ජගත් කීර්තිධර ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා නමින්ම ආදර්ශ ගම්මානයක උදාව

 ඡායාරූපය:

ජගත් කීර්තිධර ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා නමින්ම ආදර්ශ ගම්මානයක උදාව

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ජගත් කීර්තියට රැගෙන ගිය ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ අතිවිශිෂ්ඨ ක්‍රීඩා දිවියට උපහාරයක් ලෙසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත, මිහිඳුපුර ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ උදාවූ සැමට සෙවණ නව ආදර්ශ ගම්මානය, සදා ලෝක පූජිත අරවින්ද ද සිල්වාගම නමින් නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමන් විසින් අගෝස්තු 14 අද දින නිවාසලාභීන්ගේ අයිතියට පත් කිරීම සිදු කෙරේ.

සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ තුළින් උදාවන නව ආදර්ශ ගම්මාන හෙළ රජදරුවන්, රණවිරුවන්, සාහිත්‍යධරයන්, විශ්ව කීර්තියට පත් පුද්ගලයන් ඇතුළු විවිධ ප්‍රභූන් නමින් නම් කිරීම සිදුවේ. එමෙන්ම ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ සුවිශේෂ දක්ෂතා පෙන්නුම් කළ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ලෙසින් ගෞරවයක් ගෙනදුන් ක්‍රීඩකයන් නමින්ද මෙම ආදර්ශ ගම්මාන නාමකරණය සිදු වේ.

ඒ අනුව 2018 වසරේ සැප් 22වැනි දින ජගත් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ශූරීන්ගේ සහභාගිත්වයෙන් ඇරඹි සදාලෝක පූජිත අරවින්ද ද සිල්වා ගම නව නිවාස 27කින් සමන්විත වේ.

1984 වසරේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලාංකේය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිෂ්ට වූ අරවින්ද ද සිල්වා පුරා වසර 18ක් තුළ ටෙස්ට් තරග 93කට සහභාගි වී 2002 වසරේ බංග්ලාදේශය සමඟින් ශ්‍රී ලංකාවේ පැවති ද්විත්ව ශතකයක් හිමිකරගත් ක්‍රිකට් තරගයෙන් පසු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනු ලැබීය.

ශ්‍රී ලංකාවට ලෝක ශූරතාව රැගෙන ඒමේ පුරෝගාමියකු වූ අරවින්ද ද සිල්වා සීමිත ඕවර් ජාත්‍යන්තර තරග 308ක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. එම තරග තුළින් ඔහු විසින් රැස්කරගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 9284කි. එමෙන්ම මෙම ජාත්‍යන්තර සීමිත තරග තුළින් ඔහු විසින් බිඳ දමා ඇති ප්‍රතිවිරුද්ධ පෙළේ කඩුලු සංඛ්‍යාව 106කි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතාම ඉහළ ස්ථානයක් හිමිකරගත් අරවින්ද ද සිල්වා ඉතාමත් නිවැරදි තාක්ෂණයෙන් පන්දුවට පහරදෙන ලොව ප්‍රමුඛතම ක්‍රීඩකයකු ලෙස හඳුන්වනු ලබයි.

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හිමි වූ අරවින්ද ද සිල්වා ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ක්‍රීඩාවේ උන්නතිය සඳහා මෙන්ම ශ්‍රී ලාංකේය ජන සමාජයේ විවිධ සමාජ සංවර්ධන ව්‍යාපෘති සඳහාද සිය නොමඳ දායකත්වය ලබා දී ඇත.

මේ සියලු කරුණු පිළිබඳ අවධානය යොමු කිරීමේදී ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා වැන්නකු නමින්

ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ව්‍යාපෘතීන් නම් කිරීම වඩාත් උචිත බව පෙනී යයි. මේ අයුරින්ම ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර නමින්ද සැමට සෙවණ ආදර්ශ ගම්මාන නම් කර තිබේ.

තමන්ගේම නිවහනක පිළිසරණක් නොමැතිව සිටි තරුණ පවුල් සමූහයක් එක්වීම තුළින් මෙම නව ආදර්ශ ගම්මානයේ නව නිවාස නිර්මාණය විය. වසරක් වැනි කෙටි කාල පරිච්ඡේදයක් තුළ මෙම නිවාස ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් දැක්වූ සුවිශේෂ දායකත්වය සදා ලෝක පූජිත අරවින්ද ද සිල්වා ගම වඩාත් කඩිනමින් සහ විධිමත් අයුරින් නිමකර ගැනීමට හැකි විය. අරවින්ද සිල්වාගම ආදර්ශ ගම්මානයේ මෙන්ම සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ යටතේ උදාවන සියලු ආදර්ශ ගම්මානයන් නව නිවාසයන් පමණක් සීමා නොවේ. නව නිවසක් තුළින් අපේක්ෂා කරනුයේ එම නිවහන තුළ ජීවත්වන පවුලේ සාමාජිකයන්ගේ තිරසර දිවිපෙවෙතයි. අන් අය විසින්ද තමන් වෙත ප්‍රදානය කරනු ලබන හුදු ගොඩනැඟිල්ලක් තුළින් මෙම අපේක්ෂාව ඉටු නොවේ. මෙය වඩාත් නිවැරදිව තේරුම්ගත් සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන, නිවාස අපේක්ෂාව පවත්නා ජනතාවගේ පූර්ණ මැදිහත්වීම හා දායකත්වයට රාජ්‍ය අරමුදල්, තාක්ෂණය හා ශිල්පීය දායකත්වය එක්කරලමින් මෙම ආදර්ශ ගම්මාන ආශ්‍රිත නිවාස නිර්මාණය කරලීම සිදු කරයි. එදා උදාගම් ව්‍යාපාරයේ සහභාගිත්ව නිවාස සංවර්ධන ක්‍රියාදාමය තුළින් මෙම අදහස ඉදිරිපත් විය. වර්තමාන සමාජයට ගැළපෙන අයුරින් ප්‍රතිනිර්මාණය වූ සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන තුළ මෙම ආදර්ශ ගම්මාන වැඩසටහන වඩාත් සැලසුම්ගතවූත් ඉලක්කගතවූත් සංවර්ධන වැඩසටහනක් ලෙසින් ක්‍රියාවට නැංවේ. දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන අයුරින් ක්‍රියාත්මක මෙම ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළ ආදර්ශමත් සංවර්ධන සංස්කෘතියක් සමඟින් ක්‍රියාවට නැංවේ. ඉදිවන සෑම නිවසකටම අවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම නිවාසයන්හි ජීවත්වන ආර්ථික, සමාජීය අවශ්‍යතාවන් ඉටුකරලීම සඳහා වූ සමගාමී ව්‍යාපෘතීන්ද මෙහිලා ක්‍රියාවට නැංවේ. ඒ සියල්ල එක්කරලීම තුළින් නිර්මාණය වන්නා වූ අංගසම්පූර්ණ නිවහන සැමට සෙවණ ආදර්ශ ගම්මාන ක්‍රියාදාමයේ ඒකාබද්ධ ආයතනික දායකත්වයේ ප්‍රතිඵලයකි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙම සංවර්ධන වැඩපිළිවෙළ තුළ නිවාස සංවර්ධන කාර්ය දාමයේ ප්‍රමුඛතම ආයතන ලෙසින් කටයුතු කළ ආදර්ශ ගම්මාන සංවර්ධන වැඩසටහන සාර්ථක කරගැනීමට විවිධ වූ සේවාවන් සපයන රේඛීය අමාත්‍යාංශ, ආයතන, පුද්ගල හා සංවිධාන සහාය නොමදව හිමි වේ.

දිවයිනේ සියලු ප්‍රදේශ තුළ ඉදිවන සෑම ආදර්ශ ගම්මානයකම සාර්ථකත්වයට හේතුව එයයි. ඒ සියල්ල එක්වී සාමූහික ක්‍රියාකාරිත්වයකින් නිශ්චිත අරමුණක් සහ ඉලක්කගත නිමාවක් තුළ සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළ නොබිඳ ක්‍රියාවට නැංවේ. එම සංවර්ධන වැඩසටහනේ සිව්වසරක කාර්යදාමය තුළ නව ආදර්ශ ගම්මාන 2500කට අධික ප්‍රමාණයක සංවර්ධන සමාරම්භය සිදුවී ඇති අතර ඒ තුළින් සදාලෝක පූජිත අරවින්ද ද සිල්වාගම නිවාස ලාභීන්ගේ අයිතියට පත් කරන 248 වැනි ගම්මානය ලෙසයි.

ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස තමන් වෙත පැවරුණු වගකීම උත්කර්ෂවත් අයුරින් ඉටුකරමින්

ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ජාත්‍යන්තරයට ගෙනගිය ක්‍රිකට් ශූර අරවින්දද සිල්වා හට සිදුකරන උපහාරයක් ලෙසින් ජගත් කීර්තියට පත් උදාගම් සංකල්පයේ වත්මන් සංවර්ධන ක්‍රියාදාමය ලෙසින් ක්‍රියාත්මක සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළ තුළින් උදාවූ මෙම නව ආදර්ශ ගම්මාන උදාව තුළින් නව සමාජ සලකුණු සනිටුහන් කර තිබේ.

[ලක්විජය සාගර පලන්සූරිය]

මාතෘකා