ප්ලාස්ටික් සමග කා, බී අකාලේ මියයන මිනිසුන්

 ඡායාරූපය:

ප්ලාස්ටික් සමග කා, බී අකාලේ මියයන මිනිසුන්

තාක්ෂණයේ දියුණුවත් සමඟ දෛනික ජීවිතයේ බොහෝ දේවල් මිනිසාට පහසු වී තිබේ. එසේ පහසුව සපයන දෑ අතර ප්ලාස්ටික්වලට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. කැඩෙන බිඳෙන බවින් තොර වීම, ගෙනයෑම පහසු වීම, සැහැල්ලු වීම, සුලබ වීම මෙන්ම පිරිසුදු කිරීම පහසු වීම ආදී කරුණු රැසක් නිසා ප්ලාස්ටික් භාවිතයට බොහෝ දෙනෙක් වැඩිපුර නැඹුරු වී සිටිති.

එහෙත් ප්ලාස්ටික්වලින් සිදුවන හානිය පිළිබඳ විමසීමේදී කිවහැක්කේ එය මිනිසා වෙත හොර රහසේ පැමිණෙන නිහඬ මාරයකුට සමාන බවය. ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් ඒකාබද්ධ අධීක්ෂණ වැඩසටහන 2019 වසර වෙනුවෙන් නිකුත් කර ඇති ගෝලීය මූලික වාර්තාව මඟින් හෙළිකර ඇත්තේ ලොව ජීවත්වන පුද්ගලයන් අට දෙනකුගෙන් එක් අයකුට සනීපාරක්ෂක ජලය භාවිත කිරීමේ අවස්ථාව අහිමි බවයි. ඊට මූලික හේතුව පානීය ජලයට ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය මුසුවීමයි. ඒ සම්බන්ධයෙන් කළ පර්යේෂණ සහ විශ්ලේෂණවලින් පසුව පරිසරයේ ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් හා ඒවායින් මිනිස් සෞඛ්‍යයට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව තවදුරටත් තක්සේරු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. එමෙන්ම පරිසරයට සහ මිනිසාගේ සෞඛ්‍ය රැකගැනීමේ අරමුණින් ප්ලාස්ටික් දූෂණය මර්දනය කරන ලෙසද එම සංවිධානය ලෝකවාසී ජනතාවගෙන් ඉල්ලා සිටී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහජන සෞඛ්‍ය, පරිසර හා සමාජ සෞඛ්‍ය නිර්ණායක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය මාරියා නීරා පවසන්නේ පානීය ජලය ඇතුළුව සෑම තැනකම තිබෙන ක්ෂුද්‍ර ප්ලාස්ටික්වලින් මිනිස් සෞඛ්‍යයට සිදුවන බලපෑම පිළිබඳ සියලුදෙනා දැනුවත් විය යුතු බවයි. මේ වන පානීය ජලයේ ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික්වලින් සෞඛ්‍ය අවදානමක් ඇති බව පෙන්නුම් කළද ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයාගත යුතු බවත් ලොව පුරා සිදුවන ප්ලාස්ටික් දූෂණය වැඩිවීම නතර කිරීමට පියවර ගතයුතු බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කරන්නීය.

ජල සුරක්‍ෂිතතාවය සහ ගුණාත්මකභාවය මානව සංවර්ධනයට සහ යහපැවැත්මට මූලික වේ. සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමට සහ දුප්පත්කම අවම කිරීමට වඩාත් ඵලදායී මෙවලමක් වන්නේ ආරක්ෂිත ජලය සඳහා ප්‍රවේශය සැපයීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ජලයෙන් බෝවන රෝග වැළැක්වීම සඳහා ගෝලීය වශයෙන් දරන ප්‍රයත්නයන් අතර ප්ලාස්ටික් නිසා සිදුවන ජල දූෂණය වැළැක්වීම ප්‍රධාන වේ.

ඊට හේතුව ප්ලාස්ටික් යනු නිහඬ ඝාතකයෙක් බව අද ලොව පුරා පිළිගත් මතයක් බවට පත්ව ඇත්තේ ඒ නිසාය. එවැනි පසුබිමක් තුළ වුව මේ වන විට ලොව පුරා ප්ලාස්ටික් වර්ග භාවිතය වැඩි වීමක් මිස අඩුවීමක් දක්නට නොලැබේ. වීදුරු භාණ්ඩ අභිබවා ප්ලාස්ටික් නිෂ්පාදන ජනප‍්‍රිය වීමට හේතුව ඒවා නිෂ්පාදනය සඳහා වැයවන පිරිවැය අවම වීම සහ අමුද්‍රව්‍ය සුලබ වීමය.

එහෙත් නිෂ්පාදනයේදී ප්ලාස්ටික් ලබා දෙන පහසුව අවාසනාවකට මෙන් ප්‍රතිචක්‍රීකරණයේදී ලබා නොදීම ප්ලාස්ටික්වලින් සිදුවන පරිසර දූෂණයට ප්‍රධාන හේතුවයි. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය යනු සරල පහසු කටයුත්තක් නොවේ. පොදුවේ ප්ලාස්ටික් යන පොදු නමින් හැඳින්වුවද මූලද්‍රව්‍යයක් වශයෙන් ගත් කල එහි පවත්නා සංයුතිමය විවිධත්වය නිසාද ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය අපහසු වීමට ප්‍රධාන හේතුවක් වී තිබේ. උදාහරණයක් වශයෙන් එක සමාන ප්ලාස්ටික් බෝතල් දෙකක් සංයුතිය වශයෙන් ගත් කල එකිනෙකට හාත්පසින්ම වෙනස් වීමට ඉඩ තිබේ. ඉන් එකක සංයුතිය පොලිතින් වද්දී අනෙක් එකේ සංයුතිය පී.වී.සී. වීමට ඉඩ තිබේ. එම සංයුතිමය වෙනස ප්‍රතිචක්‍රීකරණයේදී සලකා බැලිය යුතු අත්‍යවශ්‍යම කාරණාවක් වේ. එහෙත් බොහෝ විට ලොව පුරාම අද සිදුවන්නේ එවැනි ප්‍රතිචක්‍රීකරණ ක්‍රම විධි ගැන සොයාබැලීමක් නොව ඔහේ හිතුමතේ ප්‍රතිචක්‍රීකරණය කිරීමක් හෝ ඉවත දැමීමකි.

එවැනි තත්ත්වයක් තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් ඒකාබද්ධ අධීක්ෂණ වැඩසටහන 2019 වසර වෙනුවෙන් නිකුත් කර ඇති ගෝලීය මූලික වාර්තාව තුළින් පානීය ජලයේ ගුණාත්මකභාවයට ක්ෂුද්‍ර ප්ලාස්ටික්වලින් සිදුවන බලපෑම පිළිබඳ විග්‍රහ කර තිබේ. ලොව පුරා පානීය ජල පාරිභෝගිකයන්ට ප්ලාස්ටික් තුළින් ඇතිකරන සෞඛ්‍ය ගැටලු පිළිබඳව එමඟින් අවධානය යොමුකර තිබේ. විෂ්කම්භය මයික්‍රොමීටර 150ට වඩා වැඩි සියලුම අංශු අවශෝෂණය නොවී බඩවැල් හරහා ගමන් කරන අතර බවත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශුවල බලපෑම ඊට වඩා වැඩි බවත් වෛද්‍ය පර්යේෂණවලින් හෙළි වී ඇති කරුණකි. ප්ලාස්ටික්වලින් සිදුවන පරිසර දූෂණය සහ වෙනත් උපද්‍රවයන්ට සාපේක්ෂව පානීය ජලයට ක්ෂුද්‍ර ප්ලාස්ටික් මුසුවීමෙන් සිදුවන හානිය අඩු බවක් වාර්තා වුවද එය නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් දත්ත අනුව වසරකට ලොව පුරා මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් දූෂිත ජලය පානය කිරීමෙන් මියයන බව හෙළිවී තිබේ. එය ලොව පුරා සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අවධානයට ලක්විය යුතු කරුණක් බවත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් මඟින් පානීය ජලය අපිරිසුදු වීමේ අවකාශ වැළැක්විය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයයි.

ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සඳහා වන ක්‍රියාමාර්ග අතර ඒ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බවද එම නිර්දේශ අතර වේ. ඒ සඳහා පානීය ජලය ඇතුළුව ජල චක්‍රයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇතිවීමේ තත්ත්වය හොඳින් අවබෝධ කරගත යුතු අතර අපවිත්‍ර වීමේ ප්‍රභවය පැමිණෙන්නේ කොතැනින්ද? එය පැමිණෙන්නේ ප්‍රභව ජලයෙන්ද? එසේ නම් ප්‍රභව ජලයට ප්ලාස්ටික් යෙදවුම් මොනවාද? ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු ඵලදායී ලෙස ඉවත් කළ හැකි ක්‍රම මොනවාද යන්න හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසන්නේ ක්ෂුද්‍ර ප්ලාස්ටික්වලට නිරාවරණය වීම සහ ඒවා මිනිස් සෞඛ්‍යයට ඇති විය හැකි බලපෑම් පිළිබඳ වඩාත් නිවැරදි තක්සේරුවක් ලබා ගැනීම සඳහා වැඩිදුර පර්යේෂණ අවශ්‍ය බවයි. ජලයේ ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු මැනීම සඳහා තිබෙන සම්මත ක්‍රම සංවර්ධනය කිරීම මෙන්ම මිරිදියෙහි ක්ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රභවයන් සහ සිදුවීම් පිළිබඳ වැඩිදුර අධ්‍යයනය සහ පිළියම්ද ඊට ඇතුළත් වේ.

සාම්ප්‍රදායික පානීය ජලය පිරිපහදු කිරීමෙන් මයික්‍රොමීටරයකට වඩා කුඩා අංශු ඉවත් කළ හැකි වුවද ගෝලීය ජනගහණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ජලය හා අපද්‍රව්‍ය පිරිපහදු කිරීමෙන් ප්‍රතිලාභ නොලබන බවද වාර්තා වේ. කෙසේ වෙතත් තමන් එදිනෙදා භාවිත කරන ප්ලාස්ටික් පිළිබඳ දැනුවත් වීම ප්ලාස්ටික් නම් නිහඬ මාරායාගෙන් ගැලවී සිටීමට උපකාරී වේ.

ජලය පිළිබඳ කතා කිරීමේදී බොහෝ දෙනා ප්ලාස්ටික් වතුර බෝතල් පාවිච්චි කිරීමට පෙලඹී සිටින අතර පාසල් දරුවන් අතර එම භාවිතය ඉතා ඉහළ මට්ටමක පවතී. නමුත් ඒවායේ ප්‍රමිතිය සහ ඒ තුළින් සෞඛ්‍යයට වන හානිය පිළිබඳ වැඩිහිටියන්ට පවා නිසි අවබෝධයක් නැත. නමුත් මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ අධිකාරිය ප්ලාස්ටික් භාණ්ඩ සම්බන්ධයෙන් සම්මත අංකකරණයක් පවත්වාගෙන යන්නේ ප්ලාස්ටික්වලින් සිදුවන සෞඛ්‍ය අවදානම මනාව හඳුනාගෙන තිබෙන නිසාය. මෙම සම්මත අංකකරණය පිළිබඳ ශ්‍රී ලාංකිකයන්ට එතරම් විශාල දැනුමක් නැති වුවද තමන් මිලදී ගන්නා ප්ලාස්ටික් භාණ්ඩය අදාළ අවශ්‍යතාව සඳහා පාවිචිචි කිරීමට සුදුසු ප‍්‍රමිතියකින් යුක්තදැයි දැනගැනීමට එම අංක කරණය තුළින් හැකියාව ලැබේ. එබැවින් ඒ පිළිබඳ දැනුවත් වීම ප්ලාස්ටික් භාවිත කරන ඕනෑම අයකුට වැදගත් වේ.

ප්ලාස්ටික් නිෂ්පාදනයක ත්‍රිකෝණයක් ලෙසින් ඇති ඊතල තුනක් මැද ඇති අංකය තුළින් පෙන්වා දෙන්නේ එහි ප‍්‍රමිතියයි. එමෙන්ම එය කල් ඉකුත් වන දිනයද එහි සටහන් වේ. එම ප්‍රමිතිකරණ අංක පිළිබඳ මෙසේ සඳහන් කළ හැකිය.

අංක 1 PET වතුර -

බීම සහ තෙල් බෝතල් වර්ග

අංක 2 HOEP විනාකිරි බෝතල් - ආහාර දමන බඳුන් වර්ග

අංක 3 බෝතල් මූඩි -

ආහාර බඳුන් වර්ග

අංක 4 බෝතල් මූඩි -

බීම බට, යෝගට් කෝප්ප

අංක 5 පිඟන් -

කෝප්ප වර්ග හැඳි සහ ගෑරුප්පු

අංක 7 විවිධ රසායනික සංයෝග

ඒ අනුව අංක 1 යටතේ ඇති වතුර බෝතල් එක් වරකට වඩා පාවිච්චි කිරීම සුදුසු නැත. ඒවා නැවත නැවත පාවිච්චි කිරීමෙන් සිදුවන්නේ ඒවායේ සංයුතිය බිඳී විස සහිත රසායනික කොටස් ශරීරගත වීමයි. ප්ලාස්ටිසයිසීස් හෙවත් ටොක්සිනස් නමින් හැඳින්වන මෙම විසකාරක

අනුපිළිකාකාරකයක් වශයෙන්ද හඳුනාගෙන ඇත. මයික්‍රෝවේව් උදුනකට දමන ප්ලාස්ටික් බඳුනක් ඊට අදාල ප්‍රමිතියෙන් නිෂ්පාදිත තත්ත්වයේ නොතිබුණහොත් එය පිළිකා අවදානමට හේතුවක් විය හැකිය. එමෙන්ම කල් ඉකුත් වූ ප්ලාස්ටික් භාවිතය හේතුවෙන් ශරීරගත වන ඩයොක්සීන්, පැලේටීන්, ඇඩිපේටීස්, බිප්සිනෝල් වැනි විස අකල් මරණ, ශරීර අවයව විකෘති වීම, පිළිකා ආසාදන මෙන්ම හෘද රෝගවලද හේතුවක් විය හැකිය.

උතුරුවා මඳක් නිවාගත් ජලය ප්ලාස්ටික් බෝතල්වලට වතුර දැමීම අයහපත් ප්‍රතිවිපාක ඇතිකළ හැකි බව බොහෝ මවුවරු නොදන්නා කරුණකි. එමෙන්ම ඇතැම් ප්ලාස්ටික් වතුර බෝතල් සබන් හෝ වෙනත් එවැනි පිරිසුදුකාරකවලින් සේදීමද අනාගතයේදී පිළිකාවක් වැලඳගැනීමට හේතුවන්නක් විය හැකිය. ඊට හේතුව සබන් සහ පිරිසුදුකාරකවල ඇති සංඝටක නිසා ඇතැම් විට ප්ලාස්ටික් සංයුතියේ ලිහිල් වීමක් සිදුවිය හැකිවීමය.

එමෙන්ම ප්ලාස්ටික් නිෂ්පාදන අවස්ථාවේ සිට පරිභෝජනය දක්වා ගතවන කාලයද ප්ලාස්ටික් මිනිස් සිරුරට අහිතකර වීමට බලපාන තවත් එක් හේතුවකි. ඊට හේතුව බොහෝ විට ප්ලාස්ටික් නිෂ්පාදනයක් වෙළෙඳපොළට පැමිණෙන්නේ ඒවා කර්මාන්තශාලාව තුළ ගබඩා කොට තබා කලක් ගත වීමෙන් පසුවය. එමෙන්ම වෙළෙඳපොළට පැමිණි සැණින් ඒවා අලෙවි වන්නේද නැත. අප නිතර දකින ආකාරයට වෙළෙඳපොළේ බොහෝ විට ප්ලාස්ටික් භාණ්ඩ විකිණීමට තබා ඇත්තේ හිරු රශ්මිය වැටෙන තැන්වල මෙන්ම දුහුවිල්ලට නිරාවරණය වන අවිධිමත් ආකාරයටය. සාමාන්‍යයෙන් මෙවැනි දේවල් පාරිභෝගිකයාගේ අවධානයට ලක්නොවන දේවල්ය. නමුත් ඉන් වන බලපෑම ඉතා ඉහළය. එබැවින් අනාගත පරපුර ප්ලාස්ටික් මාරායාගෙන් බේරා ගැනීම සඳහා ඉහත කී සම්මත ප්‍රමිතිකරණ අංක පිළිබඳ සහ කල් ඉකුත්වීමේ දිනය පිළිබඳ සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා