උඩරට විවාහයේ ප්‍රතිලාභ

 ඡායාරූපය:

උඩරට විවාහයේ ප්‍රතිලාභ

“බිරිඳ ඉන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ, ඉක්මනට ගෙදර එන්න කියලා පණිවිඩයක් යවන්න” යැයි මුදියන්සේගේ සමීප මිතුරකු වූ රත්නපුර වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා පවසා ඇති වග මිරැන්ඩා පසුව දැනගෙන තිබිණි. අවමංගල්‍ය කටයුතු සංවිධානය කිරීමේදී කිසිවක් සඳහා මිරැන්ඩා හේමලතාට මැදිහත් වීමට සිදු නොවුණි. සියල්ලම රත්නපුර නීතිඥ සංගමය හා එරත්න ගම්වාසීන් ඉතා වුවමනාවෙන් තම යුතුකමක් සේ සලකා සිදු කරන්නට විය. ඇයට සිදු වූයේ ඇය අකමැති කටයුත්තක් ඔවුන්ගෙන් සිදුවේනම් එයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම පමණකි. ඔවුහු තම හිතෛෂීවන්තයාගේ දේහය සිමෙන්තියෙන් බැඳ තැන්පත් කිරීමට කටයුතු සැලසුම් කළහ. මිරැන්ඩා ඊට එරෙහි වූයේ ඔහුගේ දේහය පොළොවටම පොහොර විය යුතු බව ප්‍රකාශ කරමිනි. මිල්ලපිටිය පරිවෙණාධිපති පූජ්‍ය මඩලගම වජිරබුද්ධි හාමුදුරුවන්ද ඇගේ මතයේ සිටි බැවින් ඇයට ඇගේ මතය ජය ගැනීමට පහසු විය.

මේ වන විට ගම්වාසීන්ගේ දේවත්වයට පත්වූ පුද්ගලයකු බවට මුදියන්සේ පත්ව තිබිණි. දේහයේ අධිකරණ කටයුතු අවසන් වී මල් ශාලාවෙන් රත්නපුර මිරැන්ඩා සහ මුදියන්සේ ජීවත් වූ නිවසේ දින එකහමාරක් තැන්පත් කර පසුව එරත්නේ මුදියන්සේ විවාහයට පෙර ජීවත්ව සිටි ශාලාව ගෙදරට රැගෙන ගියේ අති දුෂ්කර වූ ගමන් මාර්ගය ඔස්සේය. එරත්න ගම්වාසීහු මුදියන්සේව ගමේ වස්තුවක් ලෙස සැලකූ බැවින් එම අති දුෂ්කර මාර්ගයේ දේහය උසුලාගෙන ගියෝය. එම ගමට වාහනයක් ගමන් කළ නොහැකි වූ බැවින් ප්‍රථමයෙන් සැතපුම් තුන් කාලක් පමණ දුරක් කන්දේ අඩි පාරක් ඔස්සේ ගොස් දෙවනුව ඒදණ්ඩකින් එතෙර විය යුතුය. ඒ සඳහා නැඟීමට පඩි කිහිපයක් තිබේ. මුදියන්සේගේ දේහය ගම්මුන්ගේ කර පිටය. දේහය රැගෙන යන ගම්මුන්ට ඔහුගේ බර කිසි ලෙසකින්වත් නොදැනෙන්නේ ඔහුට ඇති භක්තිය නිසාවෙනි. ඒදණ්ඩේ පඩි එකින් එක නඟිද්දී දේහය කෙලින් සිටගෙන සිටින්නාක් මෙනි. එම පඩිපෙළේ හා ඒදණ්ඩේ එකවර එක පේළියකට යා හැක්කේ එක් අයකුට පමණි. මුදියන්සේගේ දේහය උසුලා සිටින්නේ හැඩිදැඩි ගම්මුන් දෙදෙනකු පමණි. එම ජවනිකාව පහත සිටි මිරැන්ඩා බයේ බිරාන්ත වී බලා සිටියේය. ඇයට එකවරම කෑගැසිනි. ඒ දේහය වතුරට වැටෙතැයි බියෙනි. වතුර අඩු තැනකින් ගඟට බැස දේහය ගෙනයෑමට ඇය කොතෙක් කෑ ගැසුවද එම කියන බසට කිසිවෙක් අවනත නොවූහ. ඔවුන්ට එම දුෂ්කර ගමන හුරු සේම මුදියන්සේට ඇති භක්තිය ප්‍රකාශ කිරීමට ඔවුහු බර සැහැල්ලුවක් සේ ගෙන ඉතා භක්තිමත්ව දේහය කර පිටම ශාලාවේ ගෙදරට රැගෙන පැමිණියෝය. ඔවුන් පිටිපස ජන ගඟකි. එකම හිස් ගොඩකි. එම සතිය මුළු ගමේම ශෝක කාලයකි. පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කිරීම් ඇතුළු සියල්ල ගම්මුන් තමන්ගේ වැඩක් ලෙස භාර ගෙන තිබිණි. ඔවුන්ගේ සිතිවිලි අනුව ඔහු අයිති ගමටය.

මිරැන්ඩාගේ ස්වාමිපුරුෂයා විසින් ගමට යෑමට තිබූ ඒදඬු පාලම මීට පෙර අවස්ථාවකදී ප්‍රතිසංස්කරණය කර තිබිණි. ඊට පසු අඩි දෙකහමාරක් පමණ කොන්ක්‍රීට් පාලමක් රජයෙන් දැමූ අතර එය පළමු ගංවතුරටම ගසාගෙන ගොස් තිබේ. ඒදඬු පාලමට නැඟීමට අඩි කිහිපයක පඩි පෙළක් තිබේ. ඔහු ගංවතුරට ඔරොත්තු දෙන ලෙසට ගංවතුර සීමාව බලා එය සකස්කර තිබිණි. පඩි වැඩිවී තිබුණේ එබැවිනි. එම ඒදඬු පාලමෙන් එගොඩ වී දෙදෙනාගේම හිතවත් විශාල ප්‍රභූ පිරිසක් දුෂ්කර වූ ගමනකින් ඔහුට අවසන් ගෞරව දැක්වීමට පැමිණ තිබේ. විනිසුරුවරුන්, නීතිඥයන්, අධ්‍යාපනඥයන්, ගුරුවරුන්, රත්නපුර කුරුවිට ප්‍රදේශවාසීන්, ව්‍යාපාරිකයන්, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලකයන් හා කලාකරුවන් ඇතුළු විශාල ජන ගඟක් ඒ සඳහා සහභාගි වී ඇත. කුඩාවට තිබූ අඩිපාර පැමිණි ජන ගංගාවට පෑගී පළල් වී විශාල පාරක් බවට පත් විය. ශෝක ප්‍රකාශ, විදුලි පණිවිඩ විශාල ප්‍රමාණයකි. මරණ කටයුතු ඉතා චාම් ලෙස ඉටු කරනු ලැබුවේ ඔහු ඉතා චාම් භාවයට ප්‍රිය කළ නිසාවෙනි.

අවමංගල්‍ය කතා පැවැත්වූයේ එකකි. ඒ ඔහුගේ පවුලේ මිත්‍රයකු වූ සරත් මුත්තෙට්ටුවගම විසිනි. මඩලගම වජිරබුද්ධි හාමුදුරුවන් අතින් ශාසනික චාරිත්‍ර ඉටු විය. කවි කොළ, ශෝක ප්‍රකාශ පැමිණි අය අතරේ නොයෙක් සංවිධාන හා ගම්මුන් විසින් බෙදා දී තිබුණි. මුදියන්සේ ඔහුගේ විවාහයත් උත්සවයක් ලෙස නො ගැනීමට තරම් වෙනස් චරිතයක් තිබූ අ‍ෙයකි. එහෙයින් ඔහුගේ මරණයේ ද උත්සව කටයුතු එසේ විය යුතු යැයි පුස්සැල්ල පන්සලේ නායක හාමුදුරුවෝ හා පණ්ඩිත හාමුදුරුවෝ දේශයෛ්දී පැවසූ සේක.

කොතෙක් ජනගංගාවක් මුදියන්සේගේ දේහයට ගෞරව කිරීමට පැමිණියද මිරැන්ඩා තම සැමියාගේ මතක සමග තනි වූවාය. මිරැන්ඩා ප්‍රථමයෙන් එම නිවසට ගිය දිනය ඇයට මතක් විය. ඔහුගේ මවට ඇය දිරිය දියණියක මිස ලේලියක් නො වූවා ය. මෑණියන් ඇයට සැලකුවේ ඇගේ දුවකට මෙනි. එම නිවසේ මිදුලට සිරීපාද කන්ද දිස්වන්නේ ඉතා ආසන්නයේ අලංකාර වය. මිදුලේ අරලිය ගසට බර වී දෙදෙනා සමග සිරිපාදේ කන්ද දෙස බලා සිටිය ද දැන් සිටින්නේ ඇය පමණි. එහෙත් ඔහු ඇය අසලින් ම සිටිනා වග ඇයට දැනුණි. ඇයට මුල් දින කිහිපයේ ම නින්ද ඔච්චම් කරන්නට විය. නින්දත් නොනින්දත් අතර ඇති නින්දක් ක්‍රමික ව ඇයට ලැබුණි. එහෙත් එම නින්ද තුළ දකින්නේ ද මුදියන්සේගේ රුව ම ය. ඔහු සමග වාහනයේ සිනහ වෙවී කතා කරමින් ඇය ගමන් කරයි. ඒ යන විට වාහනයේ කවුළුවෙන් සිරිපාදේ කන්ද දුටු විට නතර වී එය දෙස දෙදෙනා ම බලා සිටින බව ඇයට පෙනෙයි. ක්‍රමයෙන් ඇයට නින්දත් නින්ද ඇතුළේ සිහින පෙළත් කලක් යන තෙක් පෙනෙන්නට විය. කෙසේ නමුත් ඇයට යථාර්ථයට මුහුණ දෙන්නට සිදු විය. ඇය නැවතත් සුපුරුදු දුෂ්කර ගමන සහිත මීපේ රාජකාරි සඳහා පිටත්ව ගියා ය.

මිරැන්ඩාගේ මෑණියන් විසින් නැවතත් ඇයට විවාහ යෝජනා රැගෙන එන්නට විය. එහෙත් ඇය දැඩි මතයක සිටියා ය. ඒ ඇය ඇගේ සුන්දර මතක සමග පමණක්ම සිටීමටය. ඇයට තනිකමක් පාළුවක් නොදැනුනේ ඇය යකඩ ගැහැනියක ලෙස සිත තැන්පත් කරගෙන ජීවිතයට මුහුණ දුන් නිසාවෙනි. ඇයට තනියෙන් ජීවත් වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය තිබුණි. එහෙත් තම ස්වාමිපුරුෂයාගේ අභාවය හේතුවෙන් ඔහුගෙන් ලැබිය යුතු දේපළ කිසිවක් ඇයට නො ලැබුණි. ඒ පිළිබඳව මිරැන්ඩා පවසන්නේ මෙසේ ය.

“මම පොදු නීතිය යටතේ විවාහ වුණේ. දේපළවලට බලපාන්නේ උඩරට විවාහ නීතිය. උඩරට විවාහ නීතිය යටතේ ස්වාමිපුරුෂයා මියගිය පසු ඔහුගේ නමින් නො ලියන ලද සියලු චංචල නො බෙදූ නිශ්චල දේපළ යටත් වෙන්නේ පරාණ භුක්තිය යටතේ යි. එනම් නො ලියන ලද දේපළ අයිති ගෙදර සියලු අයට ය. මට දැන් ඒ දේපළවල මගේ පංගුව ගන්න යන්න පුළුවන්. ඒත් මම කොළඹ ඉඳගෙන එහේ ඒව අරගෙන වැඩක් නැහැනෙ. එතකොට එයාල මගේ කොටස බලන්නෙත් නැහැනේ. මට ඒව බලන්න යන්න වෙලාවකුත් නැහැ. මම ගන්න යන්නේ නැති හින්ද මට අයිතිවෙන්න තියෙන දේපළත් සහෝදර සහෝදරියන්ට අයිති වෙන්න හැරලා මම ඒවායේ ආශාව අත්හැරලා දැම්මා. මම ආදරය කළ පුද්ගලයා නැති වුණාට පස්සේ එයාගේ දේපළ මට වැඩක් නැහැ. ඒ හින්ද මම එයාගේ දේපළ දිහා ඇහැක් ඇරල බලල නෑ.”

මිරැන්ඩා ජීවිතයට තනියෙන් මුහුණ දී ජීවිතය බාධක මැද ජයගෙන වර්තමානයේ එම දේපලළ නොමැති වීම පිළිබඳව පවසන්නේ උපහාසයෙනි. එම උපහාසය තුළ ගැබ්ව ඇත්තේ වර්ථමාන උඩරට විවාහ නීිතිය සම්බන්ධයෙන් දරුණු විවේචනයකි. ඇය ඔහුගේ දේපළවලින් කිසිවක් බලාපොරොත්තු නොවූවත් මේ විවේචනය එම නීති පද්ධතියම පිළිබඳ නැවතත් සිතා බැලීමක් කළ යුතු නොවන්නේද?

“උඩරට විවාහ නීතිය හින්ද මට කුඹුරු තියෙනව හාල් නෑ, තේ වතු තියෙනව, තේ නැහැ. රබර් වතු තියෙනව, රබර් නෑ. හුඟක් දේවල් තියෙනව, මුකුත් නෑ”

මතු සම්බන්ධයි

සකස් කළේ [අනුර දහනායක]

News Order: 
3
මාතෘකා