මිනිස්කම අදහන දොස්තර මොහමඩ් අජ්වාඩ්

 ඡායාරූපය:

මිනිස්කම අදහන දොස්තර මොහමඩ් අජ්වාඩ්

"එකිනෙකා තේරුම් ගැනීම තුළ සමාජ සම්බන්‍ධතා ඇති වෙනවා. එතකොට සංහිඳියාව කියලා අමුතුවෙන් දෙයක් ඇති කරන්න අවශ්‍ය නොවේවි කියලයි මං හිතන්නේ" යැයි වෛද්‍ය මොහමඩ් බුහාරී මොහමඩ් අජ්වාඩ් කියයි.

මඩකළපුව දිස්තික්කයට අයත් වාලච්චේන, ඕටමාවඩි ගම්මානයේ උපත ලද මොහමඩ් බුහාරී මොහමඩ් අජ්වාඩ් සහ මාතලේ පමුණුව ගමේ උපන් කෝනාර මුදියන්සේලාගේ රුක්මා මෛත්‍රී කුමාරී පමුණුව එකිනෙකා දැන හැඳින ගන්නේ සිය ඔවුන්ගේ රාජකාරී ජීවිතයේ එක්තරා සන්ධිස්ථානයකදීය. ඒ මහනුවර මහ රෝහලේ වාට්ටු භාර වෛද්‍යවරයා ලෙස වෛද්‍ය අජ්වාඩ් කටයුතු කරද්දීය. එම වාට්ටුවේම හෙදියක ලෙස රුක්මා එවකට සේවය කළාය. ඔවුන් කලකදී පෙම්වතුන් බවට පත්ව පසුව ඒ මුහුකුරා ගිය ප්‍රේමයේ ප්‍රතිඵලයක් ලෙසින් යුගදිවියට එළඹෙන්නේ වසර පහකට පමණ පසුවය. අජ්වාඩ් රුක්මා ප්‍රේම කතාව අද ඊයේ නොව වසර තිහකට වඩා ඈතට දිවෙන්නකි. එහෙත් එහි නැවුම් බව නොඅඩුය.

"අපි දෙන්නා විවාහ වෙන්න කලින් අවුරුදු පහක් ආශ්‍රය කළා පෙම්වතුන් විදියට. අපිට ජනවර්ගය ප්‍රශ්නයක් වුණේ නෑ කිසිම වෙලාවක. එකිනෙකා තේරුම් ගැනීම පමණයි අවශ්‍ය වෙන්නේ. අන්‍යොන්‍ය අවබෝධය පමණයි අවශ්‍ය. ජන වර්ගය කුමක් වුවත් ඒක ප්‍රශ්නයක් කරගත යුතු නෑ." වෛද්‍ය මොහමඩ් අජ්වාඩ් කියයි.

වෛද්‍ය අජ්වාඩ් දිවයිනේ විවිධ ප්‍රදේශවල රජයේ රෝහල්වල සේවය කිරීමෙන් ලබා තිබෙන අත්දැකීම් සමුදාය ඉතා විශාල බැව් ඔහු සමඟ කළ කථා බහේදී පැහැදිලි විය.

"මට මුල්ම පත්වීම ලැබුණේ පුත්තලම කල්පිටිය දිසා රෝහලට. අවුරුදු දෙකක් එහේ රාජකාරි කළා. 1986 මඩකළපුව එරාවූර් පර්යන්ත රෝහලට මාරුවීමක් ලැබුණා. එතැන එක අවුරුද්දයි රාජකාරි කළේ. ඊට පසුව මැදවච්චිය දිසා රෝහලට ඩී.එම්.ඕ. (දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි) හැටියට වැඩ බාර ගන්න ලැබුණා. එහිදී රාජකාරී ජීවිතයේ අත්දැකීම් රාශියක් ලැබුවා. වෛද්‍යවරයකු හැටියට රෝගීන්ට ප්‍රතිකාර කිරීම පමණක් නොවෙයි රෝහලේ පරිපාලනය සම්බන්‍ධයෙනුත් පැවැරී තිබුණු වගකීම් ආදියත් නිසා. එතකොට රටේ කලබල ගොඩක් උත්සන්න වෙලා පැවැති අවදියක්. මැදවච්චිය උතුරු පළාතට මායිම්ව තිබීම නිසා සියලුදෙනාම ඒ කාලේ ආරක්ෂක අංශවල දැඩි පරීක්‍ෂාවට ලක්වෙනවා. රෝහලේ කාර්යමණ්ඩලයට කියලා කිසි වෙනසක් නෑ. ඇතැම් වෙලාවට ඒ අය රඳවගන්න අවස්ථාත් තිබෙනවා. ඉතින් මට සිද්ධ වෙනවා හමුදා කඳවුරුවලට, පොලිස් මුරපොළවලට ගිහිල්ලා කරුණු පැහැදිලි කරලා ඒඅය නැවත මුදාගෙන එන්න. ඒ වගේම ඒ කාලේ රටේ පැවති කලබලකාරී තත්වය නිසා අපේ රෝහලේ තිබෙන ගිලන් රථය රාත්‍රියට අනුරාධපුර මහ රෝහලට ගෙන්න ගන්නවා. හදිසියේ රෑට ලෙඩෙකුට අසාධ්‍ය වුණොත් අනුරාධපුරයට යවන්න විදියක් නෑ. ඒ නිසා මට සිද්ධ වුණා රෑට අමාරුවෙයි කියලා සැක හිතෙන ලෙඩ්ඩු හවස අනුරාධපුරයට යන ඇම්බියුලන්ස් එකේ දාලා යවන්න."

විවිධ භාෂා කතා කරන විවිධ ආගම් අදහන ජනයාගෙන් සමන්විත සමාජයේ එක් පිරිසකට පමණක් සේවය කිරීමේ පිළිවෙතක් තමන් තෝරා ගත්තේ නම් එය උතුම් මිනිස් කමට නිගා දෙන්නක් බව වෛද්‍ය අජ්වාඩ් පෙන්වා දෙයි. කල්පිටිය, මැදවච්චිය වැනි රෝහල්වල සේවය කර ස්ථාන මාරුවීම් ලබා පැමිණි අවස්ථාවලදී ඒ ප්‍රදේශවල ජනතාව හඬාවැටෙමින් දුක් වූ අයුරු සිය අතීත මතකය අවදි කරමින් ඔහු පවසන්නේ ඉතාමත් හැඟීම්බරවය.

"කල්පිටිය ඉස්පිරිතාලෙන් මාරුවෙලා එන දවසේ මිනිස්සු ගොඩක් දුක් වුණා. සමහරු ඇඬුවා. මැදවච්වියේ ඉස්පිරිතාලෙත් එහෙමයි. ඒ පළාත්වල මිනිස්සු මට සැලකුවේ තමුන්ගේ නෑදෑයෙකුටත් වඩා ඉහළින්. මමත් මගේ රාජකාරී සීමාවෙන් ඔබ්බට ගිහින් ඒ අයට සේවය කළා ඒ නිසයි ඒ ජනතාව මට ඒ විදියට කෘතගුණ දක්වන්න පෙලඹුණේ කියල මට හිතෙන්නේ. මැදවච්චිය ඉස්පිරිතලෙන් මාරුවිම් ලැබිලා ඊළඟට මට එන්න ලැබුණේ හිඟුරක්ගොඩ දිසා රෝහලට, ඩී.එම්.ඕ හැටියට. මං එනකොට එතන ප්‍රශ්න ගොඩක් තිබුණා. පරිපාලනමය ගැටලු. බොහෝ දේවල් නිරාකරණය කරලා හොඳ මට්ටමකට රෝහල ගේන්න මට පුළුවන්කම ලැබණා. ඒ කාලය වෙද්දි මට කාර් එකක් ගන්න පුළුවන් වුණා. අමාරු ලෙඩෙක්ව ගෙනියන්න තියෙන්නේ පොළොන්නරු මහ රෝහලට. දැන් කාලේ වගේ පහසුකම් තිබුණේ නෑ. සමහර දවසට ඇම්බියුලන්ස් එක නැති වෙලාවක ලෙඩෙකුට අමාරු වුණොත් මගේ කාර් එකෙන් පොළොන්නරුව මහ රෝහලට අරගෙන එනවා." රාජකාරිය දේව කාරියකටත් වඩා ඉහළින් ඉටු කිරීමට වග බලාගත් වෛද්‍ය අජ්වාඩ් මේ වන විට රාජ්‍ය සේවයට ආයුබෝවන් කියා තිබේ. ඔහුගේ ප්‍රිය බිරිය රුක්මාද එලෙසමය. ඇය දැන් පූර්ණකාලීනව ගෘහණියක ලෙස කටයුතු කරයි. දැන් රාජ්‍ය සේවයේ නැතත් වෛද්‍ය අජ්වාඩ් ලෙඩුන් සුවපත් කිරීම අත්හැර නැත. විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළුව තවත් බොහෝ වෛද්‍යවරුන්ගේ සේවය සහ අතුරු වෛද්‍ය සේවාවන් මහජනතාවට ලබා ගතහැකි අංග සම්පූර්ණ වෛද්‍ය මධ්‍යස්ථානයක් පොළොන්නරුව නගරයේ නිර්මාණය කර තිබේ. අජ්වාඩ්, රුක්මා යුවළගේ එකම දියණිය කලීඩා සිය පිය මග යමින් ජීවක පරපුරේ මතු මෙහෙවර සඳහා මේ වන විට අතපොත් තබා සිටින්නීය.

මානව දයාව පෙරදැරිව සමාජ යහපත උදෙසා බොහෝ දේ කළ හැකි බව වෛද්‍ය අජ්වාඩ් අපට උගන්වන පාඩමයි.

[කරුණාරත්න ගමගේ]

News Order: 
5
මාතෘකා