අක්කා බෑ කිවුවාම මං හා කිවුවා අවුරුදු පහළොවේදී දීග ගිය හිතුවක්කාර ජේන් අම්මා

 ඡායාරූපය:

අක්කා බෑ කිවුවාම මං හා කිවුවා අවුරුදු පහළොවේදී දීග ගිය හිතුවක්කාර ජේන් අම්මා

මගේ ගම ජාඇල දෙහියගාත. ඒ ගම තරම් ලස්සන ගමක් ඒ දවස්වල තවත් තිබුණාද කියලා හිතෙනවා. දං, කජු, බෝවිටියා, පලු මේ සියලු දේ එදා මගේ ගමේ තිබුණා. මේක කියවන අද ඇත්තෝ මට හිනා වෙයි. මොකද අද මේවා නැහැනේ." ලියනගේ ජේන් පෙරේරා මාතාව අතීත ගමක සුන්දරත්වය වචනවලින් සිත්තම් කරන්නට වෙර දරමින් පැවසුවාය.

ගමෙහි නමත්, ඇගේ වචනත් සමඟ ගී පදවැලක්ද මධුර කටහඬක්ද නිරායාසයෙන්ම සිහියට නැඟිණි.

"බෝවිටියා දං පලුකං වාරේ මේ නොවැ පොඩි නංගෝ

කුරුඳු කැලේ සුදු වැල්ලේ මාදං වැහි වහැලා....නංගෝ"

"දෙහියගාත කියන්නෙ සුනිල් සාන්ත මාස්ටර්ගෙ ගම නේද?" මට එක් වරම කියැවිණි.

"නැතුව! ඒ මහත්තයා හිටියානම් අද මගේම වයසේ..." ජේන් මාතාව පැවසුවේ ආඩම්බරයෙනි. රටක් බුහුමන් කරන මහා කලාකරුවකු සිය ගම්පියසේ කෙනෙකු වීමේ අභිමානයත්, ඔහු තම සම වයසේ කෙනෙකු වීමේ සතුටත් ඒ වචනවල තැවරී තිබිණි.

වැඩිහිටි හැදුනුම්පතට අනුව නම්, ජේන් පෙරේරා මාතාව සුනිල් සාන්තයන්ට වසර දෙකකින් බාලය. එහෙත් පල්ලියේ පොතේ ඇත්තේ තමා 1915 ක්‍රිස්තියානි කර ඇති බව යැයි ජේන් පෙරේරා මාතාව මා සමග කීවාය. එසේ නම් සුනිල් සාන්තයන් හා ජේන් මාතාව සම වයසේය.

පල්ලියේ පොත

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරුවලට අනුව එම බල ප්‍රදේශයේ වර්තමානයේ ජීවත්වන වයස අවුරුදු සියය ඉක්මවූ එකම ජ්‍යෙෂ්ඨ පුරවැසියා ජේන් පෙරේරා මාතාවයි. ඇයගේ වැඩිහිටි හැදුනුම්පතෙහි ඇගේ උපන් දිනය ලෙස සඳහන්ව ඇත්තේ 1917 වර්ෂයේ පෙබරවාරි මස 17 වැනිදාය. එහෙත් ඇය කියන්නේ ඇයට වයස අවුරුදු 104 ක් බවයි. "මම එහෙම කියන්නේ මාව ක්‍රිස්තියානි කරලා තියෙන්නේ 1915 නිසයි. පල්ලියේ පොත බැලුවා නම් ඒක දැනගන්න පුළුවන්. පල්ලියේ පොතේ බොරු ලියන්නේ නැහැනේ." ඇය පැවසුවාය. ක්‍රිස්තියානි කිරීම යනු දරුවෙකු හෝ යම්කිසි පුද්ගලයෙකු කතෝලිකයෙකු ලෙස නම් කිරීමයි. බෞතිස්ම කිරීම ලෙසද මෙය හදුන්වයි. මෙය වර්තමානයේ සාමාන්‍යයෙන් සිදුවන්නේ දරුවෙකු උපත ලබා මාසයක කාලයක් ගතවූ පසුවය.

සිප් සතර

ජේමිස් පෙරේරා මහතාට හා තෙරේසා පෙරේරා මහත්මියට දාව උපත ලැබූ සිව්වන දරුවා ජේන් මාතාවයි. "අම්මා තාත්තා එක්ක අපේ පවුලේ ඔක්කොම දහයයි. මට වැඩිමල් තෝමස් පෙරේරා දෙවනියා ඇගිලින්, තුන්වෙනියා පීටර් ඊළගට මට බාල ඇලිස්, ලුසී, මතෙව්ස්, ස්ටීවන්. දැන් මේ දහයෙන් නව දෙනෙක්ම නැහැ. ඉන්නේ මම විතරයි."

ජේම්ස් පෙරේරා මහතා දෙහියගාත ප්‍රදේශයේ වෙළද සැලක් පවත්වාගෙන ගොස් ඇති අතර මෙහි වෙළෙඳාම ජයට තිබී ඇත. මෙහි වෙළෙඳාම් කිරීම සදහා බඩු බාහිරාදිය ගෙනවිත් ඇත්තේ කොළඹිනි. "ඒ දවස්වල අපිට කරත්ත දෙකක් තිබුණා. මේ කරත්ත දෙකෙන් තමයි හැම ගමනක්ම ගියේ. කොළඹ ගිහින් කඩේට උවමනා බඩු ගෙනාවෙත් මේ කරත්ත දෙකෙන් තමයි. කරත්ත පාරවල් මිසක් තාර පාරවල් ඒ දවස්වල තිබුණෙ නැහැ."

ජේන් මාතාව අධ්‍යාපනය ලබා ඇත්තේ දෙහියගාත ප්‍රදේශයේ එවකට තිබූ කන්‍යාරාමයකිනි. "මම ඉගනගත්තේ මඩමේ ඉස්කෝලෙන්. පහට වෙනකම් ගියා පහෙන් මාව ෆේල් කළා. මොකද මට අකුරු බැහැ කියලා. ඒ දවස්වල මට ඉගෙනගන්න කිසි උවමනාවක් තිබුණෙ නැහැ. ඉස්කෝලේ ගියත් ඔහේ ඉන්නවා. ගෙදර ඇවිල්ලා අද කාලේ ළමයි වගේ පාඩම් කරනවා තියා ඒ ගැන හිතුවෙත් නැහැ. ඒ නිසා අකුරු බැරිව තමයි පහට වෙනකම් ගියේ. එතනින් එහාට මට යන්න දුන්නේ නැහැ. ඊට පස්සේ මම හරි සතුටින් ගෙදර නැවතුණා. ඊට පස්සේ පැදුරු වියන්න ඉගෙන ගත්තා එච්චර තමයි මුළු ජීවිත කාලයටම ඉගෙන ගත්තේ."

'අක්කාට ගෙන්වා නංගි දීම'

'නංගි පෙන්වා අක්කා දීම වගේ' කියා කතාවක් අතීතයේ තිබුණි. එහෙත් මේ කතාවෙන් කියැවෙන්නේ එහි අනිත් පැත්තයි. ජේන් මාතාවගේ වැඩිමහල් සහෝදරියට පමුණුගම කැපුන්ගොඩ ප්‍රදේශයෙන් මගුලක් කතා කර තිබේ. කපුවෙකු විසින් මේ මගුල කතා කර ඇති අතර නියම කර ගත් පරිදි මනමාලිය බැලීම සදහා මනමාලයා නිවසට පැමිණ තිබේ. මීට වසර අසූ ගණනකට එහා සිදු වූ ඒ රසවත් සිදුවීම ජේන් මාතාව විස්තර කළේ හිනැහෙමිනි. "මේ මඟුල කතා කළේ පමුණුගම රා මදින්නෙක්. මේ කපුකමට අපි රුපියල් පහක් දෙන්න ඕනෑ. ඒ දවස්වලත් ගැහැනු ළමයෙක් විවාහ කරලා දෙන එක ලේසි නැහැ. ඒක දෙමාපියන්ට බරක්. ඉතින්... කපුවා එක්ක කතා කර ගත් විදියට මනමාලයා අක්කා බලන්න අවා. මේ වෙද්දී අක්කට ලස්සන ඇදුමක් මහලා තිබුණා අදින්න. නමුත් අක්කා මේ ඇඳුම අඳින්නේ නැතුව හිටියා. අන්තිමට එයා කීවා එයාට මනමාලයෙක් ඕන නැහැ කියලා. ඇඳුම ඇඳගෙන පොඩ්ඩක් එළියට ඇවිල්ලා යන්න කිව්වට කැමති වුණේම නැහැ. දැන් අම්මයි තාත්තයි හොදටම අසරණ වෙලා. සංග්‍රහයත් ඉවර වුණා. කපු මහත්තයා දෙපාරක් කීවා 'ආ එහෙනම් ළමයට එන්න කියමුකෝ' කියලා. බැරිම තැන අම්මා මගෙන් ඇහුවා උඹට බැරිද පුතේ මේ ඇඳුම ඇඳගෙන ඉස්සරහට යන්න කියලා. මම එක පයින් කැමති වුණා. මම විනාඩි දෙකෙන් ඒ ඇඳුම ඇඳගෙන මනමාලයා ඉස්සරහට ගියා. මට මතක විදිහට මට එතකොට යන්තම් අවුරුදු පහළොව ලැබුවා විතරයි. මනමාලයා මාව දැකලා එක පයින් කැමති වුණා. එදාම දිනත් නියම වුණා . ඔන්න ඔහොම තමයි මගේ මගුල සිද්ධ වුණේ!"

ජේන් මාතාව විවාහ වූයේ පමුණුගම, කැපුන්ගොඩ ග්‍රාමයේ ජීවත් වූ මුතු පෝරුතොටගේ සෙබස්තියන් පෙරේරා සමඟය. සෙබස්තියන් මහතා මුහුදේ මෙන්ම කලපුවේද රැකියාව කළ ධීවරයෙකි.

මුහුද බැලූ හැටි

විවාහ වූ දවසේ සිදු වූ තවත් රසවත් සිදුවීමක්ද ඈ විස්තර කළාය. "අපේ ගෙදර ඉදලා කැපුන්ගොඩට මාව කැන්දන් ආවේ කරත්තෙන්. ඒ එද්දී මම මුහුද දැක්කා. මම මහත්තයාගෙන් ඇහුවා මුහුද ගැන. නමුත් එයා කිව්වේ නැහැ.

අද වගේ නෙමෙයි ලොකු මුහුදු වෙරළක් එදා තිබුණා. හරිම ලස්සනයි. ඒ දවස්වල මුහුද ළගට ගියාම එන්න හිතෙන්නේ නැහැ. මම මහත්තයට කිව්වා අපි මුහුදට පොඩ්ඩක් ගිහින් එමු කියලා. නමුත් එයා එකට කැමති වුණේ නැහැ. මම කරත්තෙදීම තීරණය කළා තනියම මුහුද බලන්න ඕනෑ කියලා. ගෙදරට ගිය ගමන් මම කළේ ඇඳුම් මාරු කරගෙන මුහුදු වෙරළට ගිය එකයි. මම කිසි කෙනෙකුට මුහුදු වෙරළට යනවා කියලා කිව්වේ නැහැ. මොකද, යන්න දෙන්නේ නැති වෙයි කියලා. ගෙදර අය හොඳටම බය වෙලා ගම පුරා හොයලා පැයකට විතර පස්සේ තමයි මාව හොයා ගත්තේ."

ඇගේ මේ තනි තීරණ ගැනීමේ ජන්ම ගතිය වයස අවුරුදු සියය ඉක්මවා තිබුණත් අදටත් ඉතිරිව තිබේ. මීට මාස නවයකට පමණ පෙර ඈ එක් තැන් වන්න්නේද ඒ හේතුවෙනි. ඈ එය විස්තර කළේ මෙලෙසයි. "මම කවදත් කවුරුත් කියපු දේ අහපු කෙනෙක් නෙමෙයි. අද මම මේ එකතැනකට වැටුණෙත් ඒ නිසා තමයි. ලලිතා දුව කීවා මට එහෙ මෙහෙ දුවන්න එපා කියලා. මම ඇහුවේ නැතිව එහෙ මෙහෙ ගිය නිසා තමයි මාව වැටුණේ. වැටුණට පස්සේ තමයි තේරුම් ගියේ ළමිස්සි කාලේ කරපු දේවල් දැන් කරන්න අමාරුයි කියලා. වැටෙන්න ඉස්සරලා මම පල්ලිත් ගියා. එකතැන් වුණා කිව්වට මට උත්සාහ කළොත් ඇවිදින්න පුළුවන්."

රත්තරන් ලේලි

ජේන් පෙරේරා මාතාවට දරුවන් තිදෙනෙකි. ඔවුන් තිදෙනාම පිරිමි දරුවන් වන අතර සිරිල් පෙරේරා පවුලේ වැඩිමලාය. පොලිස් දෙපාර්තුමේන්තුවේ සේවය කළ ඔහු පසුව සිය පියාගේ රැකියාව කර ඇත. මේ වන විට ඔහු ස්වර්ගස්ථ වී වසර පහළොවකි. මේ පවුලේ දෙවනියා වන්නේ ඇලෝසියස් පෙරේරාය. කොළඹ සාන්ත පීටර් විදුහලේ සේවය කළ ඔහු ස්වර්ගස්ථ වී මේ වන විට වසර දහයකි. මේ පවුලේ බඩපිස්සා වූ ඇන්ටනි පෙරේරා විදේශ රටක ජීවත්ව සිට ඇති අතර මේ වන විට ස්ථිර තොරතුරක් නොමැත.

"මට ලොකු දුකක් තියනවා මගේ දරුවෝ ඔක්කොම මේ වෙන කොට මාව දාලා ගිහින්. මට ඉතිරි වෙලා ඉන්නේ එක ලේලියක් විතරයි. ඒ තමයි ලලිතා. එයා දෙවැනි පුතාගේ බිරිඳ. එයා මගේ දුවම තමයි. එයා මේ ගෙදරට ආවේ අවුරුදු 23න්. දැන් එයාට අවුරුදු 73 යි. අවුරුදු 50ක් එයා මාව බලාගෙන තියනවා. එයාට දූලා තුන්දෙනෙකුයි පුතෙකුයි ඉන්නවා. එයාට පුළුවන් ඒ තැනකට ගිහින් සතුටින් ඉන්න. නමුත් එයා මාව දාලා කොහෙවත් යන්නේ නැහැ. අද තමන්ගේ දරුවා අම්මව, තාත්තව මහළු මඩමට දාන කාලේ මේ ලේලි ඇත්තටම රත්තරන්. මම ගැන නෙමෙයි එයා ගැන ලියන්න" ජේන් මාතාව ඇසට කඳුළක් නඟාගනිමින් පැවසුවාය.

මේ රත්තරන් ලේලිය වන්නේ මීගමුව කටුවපිටියේ උපන් මොරින් ලලිතා කෘස් මහත්මියයි. දරුවන් සිවු දෙනෙකුගේ මවක වන ලලිතා මහත්මියද මේ වන විට සිටින්නේ රෝගාතුරවයි. කෙතරම් රෝගීව සිටියත් ඇය ඇගේ යුතුකම් තවමත් ඉටු කරයි. ඇගේ රෝගී තත්ත්වය අනුව නිදහසේ කාලය ගත කළ යුතු බවට වෛද්‍යවරුද උපදෙස් දී ඇත.

"මම මේ දේවල් කරන්නේ මගේ අම්මට කරනවා වගේ. තාමත් මගේ අතින් උයන කෑම තමයි මම නැන්දම්මට දෙන්නේ. මට හදවත ඉදීමෙන රෝගයක් තියෙනවා. ඒ වගේම මට අවිදින්න බැහැ, දණහිස් ගෙවිලා. නමුත් මම තවමත්, මට පුළුවන් තරමින් නැන්දම්මට සලකනවා."

නැන්දලා ලේලිලාගේ සම්බන්ධය ගැන ජන විඥානයෙහි ඇත්තේ නරක චිත්‍රයකි. මේ නැන්දලා ලේලිලා එය මකා දමා අලුත් සිතුවමක් ඇඳ තිබේ. එය කෙතරම් අපූරුද?

[ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න]

මාතෘකා