මේ කැපවීමේත් ඉගෙනීමේත් ප්‍රතිපලයයි

 ඡායාරූපය:

මේ කැපවීමේත් ඉගෙනීමේත් ප්‍රතිපලයයි

- හංසිනි බණ්ඩාර

ඇය හංසිනී බණ්ඩාරය. වයස අවුරුදු 21කි. ජීවිතයේ සැහැල්ලුව, නිදහස උපරිමයෙන් විඳින තාරුණ්‍යයේ වයසකි. එම වයසේ පසුවන බොහෝ තරුණ තරුණියන් විඳින සහ සොයන නිදහස, සැහැල්ලුව හංසිනීට ගාණක් නැති තරම්ය.

ඇය වැඩ කරන්නීය. එහි ප්‍රතිඵලය, ඈ පාවහන් ව්‍යාපාරයක් හිමි තරුණියක් වීමය. ඈ ආ ගමන ලේසි පාසු නැත. අද ඇය සිටින තැන ඇගේ අපමණ කැපකිරීම්වල ප්‍රතිඵලයකි. ඒ ගමනේ ඇති සුවිශේෂත්වය නිසාම

අපි ඇය වෙනුවෙන් ඉඩක් වෙන් කළෙමු.

හංසිනී සපත්තු ව්‍යාපාරයකට අත ගැහුවේ කොහොමද?

තාත්තා නිසා තමයි මේ කර්මාන්තයට යොමු වුණේ. තාත්තා සෙරෙප්පු හදන හැටි මම පොඩි කාලේ ඉඳන් දැකලා තියෙනවා. තාත්තා ගෙදර ඉඳගෙන පොඩිවට මේ නිෂ්පාදනය කළේ. මාත් පොඩි කාලේ ඉඳන් සෙරෙප්පු හදන්න තාත්තාට උදවු කළා. උසස් පෙළ විභාගය ලිවීමෙන් පස්සේ මොරටුව ජර්මන් ටෙක් ආයතනයට සම්බන්ධව වුණා. ඒ කාලේදී අපේ ෆැක්ටරිය වැටුණා. ඒ කාලේ වෙද්දි ෆැක්ටරියට ණය අරගෙන තිබුණේ. අමාරු කාලයක් ගත කළේ. ඒ කාලේදිම ඒ කියන්නේ ජර්මන් ටෙක් එකේ ගත කළ පළමුවැනි අධ්‍යයන වසරේදීම මගේ අධ්‍යයන කටයුතු අතරමගදී නතර කරන්න සිදුවුණා. ඒකට හේතු වුණේ පැවැති ආර්ථික අපහසුතා. නැවතිලා හිටපු බෝඩිමේ ඉන්න තරම්වත් ආර්ථික සවියක් තිබුණේ නෑ ඒ කාලේ. ගෙදර ඉන්න ගමන් ෆැක්ටරිය නැවත ගොඩනඟන්න උත්සාහ කළා. ඒ කාලෙ පාවහන් සේල් දාලා එයින් ලැබුණු ආදායම්වලින් නැවත ෆැක්ටරිය ගොඩනැඟුවා.

හංසිනි ගැන කීවොත්?

මම පාසල් ගියේ ශාන්ත ජෝෂප් බාලිකා මහා විද්‍යාලයට. 2017 වසරේදී උසස් පෙළ හැදෑරුවේ. උසස් පෙළට හැදෑරුවේ තාක්ෂණවේදය. අම්මා, තාත්තා සහ නංගිලා දෙන්නෙක් අපේ පවුලේ ඉන්නවා.

ඔබ ජර්මන් ටෙක් එකට ගිහින් ඉගෙන ගන්න හිතුවේ ඇයි?

මම මිකැනිකල් වැඩවලට ආසයි. වාහන රෙපායාර් වැඩවලටත් ආසයි. මම ඒ ලෙවෙල් කාලේ පාසල් ගියේ අම්මාගේ ස්කූටරයෙන්. ඒ කාලේදිම වාහන ලයිසන් එකත් ගත්තා. මම පැදපු බයික් එක කැඩුණත් ඒක මට හදාගන්න පුළුවන්. ඒ වගේ වැඩවලට ආසයි. ඒ නිසා තමයි ජර්මන් ටෙක් ගියේ.

ඔබ ජර්මන් ටෙක් එකෙන් ඉවත් වුණාට පසුව නැවත අධ්‍යයන කටයුතුවලට යොමු වුණේ නැද්ද?

මම ඉන්පස්සේ කළමනාකරණය පාඨමාලාවක් හැදෑරුවා. තාත්තාගේ ෆැක්ටරි එක වැටෙන්න ලොකුම හේතුවක් වුණේ මුදල් කළමනාකරණයේ දුර්වලතා. පාවහන් හදන මුදල්වලින් ෆැක්ටරියට වෙන් කළ යුතු මුදල් වෙන් වුණේ නෑ. ඒවා වියදම් වුණේ නිවසට.

ඒ නිසාම මම කළමනාකරණය ගැන හැදෑරුවා. ෆැක්ටරි එකක පාලනය කරන්න තරම් මට වයසක් නෑ. ඒවා සඳහා පුහුණුවක්, විනයක් තිබිය යුතුයි. එම නිසා මම නායකත්ව පුහුණු වැඩසටහනකට පවා සම්බන්ධ වුණා. ඒ වගේම හොඳ ගුණාත්මක නිෂ්පාදනයක් කිරීම වෙනුවෙන් රත්මලාන කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිෂ්පාදන සංවර්ධන පාඨමාලාවක් හැදෑරුවා. මේ වන විට ජර්මන් ටෙක් එකේ මම මුලදී හදාරපු පාඨමාලාව සති අන්ත පන්ති මඟින් අධ්‍යයනය කරමින් සිටින්නේ.

වැඩකටයුතු අස්සේ අධ්‍යයන කටයුතුවල යෙදෙන්න කම්මැලි හිතු‍ණේ නැද්ද?

ජර්මන් ටෙක් ආයතනයට ගියේ පෞද්ගලික ආයතනයක රැකියාවකට යන්නයි. ඒ බලාපොරොත්තුව නැති වුණා. නමුත් ඉදිරි අනාගතය වෙනුවෙන් යමක් එකතු කර ගැනීමේ උවමනාව තිබුණා. පාවහන් නිෂ්පාදනයත් එක්ක ඉදිරියට යෑම ඊළඟට කරන්න තිබුණේ. කාලය අපතේ දාන්නේ නැතුව කැපවීමෙන් ඒ දේවල් ඉගෙන ගත්තා ඒ නිසාම.

නිෂ්පාදනාගාරයක් හා වෙළෙඳසැලක් ඔබ සතුයි දැන්?

එදා තාත්තා නිවසේ තමයි පාවහන් නිෂ්පාදනය කළේ. තැන් තැන්වල කුලී ගෙවමින් නිෂ්පාදනාගාරය පවත්වාගෙන යන්නත් කටයුතු කළා. නමුත් අද වන විට අපිට වෙනම ෆැක්ටරි එකක් තියෙනවා ‘ක්‍රොකඩයිල් ලෙදර් ප්‍රඩක්ට්’ නමින්. එහි ස්ථිර සේවකයන් 12ක් වැඩ කරනවා. කොන්ත්‍රාත් පදනම මත වැඩකරන කීප දෙනකුත් ඉන්නවා.

ෆැක්ටරි එක තාත්තා කරගෙන යනවා. ඒවායෙන් සහ ප්‍රදර්ශනවලට නිෂ්පාදන එකතු කිරීමෙන් ලැබෙන මුදල්වලින් තමයි ‘ලෙදර් කින්ග්ඩම්’ නමින් අලෙවිසැලක් දාන්න කටයුතු කළේ. බෑග්, බෙල්ට්, සපත්තු ආදී ලෙදර් නිෂ්පාදන එහි අලෙවි කරනවා. 215, බණ්ඩාරනායක මාවත, පිටිහුම, කෑගල්ල (කෑගල්ල බයිපාස් රෝඩ්) ලිපිනයේ ව්‍යාපාරික ස්ථානය පිහිටා තිබෙන්නේ. තව ටික කාලයකින් ගල්කිස්සේ තව පාවහන් අලෙවිසැලක් පටන් ගන්න නියමිතයි.

ඔබගේ නිෂ්පාදන ගැන කීවොත්?

පිරිමි, ගැහැනු සියලුදෙනා වෙනුවෙන් කරන නිෂ්පාදනයක් මේක. සපත්තු, සෙරෙප්පු සියල්ල නිෂ්පාදනය කරන්නේ ලෙදර්වලින්. ශ්‍රී ලංකාවේ ලෙදර් මිල අධිකයි. නමුත් අපි අපනයනයට සුදුසු තත්ත්වයේ ශ්‍රී ලංකාවේ ලෙදර් නිෂ්පාදන සඳහා ලබා ගන්නවා. අපනයන සංවර්ධන මණ්ඩලයෙන් පිටරට ලෙදර් ලබා ගැනීම සඳහා අවස්ථාව සකසා දෙන බව කියලා තියෙන්නේ.

මේ ගමන පිටුපස ඉන්නේ කවුද?

තාත්තා තමයි හයිය. එයා නිර්මාණශීලියි. නිෂ්පාදනයේ වැඩි බරක් දරන්නේ තාත්තා.

ආ මඟ ආපහු හැරිලා බැලුවොත්?

කාර්මික අංශයට ආසා කෙනෙක් මම. මම කාර්මික අංශයට ගියා නම් මට සේවකයෙක් ලෙසයි වැඩකරන්න වෙන්නේ. ඉතින් අද ඉන්න තැන ගැන සතුටුයි. ව්‍යාපාරක් කිරීම ගැන ඇත්තේ සතුටක්. ව්‍යාපාරය දියුණු කිරීම අරමුණයි. ඒ වගේම මම මේ ව්‍යාපාරයේ කොටස් අලෙවි කරන්නත් කැමැත්තෙන් ඉන්නේ. ව්‍යාපාරය දියුණු කරන්න ණයක් ගන්න උත්සහ කළා අපි. ඒත් අපිට ගැටලුවක් තියෙනවා. ෆැක්ටරිය තියෙන්නේ මුත්තාගේ නමට තියෙන ඉඩමක. ණයක් ගැනීමට යෑමේදී එය ගැටලුවක්.

අවුරුදු 21 තරුණියක් මේ වගේ බරක් කරට ගන්න එක සුවිශේෂයි?

මම ව්‍යාපාරයකට එක්වෙන් කලින් සෙල්ලක්කාර, සැහැල්ලු විදිහට කටයුතු කළේ. වගකීමෙන් තොරව වැඩ කළේ. නමුත් අද එහෙම නෑ. ප්‍රශ්නයක් ආවොත් තාත්තාගෙන් අම්මාගෙන් අහනවා. මම වැරදි තීරණයක් ගත්තොත් බොහෝ දෙනකුට එය බලපානවා. ඒ වගකීම හිසට දැනෙනවා. ඒ නිසා වගකීමෙන් හිතලා බලලා වැඩ කරනවා.

මාතෘකා