හතළිහ කියන්නෙත් සෙල්ලමක් නෙමෙයි

 ඡායාරූපය:

හතළිහ කියන්නෙත් සෙල්ලමක් නෙමෙයි

ජූඩ් ශ්‍රීමාල්

‘ජූඩ් ශ්‍රීමාල්’ කියන නම ඔබට නුපුරුදු වෙන්න බෑ. වේදිකා නාට්‍ය සංවිධානය කරමින් ඒවා රටපුරා ගෙනයන ජූඩ් ශ්‍රීමාල්ගේ කලා දිවියට වසර හතළිහක්. ජැක්සන් ඇන්තනීලා, ශ්‍රියන්ත මෙන්ඩිස්ලා, ජයන්ත චන්ද්‍රසිරිලා, කමල් අද්දරආරච්චිලා එක්ක ආරම්භ කරපු අවුරුදු හතළිහක කලා ජීවිතේ කොයිතරම් මතක එක්කාසු වෙලා ඇද්ද? ‘මට තාම හතළිහයි’ කියලා ජූඩ් උලෙළක් සංවිධානය කළේ අන්න ඒ නිසා. නාට්‍ය උලෙළ 2019අගෝස්තු මස 19 වැනිදා සිට 25 දක්වා කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රංගශාලාවේදී පැවැත්වෙනවා. ඒ අනුව වේදිකා නාට්‍ය 07ක් වේදිකාගත කිරීමට නියමිතයි. කවුරුත් දන්න ආමන්ත්‍රණයේ හැටියට ජූඩ් අයියා එක්ක කතාවකට වැටුණේ ඒ මතක මිහිරියාව මතු කරගන්න.

ළමා හා යොවුන් නාට්‍ය ආයතනය ජර්මන් ජාතික මහාචාර්ය නෝර්බර්ට් ජේ. මයර් සමඟ එක්ව වැඩමුළුවක් පවත්වනවා කියලා තිබුණු පුවත්පත් දැන්වීමට ජූඩ් ශ්‍රීමාල් එදා අයැදුම් පත්‍රයක් දැම්මා.

“එදා තෝරාගැනීම සිදුවුණේ සුදර්ශියේ. සියයට වැඩි පිරිසක් හිටියා අයැදුම්කරුවන් එතන. “නළු මොඩ්ල් එකේ” ගොඩක් අය එතැන හිටියා. මේක මට ගැලපෙන තැනක් කියලා මට හිතුණේ නෑ. ගීතයක් කියන්න කීවාම ගී කියලා නැති වුණාට පල්ලියේ කන්තාරු කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ලැබුණු අත්දැකීම්වලින් ගීතයත් ගායන කළා. තේරී පත්වුණු පිරිස අතරින් විසි වැනියට විතර ගජසිංහ ආරච්චිගේ ජූඩ් ශ්‍රීමාල් ඇලෙක්සැන්ඩර් ද සිල්වා කියන නම කියැවුණා. ඒ තමයි නාට්‍ය ගමනේ පටන්ගැන්ම. ‘අනේ අබ්ලික්’ නාට්‍ය තමයි මුල්ම නාට්‍යය. ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයන්ත චන්ද්‍රසිරි, කමල් අද්දරආරච්චි, චිත්‍රා කුමාරි කළුබෝවිල, චින්තා ශ්‍යාමලී, ජනාධිපති නීතිඥ යූ. ආර් ද සිල්වා ආදී කට්ටිය ක්ෂේත්‍රයට එන්නේ එතැනින්.”

ඉස්කෝලේ හවස ඇරුණාම එතැනින් ඔවුන් ගියේ නාට්‍ය පාසලට. එහිදී නාට්‍ය දර්ශන පෙන්වන්නත් පටන් ගත්තා. දර්ශන වාර අවසන් වෙද්දි මේ කණ්ඩායමට බයක් ආවා නාට්‍ය දර්ශන නැති වුණොත් මේ මිත්‍රසන්තවයත් ඉවරයි කියලා. ඉන්පසුව කමල් අද්දරආරච්චිගේ අම්මා ලීලා අද්දරආරච්චි ජයන්ත චන්ද්‍රසිරිට නාට්‍යයක් හදන්න මුදල් වියදම් කළා. ඒ නාට්‍යයේ නම ‘සරස්වතී’.

රට පුරා ගිහින් නාට්‍ය සංවිධානය කරන්න පටන් ගත්තේ මේ කාලයේදී. ගාල්ලේදී රංජිත් පලිහපිටියගේ ගෙදර කාමරයක් අරගෙන නැවතිලා ‘බැද්දේගම’ නාට්‍ය දර්ශනයක් කළා.

නාට්‍යයත් හැමදාම දුවවන්න බැරි වුණා. චිත්‍ර ඇඳීමේ පොඩි හැකියාව පාවිච්චි කරමින් චිත්‍ර කතා ලියන්න පටන්ගත්තේ ඒ කාලේදී. උපාලි සමාගමෙන් පටන් ගත් චිත්‍ර කතා පත්තරේකට සම්බන්ධ වුණා. එහි චිත්‍ර කතා ප්‍රවීණයන් අතර ජූඩ් පොඩි තරුණයෙක්. එහිදී ඇඳපු ‘ආයෙත් එන්නේ නෑ’, ‘හෙට නගරය’ පාඨකයන්ගේ සිත් ගත් චිත්‍ර කතා.

“චිත්‍ර කතාවේ අකුරු ලියවා ගත්තේ අම්මාට කියලා. ඒ මගේ අකුරුවලට වඩා අම්මාගේ අකුරු ලස්සන නිසා. කතාවේ තියෙන ආදර දෙබස් අම්මාට කියලා ලියවගන්න ලැජ්ජයි. අවසානේ අකුරු ලස්සන කෙනෙක් කසාද බඳින්නත් හෙව්වා. අකුරු ලස්සන වෙනකොට මූණ කැතයි. මූණ ලස්සන වෙනකොට අකුරු කැතයි.” චිත්‍ර කතා මතකය ඔහු මතක් කළේ එහෙම.

ඉන්පසු පැරණි චිත්‍ර කතා පොත් කිහිපයකුත් මුද්‍රණය කරන්න ජූඩ් කටයුතු කළා.

“ඒ ඔක්කොම පාඩුයි. ඒ වගේම විජය නිවුස්පේපර්ස් එක්ක එකතු වෙලා සතුට චිත්‍ර කතා පත්තරේ කළා. අදටත් චිත්‍ර කතා ලෝලීන් ඉන්නවා. නැත්තේ නෑ.” ඔහු සිහිපත් කරයි.

අද වෙද්දි ජූඩ් නාට්‍ය තිහක් නිෂ්පාදනය කරලා තියෙනවා. සොමිරත්නයන්ගේ ‘මනස්කෝලා’ තමයි මුලින්ම කරපු නාට්‍ය නිෂ්පාදනය වුණේ. අවුරුදු විසිපහක් තිස්සේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයාගේ නාට්‍ය වේදකා ගත කරන්නේ ජූඩ් ශ්‍රීමල්. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, සයිමන් නවගත්තේගම, ආර්.ආර්. සමරකෝන්, සුගතපාල ද සිල්වා, පරාක්‍රම නිරිඇල්ල ආදි ප්‍රවීණයන් සමඟ වැඩ කිරීමට, ඇසුරු කිරීමට ලැබීම ඔහු ලැබූ භාග්‍යක් බව පැවසුවා.

“මම චිත්‍ර කතා අඳින කාලේ මට ගොඩක් උදව් වුණේ ක්ලැරන්ස් විජේවර්ධන. ඒ ගීත ආදරයෙන් රසවින්ඳා. ඔහුගේ මළගෙදරට මං දවස් හතම ගියා. හදිසියේම ඔහු කීවේය. ටෝනි රණසිංහගේ ජීවිත කතාව ලිවීමට ජූඩ්ට උවමනාවක් ඇතිවුණා. ටෝණි රණසිංහ කඩවසම් නළුවෙක්. දැන් ඉන්නවා වගේ කෙනෙක් නෙවෙයි. “පොතක් ලියලා මිනිස්සුන්ට මාව එපා කරවන්නද හදන්නේ?” ටෝණිගේ ඒ වචනවලින් පොත ලිවීම එතැනින් හමාර වුණා.”

රංගනයෙන් වේදිකාවට එන්නට මං සලසාගත් ජූඩ් නාට්‍ය සංවිධානය, නාට්‍ය නිෂ්පාදනය, තිර රචනය, වේදිකා පරිපාලනය, චිත්‍ර කතා ඇඳීම වැනි කලා කටයුතු රාශියක නිරත වූ අයෙක්.

“පොතක් ලියන්න හිතාගෙන ඉන්නවා, හොඳට සූදානම් වෙලා කරන්න ඕන වැඩක්.” ඒ කියන්නේ පොතකින් අලුත් වැඩක් කරන්නට ඔහු සූදානම් වන බවයි.

අවුරුදු හතළිහක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි. වේදිකාවට නාට්‍යයක් ගෙනඑන එක පහසු නෑ. අමාරුවෙන් හදන වේදිකා නාට්‍ය දුවවන එකත් ලේසි නෑ. නාට්‍ය අරන් අවුරුදු හතළිහක් තිස්සේ රට වටේ යනවා කියන්නේ කොහෙත්ම සෙල්ලමක් නෙවෙයි. මේ ගමන සුවිශේෂී වෙන්නේ ඒ නිසා. ඒ ගමනට සුබ පතන්න රැස අපි මෙය අවස්ථාවක් කරගන්නත් අමතක කරන්නේ නෑ.

නාට්‍ය සංවිධායකවරයාගේ චරිතය හොඳටම රඟපාන්නේ ජූඩ්

නාට්‍ය කලාවේ සංවිධායකවරයාගේ චරිතය හොඳටම රඟපාන්නේ ජූඩ්. ජූඩ් ශ්‍රීමාල් ගැන ඉතිහාසයේ වැඩිපුරම මතක තියෙන්නේ මට. අපි දෙන්නා එකම පාසලේ, එකම පංතියේ. මම ඩෙස්ක් එකට ගහමින් සින්දු කිව්වා. ඔහු කලාබර නෑ. හැබැයි ඔහුට සංවිධායකවරයකු ලෙසම සැලසුම් කිරීමේ පුළුවන්කම තිබුණා. අප එදා ජර්මන් ජාතික නෝර්බර්ට් ජේ. මයර්ගේ නාට්‍ය වැඩමුළුවෙදිත් එකට මුණගැසුණා. අපි කරපු මුල්ම නාට්‍යයෙත් ඔහු සංවිධායකවරයා. ඔහු ඉගෙනගත්තේ රඟපාන්න. නාට්‍ය කලාවේ සංවිධායකවරයාගේ චරිතය හොඳටම රඟපාන්නේ ජූඩ්. නාට්‍ය ප්‍රේක්ෂකාගාරයේ හබල ඔහු සතුයි. ඒ හබල කැඩී නොයා රංගය නමැති මහා සයුර තරණය කරන්නට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා පතනවා.

බැරි වැඩ කරන්න රුසියෙක්

ජූඩ් කරන නාට්‍ය කෙරුවාව හරිම අමාරු වැඩක්. ලේසියෙන් කාටවත් කරන්න බෑ. නාට්‍යකරුවන් සන්තෝසයෙන් තියාගෙන, හැමදෙනාටම ගැලපෙන විදිහට වැඩකරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. උපක්‍රමශීලිව ඒ දේ කරන්න ඔහුට හැකියාව තියෙනවා. ඒ වගේ බැරි වැඩ කරන මනුස්සයෙක්. බැරි වැඩ කරන්න රුසියෙක් .

අවුරුදු හතළික් ඔහු කරපු දේට අපි සාක්ෂිකරුවෝ

නාට්‍ය ක්ෂේත්‍රයේ නාට්‍ය සංවිධායකයන් බොහොම අතලොස්සයි හිටියේ. සංවිධායකයන් නොසිටින්න නාට්‍යකරුවා හා ප්‍රේක්ෂකයා අතර සම්බන්ධතාව ගිලිහෙනවා. නාට්‍ය සංවිධානය කියන වපසරිය පෞද්ගලික ඕනෑ එපාකම් මත සකස් කළා කීපදෙනෙක්. ස්වාධීන නාට්‍ය සංවිධායකයා නැති වීමෙන් නාට්‍ය කලාව වල් බිහි වුණා. ජූඩ් නාට්‍ය සංවිධායකයා කියන සමාජ ස්ථරයේ පුරෝගාමියෙක්. ජූඩ්ට පෙර ශ්‍රී ලංකාවේ නාට්‍ය සංවිධායකයන් හිටියත් එය වෘත්තිය මට්ටමින් පවත්වාගෙන යන පළමු සහ එකම කෙනා ජූඩ්. ප්‍රාදේශීය සංවිධායකවරුන් ඒකරාශි කරන, නාට්‍යාගාර සම්බන්ධ කරන, වෘත්තිය නාට්‍යකරුවන් ඒකාරාශී කරන විශාල කාර්යභාරයක් ඔහු ඉටු කළා. අවුරුදු හතළික් ඔහු කරපු දේට අපි සාක්ෂිකරුවෝ. ජූඩ්ගේ සංවිධානයට මූල්‍යම කාරණාවක් නිසා විශාල මඩ ප්‍රහාර එල්ල වුණා. නමුත් ජූඩ් විසින්ම ඔප්පු කරනු ලැබුවා ජූඩ් කෙනෙක් නොහිටියානම් ලංකාවේ අනාථ වුණු නාට්‍ය කලාව තවත් අනාථ වෙනවා කියලා. සියලු ඇනුම් බැනුම්, බර කරට ගනිමින් නාට්‍ය කටයුත්ත නිර්මාණකරුවාට නිදහසේ කරගෙන යන්නට අවස්ථාව ජූඩ් ලබා දෙනවා.

[රසිකා හේමමාලි]

මාතෘකා