ලතින් ඇමෙරිකාවේ ලේඛිකාවන්ට ඉඩක් ලැබුණේ මෑතකදීයි

 ඡායාරූපය:

ලතින් ඇමෙරිකාවේ ලේඛිකාවන්ට ඉඩක් ලැබුණේ මෑතකදීයි

චිලී - අැමෙරිකානු ලේඛිකා

ඉසබෙල් අයියන්දේ

(මෙම ලිපියේ පළමු -කොටස පසුගිය අගෝස්තු 16 වෙනිදා පළ විය.)

·ඔබේ පුවත්පත් කලා පසුබිම ඔබේ ප්‍රබන්ධකරණයට බලපෑවේ කෙසේද?

හුඟක් ආකාරවලින් බලපෑවා. ලේඛකයෙක් පුවත්පත් කලාවෙන් ප්‍රබන්ධකරණයට අවතීර්ණ වීම හොඳ දෙයක්. මොකද පුවත්පත් කලාව ඔහුට ලියන්න ඕන ආම්පන්න සපයනවා. මම පුවත්පත් කලාවෙන් භාෂාව ඵලදායක ලෙස පාවිච්චි කරන හැටි ඉගෙනගත්තා. විශේෂණ පද තුනක් දානවා වෙනුවට එක හොඳ නාම පදයක් දාන්න ඉගෙනගත්තා. කියන දේ හරියටම, ඍජුව, පැහැදිලිව කියන්න ඉගෙනගත්තා. ඒවගේම ලියද්දි පාඨකයා සිතේ තියාගන්න ඉගෙනගත්තා. වාක්‍ය හයකට යනකොටම පාඨකයා තමාගෙන් ඈත් වෙනවා කියල පුවත්පත් කලාවේදියා දන්නවා. ඒ නිසා ඔහු නිතරම පාඨකයාගේ අවධානය තියාගන්න උත්සාහ ගන්නවා. ඒවගේම එමගින් ඔබ ලියන්න කලින් පර්යේෂණයක නිරත වෙන්න, සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්න -කෙනෙකුගෙන් ඔබට ඕන දේ අරගන්න - ඉගෙනගන්නවා. ඉතින් මේ සියලු දේ ප්‍රබන්ධකරණයේදී හුඟක් වැදගත් වෙනවා. ඒවගේම පුවත්පත් කලාවේදියෙක් වැඩ කරන්නෙ ඩෙඩ්ලයින් එකකට. මමත් ලියද්දි ඩෙඩ්ලයින් එකක් දා නොගත්තොත් මගේ වැඩේ හැමදාටම ප්‍රමාද වේවි. ඉතින් ඒ නිසයි මම ජනවාරි 8 වෙනිදා කතාවක් පටන්ගෙන මුල් පිටපත ඉවර වෙනකන් ලියාගෙන යන්නෙ.

ඔබේ ප්‍රබන්ධයේ ඇතැම් පැති ස්වයංචරිතාපදානාත්මකද?

හුඟක් ස්වයංචරිතාපදානාත්මකයි. මම මුළුමනින් ස්වයංචරිතාපදානාත්මක මතක සටහන් ලියලා තියෙනවා. ඒත් මං හිතනවා මගේ ප්‍රබන්ධවල..... සමහර වෙලාවට පොත පළ වෙලා ඇවිල්ලා කවුරුහරි මේක ඔයාගේ කතාව නේද කියල පෙන්වනකන් මම දන්නෙ නෑ ඒක මගේ කතාවද කියල. උදාහරණයකට ගෝල්ඩ් රෂ් ගැන මං මේ හිතපු කතාව ස්ත්‍රීවාදය ගැන සහ මගේ නිදහස වෙනුවෙන් මා කළ අරගලය ගැන එකක්. එසේ නැත්නම් ..... මගේ කතාවල පහසුවෙන් නොවැටෙන ශක්තිමත් ගැහැනු ඉන්නවා. පියවරුන් නැති ළමයි ඉන්නවා. හේතුව මගේ තාත්තා කවුද කියල මං දන්නෙ නෑ. මගේ කතාවල මගේ ජීවිතයේ හුඟක් දේ තියෙනවා. මගේ හැඟීම්, මගේ භාවාත්මක දේවල් තියෙනවා.

ප්‍රබන්ධයට සහ ප්‍රබන්ධ නොවන කෘතියට ඔබේ ලිවීමේ රටාව වෙනස්ද?

ඔව්. මම ප්‍රබන්ධ ලියන්න වඩා කැමැතියි. මොකද ප්‍රබන්ධයකදි මට ඕන දෙයක් ලිවිය හැකියි. එහිදී මං කරන ඕන දෙයක් මගේ වගකීම තුළයි තියෙන්නෙ. මතක සටහනක් ගත්තොත් මා ගැන පමණක් නෙවෙයි එහි එන්නෙ. එහි මා සමඟ ජීවත් වෙන මිනිසුන්ගේ කතාවත් එනවා. මම වඩාත්ම ආදරය කරන මිනිසුන් ගැන කතාත් එනවා. එතකොට “මං මා ගැන කිව යුතු දේවල් මොනවාද? මං පිට අය ගැන ලිවිය යුතු දේවල් මොනවාද?” කියල මට මගෙන් අහන්න සිදු වෙනවා. මම එහිදී වෙන කාගේ හරි ජීවිතය හෝ පෞද්ගලිකත්වය ආක්‍රමණය කරනවාද? ඉතින් මතක සටහනක් ලියද්දි මට ඒ ගැන හිතේ තියාගෙන ලියන්න වෙනවා. ඒවගේම පොතේ එන හැම කෙනෙකුටම පොත පළ වෙන්න කලින් අත්පිටපත කියවන්න යවන්න සිදු වෙනවා. කොහොම වුණත් එහිදී එක අවස්ථාවක හැරුණාම මට කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා නෑ. මොකද මිනිස්සු සාමාන්‍යයෙන් හරි කාරුණිකයි. ඔවුන් පොතක තමන් එනවා දකින්න හරි කැමතියි. ඒත් ඒක දීර්ඝ සහ හුඟක් සංකීර්ණ ක්‍රියාවලියක්.

ඒවගේම මතක සටහනකදි බොරු කියන්න හුඟක් අමාරුයි. මොකද එහෙම කිව්වොත් කෙනෙකුට තේරෙනවා - ඒත් ප්‍රබන්ධයේදි මට ඕන දෙයක් කියන්න, කරන්න පුළුවන්.

පිරිමි විචාරකයන් ඔබේ කෘති කෙරේ අසාධාරණ විධියට රළු වුණා කියල ඔබට හිතෙනවාද?

මං හිතන්නෙ හැම ලේඛකයකුටම විචාර ලැබෙනවා. මහජනයාගෙන් හොඳ - නරක දෙකේම විචාර ලැබෙන යමක් කරද්දි අපට හැම දෙනාම තෘප්තිමත් කරන්න බෑ. ඒ නිසා මම මට ලැබෙන හොඳ විචාරවලටවත් නරක විචාරවලටවත් වැඩි අවධානයක් යොමු කරන්නෙ නෑ. මම ලියන්නෙ මට ලියන්න සිද්ධ වෙන දේ. ඉතින් මං ඒ ගැන කරදර වෙන්නෙ නෑ.

මේ කාලෙ මගේ රටේ සිද්ධ වෙන හරි බාල දෙයක් තියෙනවා. ඒ කියන්නෙ උදාහරණයකට පාපන්දු ක්‍රීඩකයෙක් හැරුණාම වෙන කෙනෙක් සාර්ථක වුණොත් හැමෝම ඔහු හෝ ඇය එක්ක කුපිත වෙනවා. මොකද ඔහු/ ඇය අනෙක් හැම දෙනාගේම ඔක්සිජන් හෝ අවකාශය හොරා ගන්නවා කියල ඔවුන් හිතනවා. ඒත් සත්‍යය තමයි ලේඛකයෙක් සාර්ථක වෙනවා කියන්නෙ ඔහු පාඨකයන් එකතු කරගන්නවා කියන එක. එහෙම වුණොත් වාසිය තියෙන්නෙ සියලු ලේඛකයන්ටයි. එය හැම ලේඛකයාටම වැදගත් දෙයක්. මොකද එතකොට අප අතර සෑහෙන තරම් ලේඛක පිරිසක් සාර්ථක වෙන්න පුළුවන්.

ලතින් ඇමෙරිකානු සාහිත්‍ය අධ්‍යයනයන් ලේඛිකාවන්ට වඩා ලේඛකයන් කෙරේ අවධානය යොමු කරන්නෙ ඇයි?

හේතුව ලතින් ඇමෙරිකානු සාහිත්‍යයේ ලේඛිකාවන් ඉඩ අවකාශයක් අත්පත් කරගත්තේ මෑතක වීමයි. එහි පොත් ප්‍රකාශනයේ, සංස්කරණයේ, විශ්වවිද්‍යාලවල ඉගැන්වීමේ, විචාරයේ යන හැම තැනකම ඉන්නේ පිරිමියි. එහි ලේඛකයන් සිටියේ .... ක්ලබ් වගේ. යම් ආකාර කිවිඳියක් හෝ ළමා කෘති ලියන කෙනෙක් නොවුණොත් පිළිගැනීමට ලක් නොවන්නා පිරිමින්ගේ සමාජ වගේ. ඊළඟට .... ඉවුම් පිහුම් ගැන පොත්. ඔව්. කාන්තාවන්ට කළ හැකි යැයි පිළිගත්තේ ඒ භූමිකාව විතරයි. වෙන කිසිවක් පිළිගත්තේ නැහැ. ඉතින් අපිව දිගු කාලයක් නිහඬ කරලා තිබුණා. ඒත් අපේ කතුන් ලතින් ඇමෙරිකාවේ සෝර් යුවානා ඉනේස් ඩි ලා ක්‍රෑස්ගේ ඉඳලා ලියමින් ඉන්නවා. ඉතින් එය පුරුෂ මූලික සමාජය කාන්තාවන් නිහඬ කරවන්න කළ කිසියම් කුමන්ත්‍රණයක් වගේ දෙයක්. ඒත් දැන් වන විට ලේඛිකාවන් වඩ වඩා ක්ෂේත්‍රයට එනවා. මොකද දැන් ප්‍රකාශකයන් දන්නවා පිරිමින්ට වඩා ගැහැනු ප්‍රබන්ධ පොත් කියවනවා කියල. ඉතින් දැන් කලින්ට වඩා ලේඛිකාවන්ගේ පොත් ප්‍රකාශනය වී පරිවර්තනය වෙනවා. ඒ අනුව පාඨකයන් අතර ඒ පොත් වඩා ප්‍රසිද්ධයි. ඒත් ඒක මෑතක සිදු වූ දෙයක්.

මම 1982 අවුරුද්දේ The House of the Spirits (‘මායා වාස’) නවකතාව පළ කළාම මිනිස්සු විචාරවලින් කියන්න ගත්තා මම තමයි ලතින් ඇමෙරිකානු පුනරුද සාහිත්‍යයේ එකම ලේඛිකාව කියල. කාන්තාවන් හැමදාමත් ලියනවා. ඒත් කවුරුවත් ඔවුන් ගැන දන්නෙ නෑ.

ඔබේ අලුත් කෘතියෙන් (නවකතාවෙන්) ඔබ හයිටිය ගැන ලියන්න හිතුවේ ඇයි?

මම එය සැලසුම් කළ දෙයක් නෙවෙයි. මම (ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි) නිව් ඕර්ලින්ස් ගැන පර්යේෂණ කරන්න පටන්ගත්තා. මොකද 2003 දි මම මගේ තවත් පොතකට, ‘සෝරෝ’ නවකතාවට එහි ගියා. එහිදී මම එම නගරයට හිතින් බැඳෙන්න වුණා. මේ කියන්නෙ කැත්‍රිනා චණ්ඩ මාරුතය එන්න කලින්. මම ඇත්තටම එහි ප්‍රංශ සුවඳට (පරිසරයට), වූඩූ ආගමට, වීදිවලට, සංගීතයට, ජෑස් සංගීතයට ඇලුම් කළා. අප එහි දකින හැම දෙයක්ම ඇමෙරිකාවේ සෙසු ප්‍රදේශවලට වඩා සෑහෙන වෙනස්. එහි ප්‍රංශ සුවඳින් වැඩිමනක් ආවේ සැන්ටෝ ඩොමින්ගෝ යැයි හැඳින්වූ එදා ප්‍රංශ කොලනියක් වූ, අද හයිටිය කියන ප්‍රදේශයේ ඉතිරි වූ දසදහසක පමණ වහල් සරණාගතයන්ගෙන්. එදා එහි වහල් කරැල්ලක් ඇති වුණා. ඉතිහාසයේ වහලුන් ජයග්‍රහණය කළ එකම කැරැල්ල 18 වෙනි සියවසේ අග සිදු වූ එයයි. කැරැල්ලෙන් පරාජයට පත් වූ සුදු මිනිසුන් ඒ ප්‍රදේශයෙන් පලා ගියා. ඒත් ඔවුන්ගෙන් දසදහසක් දෙනා නිව් ඕර්ලින්ස්වලට ආවා.

ඉතින් මම පර්යේෂණය කරද්දි මට මේ සත්‍ය කතාව අහම්බෙන් මුණගැසුණා. එතකොට මං කල්පනා කළා “ඕ.... එහි සිද්ධ වුණේ මොනවාද කියල මං සොයාගන්න ඕන” කියල. ඉතින් මම හයිටිය ගැන පර්යේෂණ කරන්න පටන්ගත්තා. එතනදි මම මුළුමනින් ඊට ඇදී ගියා. මොකද ඒක එච්චරටම අරුම පුදුම කතාවක්. මම ප්‍රිය කරන හැම දෙයක්ම එහි තිබුණා. ලාලසාව, ප්‍රචණ්ඩත්වය, ක්‍රෑරත්වය. ඒවගේම ධෛර්යය, ආශ්චර්යය, ආධ්‍යාත්මිකත්වය, ස්වභාවික ධර්මය. හැම එකක්ම තිබුණා.

හයිටියේ සහ ඔබේ මව්රට වූ චිලීයේ සිදු වූ භූමිකම්පාවන් ඔබට බලපෑවේ කෙසේද?

හුඟාක් බලපෑවා. මොකද හයිටි භූමිකම්පාව ඇඟ කීරිගස්වන ඛේදවාචකයක්. එහි මරණ ගණන අප සසල කරනවා. ඒවගේම භූමිකම්පාව සිදු වුණේ රටේ දිළින්දන් ජීවත් වූ ප්‍රදේශයේ. රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයක් සහ යටිතල පහසුකමක් නොතිබුණු පැත්තේ. මගේ පුණ්‍යායතන පදනම එවෙලාවේ එහි යම් වැඩ කොටසක් කරමින් සිටියා. ඉතින් අපි එහි කොටසක් ගැන දැනගත්තා. ඒත් දැන් ඒක නිකන් ප්‍රවෘත්තියක් විතරයි. එහිදී හයිටියට ආධාර ගලාගෙන ආවා. ඒත් හයිටි මිනිසුන්ට කවුරුවත් දෙන දේවල් ඕන වුණේ නෑ. ඔවුන්ට ඕන වුණේ ඔවුන්ම ඔවුන්ගේ වැඩ කරගන්න. “මට මාළු අල්ලලා දෙන්න එපා. මට මාළු අල්ලන හැටි කියා දෙන්න.” චිලීයේ තත්ත්වය මීට හුඟාක් වෙනස්. මොකද චිලී කියන්නේ යටිතල පහසුකම් තියෙන, රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයක් තියෙන රටක්. ඒ ගැන කියනවා නම් එහි දූෂණයක් නෑ. නිතරම අපේ ජනයා මේ වගේ විපත්තියකට සූදානම්. මොකද භූමිකම්පා අපේ රටේ හැම නිතරම සිදු වෙනවා. හැම අවුරුදු දහයකටම වරක් වගේ චිලීයේ විශාල භූමිකම්පාවක්, ගංවතුරක්, එහෙම නැත්නම් ඒ වගේ දෙයක් සිදු වෙනවා. එතකොට අවුරුදු හතර පහකට සැරයක් එවැනි දෙයක් සිදු නොවුණොත් මිනිස්සු කලබලයට පත් වෙනවා. අපි හරියට එහෙම දෙයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා වගේ. ඉතින් එහෙම විපතක් සිදු වුණාම මිනිස්සු දන්නවා ක්‍රියාත්මක වෙන විධිය කොහොමද කියල.

දැන් චිලීයේ ගෙවල් දොරවල් නැති දසදහස් ගණන් ජනයා ඉන්නවා. ඔවුනට හැම දේම නැති වෙලා. ඔවුන් ජීවත් වෙන්නේ කූඩාරම්වල. ශීත කාලය ආවාම වහින්න ගන්නවා. එකකොට චිලී රජය පාරවල් හදන්න, පාලම් දහන්න, ඉස්පිරිතාල හදන්න උත්සාහ ගන්නවා. ඊට හුඟ කාලයක්, මුදලක්, ශ්‍රමයක් වැය වෙනවා. ඒත් අපි හයිටියේ දකිනවා වගේ කිසිම අරාජිකත්වයක හැඟීමක් එහි නැහැ.

ඔබේ The House of the Spirits (‘මායා වාස’) නවකතාවත්, තවත් කෘතිත් ඔබ ලියන ලියුම් මත පදනම් කරගත්තේ ඇයි?

මං ලියන දේ පොතේදි ලියුමක් වගේ නොපෙනුණාට මම කල්පනා කරන්නේ ලියුම්වලින්. මොකද මම හැමදාම මගේ අම්මාට ලියනවා. මම අම්මාට අවුරුදු .... මං දන්නෙ නෑ කොච්චරද කියල, අවුරුදු හතළිහක්? ඔව්. එච්චර වගේ කාලයක් තිස්සේ ලියුම් ලියනවා. මට බිත්ති කඩබ් එකක් පිරෙන්න ඇගේ ලියුම් තියෙනවා. අවුරුද්ද අන්තිමේ ඇය මගේ ලියුමුත් මට ආපහු දෙනවා. ඉතින් මේ ලියුම්වලින් මට තියෙන්නෙ දිනපතා සිද්ධි වාර්තා කළ ජීවිතයක්. ඉතින් අපි කුස්සියේ වගේ තැනක ඉඳගෙන අම්මාට ලියනවා කියල හිතාගෙන අම්මාට කතාවක් කියන්න ගැනීම මට හරි පහසුයි සහ ස්වභාවිකයි. “ඕ... දෙයියනේ! මං මේ ලියන දේ පළ වෙනවා, මිලියන ගණන් මිනිස්සු මේක කියවනවා” කියල හිතාගෙන ලියනවාට වඩා ඒක හරි පහසුයි. එහෙම හිතාගෙන ලිවීම මාව බය ගන්වනවා.

ඔබ අම්මාට ලියන්නෙ දවස ආරම්භයේද? දවස අවසානයේද?

ඒක අවස්ථාව අනුව රඳා පවතිනවා. සාමාන්‍යයෙන් මං ලියන්නෙ දවස ආරම්භයේදි. එහිදී මම ඇයට කලින් දවසේ වෙච්ච දේවල් කියනවා. ඒ විධියට දවස පටන්ගනිද්දි මට මූඩ් එකක් ලැබෙනවා. ඉතින් මම උදේ කෝපි එක බොනවා. ගෙයි පිටිපස්සෙ වන්දනාමාන කරන තැනට යනවා. ගිහින් එහි වාඩි වෙලා ඉටිපන්දමක් පත්තු කරනවා. මම පරිගණකය ඔන් කළාට පස්සෙ කරන මුල්ම වැඩේ අම්මාට ලියුම ලිවීමයි.

අද ලියුම් ලිවීම දුලබ වීගෙන යනවා. ඉන් අපට අහිමි වෙලා තියෙන දේ කුමක්ද?

මුලින්ම භාෂාවේ සෞන්දර්යය. අද භාෂාව පත් වෙලා තියෙන්නෙ ..... හැම දෙයක්ම සංක්ෂිප්ත වෙලා. සංකෝචනය වෙලා. භාෂාවෙන් අද කරන්නෙ තොරතුරු කියාපෑම. සමහර විට කිසි වැඩකට නැති තොරතුරු කියාපෑම. ඔබ දවල් කෑමට හැම්බර්ගර් එකක්ය ගත්තෙ කියල මං දැනගත යුත්තේ ඇයි? මොකක්ද ඒකෙ ඇති වැඩේ? ඉතින් අද ට්විටර් කරනවා. බ්ලොග් ලියනවා. ඒ ඔක්කොම හොඳයි. ඒත් යමක් ලස්සනට කැටි කරන හැටි එතන නෑ. භාෂාව හැඟීමක් උපදවන ලෙස පාවිච්චි කරන හැටි එතන නෑ. අද එය නිකන් තොරතුරු පාස් කරන, සමහර විට බොහොම මතුපිට පෙනෙන දේ ඉදිරිපත් කරන දෙයක් වෙලා.

ඉතින් ලියුම් ලිවීම කලාවක්. එහිදී ඔබ ලස්සනට අකුරු ලියන්න ඉගෙනගන්නවා. එහිදී අත්අකුරු පැහැදිලි සහ ලස්සන විය යුතුයි. ලියන කඩදාසිය තේරීමේදී ඔබට.... ලියුම් ලිවීමේදී සමබර සහ ලස්සන වාක්‍යයක් ගොඩනඟන්න ඔබේ මනස ඔබේ අත සමඟ එකට වැඩ කරනවා. මගේ අම්මා අද වෙනකන් ලියන්නෙ එහෙම. ඒත් මට ඒක අද කරන්න බැරි වෙලා. මට දැන් අතින් ලියන්න බෑ.

ඔබ මිත්තනියක වීම ඔබේ ප්‍රබන්ධකරණයට බලපා ඇත්තේ කෙසේද?

මගේ මුනුබුරන් මුල් යොවුන් වියේ හෝ ලොකු වන වියේ සිටිද්දි මම ඔවුන්ට තුන් ඈඳුතු කතාවක් ලිව්වා. ඒත් දැන් මම අභාග්‍යයකට ගෙදර කවුරුත් නැති පාළුවෙන් (Empty nest Syndrome) පීඩා විඳිනවා. මොකද ඒ එක් කෙනෙක් විශ්වවිද්‍යාලෙ ඉගෙනගන්නවා. අනෙකා විශ්වවිද්‍යාලයට යන්න සූදානම් වෙලා ඉන්නවා. ඔවුන් තුන් දෙනා භාවාත්මක වශයෙන් මගෙන් ඈත් වෙලා. ඔවුන් තවදුරටත් මට කැමති නෑ - මමත් ඔවුන්ට වෛර කරනවා. ඒක තමයි ඇත්ත. ඉතින් ඔවුන්

ලොකු මහත් වීම මට හරිම කනගාටුයි. ඒත් ඒ දේ මට ලිවීමට බලපානවා. මොකද හැම වෙලාවේම ඔවුන් මට උගන්වනවා. අද ලෝකයේ සිද්ධ වන දේ මම ඔවුන්ගෙන් ඉගෙනගන්නවා. එසේ නැත්නම් කොහොමද ලෝකය වෙනස් වෙලා තියෙන්නෙ කියල ඉගෙනගන්නවා. ඔවුන් උපදිනකොටම දැනගෙන ආ තාක්ෂණය ගැන මට යාවත්කාලීන දැනුමක් නැහැ.

ඔබ සහ ඔබේ ඇමෙරිකානු මුනුබුරන් අතර ඔබ දකින්නේ මොන වගේ වෙනසක්ද?

අපි අතරේ වෙනසක් තියෙනවා. එක වෙනසක් තමයි මං ආවේ පවුල කියන එක ඉතා වැදගත් වූ තැනකින් වීම. අපි ජීවත් වුණේ ඥාතීන් සමඟ එකට විස්තෘත පවුල් විධියට. අපි නිතරම එකිනෙකා අතර සබඳතා පැවැත්වූවා. මම අම්මාට කථා කරනවා.... මම අම්මාට ලියුම් ලියන්නෙ නැත්නම් හැමදාම ඇයට කථා කරනවා. ඒ විධියට අපි හැම නිතරම එකිනෙකාට සම්මුඛ වෙනවා. ඒක හොඳ නැති වෙන්න පුළුවන්. ඒත් අපි එකිනෙකා හුඟක් තදින් බැඳිලා ඉන්නවා. ඒ බැඳීම (ළමයි හම්බුණා කියල) ඉවර වුණේ නෑ. මොකද ළමයි පාසැල් යනවා. ඒත් මෙහි හිතන්නෙ ඔබ ඔබම ගොඩනැඟෙන කෙනෙක් (සෙල්ෆ් මේඩ් පර්සන් කෙනෙක්) විධියට. මෙහි ඔබ තනි පුද්ගලයෙක් - ඒ තනි ජීවිතය ප්‍රජාවක් ලෙස ඉන්නවාට වඩා හුඟක් වැදගත් වෙලා. ඉතින් මට ඔවුන්ගෙන් පේනවා..... මගේ මුනුබුරන්ට මේ ලතින් පවුලෙන් ඈත් වෙලා යනකන් ඉවසුමක් නැහැ කියල පේනවා.

ඔබ තරුණ ලේඛකයන්ට දෙන්නේ කවර උපදෙසක්ද?

මම කියන්නෙ ලියන්න කියල. ඔබට ක්‍රීඩාවක් කරන්න ඕන නම් ඔබ ඊට පුහුණු වෙනවා. ඔබ හැමදාම පුහුණු වෙනවා. ඔබට තරග කරන්න ඕන නම් ඔබට පුහුණු වෙන්න සිදු වෙනවා. කවුරුවත් ඔබ පුහුණු වෙනවා දකින්නෙ නෑ. කවුරුවත් පුහුණු වීම ගැන එච්චර අවධානය යොමු කරන්නෙ නෑ. ඒත් පුහුණු නොවුණොත් ඔබ ක්‍රීඩාවෙන් තරග වදින්න සූදානම් නැහැ. ලේඛකයකු විධියටත් ඒ වගෙයි. ඔබ හැමදාම ලියලා පුහුණු වෙන්න ඕන. හරියට ලියවෙන හැම පිටුවකටම ඔබට කුණු බක්කියට යැවෙන පිටු 20ක් ලියන්න වෙන්න පුළුවන්. ඒත් ඒකට කමක් නෑ. ඒ ඔබේ පුහුණුවයි.

මාතෘකා