ලෝකයේ ප්‍රථම 5G හෝටලය

 ඡායාරූපය:

ලෝකයේ ප්‍රථම 5G හෝටලය

OPPO අඩි 40 කන්ටේනරයක් හෝටලයක් බවට පත්කරයි

ඔබ නවීනතම තාක්ෂණය හඹා යන්නෙකු වුවත් සංචාරයකදී සහනදායී ගාස්තුවකට සිතේ සැහැල්ලුව සලසන නවාතැනක් සොයන සංචාරකයෙකු වුවත් ඔස්ට්‍රේලියාවේ 5G හෝටලය ඔබට අගනා වටිනා විසඳුමක් වනු නොඅනුමානය.

5G තාක්ෂණයේ විශ්මිත හැකියාවෙන් බිඳක් ලොවට ප්‍රදර්ශනය කිරීම සඳහා OPPO Australia සමාගම ලොව ප්‍රථම 5G තාක්ෂණය සහිත ජංගම හෝටලය නිර්මාණය කර තිබේ. මෙම හෝටලය මුළුමනින්ම OPPO Reno දුරකථනය මගින් බලය ලබන අතර අති නවීන 5G තාක්ෂණික අංගවලින් සමන්විතය. ඉදිරි මාස කිහිපයේදී ඔස්ට්‍රේලියාවේ Gold Coast හි Home of the Arts (HOTA) හි සිට එය ඕස්ටේ‍්‍රලියාව පුරා 5G ආවරණය සහිත ස්ථාන වෙත සංචාරය කරනු ඇත.

මෙම 5G හෝටලයේ ඇති සුවිශේෂී අංග අතරින් සමහරක්ම මෙසේය.

Smart Mirror -

Smart Mirror සංකල්පය

යනු ඉතාමත් සුවිශේෂී තාක්ෂණයකි. මෙහිදී කෙනෙකුට තම ස්මාර්ට් උපාංගය Smart Mirror එක සමග සම්බන්ධ කිරීමෙන් නවතම පුවත් නැරඹීම, කොටස් වෙළෙඳපළ තොරතුරු ලබාගැනීම, පුවත්පත් කියවීම, චිත්‍රපට නැරඹීම ආදිය මෙන්ම හොඳම සෙල්ෆි ඡායාරූප සඳහා නිසි ආලෝකය ලබාගැනීම ඇතුළු ප්‍රයෝජන රාශියක් ලබාගත හැකි වේ.

වීඩියෝ ක්‍රීඩා

හෝටලයේ 5G Game Suite හිදී අමුත්තන්ට ඉහළම තලයේ වීඩියෝ ක්‍රීඩා තම සිතැඟි පරිදි ක්‍රීඩා කළ හැකි වේ. මෙහිදී අවශ්‍ය නම් කෙනෙකුට තම පුද්ගලික පරිගණකය භාවිතා කළ හැකි අතර නැතිනම් තම 5G දුරකථනය ඔස්සේ වීඩියෝ ක්‍රීඩා පුස්තකාලය සමග සම්බන්ධ වී ඕනෑම තැනකසිට ක්‍රීඩා කළ හැක.

හඬ මගින් පාලනය

හෝටලයේ Reno 5G උපාංගය Google Home Hub සමග සම්බන්ධ වී ඇති අතර Smart-Home විශේෂාංග රාශියක්ද ලබාදෙයි. එමගින් අමුත්තන්ට විදුලි පහන් දැල්වීම, YouTube Music වෙතින් තමන් කැමති ගීත වාදනය කරවීම, Google වෙතින් ප්‍රශ්න විමසා පුළුල් හා දෘශ්‍යමය පිළිතුරු ලබාගැනීම වැනි සේවාවන් රාශියක්, තම හඬ මගින් විධාන ලබාදීමෙන් ලබාගත හැකි වේ.

Augmented Reality (AR)

5G හෝටලයට සුවිශේෂී AR Apps රාශියක් ඇතුළත් වී ඇත. මීට Reno 5G සම්බන්ධ පරිපූර්ණ හඳුන්වාදීමක් මෙන්ම අමුත්තන්ට විවිධාකාරයේ ඇඳුම් පැළඳුම් අතථ්‍ය පරීක්ෂා කර බැලීමට අවස්ථාව ලබාදෙන AR Wardrobe විශේෂාංගයද ඇතුළත් වේ.

විනෝදාස්වාදය නොනැවතී විඳින්න

5G තාක්ෂණය නිසා අමුත්තන්ට සිතැඟි පරිදි, බාධාවකින් තොරව අන්තර්ජාලය භාවිතා කළ හැකි වේ. උදාහරණයක් ලෙස කෙනෙකුට Netflix තුළින් තමන් කැමති වැඩසටහන් බාගත කර, කොපි කෝප්පයක රස විඳිමින් හෝටලයේ පුළුල් තිර රූපවාහිනියෙන් ඒවා නැරඹිය හැකි වනු ඇත.

ලෝකයේ ප්‍රථම 5G හෝටලය 2019 අගෝස්තු මස 01 දින සිට 2019 අගෝස්තු මස 30 වන දින දක්වා Home of the Arts වෙතින් වෙන්කරවා ගත හැක. එක් රාත්‍රියක් සඳහා ගාස්තුව ඔස්ටේ‍්‍රලියානු ඩොලර් 150ක් වන අතර මෙමගින් ලැබෙන සියලු ආදායම් එරට පුණ්‍ය කටයුතු සඳහා වෙන් කෙරේ. අමුත්තන්ට HOTA මගින් පවත්වනු ලබන උත්සවවලට සහභාගීවීමට මෙන්ම සැහැල්ලුවෙන් නවාතැන් ගෙන නගරයේ අසිරිය විඳීමටද මෙය මහඟු අවස්ථාවක් වනු ඇත.

මාතෘකා