වර්ණ සහ අකුරු අතර ජීවිතය ඇහිඳින ගුරු සිත

 ඡායාරූපය:

වර්ණ සහ අකුරු අතර ජීවිතය ඇහිඳින ගුරු සිත

ගුරුවරයා යනු වෘත්තිකයකු පමණක් නොව ඔහු අරුත්බරව ලෝකය දකින්නට සුවහසක් දරු පරපුරකට මඟපෙන්වන පහන් තාරකාවකි; සදාකාලිකව කාගේත් බුහුමනට ලක්වන ගෞරවනීය චරිතයකි. මහියංගණයේ උපන් දොන් නිශ්ශංක විජේමාන්න එවැනි ගුරු උපදේශකවරයෙකි; චිත්‍ර ශිල්පියෙකි. විවිධ සම්මානවලට පාත්‍ර වූ කෙටිකතා හා නවකතා රැසක් ඔහු විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඔහුගේ දිවි සැරියේ මතක සටහන් පිළිබඳ 'රැස' සමඟ කළ පිළිසඳරකි මෙය.

ඔබ ගුරු වෘත්තියට පිවිසෙන්නේ කොහොමද කියලා මතක් කළොත්?

කෘෂි විද්‍යා ගුරුවරයෙක් විදිහට මට මුල්ම ගුරු පත්වීම ලැබුණේ 1984 වර්ෂයේදී. ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ මැදයාය විද්‍යාලයටයි. හතරවැනි ශ්‍රේණියේ දරුවන්ට තමයි මට උගන්වන්න ලැබුණේ. දහම් පාසලේ ගුරුවරයෙක් විදිහට සේවය කරලා තිබුණු නිසා මට එය එතරම් නුහුරු අත්දැකීමක් වුණේ නැහැ.

ගුරු ජීවිතයේ ආරම්භය මොනවගේ අත්දැකීමක්ද ජීවිතේට ගෙනාවේ?

මම මැදයාය විද්‍යාලයට යද්දි ඒ පාසලේ විදුහල්පතිවරයා මාව සුහද විදිහට පිළිගත්තේ නැහැ. පාසලට ගිය මුල් දවසෙම මාව ඒ පාසලෙන් යවන්න විදුහල්පතිවරයා ගොඩක් උත්සාහ කළා. මාව ඔහු විශාල වශයෙන් අධෛර්යමත් කළා. ගමේ දේශපාලනාධිකාරිය විසින් මට නොයෙක් චෝදනා කරමින් රාජකාරී ජීවිතයට බාධා කළා. මාව දුෂ්කර පාසලකට මාරු කරන්න ගොඩක් උත්සාහ කළා. නමුත් මම ඒ හැමදේම දරාගෙන මාස 07ක් වගේ කාලයක් ඒ පාසලේ දරුවන්ට ඉගැන්නුවා.

විද්‍යා හා ගණිත ගුරුවරයෙක් චිත්‍ර ගුරුවරයෙක් වෙන්නේ කොහොමද?

මට 1985දී දඹගොල්ල විද්‍යාලයට මාරුවීමක් ලැබුණා. ඒ පාසලේ මම අවුරුදු 3ක් ඉගැන්නුවා. ඊටපස්සේ මම සෞන්දර්ය අභ්‍යාස විද්‍යාලයට ගියා. එතැනින් මගේ විෂය වෙනස් වුණා. මම උසස් පෙළට කළේ විද්‍යාව විෂය. එතනින් පසුව මම විද්‍යා හා ගණිත ගුරුවරයකු විදිහට පත්වීම් ලැබුවා. ඊට අමතරව මම දරුවන්ට චිත්‍ර විෂයත් ඉගැන්නුවා. අවසානයේදී මම සෞන්දර්ය ගුරු පුහුණුව ඉල්ලලා සෞන්දර්ය ගුරු පුහුණු විද්‍යාලයට ඇතුළත් වුණා. ඉන්පස්සේ 1991 වසරේදී මම නැවත දඹගොල්ල විද්‍යාලයේ චිත්‍ර ගුරුවරයා විදිහට පත්වීම් ලැබුවා. මට ඒ පාසලේ ඉන්න ලැබුණේ අවුරුද්දක් වගේ කාලයක්. චිත්‍ර ගුරුවරයකු ඒ වගේ පොඩි පාසලක ඉන්න එක අපරාධයක් කියලා මාව මාපාකඩ මහවැව විද්‍යාලයට මාරු කළා. ඒක විශාල පාසලක් වුණත් එහි චිත්‍ර ප්‍රතිඵල ඉතාමත් අඩු මට්ටමක තමයි තිබුණේ. මං ගිහින් ඒ දරුවන්ගේ චිත්‍ර ප්‍රතිඵල සියයට 90ක මට්ටමට ගෙනාවා. මං උගන්නපු දරුවෝ බොහෝමයක් නොසිතූ විරූ විදියට සමස්ත ලංකා චිත්‍ර තරගවලින් ජයග්‍රහණය කළා. මගේ සිසුවෙක් ජපන් කනගාවා තරගයෙන් රන් පදක්කමක් දිනාගත්තා. සාර්ක් කලාපීය තරගවලින් පදක්කම් ගොඩක් ලැබුවා. ඉතිහාසයේ පළමුවැනි වතාවට මහියංගණය කලාපයේ උසස් පෙළ චිත්‍ර විෂය ධාරාව ආරම්භ කළා. ඒ අවුරුද්දේ මගෙන් ඉගෙනුම ලැබූ දරුවෙක් කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණා. ඉතිහාසයේ පළවෙනි වතාවට ඒ දරුවා තමයි මහියංගණය කලාපයෙන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ගියේ.

ගුරුවරයෙක් කියන්නේ දහස් ගාණක් ළමයි යහමඟ යවන්නෙක්. ඔබ සතුව ඇති අත්දැකීම් කිහිපයක් ගැන කියමුද?

දවසක් මම හතර වැනි පන්තියේ උගන්වමින් ඉන්නකොට එක දරුවෙක් කළ කුඩා වරදක් නිසා මම ඒ දරුවාට චූටි කෝටුවකින් තට්ටුවක් දාලා සැර කළා. ඊට ටික වෙලාවකට පස්සේ ඒ දරුවා ඩෙස් එක යටින් ඇවිත් මගේ කකුලට තට්ටුවක් දාලා කිව්වා එකට එකයි කියලා. එදා දවල් පාසල් ඇරිලා ගෙදර යද්දි ඒ දරුවා මට කිව්වා හෙට එද්දි සර්ට දඹ මල්ලක් ගෙනත් දෙන්නම් කියලා. ඉතින් කිව්වා වගේම පහුවදා ඒ දරුවා මට දඹ මල්ලක් ගෙනත් තිබුණා. ඒක මට ගෙනත් තිබුණේ අල්ලසක් විදිහට. ඉතින් ඒ දරුවා මල්ල මට දීලා කිව්වා සර් මට ආයේ ගහන්න එපා කියලා. ඒ සිද්ධියෙන් පස්සේ පාසල් ජීවිතයේදී දරුවන්ට ශාරීරික දඬුවම් දෙන එක එතැනදීම නැතිවෙලා ගියා.

ඒ වගේම මම ඒ කාලේ පාසලට ආවේ ගියේ පාපැදියෙන්. එක දවසක් මම පාර දිගේ පාසලට එද්දි පොඩි ගැහැනු ළමයෙක් පාසලට එන්නේ නැතිව ආපහු හැරිලා ගෙදර යනවා දැක්කා. ඒ ළමයා ගොඩක් දවස්වලට උදේම පාසලට ආවත් ආයෙම හැරිලා ගෙදර යනවා. ඒක ඒ ළමයගේ පුරුද්දක්. මං ඉතින් ඒ දරුවගෙන් ඇහුවා ඇයි ගෙදර යන්නේ කියලා. එතකොට ඒ දරුවා කිව්වා, ‘බඩ රිදෙද්දි ඉස්කෝලේ ගිහින් පුළුවනෑ. ඒක නිසා මම ගෙදර යනවා’ කියලා. එතකොට මං කිව්වා, ‘මං එහෙනම් ගිහින් ලොකු සර්ට කියන්නම්’ කියලා. ඒ පාර බයවෙච්ච ඒ දරුවා මට කිව්වා, ‘එහෙනම් මාව නග්ගගනින් බයිසිකලේට. එතකොට මම ඉස්කෝලේ යන්න එන්නම්’ කියලා. ඒ සිද්ධියත් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

චිත්‍ර ගුරුවරයෙක් විදියට කරපු සේවය ගැන ඔබ ඉන්නේ තෘප්තියෙන්ද?

නැත්නම්. මම 2000 වර්ෂයේදී ගුරු උපදේශකවරයෙක් ලෙස පත්වුණා. ඉන්පසු මුළු මහියංගණය කලාපයේම චිත්‍ර ප්‍රතිඵල ඉහළ නංවන්න හැකිවුණා. අවුරුදු 17කට පස්සේ ලංකාවේ සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ටතම චිත්‍ර ප්‍රතිඵල පෙන්නන කලාපය බවට මහියංගණය කලාපය පත් වුණා. ඒක ජාතික මට්ටම ඉක්මවා ගියා. සෑම ළමුන් සියදෙනකුගෙන්ම 95ක්වත් අනිවාර්යයෙන් විභාගය සමත් කර පෙන්නුවා. ඒ කාර්යය සඳහා මගේ පිටුපසින්ම ඉඳන් විශාල ධෛර්යයක් දෙන ගුරු උපදේශකවරු දෙදෙනෙක් හිටියා. එක් අයෙක් ගුරු උපදේශක වසන්ත. අනෙකා ගුරු උපදේශක සෙනෙවිරත්න. ඔවුන් දෙදෙනා මගේ සහෝදරයෝ දෙන්නෙක් වගේ.

ඔය අතරතුර සෞන්දර්ය විශ්වවිද්‍යාලයට සහ විද්‍යා පීඨයට ඇතුළු වූ මගේ සිසුන් නිසා මහියංගණය කලාපයේ ගුරු පුරප්පාඩු පිරෙන්න ගත්තා. ඒ නිසාම මහියංගණය කලාපය ජාතික මට්ටමට විශාල අභියෝගයක් වුණා. සෑම තරගයකින්ම වගේ අනිවාර්යෙන්ම පළමුවැනි ස්ථානය හෝ දෙවැනි ස්ථානය ලැබුණා. මහියගංණය කියන්නේ ඉතාම දුෂ්කර කලාපයක්. සෑම විෂයකටම වගේ ගුරුවරුන්ගේ ලොකු හිඟයක් තියෙන කලාපයක්. සෑම පාසලකටම චිත්‍ර පුහුණු ගුරුවරු නැති නිසා මම මාස තුනක පුහුණුවක් දීලා වෙනත් විෂයක් උගන්වන ගුරුවරු චිත්‍ර ගුරුවරු බවට පත් කළා. ඒ නිසා අපේ කලාපය තුළ චිත්‍ර ගුරු පුරප්පාඩු පුරවන්න හැකියාව ලැබුණා.

ගුරු ජීවිතය කියන්නේ කැපකිරීම් පිරුණු තැනක්. ඔබ ඒ ජීවිතය තෝරගන්නේ කැමැත්තෙන්ම නේද?

ඔව්. මට ඕනෑම විෂයක් ඉගැන්වීමේ හැකියාව තිබුණා. ඒ නිසාම මම පාසලේදී ඉංග්‍රීසි ඇතුළුව සෑම විෂයක්ම වගේ දරුවන්ට ඉගැන්නුවා. බෝහෝ කාලයක සිට උසස්පෙළ සිසුන් සඳහා මුදලක් අය නොකර අමතර පන්ති පැවැත්වුවා. අපේ කලාපයේ විදුහල්වල පුස්තකාලවලට විශාල වශයෙන් පොත්, මේස, පුටු, කබඩ් වගේ දේවල් පරිත්‍යාග කරනවා. මගේ කලාපයේ ඉන්න දුප්පත් ඒත් ඉගෙන ගන්න දක්ෂ දරුවන් වෙනුවෙන් වර්ෂයක් පාසා ශිෂ්‍යත්ව ලබාදීම් කරනවා. ඒවා මම කැමැත්තෙන් කරන දේවල්.

විභාගය ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමයෙන් මිදිලා දරුවන්ගේ ආකල්ප වර්ධනය කරන්න කළ යුතු දේ ගැන පැහැදිලි කළොත්?

දරුවකුගේ ආකල්ප වර්ධනය කිරීමට නම් ඒ දරුවා තුළ නොපසුබට උත්සාහය සහ ධෛර්යය තිබිය යුතුමයි. වර්තමානයේදී ආකල්ප හා වින්දනාත්මක ක්ෂේත්‍රයේ අඩුවීමක් තිබෙනවා. ආකල්පමය අතින් දියුණු, චරිතවත් සහ පරමාදර්ශී ගුරුවරු තමයි අපේ කාලයේ හිටියේ. නමුත් දැන් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. උදේ 7.30ට පාසලට ගිහින් 2ට ගෙදර එන, හවසට ටියුෂන් කරන වෘත්තිකයන් තමයි දැන් වැඩිපුර ඉන්නේ. දරුවන්ගේ ආකල්ප වර්ධනය කිරීම සඳහා පාසලේ කාලච්ඡේදය තුළ ලැබෙන කාලයත් ප්‍රමාණවත් මදි. විෂය සමගාමී ක්‍රියාකාරකම් තුළින් බලාපොරොත්තු වෙන්නේ විෂය හා සමාන්තරව යමින් ජීවන නිපුණතා, කුසලතා අත්පත් කර ගැනීමයි. ඒ වගේම වර්ගවාදයෙන් බැටකන සමාජයක් තුළ තමයි අපි ජීවත්වෙන්නේ. ජාතික සමඟිය හා සංහිඳියාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට අධ්‍යාපන බලධාරීන් උනන්දු විය යුතුයි. ධනවාදී සමාජය තුළ මිනිස්සු ආත්මාර්ථකාමී වෙනවා. පරාර්ථකාමීත්වය සමාජයෙන් ගිලිහී යනවා. පාසලෙන් විතරක් දරුවාගේ ආකල්ප වර්ධනය කරන්න බැහැ.

පරම්පරා ගණනාවක අනාගතය සකස් කළ ඔබට අනාගත පරපුරට කියන්න බොහෝ දේ ඇති?

පූර්ණ පෞරුෂයෙන් යුක්ත අනාගත පුරවැසියන් අපේ රටට අවශ්‍යයි. හෙට ලෝකය ගැන වගේම දිනෙන් දින වෙනස් වන ආර්ථිකය පිළිබඳ සියුම් හැදෑරීමක් ඔහු තුළ තිබිය යුතුයි. මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීමට නම් ඒ සඳහා විශාල ආකල්පයක් හදවත තුළ තිබිය යුතුයි. මේ සියල්ලටම කලින් නිරෝගී දරු පරපුරක් අවශ්‍ය යුගයකයි අපි මේ ජීවත් වෙන්නේ. මනුෂ්‍යත්වයෙන් බරවුණු පරපුරක් ලාංකේය වෙළෙඳපොළ ගැන හොඳ ඉවක් තිබෙන දරු පරපුරක් අපට අනාගතයේදී අත්‍යවශ්‍යයි.

ඔබ ගුරුවරයෙක් විදියට සාර්ථකයි කියලා හිතනවද?

ලැබෙන පඩියට වැඩියෙන් මම වැඩ කර තිබෙනවා. දරුවෝ වෙනුවෙන් මගේ කාලය මම උපරිමයෙන්ම කැපකර තිබෙනවා. සරලව කියනවා නම් මම දරුවෝ වෙනුවෙන් මැරීගෙන වැඩ කළ කෙනෙක් කිව්වොත් තමයි නිවැරදි. ඒ නිසා මම මගේ වෘත්තිය ජීවිතය පිළිබඳ පූර්ණ තෘප්තියට පත්වෙනවා. බොහෝ බාධක, කරදර කම්කටොලු, කකුලෙන් ඇදීම්, අධෛර්යමත් කිරීම් මැදින් තමයි මම මේ තාක් දුරට ආවේ. ඒ දේවල් නිසා මම මගේ රාජකාරි කටයුතු අතහැරලා නෑ. කවදාවත් අතහරින්නෙත් නෑ. ඉදිරියේදීත් මොන බාධක ආවත් දරුවන් වෙනුවෙන් මම මගේ උපරිමය කරන්න බලාපොරොත්තු වෙනවා.

[නිමාෂා සඳරුවනි]

මාතෘකා