හිසකෙස් අකලට සුදු වීම වළකන ඖෂධීය සත්කාරයක්

 ඡායාරූපය:

හිසකෙස් අකලට සුදු වීම වළකන ඖෂධීය සත්කාරයක්

වර්තමානයේ බොහෝ තරුණ තරුණියන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් ලෙස අකලට හිසකෙස් වැටීම සහ හිසකෙස් සුදුවීම සඳහන් කළ හැකිය. අධික ලෙස හිසකෙස් ගැලවී යෑම නිසා තට්ටය පෑදීමද ඇතැම් තරුණයන් මුහුණ දෙන ගැටලුවකි.

අපට නොපෙනෙන අජීවී ව්‍යූහයක් වන කෙස් ගසෙහි ප්‍රධාන කාර්යය වන්නේ සමට සහ හිස් කබලට ආරක්ෂාව සැපයීමයි. කෙස්ගසේ ස්නායු සංවේද නොමැති අතර එය කෙරටීන් නමැති ප්‍රෝටීනයෙන් සෑදී ඇත. කෙස්ගසේ පහළ කොටසේ කේශ බල්බය පිහිටා ඇත. එය පැපිලියාවට සම්බන්ධව පවතී. ඒ හරහා කෙස් ගසට අවශ්‍ය පෝෂණය ලබාදීම සිදුවේ.

කෙස් වැටීමට බලපාන ප්‍රධාන සාධක අතර ජාන බලපෑම්, හෝර්මෝන බලපෑම්, දේශගුණික බලපෑම්, ස්නායු ආබාධ, රසායනික ෂැම්පු භාවිතය ආදිය වේ. ඒ අතරින් හෝර්මෝන සහ ජාන බලපෑම්වලට රූපලාවණ්‍යගාරයක් තුළදී ප්‍රතිකර්ම සිදුකළ නොහැකි අතර ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගත යුතුය. නමුත් අනෙක් කාරණාවලට බොහෝ විට රූපලාවණ්‍යගාරයකින් ප්‍රතිකාර කළ හැකිය. කෙස්ගසට අවශ්‍ය නිසි පෝෂණය සහ කෙස්ගස් වැඩීමට අවශ්‍ය රුධිර සංසරණ ක්‍රියාවලිය වේගවත් කිරීම තුළින් කෙස්ගස ශක්තිමත් වන අතර අකලට හිසකෙස් හැලී යෑම වැළැක්වීමට එය උපකාරී වේ.

රූපලාවණ්‍යාගාරයක් තුළදී සිදුකරන සත්කාර අතර තෙල් සත්කාරය නැතහොත් Oil treatment මූලික වේ. එම සත්කාරය සඳහා යොදාගන්නා විශේෂිත ඖෂධීය තෙල් වර්ග මඟින් කෙස්ගසේ මුලට පෝෂණය ලබා දෙන අතර එහිදී වැදගත්ම දේ වන්නේ තෙල් ගල්වන ආකාරය සහ හිස් කබලට ලබාදෙන සම්බාහනයයි. කුමන ආකාරයේ නිෂ්පාදනයක් (Oil හෝ Tonic) භාවිත කළද එයින් ඇතැම් විට කිසිදු ප්‍රතිඵලයක් නොලැබෙන්නේ එය නිසි පරිදි හිස් කබලට නොදැමීම හේතුවෙනි. එම නිසා තෙල් සත්කාරය මුල සිටම නිවැරදිව සිදුකළ යුතුය. මෙම ක්‍රමය මාසයක් පමණ අඛණ්ඩව සිදුකළ හොත් කෙස් අකලට සුදුවීම සහ හැලීම නවතා ගත හැකිය. එම නිසා තෙල් සත්කාරයක් නිසි පරිදි සිදුකරන ආකාරය විමසා බලමු.

මුලින්ම හිස හොඳින් ෂැම්පු කර සෝදා පිරිසුදු කරගන්න. හිසකෙස් වියළා ගැනීමට හෙයා ඩ්‍රයර් එකද භාවිත කළ හැකිය. පසුව ඔලිව් තෙල්, පිරිසුදු සුදු පොල්තෙල් හෝ තැඹිලි තෙල් 1:1 අනුපාතයට ගෙන එයට වියළා ගත් නෙල්ලි කුඩු හැන්දක් දමා හොඳින් මිශ්‍රකර බඩල් බොයිල් ක්‍රමයට රත්කර ගන්න. එය නිවුණු පසු විටමින් ඊ කරල් දෙකක්ද එම මිශ්‍රණයට එක්කර හොඳින් මිශ්‍රකර ගන්න. ඉන්පසු තෙල් මිශ්‍රණයේ ගිල්වා ඉතා හොඳින් පොඟවා ගත් පුළුන් කැබැල්ලක් ආධාරයෙන් වියළා ගත් හිස් කබල මත තෙල් ගැල්වීම සිදු කරන්න. කෙස් ගසේ මුලට සහ හිස් කබලේ හොඳින් තෙල් තැවරෙන සේ මෙය කළ යුතුය. ඒ ආකාරයට මුළු හිස් කබල පුරාම සහ හිසකෙස්වල මුල හොඳින් තෙල් ආලේප කරගන්න. ඉන්පසු අත්දෙකෙහි ඇඟිලි තුඩු මඟින් රවුම් ආකාරයට කෙස් ගස මුල සහ හිස් කබල ඉතා සියුම්ව විනාඩි 15ක් පමණ සම්බාහනය කරන්න. මෙම සත්කාරයේ වැදගත්ම කොටස වන්නේ මෙම සම්බාහනයයි. ඊට හේතුව තෙල් වර්ග සහ නෙල්ලිවල ඖෂධීය ගුණය හිසට හොඳින් අවශෝෂණය කරගැනීමට මෙම සම්බාහනය ඉතා වැදගත් වීමයි. මෙය ඉතා ඉවසීමෙන් කළ යුතු අතර එමඟින් කෙස්ගසට අවශ්‍ය රුධිරය හොඳින් ගලා ඒම මෙන්ම සෛල වර්ධනයට අවශ්‍ය පෝෂණය ලැබීම සිදුවේ.

සම්බාහනය කිරීමෙන් පසු උණුසුම් තුවායකින් හිස සම්පූර්ණයෙන්ම ආවරණය කර තබන්න. එමඟින් තෙල් ඉක්මනින් හිස් කබලට උරාගැනීම සිදුවේ. විනාඩි 15කින් පසු උණුසුම් තුවාය ඉවත් කර තවත් විනාඩි 30ක් පමණ තිබෙන්නට හැර සුදුසු සැර නොමැති ෂැම්පු එකක් භාවිත කර සෝදා හරින්න. ඉන්පසු හිසකෙස් ඩයර් කිරීමකින් තොරව ස්වාභාවිකව වියළා ගන්න.

නෙල්ලි කුඩු යනු අකලට හිසකෙස් සුදුවීම වළක්වන ඖෂධීය ගුණ සහිත ද්‍රව්‍යයක් බැවින් මෙම ප්‍රතිකර්මය සතියකට දෙවරක් බැගින් මාසයක් පමණ කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය. විශේෂයෙන් උදේ වරුවේ මෙය සිදුකිරීම වැදගත් වන්නේ මෙම මිශ්‍රණය සිසිල් බවින් යුක්ත වීම නිසා පීනස රෝගය ඇති අයට සවස්වරුවේ කිරීම සුදුසු නොවන නිසාය. මෙම සත්කාර නිවැරදිව අඛණ්ඩව සිදුකිරීමෙන් අකලට හිසකෙස් ගැලවී යෑම සහ සුදුවීම වළක්වා නිරෝගී කෙස් කලඹක් ලබාගැනීමට හැකිවනු ඇත.

කේශාලංකාර සහ රූපලාවණ්‍ය ශිල්පී

[අසංක ප්‍රනාන්දුපුල්ලේ]

ප්‍රින්සස් තැරේජ් බ්‍රයිඩල් ඇන්ඩ් සැලෝන්- දංකොටුව

මාතෘකා