අම්මලා දුවලත් එක්ක තරහා නෑ පුතේ

 ඡායාරූපය:

අම්මලා දුවලත් එක්ක තරහා නෑ පුතේ

අකුරු සාස්තරය මායිම් නොකරන උන්දා කවුරුන්දැයි දැනකියා ගන්නට උපන් කුකුසින් ගැලවෙන්නට ඇය අපොහොසත් වූවාය.

“මාරයාටත් මායියෙක් ඉන්නවානේ බං”

ඇගේ කුකුස දිවැසින් දුටුවාක් මෙන් ඔහු ඒ නොඇසූ ප්‍රශ්නයට උත්තරයක් දුන්නේය. පණ නළ උදුරාගන්නට අන්‍යන්ගේ සිතුවිලි කියවිය නොහැක්කේ මන්දැයි තර්ක කරන්නට තරම් මුහුකුරා නොගිය තාරකා “මා මායියෙක්? මාර මායියෙක්”යි තැතනුවාය.

පළමුව ඇය අසල නිදාගත් මාරයා දෙවනුව හඬ නඟා හිනැහුණේය. එය සිනාවකැයි නම් කිරීම බලවත් වරදකි. සිනාවකට වඩා එය ළං වන්නේ ගර්ජනාවකටය.

“හහ් හහ් හහ් හහ් හා...”

ගැහෙන සිතින් කනින් තාරකා ඒ මාර සිනාවට සවන් දුන්නාය. අඳුරට පින්සිදු වන්නට එය ඇගේ බියපත් දෙනෙතින් වසන් වෙයි. එසේ නොවන්නට ඇය සිහිසුන් වනවා නොඅනුමානය. එපමණටම එය බිහිසුණු විය.

“ඒක හැබෑව. ඒකි මාර මායියෙක් තමා. මට බේරිල්ලක් නෑ උඹව එක්කාන එන්ට කියලා. මොන අටමගලෙකටද මං දන්නෑ. හැබැයි ඉතිං බං හේ සක්වළ රැයක් දවාලක් නැතුව අප්පරමාන මනුස්සයන්ගේ සතා සීපාවාගේ පණකෙන්ද උදුරා උදුරා දඟලනකොට උන්දෑ තට්ට තනියම නොවැ. වැඩ ගන්ඩ නෙමෙයි බං තනි නොතනියට. උඹට තේරුණාද තාරා තනි නොතනියට...”

ඇය මුව අයාගත්තේ ඒ.............. පිළිබඳ නොවේ. තමාගේ නහ දැනගත්තේ කෙළෙසටදැයි විමතියෙනි.

“මාරයා වුණත් මාත් මායියාට බයයි බං. මොකද කියන්නේ? අපි කස් ගාලා යංද යන්ඩ. එවුන්දැ දැනටමත් පුපුර පුපුරා ඇති.”

වියළී ගිය උගුරකට වචනයකට ඉඩ නොදෙයි. වෙර වෑයමෙන් වුව ඇය “තා...තාත්තා කිව්වා..මා..මාව ඉස්කෝලෙට බාර දෙනවා කියලා ළඟදීම..” කියාගත්තාය.

“චැහ්..අල්ලලා දාපං ළමයා ඔය ඉස්කෝලේ..ඕවට ගියා කියලා ආයේ මොකද නොමැරී ඉන්න්ද..? ඉස්කෝලේ ගිය උං තමා සේරම කපටිකම්, ජඩකම්, හොරමැරකම් කරන්නේ කරන තරමක. ඉස්කෝලේ නොගිය උං මෝඩයි. හොරකමක් කරගන්ඩවත් බැරි තරමට මෝඩයි. බයයි. උඹ කවදා හරි ඉස්කෝලේ යනවා කියන්නේ උඹත් කට්ට වෙට්ට පිත්තල අංකූරියක් වෙනවා කියන එකයි ඕං..”

ඒ කතාවට එරෙහිව හෝ පක්ෂව යමක් කියන්නට ඇය අපොහොසත් වූවාය. කටේ කෙළ සිඳී ගිය බැවින් පමණක් නොවේ.

‘අංකූරි’ යන වචනය ඇගේ සිත් ගත් බැවිනි. ‘අංකූරා’ මිසක ‘අංකූරියක’ ගැන කිසි විටකත් අසා නැත. වචනත් එක්ක අරගලයක් හා බැඳීමක් ඇය තුළ වෙයි. දහපදුරාවේ ඇවිද යන බවට අම්මා කොතෙක් දොස් නැඟුවද ඇය ‘උණ්ඩියා’ට ඇළුම් කරන්නීය.

“අම්මේ...අම්මේ... මේං උණ්ඩියා ඇවිල්ලා...”යි ඇය බෙරිහන් දෙන්නේ දෙදිනකට පසු ලේ පෙරාගෙන ගෙදර ආ බල්ලා දුටු සැණිනි.

“දඩාවතේ ගිහිල්ලා පලු පලු බරු ගහගෙන කිනිතුල්ලෝ, මැක්කෝ පුරවගෙන මෙතන පෙනී ඉන්නකොට උණු බත් කවන්ඩද තාරා මට කියන්නේ?”

බල්ලාගේ නොපනත්කම් අරබයාද තිලකා දොස් පවරන්නේ වැඩිමලීටය.

“උණ්ඩියා පව් අමමේ”

කෙල්ල අපමණ ලතැවුලින් මුමුණයි.

“උණ්ඩියා..? බලපල්ලා නම..ඇයි දෙයියෝ සාක්කි ඕකට ටොමී හරි ජිමී හරි කිව්වා නං හෙන ගහනවද? ඒත් බැරි නං කළු කියන්න තිබ්බා.”

එවර තිලකා එල්ලෙන්නේ බල්ලාගේ නමේය. ඒ නම පට බැන්ඳා වූ එකිය කණස්සල්ලෙන් හේබා යයි.

“තාත්තේ උණ්ඩියා ආවා”යි තාරකා කොඳුරන කළ ජයසුන්දර තිගැස්සෙයි. වෙහෙස මහන්සිය නිවාගන්නට ඉඩක් නොලැබෙන බව වටහා ගන්නා ඔහු වටපිට බලයි.

“කොයි අම්මා?”යි ඔහු පළමුව විපරම් කරන්නේ බල්ලා නොව මායියාය.

“බත්තුයනවා..”

“හරි හරි.. යංකෝ ඉතිං”

ඇගේ ශෝකී හඬ නොඉවසන ඔහු දරගෙයි අස්සට වී කෙඳිරි ගාන උණ්ඩියා වෙත යයි. තාරකා ඔහුගේ හෙවණැල්ල වාගේ පස්සෙන් වැටීගෙන එයි. දැනටමත් ඇය අත සබන් පොත්තක් සහිත ඇබිත්තන් බාල්දිය එල්ලේ.

“කොච්චර බරු ගහගත්තත් මේකා පාඩමක් ඉගෙන ගන්නේ නෑනේ දෙයිහාමුදුරුවනේ”යි අකම්පාල වන ජයසුන්දර බල්ලා දෑතින් ගනියි. ගෙලට ලණුවක් දමා ඇදගෙන යන්නට බැරි තරමට සතා දුබල බැවිනි.

තාත්තයි දුවයි පාර පැන මහ ඇළට යන්නේ සොරකමේ යන්නාක් මෙන් සීරු මාරුවටය. මේ බලු සත්කාරය ඇස ගැටුණේ නම් තිලකා පරල වන නිසාය.

“අර ළමයි දෙන්නත්තෙක්ක මං මෙතන දහදුක් විඳිනවා. මේ මේ මනුස්සයා ගෙට අඩිය තියන්නෙත් නැතුව බලු හුරතල් පටං අරං. වෙන මිනිහෙක් නං ඉස් ඉස්සෙල්ලම තමුන්නේ අඹු දරුවන්ගේ මූණු බලලා නේද වෙන වැඩක්පලක් කොරන්නේ. මෙතන ඉන්නවනේ ඉතිං බල්ලා වගේම ඉබාගාතේ යන කෙල්ලෙකුත්. තාත්තණ්ඩිගේ.... දකිනකොටම කේලම කියන්ඩ ඇති..”

ඇගේ හැවිල්ලේ ඉවරයක් කෙළවරක් නැත්තේය. සංසාරය වාගේය. කිරි අම්මා පවා වරෙක “තිගේ ඔය බෙලිකටු මල්ල නොහොල්ලා හිටු”යි තරවටු කරන තරමට එය අප්පිරියා සහගතය. එහෙත් ජයසුන්දර හිතන්නේ එය බිරින්දෑවකගේ ගති සොබාවක් මිස අඩ දබර කරගත යුතු යමක් ලෙස නොවේ.

“කළුපුතා හින්දම හොඳයි. වෙන මිනිහෙක් නං තිගෙ දත් වහල්ල බඩේ..”

ඒ වැකියත් එක්ක තිලකාගේ වාග් ප්‍රහාරය එල්ල වන්නේ ඒ නාකි ගෑනි වෙතය. එය කෙළවර වන්නේ උන්දෑ චීත්තයත් හැට්ටයත් පන් මල්ලත් ඔබාගෙන දොට්ට බැසීමෙනි’

“තමුන්නේ අම්මාට වැදූ අම්මට කතා කොරන්ඩ දන්නැති පට්ට පඳුරි. ආයේ නං මං මේ පැත්ත බලලා බත් කන්නෑ බොල. තිට හතර මහ අපායේ පැහී පැහී ඉන්ඩ තමා වෙන්නේ. බලාපං බොරුද කියලා. තී වගේ නොසණ්ඩාලියක් වැදුවනේ මගෙ කුසෙන්. තිගෙ අප්පටත් තිබ්බේ ඔය කටම තමා. අන්තිමට කට කුණු වෙලා මැරිලා ගියේ...”

හැන්දෑවේ අඩ අඳුරේ පාරට බට නැන්දණිය වෙනුවෙන් උණුවන ළය උසුලා ගන්නා ඒ බෑණනුවන් බයිසිකලයට නඟියි. එහෙත් උන්දෑ ඒ බයිසිකල කටුවට නඟින්නේම නැත.

“උඹ පලයං පුතේ ගෙදර. ඔය පනික්කාඩුවේ නැඟලා කොන්ද කඩාගන්ඩ බෑ මට. මං අද රෑ කාගම ඉඳලා හෙට උදේ කගිලපොතානේ යන්නං..රත්තනත්තරේ පිහිටයි, ආරක්ෂාවයි මයෙ අප්පට. අපේ එකී මෝඩි. මී හරකි. කට විතරයි..”

එහෙත් ඔහු ආපසු හැරෙන්නේ නැත. වැඩිමලීගේ බර උසුලන බයිසිකලය තල්ලු කරගෙන නැන්දම්මමා සමඟ මහගෙදරට යයි. ඔහු ආපසු හැරෙන්නේ උන්දෑ අත මුදලක්ද තැබීමෙන් පසුවය. උන්දෑට කටට රහට රෑට බතට මොක මොකවත් උයා පිහා ගන්නට සිය මවටද දැනමුතුකම් හා මුදලක් ලබා දෙන්නට නොපැකිලෙයි.

ආපසු එන අතරතුර තාරකා මෙතෙක් වේලා සිතට වද දුන් ප්‍රශ්නය අසයි.

“අපේ අම්මා මැරෙන්නෙත් කට කුණු වෙලාද තාත්තේ?”

තිගැස්සෙන තරුණයා අතින් බයිසිකලය පාලනය ගිලිහෙයි. විය යුතු පරිද්දෙන් එය පෙරළී යන අතර තාත්තාද දුවද ඒ මත ඇද වැටෙති. සීරීම් තුවාලද තැලීම් වේදනාවද තමාට පමණක් බැවින් ඔහු සැනසේ.

“රිදෙනවද පුතේ?”යි ඔහු අසන්නේ අපමණ කැළඹීමෙනි. තමාගේ වරදින් දියණිය වේදනා විඳින අයුරු දකින්නට ඔහු කොහෙත්ම කැමති නොවේ.

“නෑ තාත්තේ”යි කියන කෙල්ල පාර අද්දර නිදිකුම්බා පඳුරක් වෙත දිව යයි. ඇගේ නිදිකුම්බා තලපය සිරීම් තුවාලවල ගල්වන තෙක් ඇගෙන් ගැලවුමක් නැති බව දන්නා තරුණයා ඉවසා සිටියි.

“කිරියම්මා හූනියං කරලද තාත්තේ අපි වැටුණේ?”

පැද යන්නට බැරි තරමට ගිලන් වූ බයිසිකලය තල්ලු කරගෙන යද්දී ඇය අසන ඊළඟ ප්‍රශ්නයයෙන් ඔහු නැවතත් කැළඹෙයි.

“මොනවද තාරා මේ කියන්නේ? කිරි අම්මා අපට හූනියං කරනවාද කවදාවත්”ඔහු සිය අප්‍රසාදය නොසඟවා පළකරයි.

“ඉතිං කිරියම්මා අපේ අම්මත්තෙක්ක රණ්ඩු වෙලානේ ගියේ.”

ඇයද සිය සැකය සනාථ කරන්නට වෙහෙසෙයි.

“අම්මාගෙයි දුවගෙයි රණ්ඩු කස් ගානකොට ඉවරයි පුතේ”

මේ බාල බොලඳිය සමඟ උරණව පළක් නැතැයි වටහා ගන්නා ජයසුන්දර පෙර මෙන් නොව ශාන්ත හඬින් පවසයි.

“අම්මලා ඇයි තාත්තේ දුවලත් එක්ක තරහා?”

එවර ඇය ඇසුවේ ඔහු කිසිසේත්ම අපේක්ෂා නොකළ ප්‍රශ්නයකි.

“අම්මලා දුවලත් එක්ක තරහා නෑ පුතේ”

“එහෙනං අපේ අම්මා මා එක්ක තරහා ඇයි? අම්මා බනින්නේ මට විතරනේ. නංගිටයි මල්ලිටයි බනින්නේ නෑනේ..”

ඔහුගේ ළය දැවී ගියේය. වසර ගණනාවක් මුළුල්ලේ ඔහු පෙළන පශ්චාත්තාපය බලවත්ව ඉස්මතු විය.

“අම්මා මගේ පුතා එක්ක තරහ නෑ. නංගියි මල්ලියි පුංචියිනේ. ඉතිං අම්මට උයන්ඩ, රෙදි හෝදන්ඩ, අතු ගාන්ඩ.. වැඩ ගොඩයි. වැඩ වැඩි හින්දනේ අම්මට තරහ එන්නේ..අම්මා මටත් බනින්නේ මා එක්ක තරහට නෙමෙයිනේ පුතේ.”

ඒ පැහැදිලි කිරීම් ඇය අස්වසන්නට සමත් වෙයි.

“ඒක තමයි අම්මා මා එක්ක තරහා නෑ.”යි ඇය පිළිගත්තේ ප්‍රීතිමත් හසරැල්ලක්ද සමඟිනි. බයිසිකලය අතහැර ඇය දෝතින් ගන්නට, ළයේ හොවාගෙන සිප සනසන්නට ඔහුට උවමනා විය.

“මගේ දුව...මගේ අහිංසකී...අප්පේ පව් මගේ කෙල්ල”යි අපමණ ශෝකයෙන් තොල් මතුළේය. ඔහුගේ දෙතොල චලනය වන අයුරු දුටු ඇය, “මොකක්ද තාත්තේ ඔය මන්තරේ?” යි ඇසුවාය.

“මොන මන්තරේද?”

ඔහු පුදුමයෙන් දෑසම අයාගත්තේය.

“තාත්තා දැන් මැතිරුවේ?”

“මම මතුරපු මන්තරයක් නෑ තාරා..අනේ මං දන්නේ නෑ ඔයාගේ ඔය යක්කුයි පෙරේතයොයි යන්තර මන්තරයි මට තේරෙන්නේ නෑ, මං මොකක් කරන්නද කියලා...”

ඇය අමනාපයෙන් දෙතොල හකුලා ගත්තාය. එහෙත් ඒ හැන්දෑවේ මෙන් නොව මේ රාත්‍රියේ දෙතොල හකුලා මාරයාගෙන් ගැලවිය නොහැක. ඔහු පැමිණ සිටින්නේ තමා කැටුව යාමටය. ඒද මාර මායියාගේ තනි නොතනියටය.

මාතෘකා