නාගවිල වැව් රක්ෂිතයේ වන සංහාරයක් : කැපූ දැව ලී මෝලකට හා දර මඩුවකට පටවලා

 ඡායාරූපය:

නාගවිල වැව් රක්ෂිතයේ වන සංහාරයක් : කැපූ දැව ලී මෝලකට හා දර මඩුවකට පටවලා

ජාවාරමට නිලධාරීන්ගේ හා දේශපාලන හයිය

ආණමඩුව, පල්ලම පිහිටි වසර සියයකට වඩා පැරණි නාගවිල වැව අක්කර හැට නවයක වපසරියකින් යුක්තය. මේ වැව් දියෙන් කුඹුරු අක්කර තිස් දෙකක් අස්වද්දන අතර මෙයට අමතරව ගොඩ ගොවිතැන් කරන පිරිසක්ද සිටිති. ප්‍රදේශයේ ජනතාවගේ දෛනික ජල අවශ්‍යතා සඳහාද මෙහි ජලය ප්‍රයෝජනයට ගනී.

පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙම වැව් රක්ෂිතයේ තිබූ දැවැන්ත ගස් විශාල ප්‍රමාණයක් නීති විරෝධී ලෙස කපා විකිණීමේ ජාවාරමක් පිළිබඳ එහි ගිය අපට දැන ගන්නට ලැබිණි.

මෙලෙස කපා දැමූ ගස් අතර මයිල, කදුරු, දමින්න, ගොඩකිරිල්ල, කොහොඹ ඇතුළු වසර හතළිහක් පනහක් පැරණි ගස්ද තිබී ඇත. මේ වන විටත් එලෙස කපා දැමූ ගස්වල කොටස් වැව් රක්ෂිතයේ දක්නට ලැබෙන අතර විශාල ප්‍රමාණයක් දරට විකුණා ඇති බවද හෙළි විය.

මේ දැවැන්ත දැව ජාවාරමට ප්‍රදේශයේ දේශපාලනඥයකු හා ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනකු සම්බන්ධ බව නාගවිල සිරි පැරකුම් ගොවි සංවිධානයේ සභාපති ලයනල් ප්‍රේමරත්න මහතා පැවසීය. දේශපාලනඥයකු සම්බන්ධ වීම නිසා මේ පිළිබඳ නීතියක් හරි හැටි ඉටු කිරීමට පල්ලම පොලිසිය හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපත් නොවී ඇති බවද දැන ගන්නට ලැබිණි. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස නාගවිල සිරි පැරකුම් ගොවි සංවිධානය රජයෙන් ඉල්ලා සිටී.

මේ පිළිබඳ කළ විමසීමේදී නාගවිල ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික සුගත් කහඳවිල මහතා ප්‍රකාශ කළේ ගොවි සංවිධානයේ නිලධාරියකු ලෙස තමන් මේ පිළිබඳ දැනුවත් නොවූ බවයි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සුගත් කහඳවිල මහතා මෙසේ පැවසීය,

“මේ ගස් කපන අවස්ථාවේදී මම ප්‍රදේශය බාර කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරිනියගෙන් විමසා සිටියා, මේ ගස් කපන්නේ ඇයි කියලා. ඇය ඒ අවස්ථාවේදී කිව්වේ මේ ගස් කපා ලැබෙන ආදායමෙන් මාර්ගයක් හදනවා කියලයි. මම ඇහුවා ඉහළින් අවසර ගත්තද කියලා. ඇය එවිට කිව්වා තමන්ට බලය තියෙනවා වැවක ගස් කපන්න කියලා. මේ ගස් දරට විකුණනවා කියල තමයි කීවේ. අප මුලින්ම මේ ගැන පැමිණිලි කළා. නමුත් කවුරුත් බලන්න ආවේ නැහැ.

“පල්ලම පොලිසියේ නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ආවේ ගස් විස්සකට වැඩිය කපලා දැම්මට පස්සෙයි. එතකොට විශාල විනාශයක් කරලා. භාගයකට වැඩිය දැව විකුණලා. ඉහළ නිලධාරීන් පරක්කු වෙලා හරි පැමිණි නිසා ගස් සියල්ල කපන එක තාවකාලිකව නැවතිලා තියනවා. හැබැයි මේ අපරාධය සම්බන්ධව නීතියක් මේ දක්වා ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසා ඉතිරි ගස් කොයි වෙලේ හෝ කපලා දාන්න පුළුවන්.”

මෙලෙස නීතිවිරෝධී ලෙස කපා දැමූ දැවවලින් කොටසක් ප්‍රදේශයේ ලී මෝලකට රැගෙන ගොස් ඇති බවට වාර්තා වී ඇති අතර අනෙක් කොටස ප්‍රදේශයේ දර මඩුවකට විකුණා ඇති බවට තොරතුරු ගොවි සංවිධානයට ලැබී තිබේ.

මේ පිළිබඳ විමසීම සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේ පල්ලම සේරුකැලේ පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත ගියත් මේ ගැන ප්‍රකාශයක් කිරීමට වගකිවයුතු නිලධාරියකු නොමැති බව දැන්වීය. ප්‍රදේශය බාර කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරිනි ලැටිෂියා මහත්මියගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී ප්‍රකාශ කළේ තමන්ට මේ පිළිබඳ කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

නාගවිල පිහිටි මේ වැවේ හා වැව් රක්ෂිතයේ ගස්වල අයිතිය පල්ලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතුව ඇති අතර මේ ගස් කැපීම සඳහා අවසර ලබාගෙන ඇත්දැයි කළ විමසීමේදී පල්ලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී නිමල් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ නාගවිල වැවේ ගස් කැපීමකට අවසර ලබාදී නොමැති බවයි. අවසරයක් ගෙන කපා දැමුවේ නම් දැව රාජ්‍ය දැව සංස්ථාවට බාර දිය යුතු බවද පරිපාලන නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

[ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න]

News Order: 
2
මාතෘකා