එංගලන්තයේ රාවණා

 ඡායාරූපය:

එංගලන්තයේ රාවණා

2017 සැප්තැම්බර් මාසයේදී තමන්ගේ පියාත් සමඟ එංගලන්තයේ ඩෝස්මරි විලේ බෝට්ටු පදිමින් සිටි මැටිල්ඩා නම් සත් හැවිරිදි දැරියට විල පතුළේ තිබී මලකඩ බැඳුණු කඩුවක් හම්බවුණා. පුරාවෘත්තවල කියැවෙන හැටියට මේ විලට තමයි ආතර් රජතුමාගේ මියයාමෙන් පසුව ඔහුගේ මායාමය කඩුව වුණු එක්ස්කැලිබර් නම් අසිපත ගිල්වලා තිබෙන්නේ. එදා ඉඳන් අද වෙනකල්ම මේ අසිපත විල පතුළෙහි සැඟව තිබෙන බවයි එංගලන්ත ජනතාවගේ විශ්වාසය. අසිපත අතදරන්න පුළුවන් එංගලන්ත රාජධානියේ සිහසුනට හිමිකම් කියන නියම උරුමක්කාරයාට පමණයි. නමුත් අන්තර්ජාලයේ තිබුණු ඡායාරූපවල පැහැදිලිව දැක්වෙනවා මේ කුඩා දැරිය මැටිල්ඩා ඇය සොයාගත්තු කඩුව ඉහළට ඔසවාගෙන ඉන්න ආකාරය. ඇයට පුළුවන් වුණොත් ඒ එක්ස්කැලිබර් අසිපතමයි කියල ඔප්පු කරන්න, ඇයට පුළුවන් එංගලන්තයේ රැජන විදිහට සිංහාසනාරූඪ වෙන්න, පළමුවැනි මැටිල්ඩා රැජන විදිහට... නමුත් පසුව සිදුකරන ලද පරීක්ෂණවලින් බැලූ බැල්මටම පෙනුණා මෙය වසර දහයකට විස්සකට වඩා පරණ එකක් නොවන බව. ඔවුන් අනුමාන කරන හැටියට මේ මල බැඳුණු අසිපත කාලයකට කලින් චිත්‍රපට නිෂ්පාදනයකදී භාවිතා කරපු එකක්.

ආතර් රජතුමාගේ ජීවිතය රැගත් චිත්‍රපට වගේම ටෙලිකතා මාලාව හොලිවුඩ්වල වැහි වැහැලා. ඔහු හා බැඳුණු යුධ සංග්‍රාම ගැන ලොමු ඩැහැගැන්වෙන කතාන්දර, බිසව ග්වෙනවියර් හා සහෝදර නයිට්වරයා ලාන්සලොට්ගේ තහනම් ප්‍රේමය මේ කලා නිර්මාණයන්ට ප්‍රස්තුතයන් සපයනවා. ඉතිහාසය පුරාම ශෝන් කොනරි, ක්ලයිව් ඔවන් වැනි දක්ෂ චරිතාංග නළුවන්ගේ රංගනයෙන් ආතර් රජතුමාගේ ආකර්ෂණීය පෞරුෂය යළි යළිත් ජීවමාන වෙනවා. සතුරන් සමඟ අභීතව සටන් වැදුණු රණශූරයෙක් වුණත් මොලොක් හදවතක් ඇති යහපත් මනුෂ්‍යයෙක් ලෙස ආතර් රජතුමාගේ චරිතය උත්කර්ෂයට නංවලා තිබෙනවා. ඔහුගේ මුළු ජීවිත කතාවම සුදු අසු පිට එන ධවල නයිට්වරයාගේ චරිතයේ ප්‍රතිමූර්තියක්.

විස්තරාත්මකව දැක්වෙනවා වුණත් ආතර් රජතුමාගේ පුරාවෘත්තය ගොඩනැඟිලා තිබෙන්නෙ අතිශෝක්තියෙන් ලියැවුණු ප්‍රබන්ධයන් ගොඩක් මත. පිළිගත හැකි පුරාවිද්‍යා සාධක කිසිවක් ආතර්ගේ පැවැත්ම තහවුරු කරන්නේ නැහැ. කොටින්ම ආතර් යන්නට සමාන නමක් සඳහන් සෙල්ලිපියක් හැරුණුකොට අනෙක් කිසිදු පුරාවිද්‍යා මූලාශ්‍රයක ආතර් යන නම හොයාගන්නට අපහසුයි. ඉතිහාසඥයන් මේ වන විට පැමිණ ඇති නිගමනය තමයි ආකර්ෂණීය කතාන්දර ගොඩකට එහා කිසිදු සත්‍යතාවක් ආතර් රජතුමාගේ පුරාවෘත්තයේ නැති බව.

පුරාවෘත්තවල කියැවෙන හැටියට ආතර් රජතුමා පාලන බලයට උරුමකම් කියන විට මුළු එංගලන්තයම අරාජිකත්වයට පත්වෙලයි තිබුණේ. පස්වැනි සියවසේ සිදුවුණු රෝමානු අධිරාජ්‍ය බිඳවැටීම නිසා ඒ වන විට රෝමානුවන් යටතේ තිබුණු එංගලන්තයේ බොහෝ පාලන ප්‍රදේශ රජෙක් නොමැති රාජධානි බවට පත්වුණා. සැක්සන්වරුන් සහ නෝමන්වරුන් අතර යුද්ධය රට තවදුරටත් අගාධයට තල්ලු කළා. ‘Dark ages’ නමින් ඉතිහාසඥයන් හඳුන්වන මේ අඳුරු කාලච්ඡේදය තුළයි ආතර් රජතුමා යුද සංග්‍රාම ගණනාවකට පස්සේ ඔහුගේ රාජධානිය වුණු කැමලොට් පිහිටුවා ගන්නේ. ඉතිහාසය පුරාවටම කැමලොට් නුවර විස්තර කෙරිලා තිබෙන්නේ යුතෝපියාවක් විදිහට. රණශූර වගේම ජනහිතකාමී රජකෙනෙක්, රවුම් මේසයෙන් (Arthur's round table) සංකේතවත් වුණු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් වගේම එමඟින් පාලනය වන යහපත් හදවත් ඇති ගුණ ගරුක මිනිසුන් සහ ගැහැනුන්, මේ හැමදේකින්ම සැදුම්ලත් පාරදීසයක් තමයි කැමලොට්.

අවුරුදු ගණනාවක් කැමලොට් නුවර පුරවැසියන්ගේ ගෞරවය දිනාගනිමින් රාජ්‍ය පාලනය කරපු ආතර් රජතුමාට සිනමා රුපීය මරණයක් හිමිවෙනවා. අතිශය කෲර පාලකයෙක් වගේම තමන්ගේ බෑණා කෙනෙක් වුණු මෝඩ්‍රඩ් සමඟ ද්වන්ධ සටනකින් ආතර් රජතුමා ජය ගන්නවා. නමුත් මෝඩ්‍රඩ් මරු දකින්නේ ආතර් රජතුමාට මරණීය තුවාල හිමිකර දෙමින්. මරණය නියත බව තේරුම්ගත් ආතර් රජු තමන්ගේ සහෝදර නයිට්වරයකුගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, එක්ස්කැලිබර් අසිපත ඩෝස්මරි පොකුණේ ගිල්වන්නයි කියලා. යුද පිටියේ සගයන්ගෙන් සමුගන්න මේ ශ්‍රේෂ්ඨ පුරුෂයා අවසානයේදී වේදනාත්මක වගේම දීර්ඝ මරණයක් ළඟා කර ගන්නවා.

නමුත් ආතර් රජතුමා මිය ගියේ නැහැ. ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ හදවත් තුළ ඔහු තවමත් ජීවමානයි. ජනප්‍රවාදවලට අනුව නුදුරු දිනයකදී ආතර් රජතුමා මරණයෙන් නැඟිටිනවා. තමන්ගේ පුරවැසියන්ගේ අනුප්‍රාප්තිකයන් ගිලී සිටින අන්ධකාරයෙන් මුදවා ගන්නවා. පරමාදර්ශීය කැමලොට් රාජ්‍යය යළිත් පිහිටුවනවා. නමුත් 1960 දශකයේ මුළු ලෝකයම කළඹපු සිදුවීමක් ආතර් රජතුමාගේ පුනරාගමනය තවදුරටත් වලංගු නැති බව ඔප්පු කළා.

ඒ සිදුවීම තමයි එවකට ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ මරණය. කෙනඩි සහ ඔහුගේ මුළු පවුලම ඒ වන විට සුවහසක් ඇමෙරිකානුවන්ගේ ආදරයටත් ගෞරවටත් පාත්‍ර වෙලයි තිබුණේ. තමන්ගේ ධුර කාලයෙන් අඩක් යන්නටත් ප්‍රථම කැපී පෙනෙන වෙනස්කම් රැසක් ඇමෙරිකානු පාලන තන්ත්‍රයට එකතු කරන්නට කෙනඩි සමත් වුණා. මේ ප්‍රතිසංස්කරණ ජනතාව අතරේ කෙතරම් ආකර්ෂණයක් දිනාගත්තාද කියනවා නම් ඒ කාලයේ ඇමෙරිකානුවන් බොහොමයක් කෙනඩිගේ ආණ්ඩුව හැඳින්වීමට යොදාගත්තේ ‘කැමලොට්’ යන නාමය. ඔවුන් විශ්වාස කළා කෙනඩිගේ ආණ්ඩුව ඔවුන්ට අංගසම්පූර්ණ රාජ්‍යයක පුරවැසියන් වීමට පාර කියනු ඇති බවට. නමුත් ක්‍රමය වෙනස් කරන්නට උත්සාහ දරපු අනෙක් ඇමෙරිකානු ජනපතිවරුන්ට අත්වුණු ඉරණම ජෝන් එෆ්. කෙනඩිටත් අවසානයේදී උරුම වුණා. ජනාධිපති ආර්යාව ජැකී කෙනඩි පසු කාලයක එළිදක්වපු ස්වයං චරිතාපදානයේ මෙසේ සඳහන් කරනවා.

"මින් ඉදිරියට ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරුන් බිහිවේවි. නමුත් කැමලොට් නුවරක් යළිත් බිහි නොවේවි."

[හරිත දිසානායක]

මාතෘකා