ෆින්ලන්තයේ අධ්‍යාපනය සහ අපි

 ඡායාරූපය:

ෆින්ලන්තයේ අධ්‍යාපනය සහ අපි

විශ්ව යාත්‍රාවේ දිශා දර්ශකය අධ්‍යාපනය බවත් එය අනාගත සුරක්ෂිතභාවයෙහි ප්‍රධානම සාධකයක් වන බවත් නුවණැත්තෝ දනිති. නිවහල් සශ්‍රීක දේශයක කොඳු නාරටිය වන්නේ නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නිදහස මිස නොමිලේ අධ්‍යාපනයම නොවේ. එබැවින් රටේ දියුණුව හා ඉදිරි ගමන රඳා පවතින්නේ එම ක්‍රියාවලියෙන් බිහි කරන ප්‍රතිඵල මත බවද අමුතුවෙන් කිවයුතු නොවේ. අනාගතයට ඵලදායී ලෙස ජාත්‍යන්තරය හා උරෙන් උර ගැටිය හැකි අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමේ වගකීම දේශපාලකයන්ට මෙන්ම ගුරු ප්‍රජාවටද පැවරී තිබේ. පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා සිසු නැණ පෑදීමේ උත්සාහයේ අස්වැන්න රඳා පවතින්නේ එම දෙපාර්ශ්වයේ ක්‍රියාකාරීත්වය මතය.

නුදුරේදීම මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ පෙළ පොත්, නිල ඇඳුම්, ගුරු මාරු ඇතුළු සමස්ත ක්‍රියාවලිය දත්ත පාදකයක් (Data Base) ඇසුරින් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනෙන බවත් මේ නිසා මෙතෙක් එම ක්‍රියාවලි තුළ පැවති බොහෝ ගැටලු විස‍ඳෙනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා පවසා තිබිණ.

සිසු දරුවන්ට අනාගත වැඩ ලොව ජය ගත හැකි අයුරින් පාසල් විෂය මාලාව යාවත්කාලීන කිරීමට හා නවීකරණයට පියවර ගෙන ඇති බවත් සම්පූර්ණයෙන්ම විෂය නිර්දේශය ඇසුරින් පෙළ පොත් සහ ප්‍රශ්න පත්‍ර සකස් කිරීම මේ වන විට සිදු කෙරෙන බැවින් අතීතයේදී මෙන් විභාග ගැටලු බහුලව අසන්නට නොලැබෙනු ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබිණ.

මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු බවට බොහෝ කථිකාවන් කලක සිට ඇතිවෙමින් පැවතියද ඒ සියල්ල කතාබහට පමණක් සීමා වී තිබේ. එහෙත් වත්මන් රජය යටතේ මෙරට අධ්‍යාපනයට බොහෝ ඵලදායී ක්‍රියාමාර්ග එක්වූ බව පිළිගත යුතුව ඇත.

මූලික වශයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් - අසමත්භාවය නොසලකා සෑම සිසුවකුටම වසර දහතුනක අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් හිමිකර දෙන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන වත්මන් රජය යටතේ සිදුවූ ප්‍රධාන කාර්යභාරයකි. එම වැඩපිළිවෙළ සාක්ෂාත් කිරීම සඳහා මෑතකදී ගුරුවරු පන්දහසක් අලුතින් බඳවා ගැනීමටද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තේය. 2017 වසරේ සිට ක්‍රියාත්මක වන උසස් පෙළ වෘත්තීය විෂයධාරාව යටතේ සිසුන්ට නවලොව රැකියා වෙළෙඳපොළ ජයගත හැකි වෘත්තීය විෂයයන් 26ක් හඳුන්වා දී තිබේ. එපමණක් නොව ගෝලීය අධ්‍යාපන ඉලක්ක ජයගත හැකි පරිදි මෙරට පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් සතියකට එක් දිනක් සියලු පාසල්වල ඉංග්‍රීසි සන්නිවේදන දිනයක් ලෙස පැවැත්වීමටද යෝජනා කර තිබේ.

'ළඟම පාසල හොඳම පාසල' මෙන්ම 'සුහුරු පාසල්' සංකල්පයද මේ වන විට මෙරට අධ්‍යාපන ක්‍රමයේ සාධනීය වෙනස්කම් ඇතිකරමින් තිබේ. අධ්‍යාපන අමාත්‍යවරයාගේ තීරණයක් අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවද ඩිජිටල්කරණයට ලක්කෙරුණු අතර ඒ අනුව ලොව කොතැනක සිටියත් ඕනෑම අයදුම්කරුවකුට තම විභාග සහතික පත් ඔන්ලයින් ක්‍රමයට ඇණවුම් කර නිවසටම ගෙන්වා ගැනීමේ ඉඩ ප්‍රස්ථාවද සලසා දී තිබේ. කලක සිට පැවති ගුරු මාරු සහ වැටුප් විෂමතා සඳහාද සාධාරණ විසඳුම් ලබාදීමට මෙන්ම පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීමේ ක්‍රමවේදය වඩාත් විධිමත් කිරීමටද රජය විසින් පියවර ගෙන ඇත.

ඒ මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සිදුකර තිබෙන යහපත් ක්‍රියාමාර්ගවලින් කිහිපයක් පමණි. ඕනෑම තීරණයක් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික ගැටලු මතුවීම සහ දුෂ්කරතා පැනනැඟීම ස්වාභාවිකය. නමුත් ඒවා ජයගැනීමට ලෝකයේ දියුණු අධ්‍යාපන ක්‍රමවේද ක්‍රියාත්මක කරන රටවල්වලින් නිදසුන් ලබාගත හැකිය.

අධ්‍යාපනය යනු තාක්ෂණ ඇතුළු බහුවිධ දියුණුවට අනුරූපීව වෙනස් විය යුතු සංවේදී විෂය පථයක් බව මේ වන විට ලෝකයේ බොහෝ රටවල් අවබෝධ කරගෙන තිබෙන සත්‍යයකි. ගල් ලෑල්ල, ගල් කූර වෙනුවට ඇඟිලි තුඩින් ලෝකයම හසුරුවන ඩිජිටල් පරිපථ මෙන්ම ලොව පුරා ගුරු-සිසුන් යා කරන ඉන්ටර්ඇක්ටිව් වයිට් බෝඩ් පැමිණ ඇත. පන්ති කාමර වෙනුවට වෙබිනාර් (webinar) පන්ති පැමිණ ඇත. පොත් පුස්තකාල වෙනුවට ඊ පුස්තකාල පැමිණ ඇත. ඒ සියල්ල තුළ අද ලොව අති සාර්ථකම ආයෝජනය බවට අධ්‍යාපනය පත්ව ඇති අතර වර්තමානයේ ඉහළම ඉල්ලුමක් පවතින සේවාව වන්නේද අධ්‍යාපනයයි.

අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යයන් ලෙස සැලකෙන උගන්ඩාව, ඉතියෝපියාව සහ සිම්බාබ්වේ ආදී රටවල විශ්වවිද්‍යාල පවා මේ වන විට සැලකිය යුතු ඉහළ මට්ටමක පවතින්නේ ලොව ඉහළ පෙළේ සරසවි ජාලයක් සමඟ බැඳී තිබෙන නිසාය. මේ වන විට දකුණු කොරියාවේ සියලුම පාසල් බොහෝ දුරට ඩිජිටල් තාක්‌ෂණයෙන් පරිපූර්ණ කර තිබේ. හොංකොං හා තායිවානය වැනි රටවලද ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය අනිවාර්ය කොට තිබේ. සියවසකටත් වඩා පැරණි මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ අත්පත්කර ගත හැකි ප්‍රතිලාභ ඉතා සීමිත බැවින් අධ්‍යාපන අමාත්‍යවරයා යෝජනා කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම තවදුරටත් ප්‍රමාද කළ යුතු නොවේ.

2017 වසරේදී ලොව හොඳම අධ්‍යාපන ක්‍රමය බවට පත්වූ තවමත් ලෝක අධ්‍යාපන දර්ශකයේ ඉහළින්ම සිටින ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය තුළින් මෙරට අධ්‍යාපන ක්‍රමයට ගත හැකි ආදර්ශ බොහෝය.

සිසුවාගේ රුචිකත්වය සහ ඔහුගේ දක්ෂතා සහ කුසලතාවලින් උපරිම ප්‍රයෝජන ගනිමින් විද්වතකු බිහි කිරීමට සමත් ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමවල සමහර මූලයන් සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දමා නිර්මාණය වූවක් බව පැහැදිලිය.

ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය සැකසී ඇත්තේ ශිෂ්‍යයාට උපරිම පහසුව හා නිදහස ලබාදෙන අතර ඔවුන්ගේ දක්ෂතා නිසියාකාරව හඳුනාගෙන ඇගයීමට පත් කළ හැකි අයුරිනි. සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන නව අවුරුදු මූලික අධ්‍යාපනය සෑම ෆින්ලන්ත දරුවකුටම අනිවාර්ය වන අතර එහි විශේෂත්වය වන්නේ ෆින්ලන්ත දරුවකු 1 වැනි වසරට ඇතුළත් කරගන්නේ අප රටේ මෙන් අවුරුදු 6දී නොව වයස අවුරුදු 7න් වීමයි. එමෙන්ම වයස අවුරුදු 17දී සිදුකෙරෙන පොදු පරීක්ෂණයත් සමඟ ඔවුන්ගේ මූලික අධ්‍යාපනය අවසන් වේ.

ෆින්ලන්තයේ උපකාරක පන්ති පැවතියද මූලික අධ්‍යාපනය ලබන කාලය තුළ සිසුවාට අවශ්‍ය වන පාසල් පොත්, උපකරණ ඇතුළු සියලු අධ්‍යාපනික භාණ්ඩ ෆින්ලන්ත රජය විසින් සැපයේ. ඊට අමතරව දිවා ආහාරය නොමිලේ සපයන අතර ෆින්ලන්තයේ සම්පූර්ණ පාසල් දවසක් යනු විනාඩි 45ක කාලච්ඡේද 5ක් පමණි. ඒ අනුව විවේක කාලය හැරුණු විට ෆින්ලන්ත මූලික අධ්‍යාපනය ලබන දරුවකු පන්ති කාමරයක් තුළ වැඩ කරන්නේ දිනයකට පැය 3කුත් මිනිත්තු 45ක් පමණි. පාසල් යන පළමු අවුරුදු 9 හෙවත් වයස අවුරුදු 17 වන තුරු ඔවුන්ට කිසිම ආකාරයක තරගකාරී ජාතික විභාගයකට මුහුණ දීමට සිදුනොවීම විශේෂත්වයකි.

ෆින්ලන්තයේ වසරකට පාසල පැවැත්වෙන්නේ දින 190ක් වන අතර එහි පාසල් වාරය ඇරඹෙන්නේ අගෝස්තු මාසයේ මැදදීයි. එය අවසන් වන්නේ මැයි මාසයේදීය. ෆින්ලන්ත දරුවකුට නත්තල වෙනුවෙන් සති 10ක ග්‍රීෂ්ම නිවාඩුවක් ලැබෙන අතර අනෙකුත් ඍතු 3දීද නිවාඩු දින යම් ප්‍රමාණයක් හිමිවේ. සම්පූර්ණ ෆින්ලන්ත සිසු දරු ප්‍රජාවගෙන් මූලික අධ්‍යාපනය සාර්ථකව නිමා කරන පිරිස සියයට 99.7ක තරම් ඉහළ අගයක් ගන්නේ එකී පසුබිම තුළදීය.

ෆින්ලන්තයේ රජයේ ගුරුවරයකු වීමද පහසුවෙන් කළ නොහැක්කකි. ඔවුන්ට විෂය පිළිබඳ දැනුමට අමතරව ළමා මනෝ විද්‍යාව පිළිබඳද දැනුමක් තිබි‍ය යුතුය. ගුරු පුහුණු පාසල් ෆින්ලන්තයේ ජනප්‍රිය අංගයක් වන අතර ඒවායින් සමත් වීම නම් එතරම් පහසු දෙයක් නොවේ. එම නිසාම එහි පන්ති බාර ගුරුවරුන්ට අධ්‍යාපනය ලබා දෙන විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ විභාගයෙන් සමත් වන්නේ සියයට 9ක් වැනි සුළු පිරිසක් පමණි. ඊට අමතරව 1 වැනි වසරේ සිට 6 වසර දක්වා උගන්වන ගුරුවරයකුට සිසුන්ට ඉගැන්වීම සඳහා පශ්චාත් උපාධියක්ද 7 සිට 9 වැනි වසර දක්වා උගන්වන ගුරුවරයකුට ඒ සඳහා පශ්චාත් උපාධියක්ද තිබිය යුතුය. එවැනි සුදුසුකම් සපුරන ෆින්ලන්ත පාසල් ගුරුවරුන්ගේ හසල විෂය දැනුමත් මනෝ විද්‍යාත්මක දැනුමත් නිසා ශිෂ්‍යයන්ට ප්‍රියජනක වටපිටාවක් පන්ති කාමරය තුළ නිරායාසයෙන්ම ගොඩනැංවේ. ගුරුවරු මෙන්ම සිසුන් අතර තරගකාරීත්වය අඩු නිසා දක්ෂතාවෙන් මඳක් අඩු දරුවකු ගැන වුවත් වැඩි සැලකිල්ලක් දක්වා අනෙක් සිසු දරුවන් හා සමාන තලයට ගෙන ඒමට ෆින්ලන්ත ගුරුවරුන්ට වැඩි අවස්ථාවක් සැලසේ.

ෆින්ලන්ත රජය උසස් අධ්‍යාපනය සඳහාද ප්‍රතිපාදන සපයන අතර විශේෂයෙන්ම විද්‍යා විෂයයන් පිළිබඳ රජයේ විශ්වවිද්‍යාල උදෙසා රජය විසින් ප්‍රතිපාදන සපයයි. රජයට අමතරව ෆින්ලන්ත ඇකඩමිය හා යුරෝපියානු සහයොගීතාව වැනි ආයතනවලින්ද ෆින්ලන්ත උසස් අධ්‍යාපන ආයතනවලට ප්‍රතිපාදන සපයයි. රජය විසින් ආයතනයක සාර්ථකත්වය මත පදනම්ව අධ්‍යාපන ප්‍රතිපාදන සපයන ක්‍රමවේදයක්ද ක්‍රියාත්මක වන අතර ෆින්ලන්තය සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7ක් පමණ අධ්‍යාපනයට වෙන් කරයි .

ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය දෙස බැලීමේදී එහි ප්‍රායෝගික බව හේතුවෙන් ශිෂ්‍ය ප්‍රජාවට ලැබී තිබෙන වාසි රාශියක් දැකිය හැකිය. විශේෂයෙන්ම මුදල් ගෙවීමකින් තොරව මූලික අධ්‍යාපනය දුප්පත් පොහොසත් සෑම දරුවකුටම එක සේ ලැබීමත් සියලු පාසල් එක සමාන තත්ත්වයේ ලා සැලකීමත් නිසා සිසුන් අතරින් දක්ෂයන් තෝරාගැනීම පහසු වෙයි. එමෙන්ම දරුවන් අතර හීනමානය ඇතිවීමට ඉඩක් නොමැති නිසා ආත්ම විශ්වාසයෙන් පිරිපුන් සිසු පරපුරක් නිරායාසයෙන්ම බිහිවේ.

ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය අභියෝගවලට තනිව මුහුණ දිය හැකි දරුවකු ගොඩනඟන බව අධ්‍යාපන විචාරකයන්ගේ අදහසයි. ෆින්ලන්ත දරුවන් පාසලේ ගත කරන පැය ප්‍රමාණය අඩුවීම, ගෙදර වැඩ අඩු වීම තුළින් ඔවුන්ට සිය ළමා විය සතුටින් සැහැල්ලුවෙන් විඳින්නට හා නිදහසේ සිතන්නට ඉඩ ප්‍රස්ථාව ලබාදීම නිරායාසයෙන්ම සිදුවේ. එමෙන්ම එහි දරුවන්ට කුඩා කාලයේ සිට දකුණු ආසියානු රටවල බොහෝ දරුවන්ට මෙන් මවුපියන් ඇතුළු වැඩිහිටියන්ට අවැසි වෘත්තියේ යෙදිය යුතු යැයි බලකිරීමක් සිදු නොවන අතර සිය කැමැත්ත පරිදි විෂයයන් තෝරා ගැනීමට උනන්දු කරවයි. ෆින්ලන්ත දරුවන්ට සිතාමතා ක්‍රියා කළ යුතු ක්‍රියාකාරකම් වැඩි අතර ගවේෂණ තුළින් ඉගෙන ගැනීමටද වැඩි අවකාශ සලසා දී තිබේ. ඒ තුළින් කුඩා වියේ සිට දරුවන්ගේ සිතීමේ හැකියාව, කාර්යශූර බව, නිර්මාණශීලී බව නිරායාසයෙන්ම වර්ධනය වේ.

වර්තමානය වන විට ෆින්ලන්තයේ සාක්ෂරතාව සියයට සියය සපුරා තිබෙන අතර එය ලොව වැඩිම සාක්ෂරතා අගය ලෙස සැලකේ. එහි ශ්‍රම බලකායෙන් සියයට 84ක්ම උසස් අධ්‍යාපනය ලබා ඇති අය වීමත් සියයට 39ක් පශ්චාත් උපාධි මට්ටමේ සිටින්නවුන් වීමත් විශේෂත්වයකි. එම නිසාම ෆින්ලන්තයේ විරැකියා ප්‍රතිශතය සියයට 8.7ක් වැනි අගයක් ගනී.

මේ වන විට ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය වැනි රටවල්ද ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය අනුගමනය කරමින් සිටින අතර ජර්මනියද එම අධ්‍යාපන ක්‍රමය පිළිගෙන තිබේ. ශ්‍රී ලංකාව වැනි මැදි ආදායම් ලබන දකුණු ආසියාතික රටකට එවැනි අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෑමේදී විවිධ බාධා එල්ල වීම ස්වභාවිකය. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය හා මුල්බැසගත් ගුරු දෙගුරු ආකල්ප වෙනස් කිරීම මූලිකවම කළ යුතු කාර්යයකි.

තුන්සිය හැටපස් දවසේම දරුවා පොතපත තුළම ඇලීගැලී සිටිය යුතු යැයි සිතන ගුරු දෙගුරුන් බහුල සමාජයක අධ්‍යාපනය ලබන කාලය අඩුකරන්නට යෑම දැඩි විරෝධතා පෙළක ඇරඹුමක් විය හැකිය. ෆින්ලන්තයේ රජයට එහි සියලුම පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාරය සැපයීමටත් උසස් අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රතිපාදන සැපයීමටත් වත්කමක් තිබුණද ශ්‍රී ලංකාවට වැනි රටකට එය අපහසු විය හැකිය. ඊට අමතරව මනෝ විද්‍යා දැනුම සහිත ගුරුවරුන් මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ දැක ගත හැක්කේ ඉතා අඩුවෙනි. එපමණක් නොව මෙරට ජනගහනයට ප්‍රමාණවත් වන මනෝ වෛද්‍යවරුන්ගේ පවා හිඟයක් තිබෙන බව සෞඛ්‍ය අංශ දත්ත වාර්තාවලින් අනාවරණය වී තිබිණ.

ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන සියලු සාධක ඒ ආකාරයෙන්ම මෙරටට අනියුක්ත කිරීමද සුදුසු නොවේ. නමුත් ඒ තුළින් ලබාගත හැකි ආදර්ශ බොහෝය. සි‍යලු අධ්‍යාපන ආයතන එක මට්ටමක ලා සැලකීම, දරුවන්ට ජීවිතය විඳින්නට හා අනාගත තෝරාගැනීම නිදහසේ සිදුකළ හැකි හැකියාව වර්ධනය කිරීම, අධ්‍යාපනය උදෙසා දළ දේශීය නිෂ්පාදනයෙන් මීට වඩා සැලකිය යුතු අගයක් වෙන් කිරීම ආදී කරුණු පිළිබඳවද අධ්‍යයනය කර ඒවා මෙරට අධ්‍යාපනික රාමුවට ගැළපෙන පරිදි ඇතුළු කළ හැකි නම් මෙරට අධ්‍යාපනයේ හෙට දවස මීටත් වඩා ඵලදායී කරගැනීම අභියෝගයක් නොවනු ඇත.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා