අපි හැමදාම කරන්නේ අලුත් දේවල්

 ඡායාරූපය:

අපි හැමදාම කරන්නේ අලුත් දේවල්

ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා

ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් නිරන්තරයෙන් බලාපොරොත්තු වන්නේ වෙනස් මුහුණුවරකින් යුත් රූපවාහිනී වැඩසටහන් නැරඹීමටය. එහෙත් එය ක්‍රියාවට නැංවීම සුළු පටු කාර්යක් නොවේ. එහි ප්‍රධාන වගකීම පවතින්නේ ඒ අදාළ රූපවාහිනී නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂවරයාටය. පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රූපවාහිනී නාලිකාවක් වන දෙරණ නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂ ශර්මිලා ධර්මරාසා ‍ෆොන්සේකා සමඟ සිදුකළ සංවාදයකි.

අනෙක් රූපවාහිනී මාධ්‍ය සමඟ තරගකාරීත්වයට මුහුණ දෙමින් වැඩසටහන් ජනගත කිරීමට දරන උත්සාහය කෙසේද?

අපි හිතන දේ නෙමෙයි ප්‍රේක්ෂකයෝ හිතන්නේ. උදාහරණයක් විදිහට අපි හිතනවා යම් සංගීත වැඩසටහනක් ප්‍රේක්ෂකයන්ට හොඳයි කියලා. ඒ වුණත් ප්‍රේක්ෂකයෝ ඊට වඩා වෙනස් දෙයක් අපෙන් බලාපොරොත්තු වෙනවා. අපි නිරන්තරයෙන් අත්හදාබැලීම් සිදුකරනවා. ඒ අනුව අපි ප්‍රේක්ෂකයන් ඉක්මනින් වැළැඳගනියි කියලා හිතලා වැඩසටහන් නිර්මාණය කරනවා. විශේෂයෙන් අපි වැඩසටහන් නිර්මාණය කරන්නේ ගෘහණියන්ට, දරුවන්ට, වෘත්තිකයන්ට, මැදිවියේ පිරිසට යනාදී විවිධ පිරිස් කණ්ඩායම්වලට අනුකූලවයි.

ඔබ නාලිකාවේ වැඩසටහන් තුළින් සම්ප්‍රදායික ක්‍රමවේදයන්ට සිර නොවී නව ප්‍රවණතාවලට අනුගත වීම නිරන්තරයෙන් දක්නට ලැබෙනවා?

අපි වැඩසටහන් නිර්මාණය කරන්නේ අපේ සංස්කෘතියේ තිබෙන දේවල් සහ විදේශීය සංස්කෘතියෙහි තිබෙන දේවල් සම්මිශ්‍රණය කරලයි. සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ට කොටු නොවී සමාජයට පැමිණෙන නව ප්‍රවණතාවන් අපි උකහා ගන්න අවශ්‍යයි. මීට වසර ගණනාවකට ඉස්සර රූපවාහීනී ප්‍රවෘත්ති කියන කාන්තාවන් සෑම කෙනකුම සාරි ඇඳගෙනයි ප්‍රවෘත්ති කිව්වේ. ඒ නිසා අපගේ ප්‍රේක්ෂකයන් හැමදාම දැක්කේ සාරි ඇඳ‍ගෙන ප්‍රවෘත්ති කියන අයයි. ඒ සාම්ප්‍රදායික ක්‍රමවේදය අපි වෙනස් කළා. ඒක අපේ ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වුණා.

විවිධාංග වැඩසටහන් (Variety Programme) නිර්මාණය කිරීමේදී විවිධ වූ ඉලක්කගත කණ්ඩායම්වලට අනුගත වීම සුවිශේෂී වෙනවා නේද?

ලංකාවේ ටෙලිවිෂන්වල මීට වසර කිහිපයකට ඉස්සර දක්නට ලැබුණේ කාන්තාවන්ට පමණක් නිර්මාණය කළ වැඩසටහන්. අපි ඒ සාම්ප්‍රදායික ක්‍රමවේදය බිඳ දැමුවා. ලෝකයේ තිබෙන සෑම වැඩසටහන් සංකල්පයක්ම මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. අපි ලෝකයේ හොඳම සංකල්ප පිළිබඳව අධ්‍යයනය කරලා, එම සංකල්ප අපේ රටට අනන්‍ය අකාරයට නිර්මාණය කරනවා. ඒක අභියෝගාත්මක දෙයක්.

වර්තමානයේදී සිංහල හඬකැවූ ඉන්දියානු ටෙලිනාට්‍ය බොහෝ නාලිකා මඟින් ප්‍රදර්ශනය වෙනවා. ඔබගේ නාලිකාව මඟින් එවැනි ටෙලිනාට්‍ය ප්‍රදර්ශනය කිරීමේදී සලකා බලන සාධක මොනවාද?

ප්‍රේක්ෂකයො නිරන්තරයෙන්ම කැමැති වෙන්නේ ලස්සන දේවල් බලන්නයි. එවැනි ලස්සන දේවල් පෙන්වීමේ යුතුකම තමයි අපි ඉටු කරන්නේ. ඉන්දියානු නාට්‍ය බලන බොහෝ කාන්තාවන් එම නාට්‍යයේ චරිත, අඳින පළඳින විදිහ, කොණ්ඩා මෝස්තර අනුකරණය කිරීමට යොමුවෙනවා. මම පසුගිය දිනකත් දැක්කා ලංකාවේ මෙහෙන්දි උත්සවයක් පවත්වනවා.අපි ඉන්දියානු නාට්‍ය තෝරා ගැනීමේදී නාට්‍යයේ වස්තු බීජය, නාට්‍යයේ හරය, නාට්‍යයේ රඟපාන නළු නිළියන් පිළිබඳව සලකා බැලීම සිදුකරනවා. ඒ වගේම එකිනෙකට වෙනස් ආකාරයේ ඉන්දියානු හඬකැවූ නාට්‍ය විකාශනය කරනවා.

විශේෂයෙන් කාන්තාවකට තමන්ගේ නායකත්වයෙන් යුක්තව වැඩසටහන් නිර්මාණය කිරීමේදී තම කණ්ඩායම මෙහෙයවීම එතරම් පහසු කාර්යක් වන්නේ නැහැ?

කාන්තාවකට දැනුම කොතරම් තිබුණත් වැඩක් නෑ තමන්ගේ දැනුම ප්‍රායෝගිකව පෙන්වන්න බැරි නම්. තමන් පිළිබඳව විශ්වාසය ගොඩනඟාගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ දක්ෂතාවය පෙන්වීම මඟිනුයි. ඉගෙනගෙන අදාළ ක්ෂේත්‍රයේ දැනුම ලබා ගෙන මේ තැනට ආව හින්දා මට ගැටලුකාරී තත්ත්වයන්ට ඒ තරම් මුහුණ දීමට සිදුවුණේ නෑ. අදහස් ක්‍රියාත්මක කිරීමට සාමූහික පිරිසක් අවශ්‍ය වෙනවා. මගේ අදහස සාමූහිකව ක්‍රියාත්මක කිරීමට පෙර අදාළ කණ්ඩායමට මා පිළිබඳව විශ්වාසයක් ගොඩනඟාගන්න අවශ්‍යයි. නැත්නම් මට හරි විදිහට කටයුතු කරන්න වෙන්නේ නෑ.

අද වෙනකොට මම වැඩසටහන් රූගත කිරීම් කරන තැන්වලට යන්නේ නෑ. මම ඔවුන්ට තනිවම තමන්ගේ කාර්යභාරය පිළිවෙළකට කරන්න උපදෙස් දීලා තියනවා. මම කරන්නේ මෙන්න මේක මේ විදිහට කරන්න කියලා කියන එක පමණයි.

දෙරණ නාලිකාව මඟින් ඉදිරියේදී විකාශනය කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව පැවසුවොත්?

මම හිතන්නේ ඒක දැන්ම කියන එකට වඩා ප්‍රේක්ෂකයන්ව පුදුම කළොත් හොඳයි කියලයි. අපි හැමදාම ප්‍රේක්ෂකයන්ට අලුත් දෙයක් දෙන්න අවශ්‍යයි කියන මතයේ ඉන්නවා. අපි නිර්මාණය කළ වැඩසටහන් වෙනත් නාලිකා අනුගමනය කරනවා. ඊට පසුව ඔවුන් අපි නිර්මාණය කළ වැඩසටහන් හා සමගාමී වැඩසටහන් සකස් කරලා තියෙනවා.

ඔබ මෙතෙක් පැමිණි ගමන් මඟ පිළිබඳව මතක් කරමින් වර්තමානයේදී රූපවාහිනී ක්ෂේත්‍රයේ රැකියාවන්හි නිරත වන පිරිසට දිය හැකි ආදර්ශයක් තියෙනවද?

වැඩිපුරම මම අධ්‍යාපනය ලැබුවේ ඉන්දියාවේ. මම චෙන්නායිවල ලොයලා කොලේජ්හිදී "Bachelor in Visual Communication" හැදෑරුවා. එහිදී මම සිනමාකරණ සහ රූපවාහිනීකරණය පිළිබඳව වැඩිදුර හැදෑරුවා. ඒ අතරින් රූපවාහිනී ක්ෂේත්‍රය පිළිබඳව මූලික වශයෙන් ඉගෙන ගත්තා. ඊට පස්සේ මම ලංකාවට ඇවිල්ලා ඉස්සෙල්ලම ටෙලිසිනේ ආයතනයට සම්බන්ධ වුණා. එහිදී මට ඩී.බී. නිහාල්සිංහයන්ගේ සහෝදරයකු වන සුරනිමල මහත්මා සමඟ වැඩකරන්න අවස්ථාව හිමි වුණා. ඊට පස්සේ මට අවුරුදු කිහිපයක් "යං ඒෂියා ටෙලිවිෂන්" හි ජ්‍යේෂ්ඨ නිෂ්පාදිකාවක් ලෙස වැඩ කරන්නත් පුළුවන් වුණා.

ඉන් පසුව මට ඉන්දියාවේ Star network එකේ වැඩ කිරීමට අවස්ථාවක් ලැබුණා. එහිදී මම Star Vijay නාලිකාවේ ජ්‍යේෂ්ඨ අධීක්ෂණ නිෂ්පාදිකාවක් ලෙස දෙමළ භාෂාවෙන් කටයුතු කළා. පසුකාලීනව මට හිතුණා ලංකාවට ඇවිල්ලා මොනවාහරි දෙයක් කළොත් හොඳයි කියලා. 2005 වර්ෂයේදී මම ලංකාවට එනකොට ‘දෙරණ’ කියලා නාලිකාවක් ගැන මම ඒ තරම් දැනගෙන හිටියේ නෑ. ඒ කාලේ සාමාන්‍යාධිකාරීවරයකුව සිටි චන්ද්‍රසේකරන් මහත්මා මාව සම්මුඛ පරීක්ෂණයකට යොමු කරලා, මාව තෝරාගෙන වැඩ කරන්න එනවද කියලා ඇහුවා. මම මුලින්ම දෙරණ නාලිකාව සමඟ සම්බන්ධ වුණේ ඒ අනුවයි.

මගේ මහන්සියෙන් විතරක් නෙමෙයි බොහෝදෙනාගේ මහන්සියේ ප්‍රතිඑලයක් හින්දා තමයි අපිට මේ මට්ටමකට එන්න පුළුවන් වෙලා තියෙන්නේ. අද සමාජයේ බොහෝදෙනා හිතන් ඉන්නේ ආයතනයකට ආව ගමන් ලොකු තනතුරුවලට යන්නයි. ඊට ඉස්සෙල්ලා තමන් වැඩකරන ක්ෂේත්‍රයට අදාළව අධ්‍යාපනයක් ලබා තිබීම වැදගත් වෙනවා. වැදගත් වෙන්නේ අපි අදාළ ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන්ට ගරු කරලා, ඔවුන්ගෙන් ඉගෙන ගෙන, ඔවුන් දෙන වැඩ වගකීමෙන් සිදුකිරීමයි. එ‍් ආකාරයෙන් සිදුකිරීමෙන් ඕනෑම පුද්ගලයකුට තමන්ගේ වෘත්තීය ජීවිතය තුළ බය නැතිව ආත්මාභිමානයෙන් ඉදිරියට යන්න පුළුවන්.

සටහන [මදාරා මුදලිගේ]

මාතෘකා