සිනමාවට ජෝති ගැයූ ගී

 ඡායාරූපය:

සිනමාවට ජෝති ගැයූ ගී

අතිශය ජනප්‍රියත්වයට පත්වූ හෙලයේ මහා ගායන ශීල්පී එච්.ආර්. ජෝතිපාලයන්ගේ 32 වැනි ගුණ සැමරුම 2019 වසරට යෙදී ඇත. 1936 පෙබරවාරි මස 12 වැනි දින මෙලොව එළිය දූටු හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල හෙවත් එච්.ආර්. ජෝතිපාල සහෘදයා 1987 වසරේ 7 වැනි මස 7 වැනිදා උදෑසන මෙලොවින් සමුගන්නා විට 51 හැවිරිදි වියේ පසුවිය.

ඔහු කෙතරම් ජනප්‍රිය වීද යත් මියගොස් වසර 32ක් ඉක්ම යන මේ මෙහොතේද ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගායකයා වශයෙන් එකහෙලා හැඳින්විය යුතුව ඇත. එතුමාගේ ජනප්‍රියත්වය දිනෙන් දින ලියලා වැඩෙන මහා වෘක්ක්‍ෂයක් වැනිය.

ශ්‍රී ලංකාවේ සතර දිග්භාගයේ විවිධ කලා වැඩසටහන් සංවිධායකවරු ස්වේච්ඡාවෙන්ම ජෝති සමරති. ඔහු වෙනුවෙන් ජෝති ගීත යොදා වසරක් පාසා සංදර්ශන පැවැත්වීමටද ඔවුන් අමතක නොකරයි. මරණින් පසුවද මෙවැනි ජනප්‍රියත්වයක්, එල්විස් ප්‍රෙස්ලිට හෝ ජිම් රිව්ස්ටවත් නොතිබූ බවට ඉතිහාසය සාක්‍ෂි දරනු ඇත.

ටෙලි සිනමා කලා සංසදයේ නිර්මාතෘ චිත්‍රපට අධ්‍යක්‍ෂ දිනේෂ් ප්‍රියසාද් සහ ජෝති හිතෛෂී නිශාන්ත කුමාර විසින් වසරක් පසා පවත්වනු ලබන “ජෝති ගැයූ ගී සිනමාවට” ප්‍රසංගය මෙවරද උත්සවශ්‍රීයෙන් මහරගම යොවුන් රඟහලේදී අගෝස්තු මස 24 වැනි සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට තිබේ. නොමිලේ පත්වන මෙම උපහාර, සංගීත, සම්මාන රාත්‍රිය වෙනුවෙන් ජනප්‍රිය මෙන්ම විශිෂ්ට ගණයේ කලාකරුවන් රැසක් සහභාගී වීමට නියමිතය.

ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, රොජර් සෙනෙවිරත්න, චන්න පෙරේරා, ලලිත් පොන්නම්පෙරුම, රොඩ්නි වර්ණකුල, ටෝනි හසන්, මුතූ තරංගා, ක්ලීටස් මෙන්ඩිස්, සාරංග දිසාසේකර, සුප්‍රියා අබේසේකර, උද්දික ප්‍රේමරත්න, දිනක්‍ෂි ප්‍රියසාද්, අමල් එදිරිමාන්න, ශේෂාද්‍රි ප්‍රියසාද්, වෝල්ටර් ප්‍රනාන්දු, ඉමල් ජූඩ්, අමිලා නදීශානි, උපසේන සුබසිංහ, ශනුද්‍රි ප්‍රියසාද්, සජිත ඇන්තනී, වජිර එදිරිමාන්න, චමිලා තුෂාරි, විශ්ව කොඩිකාර, සුදේශ් වසන්ත පීරිස්, යශෝදරී එදිරිමාන්න, ඒ.කේ. සුරේෂ්, කාංචනා පීරිස්, දූල්ෂාරා දසන්ති, සෙමීරා හසන් සහ කුද්සි අහමඩ් ඇතුළු කලාකරුවන් 32ක් 32 වැනි ජෝති සැමරුම වෙනුවෙන් ජෝති ගීත 32ක් ගයනු ඇත.

“එදත් සූරයා අදත් සූරයා, සිරිල් මල්ලී, සංගීතා, සදහටම ඔබ මගේ, හිතහොඳ මිනිහෙක්, ඔබටයි ප්‍රියේ ආදරේ, රත්තරන් අම්මා, හොඳම වෙලාව, මිනිසුන් අතර මිනිහෙක්, දෙයියන්ගෙ රටේ, ලොකුම හිනාව, සුනේත්‍රා, අංජානා, ශාන්ති, ජය අපටයි, දහකින් එකෙක්, මේ දෑස කුමටද, අද මෙහෙමයි, ආවා සොයා ආදරේ, තුෂාරා, කස්තුරි සුවඳ, කවුද රජා, ඔන්න බබෝ බිල්ලො එනවා, ලසඳා, සිනාවයි ඉනාවයි, හිත මිතුරා, චණ්ඩි පුතා සහ හතර දෙනාම සූරයෝ යන අතිශය ජනප්‍රියත්වයට පත්වූ චිත්‍රපට 28කින් මෙවර ප්‍රසංගය සඳහා ජෝති ගීත 32ක් උපුටා ගෙන තිබේ.

එමෙන්ම උපුටා ගත් ජෝති ගීත 32 සඳහා ශිල්පීන් ශිල්පිනියන් 32කින් සමන්විත ‘යූත් එක්ස් ට්‍රීම්’ සංගීත වෘන්දය මෙහෙයවමින් සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ විශාරද නුවන් සමරසිංහ විසිනි. මෙවරද ජෝති වෙනුවෙන් ලාංකේය කලා ක්‍ෂේත්‍රයේ කලාකරුවන් 7 දෙනකු ලෝකඩ සම්මානයෙන් සහ මුදල් සම්මානයෙන් පිදුම් ලබනු ඇත.

මෙම මහා සද්කාර්ය වෙනුවෙන් වෛද්‍යාචාර්ය ගොඩකන්ද මහතා ඇතුළු අනුග්‍රාහක බවතුන් කිහිපදෙනකු මුල්‍යමය සහයෝගය දක්වා ඇති අතර ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්‍ෂක ජනරාල් නිතීඥ එරන්ද වැලිඅංගේ මහතා එච්.ආර්. ජෝතිපාල නම් සූවිශේෂී චරිතය වෙනුවෙන් පූර්ණ දායකත්වය ලබා දී තිබේ.

පාඨක, ප්‍රේක්‍ෂක ඔබ සැමට අගොස්තු මස 24 වැනි සෙනසුරාදා සවස 5.00ට පැමිණ මහරගම යොවුන් රඟහලේ අසුන් ගන්නා ලෙස විවෘතව ආරාධනා කරයි.

සටහන [දිනේෂ් ප්‍රියසාද්]

මාතෘකා