ලයික් කොමෙන්ට් මත බිහි වන වර්තමාන නිර්මාණ

 ඡායාරූපය:

ලයික් කොමෙන්ට් මත බිහි වන වර්තමාන නිර්මාණ

මීට වසර කිහිපයකට පෙර නම් කවි, ගී, කෙටි කතා ආදී සාහිත්‍ය නිර්මාණ කරන නිර්මාණකරුවන්ට සිය නිර්මාණ එළිදැක්වීමේ ඉඩ ප්‍රස්ථාව ඉතා අවම විය. එය පුවත්පත්, සඟරා ආදියට පමණක් සීමා විය. ඒවාට හෝ තම නිර්මාණ යොමු කර ගැනීමට නොහැකිව කැලේ පිපුණු මල් කැලයටම පරවී යන්නා සේ උපන් ගෙයිම මළ නිර්මාණකරුවෝ ද විශාල පිරිසක් ඉන්නට ඇතුවා නිසැකය. එවන් නිර්මාණකරුවන්ගේ නිර්මාණ තම සටහනකට, පෙම්පතකට, දින පොතට පමණක් සීමා වන්නට ඇත.

එහෙත් අද වන විට තත්ත්වය මීට වඩා වෙනස්ය. නිර්මාණකරුවන්ට සිය නිර්මාණ එළිදැක්වීමට ඕනෑ තරම් අවස්ථා ඇත. අන්තර්ජාලය ඉන් ප්‍රබලතම සාධකයක්වේ. මුහුණුපොත ඔස්සේ සිය ගිණුමෙන් මෙන්ම වෙනත් නිර්මාණකරුවන් සඳහා වූ පිටු ඔස්සේ බොහෝ නිර්මාණ එළිදක්වනු දැකිය හැකිය. ඒ වගේම බ්ලොග්ද තවත් එක් අන්තර්ජාලය ඔස්සේ සිය ලිවීමේ හැකියාව එළිදැක්විය හැකි තෝතැන්නකි. මුහුණුපොත, බ්ලොග් ආදී අන්තර්ජාල ප්‍රවේශ ඔස්සේ දක්ෂ නිර්මාණ ශිල්පීන් බිහි විය. සාර්ථක නිර්මාණ සාහිත්‍ය කලාවට එක් විය. කැලේ පිපුණු මල් කැලයටම පරවන්නට ඉඩ නොදී මුළු මහත් සමාජයටම සුවඳක් වන්නට ඒ මල්වලට ඉන් හැකි විය. එසේම එහිදී බාල මහලු තරුණ ආදී විවිධ වයස් මට්ටම්වල සිටින්නෝ සිය නිර්මාණ ඉදිරිපත් කරමින් සිටිති. අන්තර්ජාලය ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කරමින් ඒවා කෘති බවට පත් කළ අවස්ථාද බහුලය. ඒවගේම ඇතැම් කෘති සම්මානයට පවා පාත්‍ර විය. මුහුණුපොත ඔස්සේ මෙන්ම බ්ලොග් අඩවි ඔස්සේ ද මේ ආකාරයට නිර්මාණකරුවන් බිහි වී තිබේ.

නමුත් මේ ආකාරයේ සාරපූර්ණ නිර්මාණ මෙන්ම හරසුන් නිර්මාණ ද මේ ඔස්සේ බිහිවනු අපට දැකිය හැකිය. යථාර්ථයෙන් ඈත්වූ බොලඳ කතා සහ වෙනත් නිර්මාණ මේ ඔස්සේ පළ වන අතර තම පෝස්ටුවට ලැබෙන ප්‍රතිචාර ඔස්සේ තම හැකියාව මැනීමේ අධිමාණයක්ද බොහෝ අය තුළ මින් මතු වේ. අපි මල් කතා ලෙස හඳුන්වන නිර්මාණ මුහුණුපොත ඔස්සේ බහුල වන අතර ඒ සෑම කතාවකම නිර්මාණකරුවන් වෙනස් උවත් කතාවේ ඇත්තේ එකම වටපිටාවකි. තම මිතුරු මිතුරියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මත පමණක් යැපීමෙන් තොරව නිර්මාණකරණයේ යෙදේ නම් හා තම අඩුපාඩු අවබෝධ කරගත හැකි නම් තමා තුළවූ හැකියාව වර්ධනය කර ගැනීම පහසුවනු ඇත.

එසේම අසාර්ථක සහ හරසුන් නිර්මාණ බිහි වීම කෙරෙහි ප්‍රධාන හේතුවක් වන්නේ වර්තමාන තරුණ පරපුර පොතපත කියවීමෙන් ඈත් වීමයි. අන්තර්ජාලය ඔස්සේ පළ වන නිර්මාණ කියවනවා විනා මාටින් වික්‍රමසිංහයන්ගේ සිට මෙරට බිහිවූ නිර්මාණ සහ රොබින්සන් කෲසෝ සිට පැවත එන ලෝක සාහිත්‍ය නිර්මාණ රස විඳීමෙන් බැහැර වීම තුළ ලිවීමේ හැකියාවද බොහෝ දෙනාගේ මොට වී ඇත. තරුණ පරපුර ලිවීමට මෙන්ම කියවීමට ද ඇත්තේ අඩු උනන්දුවකි. මැළි බවකි. ඒ ඔස්සේ සාරපූර්ණ නිර්මාණ බිහි වීම අවමය. ඔවුන් රස විඳීමට තෝරා ගන්නා නිර්මාණද ඒ ආකාරම වූ හරසුන් නිර්මාණ වේ නම් එවිට නිර්මාණකරණය තව තවත් අඝාදයට යෑම සාමාන්‍ය දෙයකි.

අන්තර්ජාලය තුළ සාහිත්‍ය විචාරයකින් බිහිවී අවරගණයේ නිර්මාණ අගය කිරීම දිනෙන් දින හරසුන් නිර්මාණ බිහිවීමට තවත් එක් හේතුවකි. එසේම බිහි වන සාර්ථක නිර්මාණ කෘතියක් බවට පත් කිරීමට නිර්මාණකරුවන්ට අවශ්‍ය උවත් එය කරන්නා වූ ක්‍රමවේදය කළ හැකි ආකාරය බොහෝ දෙනෙක් දන්නේ නැත. ඔවුනගේ දැනුවත්භාවය ඇති කීරීම පිළිබඳ ද කල්පනා කළ යුතුය.

මේ එළඹෙන්නේ ලිවීමේ සහ කියවීමේ මාසයයි. එම කාලය තුළ පොත් ප්‍රදර්ශන, සාහිත්‍ය විචාර, ග්‍රන්ථ එළිදැක්වීම්, විවිධ සාහිත්‍ය වාදවිවාද බහුලවනු ඇත. එම කාලය තුළ අවරගණයේ නිර්මාණකරණයෙන් බැහැරවී සාරපූර්ණ නිර්මාණකරණය, සාහිත්‍ය රසවිඳීම වගේම සාර්ථක සාහිත්‍ය නිර්මාණයක් හඳුනා ගැනීම, නිර්මාණ එකතු කර ග්‍රන්ථයක් ඉදිරිපත් කිරීම යන කාරණා පිළිබඳ සමාජය දැනුවත් කළ හැකි නම් කාලෝචිතය.

නිර්මාණකරණයේ නියැළෙන වර්තමාන තරුණ පරපුර ද එසේය. අවරගනේ නිර්මාණ බහුලව බිහි වුවත් බිහි වන ඉතා සාර්ථක සාරපූර්ණ නිර්මාණ සඳහා ඉඩක් දිය යුතුය. එවන් නිර්මාණකරණයේ නියැළුණු නිර්මාණකරුවන්ට නිසි අත්වැලක්, නිසි මඟපෙන්වීමක් ලැබිය යුතුය. එවිට ඔවුනගේ හැකියාව වර්ධනය වෙනවා සේම අනාගතයට හොඳ නිර්මාණකරුවන්ද බිහිවනු ඇත.

[සත්‍යා නිර්මාණි]

මාතෘකා