‘‘මේ හොඳ ලස්සන බෝනික්කා දුර රට යන හැටි අපි දැක්කා’’

 ඡායාරූපය:

‘‘මේ හොඳ ලස්සන බෝනික්කා දුර රට යන හැටි අපි දැක්කා’’

- ප්‍රියානි රත්නායක සමඟ කතාබහක්

මේක පොඩි සෙල්ලමක්. ඇත්තම කිව්වොත් මේක සෙල්ලම් බඩුත් එක්ක කරන සෙල්ලමක්. සෙල්ලම් කියනකොට පොඩිහිටියන්ව මතක් වුණාට වැඩිහිටියන්ටත් සෙල්ලම් කරන්න පුළුවන්. මේ කතාවට ලොකු පොඩි දෙපාර්ශ්වයම කැමති වෙයි. සෙල්ලම් බඩු ගැන කතා කරද්දි බෝනික්කො ගැන කතා නොකරම බැහැ. මොකද ලොකු කුඩා භේදයකින් තොරව බෝනික්කන්ට හැමෝම කැමතියි.

අපිට මුණගැහුණා ප්‍රියානි රත්නායක. ඇය තමන්ගේම අතින් බෝනික්කන් නිර්මාණය කරලා අලෙවි කරනවා. වෙළෙඳපොළේ අලෙවි කරන බෝනික්කන්ට වඩා වෙනස්, අලංකාර, ප්‍රමිතියකින් යුතු බෝනික්කන් ඈ අතින් නිර්මාණය වෙනවා. ඇගේ නිර්මාණවල පවතින විශේෂත්වය වෙන්නේ බෝනික්කන්ට ඇඳුම් මහන ඒ මෝස්තරයෙන්ම කුඩා දරුවන්ටත් ඇඳුම් නිර්මාණය කිරීම. මේ බෝනික්කොත් එක්ක කරන මේ සෙල්ලම මොකද්ද කියලා අහන්න අපි ප්‍රියානි කතාබහකට එකතු කරගත්තා.

මොකද්ද මේ බෝනික්කොත් එක්ක කරන සෙල්ලම?

මම බෝනික්කෝ හදනවා. ඊට අමතරව ඒ බෝනික්කාගේ ගවුමේ විදිහටම පොඩි ළමයින්ට ගවුම් මහනවා. මම මුලින්ම පටන්ගත්තේ බෝනික්කෝ මහන්න. බෝනික්කත් එක්ක ඒ බෝනික්කාගේ ගවුමේ විදිහටම දුවට ඇඳුමක් හදලා තෑග්ග්ගක් විදිහට ලෑස්ති කළා. ඇඳුම විතරක් නෙමෙයි ඒ ඇඳුමේ විදිහට කොණ්ඩ කට්ටත් මම හදලා දෙනවා. මේකට පොඩි අය ගොඩාක් කැමතියි බෝනික්කයි එයයි එක වගේ නිසා. මම බොහෝදුරට මේ නිර්මාණ කරන්නේ ඇනවුම අනුව. අවශ්‍ය වර්ණ අනුව අවශ්‍ය මෝස්තරය අනුව මම නිර්මාණය කරනවා.

කොයි කාලේ ඉඳන්ද මේ නිර්මාණ කරන්න පටන් ගත්තේ?

මේ නිර්මාණ කරන්න ආරම්භ කරලා වසර එකහමාරක් විතර වෙනවා. මුලින්ම හිතවතකුගේ දුවෙක්ට තෑගි දෙන්න තමයි මේ බෝනික්කෝ නිර්මාණය කළේ. ඒක ලස්සනට හැදුණු නිසා ගොඩාක් අය ඒ බෝනික්කට කැමති වුණා. ඉන්පසුව මම දිගින් දිගටම බෝනික්කන්ව හැදුවා. විදේශ රටවලත් මේ වගේ බෝනික්කෝ හදලා විකුණනවා. නමුත් ඒවා මිල අධිකයි. මේ අතරවාරයේ විදෙස්ගත වෙලා හිටපු මගේ යාළුවෙක් ලංකාවට ආව වෙලාවක මම ඒ යාළුවට මේ බෝනික්කෙක් තෑගි දුන්නා. ඒ බෝනික්කා දැකලා මට මුලින්ම විදෙස් රටකින් තමයි මේ බෝනික්කෝ හදන ඇනවුම ලැබුණේ. ඊටපස්සේ මම පිටරටට බෝනික්කෝ නිර්මාණය කරලා අපනයනය කළා. එංගලන්තය, නවසීලන්තය සහ සයිප්‍රසය යන රටවලට තමයි මගේ නිර්මාණ යැව්වේ. මට හිතුණා මේ නිර්මාණ මිල ගණන් අඩුවෙන් ලංකාවේ අයටත් දෙන්න ඕනේ කියලා. ගිය අවුරුද්දේ ‘Poppy dolly’ කියන facebook පිටුව හරහා මම මේ ව්‍යාපාරය පටන්ගත්තා.

ඔබේ මේ බෝනික්කන් නිර්මාණවල විශේෂත්වය මොකක්ද?

මේ බෝනික්කෝ සම්පූර්ණයෙන්ම රෙදිවලින් හදන්නේ. මේ බෝනික්කෝ ඇතුළට පුරවන්නේ පැඩිං. අතපය හසුරුවන්න පුළුවන්. ඒ වගේම බෝනික්කන්ගේ හැම අංගයක්ම අන්තර්ගතයි. බෝනික්කන්ගේ සපත්තු දෙක පවා මගේ අතින්මයි නිර්මාණය කරන්නේ. විශේෂයෙන් වෙළෙඳපොලේ තියෙන බෝනික්කන්ට වඩා මේ අය හුරතල්. ඊට අමතරව මම මේ නිර්මාණයේ දකින විශේෂත්වය තමයි බෝනික්කත් එක්ක දුවට ඇඳුමක් දෙන එක. ඒක මම ලංකාවේ වෙන කවුරුත් කරනවා දැකලා නැහැ.

ඔබ කුඩා දරුවන්ට ඇඳුම් නිර්මාණය කරනවා. ඒ ගැනත් කියමු?

ඔව්. මේ බෝනික්කත් එක්කම අවශ්‍ය නම් කෙනකුට තමන්ගේ දුවට ගවුමක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ බෝනික්කගේ ගවුමේ මෝස්තරයටම මම දරුවටත් ගවුම නිර්මාණය කරනවා. කපු රෙදිවලින් සැහැල්ලු ඇඳුමක් මහන්නේ. විවිධ ප්‍රමාණවලින් තියෙනවා. ඇණවුමේ හැටියට අවශ්‍ය ප්‍රමාණවලින් ඇඳුම් නිර්මාණය කරගන්න පුළුවන්.

මේ නිර්මාණවල මෝස්තර සහ වර්ණ සංයෝජනය ගැන විස්තර කළොත්?

මේ මෝස්තර නම් මම හිතලා නිර්මාණය කරන්නේ. කුඩා දරුවන්ට සිත්ගන්නාසුලු විදියට නිර්මාණය කරනවා. වර්ණ ගැන කතා කළොත් සමහරු තද වර්ණවලටත් සමහරු ලා වර්ණවලටත් කැමතියි. ඒ නිසා කැමැත්ත අනුව වර්ණ තීරණය වෙන්නේ. බෝනික්කො බොහෝ විට ගන්නේ ගෑනු ළමයින්ට නිසා රෝස සහ රතු වර්ණ ප්‍රභේද තමයි බහුලව භාවිත වෙන්නේ.

මේ සඳහා පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. බෝනික්කාව ලැබුණාට පසුවත් ඒ අය මට ස්තුති කරනවා. සමහරු මේක ලංකාවේ හදපු එකක් කියලත් විශ්වාස කරන්නේ නැහැ. හැමෝම කියන්නේ "මේක ලංකාවේ හැදුවා කියලා හිතාගන්න බැහැ" කියලා. ඒ නිසා ගෙවපු මුදලට ඒ අය සතුටුයි. පාරිභෝගිකයන්ගෙන් මට ලැබුණු අදහසක් තමයි ඇඳුම මාරු කරන්න පුළුවන් බෝනික්කෙක් හදන්න කියලා. බෝනික්කාගේ ගවුම මාරු කරන්න පුළුවන් විදියට හදන්න කියලා. මේ අදහස මටත් තිබුණු එකක්. ඒ නිසා දැන් ඇඳුම මාරු කරන්න පුළුවන් විදියටත් බෝනික්කාව නිර්මාණය කරනවා.

ලංකාවේ සැහැල්ලු සෙල්ලම් බඩු භාවිතය ගැනත් කතා කරමු?

ඕනෑම ගෙදරක බෝනික්කෝ, ටෙඩිබෙයාර් ආදී සැහැල්ලු සෙල්ලම් බඩු තියෙනවා. විශේෂයෙන් ලොකු කුඩා භේදයකින් තොරව මේවාට ගොඩාක් අය ඇලුම් කරනවා. ගොඩක්ම මිල අඩු විදේශයන්ගෙන් ආනයනය කරපු සැහැල්ලු සෙල්ලම් බඩු තියෙන්නේ. මේ වගේ බෝනික්කෝ වෙළෙඳපොළේ මිලදී ගන්න නැහැ. ඒ නිසා මේ වගේ බෝනික්කන්ට වැඩි ආකර්ෂණයක් තියෙනවා.

මේ නිර්මාණ සඳහා වෙළෙඳපොළක් හදාගන්නේ කොහොමද?

දැනට අන්තර්ජාලය හරහා වෙළෙඳපොල හදාගනිමින් පවතිනවා. නමුත් සාප්පුවලට තාම හඳුන්වාදීලා නැහැ. මේවා හදන්න ලොකු කාලයක් වැය වෙනවා. හැම අංගයක්ම එකක් ලස්සනට හදන්න ඕන නිසා ටිකක් කාලය වැය වෙනවා. ඒ නිසා වැඩි ප්‍රමාණයක් නිර්මාණය කරගෙන ඉදිරියේදී මේක සාප්පුවලටත් හඳුන්වාදෙන්න බලාපොරොත්තු වෙනවා.

නව තාක්ෂණයත් එක්ක සැහැල්ලු සෙල්ලම් බඩු නිර්මාණ වෙද්දි වෙළෙඳපොල තරගකාරීත්වයට මුහුණදෙන්නේ කොහොමද? ලොකු තරගකාරීත්වයක් තියෙනවා. මිලත් එක්ක අඩුවෙන් සෙල්ලම් බඩු මිලදී ගන්න අයත් ඉන්නවා. තව පිරිසක් ඉන්නවා භාණ්ඩයේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ගැන හිතන. ඒ වගේ අය තමයි වැඩියෙන් මේ වගේ නිර්මාණ මිලදී ගන්නේ. එයාලා තරගකාරීත්වයට වඩා ගුණාත්මකභාවයට වැඩි අවධානයක් යොමු කරනවා.

මේ නිර්මාණ කරද්දි පැනනැඟෙන ගැටලු මොනවාද?

ලොකුම ගැටලුව තමයි මේ වගේ නිර්මාණයක් කරන්න කෙනෙක්ව පුහුණු කරන්න තියෙන අපහසුව. බෝනික්කාගේ ගවුම, ඇඟ, කොණ්ඩ කටු මේ සියල්ල නිර්මාණය කරන්න පුහුණු කරන්න පුළුවන්. නමුත් මූණ හදාගන්න පුරුදු කරන්න ටිකක් අමාරුයි. ඒක මගේ අතින්මයි කෙරෙන්නේ. නිර්මාණශීලීත්වයක් තියෙන අය තමයි මේ නිර්මාණ සඳහා අවශ්‍ය වෙන්නේ.

ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මේ බෝනික්කන් නිර්මාණත් එක්කම තවත් නව නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් තෑගි දෙන්න අලුත් නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම නිර්මාණය කරලා විකුණන හැම බොනික්කෙක්ගෙන්ම අය කරන මුදලෙන් කොටසක් අනාථ නිවාසවල ඉන්න දරුවන් වෙනුවෙන් බෝනික්කන් නිර්මාණය කරන්න යොදවනවා. ඒ වගේ බෝනික්කන් එකතුවක් හදලා ඉදිරියේදී අනාථ නිවාසවල ඉන්න දරුවන්ට පරිත්‍යාග කරන් මම බලාපොරොත්තු වෙනවා.

මාතෘකා