කෙටිකතාව යනු කවරක්ද?

කෙටිකතාව යනු කවරක්ද?

කෙටිකතාව යනු කුමක්ද කියා හඳුනාගත් පුද්ගලයා ජීවත් වීමේ වින්දනය කවරක්දැයි හඳුනා ගත්තකු යයි සිතිය හැක්කේ ඔහු තුළ වින්දනය පිළිබඳ සියුම් නිරික්ෂණ හැකියාවක් ඇති බැවිනි. කලා කෘතියක් යථාර්ථයෙන් විඳ ගැනීමට නම් එම පුද්ගලයා තුළ, ධ්‍යානයට සමවැදිය හැකි විචාර බුද්ධියක් තිබිය යුතුය. මෙවන් හැකියාවක් බෝහෝ දෙනෙකුට නැති අතර ඔවුන් නඟන පැනයකි, කෙටිකතාවෙන් ඇති ඵලය කිම යනු. ඔහු ජීවත් වීමෙන් ඇති ඵලය කුමක්දැයි කියා ඇසීමටද ඉඩ ඇත.

කෙටිකතාවේ අංග නිරීක්ෂණය කරමින් රස විඳිය හැකි අයකුට, සොබා දහම හා බැඳීගෙන ජීවිතයේ සියුම් වින්දනාත්මක අවස්ථා දෙසට තම බුද්ධිමය ආලෝක ධාරාව විහිදා එය පසක් කර ගැනීමෙන් රස විඳිය හැක. මනෝ විද්‍යාත්මකව සලකා බලන කල එබඳු අයකු තුළ ශ්‍රේෂ්ඨභාවයක් ඇත. එවන් අයවලුන් සමාජයට හිතකර පමණක් නොව ඔවුන්ගේ අවබෝධාත්මක දර්ශනයෙන් සමාජ සංහිඳියාවක් ඇති වේ.

සමාජය යහමින් ගොඩනැගෙන්නේ පනවන ලද නීති පද්ධතියෙන් නොව, සාහිත්‍යයෙන්ය කීම ප්‍රඥාගෝචරය. මිනිසා උපතින්ම වින්දනය ලැබීමට පාත්‍ර නිර්මිතයෙකි. එසේ නම් ඔහුට යහමින් විඳගත හැකි උතුම් බවින් යුත් සුඛ වින්දනීය සාහිත්‍යයකි, කෙටිකතාව.

කෙටිකතාව වින්දන පරිචයේ හා සාහිත්‍ය කලාවේ අනේක විධ මනබන්ධනීය සුවඳ වහනය වන පුෂ්පයකි. මෙහි වත්මන් ඇරඹුම් ලක්ෂය ලෙසින් එඩ්ගා ඇලන් පෝගේ කෙටිකතා සැලකෙයි. අනතුරුව ජොෆ්ප්‍රි චෝසර්ගේ කැන්ටබරි ටේල්ස් කෙටිතකා පොත ඉංග්‍රීසි පාඨකයන් අතර මහත් ජනප්‍රියත්වයට පත් විය. පසුව රුසියානු ලේඛකයන් වූ ඇන්ටන් චෙකෝෆ්, මැසියම් ගෝර්කි වැනි ලේඛකයෝ කෙටිකතාවෙන් සමාජ විප්ලවයක් කිරීමට පවා සමත් වූහ. ප්‍රන්ස කෙටිකතාකරු ගී ද මෝපසාන්ගේ 'ද නෙක්ලස්' නමැති නිර්මාණය මහත් ජනප්‍රියත්වයකට පත් විය. මෙය සිංහල භාෂාවට පරිවර්තනය වී ඇත්තේ 'මාලය' නමිනි. ඔස්කා වයිල්ඩ්ගේ The Nightingale and the red Rose කෙටිකතාවද විශ්ව සාහිත්‍යයේ කෘතියකි. මේ නිර්මාණ සිංහල භාෂාවටද පරිවර්තනය වීඇත.

ලාංකික ලේඛකයන්ගෙන්ද හොඳ කෙටිකතා බිහි වී තිබේ. මාර්ටින් වික්‍රමසිංහගෙන් ඇරඹුණ සිංහල කෙටිකතාව තවත් ලේඛකයන් කීප දෙනකුන් විසින් ඉදිරියට ගෙන යන ලදි.

කෙටිකතාව යනු කෙටි කතන්දරයක් නොවේය. කෙටි කතන්දරය පුංචි සිදුවීමක වාර්තාකරණයකි. කෙටිකතාව ගැඹුරු චින්තනය ස්පර්ෂ කරන කලා කෘතියකි. උසස් මට්ටමේ කෙටිකතාවක් කියවා නිම වූ කල එතැනින් එහාට කල්පනා කර බැලීමට කිසිවක් පාඨකයාට ඉතිරි වෙයි. නවකතාව මුහුදේ පාවෙන අයිස් කන්දක් ලෙසින් සැලකේ. එහි උඩින් පෙනෙනවාට වැඩි කොටසක් මුහුදු ජලය යට පවතියි. කෙටිකතාව කෙලෙසින්වත් ඊට අඩු අගයක් ගන්නේ නැත. මෙම කලා කෘතීන් දෙකෙන්ම එක සමානව මිනිස් චිත්ත සන්තානය ආමන්ත්‍රණය කළ හැකිය.

කෙටිකතාවක් ලිවීම නවකතාවක් ලිවීමට වඩා පහසු කටයුක්තක් වන්නේ නැත. ලියන ලද කෙටිකතාවක එක් වාක්‍යයක් හෝ ඉවත් කළ හැකි නම් එය සාර්ථක නිර්මාණයක් නොවේ. එලෙසින්ම ඊට අලුතින් එක් වාක්‍යයක් හෝ එක් කළ යුතුව ඇත්නම් එයද අසාර්ථකය. මින් පෙනී යන්නේ එය එතරම්ම සියුම් වූවක් බවය.

මෙහි සියුම් ගැඹුරු බව නොදත්, කෙටිකතා නිර්මාණය ඉතා සුළුවෙන් සිතන අයට දිය යුතු තවත් පිළිතුරක් ඇත. නිර්මාණ මානසිකත්වයක් (Creative Mood) නැතිව සාර්ථක නිර්මාණයක් බිහි කළ නොහැක යන්නය. නිර්මාණ මානසිකත්වය යන්න කවරක්දැයි කෙටියෙන් විග්‍රහ කළ නොහැක. මේ පිළිබඳව කිව යුක්තේ නිර්මාණකරුවන් බිහි කරගන්නවා නොව ඔවුන් බිහි වෙනවා යන්නයි. එබඳු අයට වුව නිර්මාණ මානසිකත්වය නැති වී යන වේලාවල් ඇත. මේ පිළිබඳව බටහිර නිර්මාණ උපදේශකයන් බොහෝ කොට කථා කර ඇත.

කෙටිකතා පොත් ලෙසින් පමණක් නොව පුවත්පත්, සඟරා මගින්ද ඉදිරිපත් කිරීමෙන් සමාජයට මහත් සේවයක් කළ හැක. එහෙත් ඒවායින් මීට ලැබෙන රුකුල ප්‍රමාණවත්ද!

මේ කරුණු ගැඹුරින් සලකා බලා කෙටිකතා කලාව දියුණු කර සමාජයට මහඟු සේවයක් කිරීමේ කාලය දැන් එළඹ ඇත.

 

මනෝ විද්‍යා ලේඛක [ගාමිණී ලිවේරා]

මාතෘකා