ සිය දෙසවනෙනි. තම දිවෙන් තියුණු ශබ්ද නඟන බ්‍රොව්ස්කි එකී ශබ්ද ඔහු අවට වන වස්තූන් මත පතිතව පරාවර්තනය වන දෝංකාරයන් ආධාරයෙන් තමා අවට වන පරිසරය පිළිබඳව විස්තරාත්මක අර්ථකථනයක් ලබා ගැනීමට සමත්ය. ඒ හරියටම වවුලන් හා ඩොල්ෆින් වැනි සතුන් පරාවර්ථිත ශබ්ද තරංග ආධාරයෙන් අවට පරිසරය හඳුනාගන්නා සේය. දැනට පනස් හතර වැනි වියේ පසුවන කැනේඩියානු ජාතික බ්‍රොව්ස්කි, ශබ්ද තරංග ආධාරයෙන් ලෝකය දැකීම පිළිබඳව මේ වන විට කෙතරම් නිපුණතාවක් ලබා ඇත්තේද යත් ඔන්ටාරියෝ බටහිර විශ්වවිද්‍යාලයේ පිහිටි මොළය හා මනස පිළිබඳ වූ ආයතනයේ අධ්‍යක්ෂ මෙල් ගුඩ්ඩේල් විසින් ඒ සම්බන්ධයෙන් අරඹා ඇති ව්‍යපාතියකටද සම්බන්ධව සිටියි.

ඒ නවීන තාක්ෂණික ප්‍රතිරූප ශිල්පයන් භාවිතා කරමින් ධ්වනි තරංග ආධාරයෙන් ලෝකය දැකීමට පුහුණුව ලැබූවන්ගේ මස්තිෂ්ක ක්‍රියාකාරිත්වය පිළිබඳව හැදෑරීම සඳහා වන ව්‍යාපෘතියකි. දෘශ්‍ය ස්නායු විද්‍යාඥයකු ලෙස මිනිසා විසින් සංවේදී ඉන්ද්‍රියන් ආධාරයෙන් ලෝකය හඳුනා ගන්නා ආකාරය පිළිබඳව දශක හතරක කාලයක් අධ්‍යයනයේ යෙදුණු විද්‍යාඥ ගුඩ්ඩෙල් ප්‍රමුඛ කණ්ඩායමේ පරිශ්‍රමයන් මල්ඵල ගැන්වුණේ 2009 වසරේදි පළමුවරට පරාවර්තිත ධ්වනි තරංග ආධාරයෙන් වස්තූන්හි පිහිටීම සොයා ගැනීමෙහිලා දස්කම් දැක්වූවන් දෙදෙනකුගේ මස්තිෂ්ක ක්‍රියාකාරිත්වය පටිගත කිරීමට සමත්වීමත් සමඟයි.

ඉන් ලද ප්‍රතිඵලය ධ්වනිය ආධාරයෙන් ලෝක දකින්නන්ගේ එකී අද්විතීය හැකියාව සම්බන්ධයෙන් එතෙක් පැවති වැරදි දුර්මත සුනුවිසුනු කර දමන්නක් විය. මන්ද පටිගත කරන ලද දත්තයන්ගෙන් පෙනී ගියේද පෙනීම ඇත්තවුන් විසින් දෘශ්‍ය දත්ත අර්ථකථනය කිරීමට යොදා ගන්නා මස්තිෂ්ක බාහිකයේ පිහිටි දෘශ්‍ය සංවේදී කොටස, ධ්වනිය ආධාරයෙන් පෙනීම ලබන්නන්ගේ නම් ඉතා සියුම් දෝංකාර ශබ්දවලට පවා සංවේදී වෙමින් ක්‍රියාත්මක වන බවයි. එනම් දෑස් අහිමිවූවෝ තම දෙසවනින් ලෝකය දැකීමට වරම් ලද්දවුන් බව ගුඩ්ඩේල්ගේ පර්යේෂණයන්ගෙන් සනාථ විය.

ඇත්තෙන්ම ශබ්දය ආධාරයෙන් වස්තුවක පිහිටීම සොයා ගැනීම ලෝකයට අලුත් සංකල්පයක් නොවන්නේ වවුලන්ගේ දෘෂ්ඨිය සැලකිල්ලට ගනිමින් පියවි ඇසට පෙනෙන මානයෙන් ඔබ්බෙහි (උදා: දිය යට) ස්ථානගතව පිහිටි වස්තූන්ගේ පිහිටීම සොයා ගැනීම සඳහා නිර්මාණය කරන ලද ‘සේනාර්’ තරංග ක්‍රමවේදය මීට දශක කිහිපයකට පෙර සිටම භාවිතයේ පැවති නිසාය. සෝනාර් තරංග භාවිතයේදී අනුගමනය කරන්නේද මීට බෙහෙවින් සමාන ක්‍රමවේදයකි. එනම් වවුලන් කරන්නා සේ යම් වස්තුවක් මතට ධ්වනි තරංගයක් නිකුත් කොට ඉන් පරාවර්තනය වන තරංගය යළි පැමිණීමට ගතවන කාලය අනුව වස්තුව කෙතරම් දුරකින් පිහිටියේද යන්න නිගමනය කිරීමයි.

කෙසේවුවද සමස්ත දෘශ්‍යාබාධිත කොට්ඨාසය සැලකූ කළ මෙසේ ධ්වනිය ආධාරයෙන් ලෝකය දැකීමට හැකියාව ලබන්නේ ඉතා සීමිත පිරිසක් පමණි. කිසිවකුගේ මැදිහත්වීමකින් තොරව ස්වායත්තව මෙම සුවිශේෂී හැකියාව වර්ධනය කරගත් දෘශ්‍යාබාධිත ජනගහනය කොතෙක් වේදැයි යන්නට නිශ්චිත අදහසක් නොමැති මුත් ඒ පිළිබඳව සැලකිය යුතු අවධානයක් මේ වන විට ජාත්‍යන්තරයේ වර්ධනය වෙමින් පවතින අතර කැලිෆෝනියාවේ පිහිටි ‘World Access for the Blind’ නමැති සංවිධානය විසින් මේ වන විට දෘශ්‍යාබාධිත සිසුන් පන්දහසකට අධික සංඛ්‍යාවකට පරාවර්ථිත ධ්වනි තරංග ආධාරයෙන් වටපිටාව අවබෝධ කර ගන්නා ආකාරය පිළිබඳව පුහුණුව ලබා දී තිබේ. කෙසේවුවද දෙනෙතින් ලෝකය දැකීමට වරම් නොලද්දන් බොහෝ දෙනකු අදටද සදාතනික අඳුරේ ගිලී ජීවත් වන්නේ මෙබදු ක්‍රමවේදයන් පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිකමිනි.

ඇතැම් විට මේ පිළිබඳව නිසි අවබෝධයක් ලබා දීමට දෘශ්‍යාබාධිත පිරිස් පුහුණු කරන උපදේශකයන් පවා මැලි වන්නෝය. බ්‍රොව්ස්කි පවසන්නේ තමා කලකට ඉහතදී දෘශ්‍යාබාධිත දරුවන් උදෙසා වන පාසලක සිසුවකුව සිටි සමයේදී එහි සිටි උපදේශකයන් පවා ධ්වනිය ආධාරයෙන් ලෝකය දැකීමට පුහුණු වීමෙන් සිය සිසුන්ව වැළැක්වීමට උත්සාහ දැරුවේ ලෝකයට බට කල තමා දෘශ්‍යාබාධිතයකු බව අන්‍යයන්ට නොහැඟෙන ලෙස හැසිරීමට ඉගෙන ගැනීම කාලෝචිත බව පවසමිනි. මේ නිසා දෘශ්‍යාබාධිත පාසලේ සිටි දෙසීයක් වූ සිසුන් පිරිසෙන් ගුරුවරුන්ගේ අධෛර්යය කිරීම් හමුවේ වුවද ධ්වනි පරාවර්තනය ඔස්සේ ලෝකය දැකීමේ ක්‍රමවේදය පිළිබඳව පුහුණුව ලැබුවේ බ්‍රොව්ස්කි හා ඔහුගේ බාල සෙහොයුරා වු ඩේවිඩ් පමණි.

දෘෂ්ඨික ස්නායුවට අහිතකර ලෙස බලපෑ ජානමය සංකූලතාවක් හේතුවෙන් උපන් ගෙයි දෘශ්‍යාබාධිතයන් ලෙස බිහිවූ බ්‍රොව්ස්කි හා ඩේවිඩ් හට හබ්ද තරංග ආධාරයෙන් වස්තූන්හි පිහිටීම සොයාගත හැකි බැව් පළමුවරට ඒත්තු ගියේ කුඩා ළමුන් ලෙස දිනක් තම පියා ගෙවත්තේ යකඩ ඉනි සිටුවද්දී නැඟෙන රළු ශබ්දය ශ්‍රවණය කරමින් සිටි අවස්ථාවකදීය. ඉනි පොළව තුළට බැස්සවීමට පියා ඊට පහරදෙන විට ඉන් නැඟෙන ශබ්දය, නිවසේ පිටත බිත්ති මත වැදී නිකුත් වන දෝංකාරයට සවන් දෙමින් සිටි බ්‍රොව්ස්කි හා ඩේවිඩ්ට එක්වරම හැඟී ගියේ තමන්ටද එබදු ශබ්දයක් නිකුත් කිරීමට හැකිනම් ඒ ආධාරයෙන් තමන් අවට වන දෑ යම්තාක් දුරකට අවබෝධ කරගත හැකි බවයි.

දිගුකාලීන පුහුණුවීම්වල ප්‍රතිඵලයක් ලෙස ක්‍රමයෙන් තම දිව ආධාරයෙන් දෝංකාරයක් ඇති කිරීමට තරම් ප්‍රබල ශබ්ද නිකුත් කිරීමට බ්‍රොව්ස්කි හා ඩේවිඩ් ඉගෙන ගත්හ. නමුත් අවස්ථාවේ හැටියට ඒ සඳහා උචිත විවිධ ශබ්ද යොදා ගැනීමටද ඔවුන් දක්ෂය. නිදසුනක් ලෙස කෝපි අවන්හලක පෝලිමේ රැඳී සිටින විටදී පෝලිම ඉදිරියට ගමන් කරන වේගය පිළිබඳව හැඟීමක් ලබා ගැනීමට බ්‍රොව්ස්කි භාවිතා කරන්නේ මාරු කාසි අහුරක කාසි එකිනෙක ගැටීමේදි නිකුත් වන ශබ්දයයි. අනෙක් අතට එකිනෙකින් වෙන් කර හඳුනාගත නොහැකි තරම් ඝෝෂාකාරී ලෙස පසුබිමින් ශබ්ද නැඟෙන අවස්ථාවකදී ධ්වනි පරාවර්තනය ඔස්සේ බාහිර පරිසරය හඳුනාගැනීම කළ නොහැක්කකි. කෙසේවුවද පරාවර්තිත ධ්වනි තරංග ආධාරයෙන් ලෝකය අවබෝධ කිරීම වචනයෙන් පවසනවාට වඩා සංකීර්ණ වූ ක්‍රියාවලියකි. එය දීර්ඝකාලීනව ක්‍රමවත් පුහුණුවක් අවශ්‍ය වන්නකි.

නමුත් කිසිසේත්ම අසාමාන්‍ය වූ ශ්‍රවණ හැකියාවක් මත රඳා පවතින්නක් නොවේ. සාමාන්‍ය තත්ත්ව යටතේ සාමාන්‍ය පුද්ගලයන් විසින් නොසලකා හරින සියුම් අංගයන් අවධානයට ගනිමින් වෙනස්ම මානයකින් යුතු ශබ්දයන්ට ප්‍රතිචාර දැක්වීම හරහා හිමිවන්නා වූ විරල දක්ෂතාවකි. එය හුදෙක් දෘශ්‍යාබාධිතභාවයට අනුවර්තනය වීම හරහා හිමි වන්නක්ද නොවේ. මස්තිෂ්ක බාහිකයේ පිහිටි දෘෂ්ඨිය සඳහා ඉවහල් වන්නා වූ කොටස, ධ්වනි පරාවර්තනයට සංවේදී වූවන් වෙනුවෙන් ශබ්ද තරංග හඳුනා ගැනීම සඳහා ක්‍රියාකාරී වන නමුදු එය මස්තිෂ්ක ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද අහඹු සංසිද්ධියක් නොවේ. මන්ද ශරීරයේ සමස්ත ක්‍රියාකාරිත්වය පාලනය කෙරෙනුයේත්, සමායෝජනය කෙරෙනුයේත් එකිනෙකා හා අන්තර් සම්බන්ධතා දක්වන මස්තිෂ්ක බාහික කොටස හරහා වන බැවිනි. ඒවා අතර වන සහසම්බන්ධය තවදුරටත් ශක්තිමත් වන්නේ හෝ කාලයාගේ ඇවෑමෙන් අඩපණව යන්නේ අප විසින් ඒවායේ ක්‍රියාකාරීත්වය භාවිතයට ගන්නා ප්‍රමාණය අනුවය. ලබන පුහුණුවේ තීව්‍රතාව අනුව ප්‍රතිඵල වඩාත් සාර්ථක වන්නේ එබැවිනි.

කුඩා දරුවෙකු ලෙස ජලය තුළ ගල් කැට එකිනෙක හා ගැටීමෙන් පැන නඟින ශබ්දයේ දෝංකාරය ජල තලය හරහා ගොඩබිමට ළඟා වීමට ගන්තා කාලය අනුව වාතයේදීට වඩා ජලය තුළින් ශබ්දය වේගයෙන් ගමන් කරන බව අවබෝධකර ගත් බ්‍රොව්ස්කි අද බටහිර විශ්වවිද්‍යාලයේ පරිඝණක විශේෂඥයෙකි. ඉලෙක්ට්‍රොනික උපාංග ආශ්‍රිතව අත්හදා බැලීම්වලද නිරත වන ඔහුගේ එක් ව්‍යාපෘතියක් වන්නේ අතිධ්වනි තරංග මිනිස් කණට ශ්‍රවණය වන සංඛ්‍යාතයකට පරිවර්තනය කිරීමයි.

අපි බොහෝ දෙනකු ධ්වනි පරාවර්තනය ආධාරයෙන් ලෝකය අවබෝධ කිරීමට නොපෙළඹෙන්නේ කිසිදු විටක ඒ සඳහා උත්සාහා දරා නැති නිසාය. අපගේ සංවේදී ඉන්ද්‍රියයන් ඒවායේ උපරිම ක්‍රියාකාරිත්වයට පත්කිරීමට අප හැමටම ඇත්තේ එක හා සමාන සම්භාවිතාවකි. ඒ ප්‍රබලතාව හඳුනා ගැනීමට සංවේදි ඉන්ද්‍රියන්ගේ එක් සංවේදි ඉන්ද්‍රියක සේවය අහිමිව යෑම කනගාටුවට කරුණක් නොවේ. මන්ද අපගේ සංවේදි ඉන්ද්‍රියන් උපතින්ම තියුණු වන අතර අවශ්‍ය වනුයේ පරිසරයෙන් උකහා ගන්නා පණිවුඩයන්ට පුර්ණ අවධානය යොමු කිරීම පමණක් බව බ්‍රොව්ස්කි කියන්නේය.

[රුක්ලාන්ති පෙරේරා]

News Order: 
8
මාතෘකා