හිට්ලර්ලා සහ ලින්කන්ලා

 ඡායාරූපය:

හිට්ලර්ලා සහ ලින්කන්ලා

සෙනඟ පෙන්වූ තරමට ඡන්ද දිනන්නට නොහැකි බවට ආසන්නම උදාහරණය ගත හැක්කේ ඉකුත් ජනාධිපතිවරණයෙනි. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රැලිවලට සෙනඟ රැස් කළේ දස දහස් ගණනින්ය. ඇතැම් රැලිවලට ලක්ෂයක පමණ සෙනඟක් රැස්කොට තිබිණි.

ලොව මෙතෙක් බිහිවූ නපුරුම පාලකයා කවුද කියා ඇසුවොත් ඔබ ඒකාන්තව පවසන්නේ ‘හිට්ලර්’ කියාය. ඔහු රටක් කැරකෝප්පුවක් කළ ඒකාධිපතියෙකි.

ලොව මෙතෙක් බිහිවූ හොඳම ජනාධිපති කවුද කියා ඇසුවොත් ඔබට එන පිළිතුර ‘ඒබ්‍රහම් ලින්කන්’ය. ඔහු එතරම්ම අපූරු ජනාධිපතිවරයෙකි; අසමසම නායකයෙකි. ඔහු ගැන ලියෝ තෝල්ස්තෝයි තැබූ සටහන අපූරු එකකි.

"ඔහු කුඩා ප්‍රමාණයේ ක්‍රිස්තුස්වහන්සේ නමක්. මිනිසුන් අතර මුනිවරයෙක්. ඔහුගේ දිව්‍යමය ශක්තිය අගය කිරීමට තරම්වත් අපි සුදුසු නොවේ. වොෂින්ටන් නියම ඇමෙරිකානුවෙකි. නැ‍පෝලියන් නියම ප්‍රංශ ජාතිකයෙකි. ලින්කන් විසල් මිහිතලය මෙනි. ලොව සියලු ජනපතිවරු එක් කළත් ඔහු තරම් ශ්‍රේෂ්ඨ නැත."

ජීවිතයක කඩා වැටීම ගැන ගත හැකි ජීවමාන උදාහරණයත් ජීවිතයක නැඟී සිටීම ගැන ගතහැකි ජීවමාන උදාහරණයත් යන දෙකම ලින්කන්ගේ ජීවිතයෙන් ගන්නට හැකිය. නොදරු වියේදීම පවුල පිටින් මහපාරට වැටී ඉගෙනීම කඩාකප්පල් වී ව්‍යාපාර සියල්ල සුනුවිසුනු වී ඡන්ද අටක් පැරදී මානසික ආබාධයකට පවා ලක්වී අහවර නැවත නැවත පැරදී ඒත් ඔහු නැඟී සිටි අයුරු පුදුමය.

ඔහුගේ ජීවිතය බෙහෙවින් වෙනස් කළේ ජනපතිවරණ සමයේ 11 වියැති නන්නාඳුනන දැරියක් ඔහුට එවූ ලිපියක්ය. ඒ හැර ඔහු මහා රැලි තිබ්බේ නැත; ප්‍රතිවාදීන්ට තර්ජනය කළේ නැත. අහස උසට පෝස්ටර්, කටවුට් ගැසුවේ නැත. ඒ වෙනුවට ඔහු මිනිසුන් වෙත සමීප විය. ඔවුන්ගේ උවමනාවන් ගැන සංවේදී විය. අර දැරිය ලියා එවුවේ මෙසේය.

"ආදරණීය ලින්කන් මහත්මයාණෙනි,

මම පුංචි දැරියක්. වයස එකොළහයි. ඔබ ඇමතීමට සිදුවීම ගැන සමාවෙන්න. ‍පොළට ගිය මගේ පියා ඔබේ ඡායාරූපයක් ගෙනාවා. ඔබට තියෙන්නේ කෙසඟ, හැකිලුණු මුහුණක්. එය අවලස්සනට බරයි. ඔබ රැවුල වැව්වොත් ලස්සනට හිටීවි. අපේ ගෙදර මට සහෝදරයෝ හතරක් ඉන්නවා. දෙන්නෙක් කැමතියි ඔබ ජනපති වෙනවට. අනෙක් දෙන්නා තාමත් තීරණයක් අරන් නෑ. ඔබ රැවුල වැව්වොත් ඒ දෙන්නගේ ඡන්දයත් අරන් දෙන්න මට පුළුවන්."

ඔබට ජය.

මම ග්‍රේස් බෙඩ්ල්.

ලිපිය කියවා අහවර ඇයට ප්‍රතිඋත්තර යැවූ ඔහු එතැන් සිට රැවුලට වැවෙන්න ඉඩ දුන්නේය. ඡන්දය දිනූ පසු නව ජනපති දකින්නට ‍පොදිකන ලක්ෂ ගාණක් ජනයා දකිද්දී ලින්කන්ට යමක් සිහිපත් විණි. ඒ තමාට ලිපිය එවූ දැරිවියයි.

"මේ සෙනඟ අතරේ ඉන්නවද ග්‍රේස් බෙඩ්ල් කියන සුරංගනාවිය. ඈ දකින්න මට ආසයි."

ජන ගඟ අතරින් ඈ ඔහු වෙත ආවාය.

"ඔයා කීවා වගේ මම රැවුල වැව්වා. ලස්සනද බලන්න?"

දැරිය තුරුලු කරගත් ඔහු ඇසුවේය.

"ඔබ මගේ ආදරණීය ජනාධිපති"

ඇය කීවාය.

ඇමෙරිකාව වගේ රටක් මීට දශක ගාණකට පෙර හිටියේ එවන් දැක්මකය. එහෙත් අපි තවමත් ‘සෙනඟ හා මහා රැලි’ ගැන පුරාජේරු කියවමු.

‘අපි ගෝල්ෆේස් පුරවනවා’ සමහරු කියති.

‘අපි ගෝල්ෆේස් පිරෙව්වා’

තවත් අය කියති.

‘අපේ අපේක්ෂකයා ගේන්නේ ගෝල්ෆේස් පුරවලා සෙනඟ ගෙනත්’

ඒ තවත් පිරිසකගේ කතාවයි.

ජේ. ආර්. කියන්නේ අමුතු මිනිහෙක්ය. විරෝධතා දැක්වීම සඳහා 'පා ගමන්' යොදා ගැනීමේ ආරම්භකයා ඔහුය. හැබැයි ජේ. ආර්ගේ රැලිවලට සෙනඟ ආවේ නැත. සෙනඟ ආව නම් ආවේ ප්‍රේමදාසගේ, ගාමිණීගේ කතා අසන්නටය. කවදාවත් මහා සෙනඟ රැස් කරන්නට එජාපය උත්සාහ කර නැත. හැබැයි තීරණාත්මක වෙලාවට එජාපය තැබූ රැලි නිසා බඹරේ වැල්ලෙත් කැරකී තිබිණි.

බණ්ඩාරනායක ආණ්ඩු කරන කාලයේ නුවරට පා ගමන් ගිය ජේ. ආර්. 70 - 77 කාලයේ රට පුරා සත්‍යග්‍රහ පැවැත්වීය. ඔහු මහ රැලි ගැන හිතුවේ නැත. සත්‍යග්‍රහවලට ඒ කාලයේ ආණ්ඩුව තුට්ටුවකට කලබල වුණේ නැත. 77 මැතිවරණය එන්නේ ඔය අතරය.

ජේ. ආර්. ඒ වෙනකොට රැල්ල හදාගෙන ඉවරය. ඔහු රැලි තියන්න පටන් ගත්තේ ඊට පසුවය. ඒත් මැතිනිත් නිකන් හිටියේ නැත. මහා රැලි තැබුවාය.

ප්‍රේමදාසගේ කාලයේ මහින්දලා 'පාද යාත්‍රා' ගියහ.

හැබැයි ආණ්ඩුව අවුරුදු ගාණක් යනකම් හෙල්ලුණේ නැත. හැබැයි සෙනඟ ගෙන්වා ආණ්ඩුව හෙල්ලූ සමීපතම අවස්ථාව වාර්තා වෙන්නේ එජාපය කළ 'ජනබල මෙහෙයුමෙන්ය'

දෙවුන්දර තුඩුවේ සිට කොළඹට එදා ජන බල මෙහෙයුම ගෙනාවේ 'ජනාධිපතිවරණයක්' ඉල්ලාය. ඒ කියන්නේ සටන පටන් ගත්තේ දකුණෙන්ය. එවක ජනපති චන්ද්‍රිකාය. විපක්ෂ නායක රනිල්ය. හැබැයි එජාපයේ ජනබල මෙහෙයුමට ආශීර්වාද කළේ මහින්දය. ඉක්මන් ජනපතිවරණයක් ඔහුට ඕනෑ විය. මැතිවරණ කොමසාරිස් ජනාධිපතිවරණයට දින නියම කළේය. ඒ වෙනකොට රනිල් ජන බලය පෙන්වා සිටියේය; ඒ මහා සෙනඟක් කොළඹට ගෙන්වාය. ජනපතිවරණය ගැනීමේ 'වීරයා' රනිල් බව හැමතැනම කතා විය.

අන්තිමට සෙනඟ පෙන්වූ රනිල් පරාජය වී පැත්තක සිටිද්දී මහින්ද දිනුවේය.

සෙනඟ ආව පළියට ආණ්ඩු පෙරලෙන්නේ නැත.

දේශපාලනය යනු බල අරගලයකි. මැකියාවෙලී 'කුමාරයා'හි ලියූ පරිදි එය බලය ලබාගැනීමට අරගල කිරීම, බලය ලබාගැනීම, බලය පවත්වාගෙන යෑම වැනි බල ක්‍රියාන්විතයකි. ඒ උදෙසා නොයෙක් උපාය, උපක්‍රම භාවිත කිරීම දේශපාලන සංවිධානවල අනවරත ක්‍රියාදාමයකි. චිරාත් කාලයක් තිස්සේ එය දේශපාලනයේ අත්‍යන්ත ස්වභාවයකි. පෝස්ටර්, අත්පත්‍රිකා, දැන්වීම්, පෙළපාළි මැතිවරණ සමඟ සහසම්බන්ධ කාරණාය. කරුණු කාරණා කෙසේ වෙතත් මැතිවරණ රැලි සහ සෙනඟ මෙරට සමාජය තුළ මුල්බැසගෙන ඇත්තේ 'ජනප්‍රිය' අර්ථකථනයකිනි. කිසියම් රැලියක් සඳහා පැමිණෙන සෙනඟ අතිමහත් උජාරුවකින් උලුප්පා දක්වමින් සමාජගත කිරීමට වෑයම් කරනුයේ 'මැතිවරණය ජයගන්නා හෝ පරාජය වන' නියැදියය. එහෙත් ඒ වූ කලී හුදු භ්‍රමයක් පමණක් බවට උදාහරණ ඕනෑ තරම් ගත හැකිය.

77 මහ මැතිවරණය වන විට එක් අතකින් එක්සත් ජාතික පක්ෂයත් අනෙක් අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දැවැන්ත ජන හමු පැවැත්වීය. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රැලිවලට සේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රැලිවලටද උතුරන්නට සෙනඟ පැමිණියහ. කවුරුන් දිනාවිදැයි සිතාගත නොහැකි තරමට රැලිවල සෙනඟය. එහෙත් එජාපය මැතිවරණය ජයග්‍රහණය කළේ හයෙන් පහක බලයක් ලබාගෙනය.

දෙවැනි ජනාධිපතිවරණය අවස්ථාවේ මෙරට සමාජයේ තිබුණේ රැස්වීමක් තබා දැන්වීමක්වත් ප්‍රදර්ශනය කළ නොහැකි වාතාවරණයකි. භීෂණයේ හස්තය රට පුරා ව්‍යාප්තව පැවැතිණ. අපේක්ෂකයන් ජනහමු ඇමතුවේ 'යකඩ කටට' පිං සිදු වන්නටය. රැලිවලට මිනිස්සු පැමිණියේ නැත. එහෙත් රණසිංහ ප්‍රේමදාස මැතිවරණය දිනුවේය.

සෙනඟ පෙන්වූ තරමට ඡන්ද දිනන්නට නොහැකි බවට ආසන්නම උදාහරණය ගත හැක්කේ ඉකුත් ජනාධිපතිවරණයෙනි. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රැලිවලට සෙනඟ රැස් කළේ දස දහස් ගණනින්ය. ඇතැම් රැලිවලට ලක්ෂයක පමණ සෙනඟක් රැස්කොට තිබිණි. අනුරාධපුරයේ පැවැත්වූයේ එවැනි රැලියකි. එවක මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ මංගල ජනරැලිය අනුරාධපුරයේදී පැවැත් වූ අතර ඊට ලංගම බස් රථ 1,200ක සංඛ්‍යාවකින් ජනතාව කැඳවා තිබිණි. ඒ අනුව ඒවා ජනරැලිවලට එහා ගිය බස් රැලි බවට පත්ව තිබිණි. අනුරාධපුර එම රැස්වීම් භූමියේදී ජනතාව තෙරපීමට ලක්වීම හමුවේ 6 දෙනෙක් පමණ ක්ලාන්තව සිහිසුන් වූහ. ඊට පෙර 2009 දකුණු පළාත් සභා මැතිවරණ සමයේදී මැදමුලන දන්සල් භූමියේදී බත් පැකට් ලබාගැනීමට ජනතාව පොරකෑමේදී පෑගීමෙන් එක් අයෙක් මියගියේය. එහෙත් ප්‍රතිඵලය වූයේ අනුරාධපුරය මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමය.

තත්ත්වය එසේ වුවද බොහෝ විට තවමත් සමහරු 'සෙනඟ' පෙන්වා මැතිවරණ ප්‍රතිඵල අනුමාන කිරීම සිදු කරති. විශේෂයෙන්ම ස්වකීය දේශපාලන

න්‍යාය පත්‍රයට අනුව ක්‍රියාත්මක මාධ්‍ය; මැතිවරණ රැලිවල සෙනඟ පෙන්වීමට දන්නා සියලු උපක්‍රම භාවිත කරයි. ඇතැමුන් මේ රැලිවලට සහභාගි වන්නේ සිය කුඩා දරුවන්ද කරපින්නාගෙනය. එයින් සිදු වන පීඩාව ගැන තැකීමක් නොකරන ඔවුහු රැලිවලට එක්වෙති. බොහෝ රැලි සඳහා සෙනඟ ගෙන්වීමේ ක්‍රියාන්විතය 'කුඩා ප්‍රමාණයේ' යුද්ධයක් තරමේ කටයුත්තකි. බස් යොදා සෙනඟ කැන්දවා, බත් පැකැට් පිරිනමා, බොන අයට ඒ අඩුවැඩියද සපයා 'සූර්' වූ පිරිසක් උන්මාදයෙන් මෙන් ගෙන්වීම සුලබව සිදුවන්නකි. සවිඥානිකව රැලියක සිටින්නන් සොයාගත හැක්කේ දුලබවය. ඒ අනුව බොහෝ දෙනකුට රැලිවලට සහභාගී වීම 'ආතල්' ගැනීමකට යෑමක් වැනිය. හිට්ලර් ජර්මනියේ සිටි ආඥාදායකයෙකි. ඔහුගේ රැලිවලට සෙනඟ පැමිණියේ ලක්ෂ ගණනින්ය. එමතු නොව ඔහුට උන්මාදයෙන් මෙන් 'ආදරය' පෙන්වන කෘත්‍රිම 'රටාවක්' හිට්ලර්ගේ මාධ්‍ය විසින් ගොඩනංවා තිබිණි. එහෙත් තීරණාත්මක මොහොතක හිට්ලර්ගේ ආධිපත්‍යය දියවී ගියේය. කෘත්‍රිම මවාපෑම්වල අවසානය එබඳුය. රැලිවලට සහභාගි වීම, දේශපාලනික කාරණා පිළිබඳව දැනුම්වත් වීම වරදක් හෝ ගැටලුවක් නොවේ. එහෙත් රටක පාලන තන්ත්‍රය වෙනස් කරනුයේ හෝ බිහි කරනුයේ උන්මාදයෙන් රැලිවලට යන මිනිසුන්ට වඩා කල්පනාකාරීව තීන්දු ගන්නා මිනිසුන්ය. 2015 වසරේ සිදු වූයේ එවැන්නකි.

සෙනඟ කෙසේ වෙතත් ඇතැම් අවස්ථාවල අපේක්ෂකයන් ගනු ලබන කුඩාම තීන්දුවක් පවා විශාල විප්ලවයකට හේතු වෙයි. ඉතිහාසය එවන් පාඩම් කියා දී ඇත.

මාතෘකා