ළමයි දෙන්නත් එක්ක විඳින දුක දන්නේ මම විතරයි

 ඡායාරූපය:

ළමයි දෙන්නත් එක්ක විඳින දුක දන්නේ මම විතරයි

ජයසුන්දර බිරින්දෑ දෙස හෙලන්නේ නොමනාපය මුසු දැඩි බැල්මකි. දියණියගේ අහිංසක ඉල්ලීම අරබයා මේ තරම් වචන කන්දරාවක් නාස්ති කළ යුතු දැයි ඔහු අප්‍රසාදයෙන් සිතුවේය.

“අම්මා උණ්ඩියට බත් දෙනවා නේද?”

“බත්...? බත් නෙවෙයි මං දෙන්නේ...හොඳවයින් කොසු පාරක්. හතර වටේ රෝන්දෙ ගහලා එනවා මෙතන බඩගිනි වුණාම බඩ පුරවගන්න විතරක්. මේක හෝටලයක්ද...? බල්ලෙක් වුණාම බත් කටක් කන තැන ආරස්සා කරගෙන වැටිලා ඉන්ඩ ඕනෑ නේද? මේකා එහෙමද?”

ඉඟි බිඟි ආදියෙන් පළක් නොවූයෙන් ජයසුන්දර අන්තිමේදී කට ඇරියේය.

“හරි හරි...උණ්ඩියට මං බත් ටිකක් දෙන්නං..ඉවරයිනේ කතාව. ඕකට ඉතිං ඔය තරං පට්ටන්තරයක් ඕනැද?”

“ඔයා නං කියයි. මේ ළමයි දෙන්නත්තෙක්ක මං විඳින දුක දන්නේ මං විතරනේ. උයා ගත්තු බත් ටික කන්ඩ හැටියක් නෑ වෙලාවකට”

සැමියා සමඟ වුව එල්ලෙන්නට, ඇවිළෙන්නට තිලකා පසුබට නොවෙයි.

“අපි යං.. අපි යං..” යි ඔහු නුවුමනා හදිසියක් මවා පෑවේ උදෑසන අඬදබර මූදේවියට පාවඩ එළීමක් බව සිතමිනි. සීදේවිය පළවා හැර මූදේවිය කැන්දාගන්නට ඔහු කැමති නොවෙයි.

“පුතා රෑ තිස්සේ දැඟලුවා. පණු අමාරුවද මං දන්නේ නෑ.. ඔයා එනකොට අසමෝදගම් බෝතලයක් අරං එනවද?”

ඔහු හිස සැලුවේය.

“කෝකටත් කෝවක්කා මැල්ලුමකුත් මලවන්ඩ. සාදික්කා ගෙඩියකුත් ගල ගාලා දෙන්ඩ දෙහි ඇඹුල් බිංදුවකුත් දාලා මං එනකං..”

ඇය හිස සැලුවේ ඒ හැටි කැමැත්තකින් නොවේ.

ඇගේ අම්මාද අනන්ත අත් බෙහෙත් කියා දුන්නද ඇය ඉස්පිරිතාලයේ දුවන්නට කැමැත්තීය. ජපන් බෝනික්කියක වන් සිඟිති දියණියද වඩාගෙන එකම පුතුගේ අතින් අල්ලාගෙන අන්‍යන්ගේ අවධානය උදුරා ගැනීමෙන් ඇය ප්‍රීති වෙයි.

“ඔය කැළෑ කොළ වගේද අප්පා දොස්තරගේ බෙහෙත්.....” යි සිතන බිරින්දෑ සමඟ දිගින් දිගටම වාද නොකරන ජයසුන්දර “බයයිනේ ඉතිං..ඇස් දෙක වගේ ඒ ගෑනිට මේ ළමයි දෙන්නා..” යි තොල් මතුරයි. එකෙණෙහිම වැඩිමලීගේ ඇඳිරි රුව ඔහුගේ ඇසටත් සිතටත් වද දෙයි.

“තාරා.. මගේ කෙල්ල?” යි හූල්ලා වැටෙනවා විනා තිලකාට දෝෂාරෝපණය නොකරයි.

“මගේ වැරැද්ද.. වෙන කාගෙවත් නෙවෙයි මගේ වැරැද්ද..” යි පශ්චාත්තාපයෙන් මිරිකෙයි.

උදෑසන සිහිල් සුළං රැලිවල සුවය විඳිමින් බයිසිකලයේ නැඟී යෑමට තාරකා බෙහෙවින් ප්‍රිය කරයි.

“තාත්තේ....”

“ම්...”

“තාත්තා ගොබෝට කියනවද මං ඉක්මනට එනකං පරිස්සමට ඉන්ඩ කියලා..”

ඒ ‍ගොබෝ විසකුරු සත්ත්වයෙක්ද නොඑසේ නම් අහිංසක හැකරැල්ලෙක්දැයි සිහිපත් කරන්නට ඔහු වෙහෙසෙයි.

“මං එද්දී රෑ වෙනවනේ පුතේ..ඉතිං ඔය කළුවරේ මං හොයන්නේ කොහොමද ඔය ගොබෝද කොබෝද මොකාද එකා?”

ඇගේ මුවග හිනාවකින් හැඩ වෙයි.

“කොබෝ ඉන්නේ අඹ ගහ උඩනේ තාත්තේ..ගොබෝ ඉන්නේ මල් පාත්තියේ. තාත්තා හෙට උදේට කියන්ඩකෝ..ඉර එළිය වැටිලා එයා දිලිසෙනවා උදේට. එතකොට තාත්තට එයාව හොයාගන්ඩ අමාරු වෙන්නේ නෑ”

කොබෝ හා ගොබෝ ගැන අනන්තවාරයක් අසා ඇතත් ඔහුට නිශ්චිත මතකයක් නැත. ඕනෑම සතකුට සුරතල් නමක් පට බඳන්නට තාරකාට වැඩි වෙලාවක් ගත නොවෙයි. තිලකා නම් කියන්නේ කූඹියකු සමඟ පවා පිළිසඳරේ පසුවන දියණියට සෙත් සාන්තියක් සිදුකර නූලක් හෝ යන්තරයක් දැමිය යුතු බවය.

“ඒ ළමයා තව පොඩියිනේ තිලකා.. ලොකු වෙනකොට හරි යයි.”

“හා...වෙන පොඩි ළමයිනුත් ඔහොමද එතකොට?

මේකේ ඉන්න හැම පොඩි ළමයම ගස් ගල් ගානේ ඇවිද ඇවිද කූඹියෝ එක්ක පවා කතා කර කරද ඉන්නේ? අනේ නිකා ඉන්ඩ ජයේ..මං නං දැකලා නෑ ඔහොම ළමයෙක්..ගස්, ගල්, කූඹි එක්ක මොන කතා බතාද? තනියම කතා කරන්නේ පිස්සෝ. මේ ළමයට තැනකට එක්ක ගිය හැකිද බලන්ඩ. එක ගවුමක් තියෙනවද කහට පැල්ලමක් නැති. ගස් ගඳ ගගහ, නාවර පෙරාගෙන. තනිකරම වැද්දියක්.”

ඔහු ඉවතට යන්නේ ඇගේ ඊතල වරුසාවෙන් තමාගේ හෘදය බේරාගන්නටය. ඇය කාරුණික වී නම් තාරකා ඉබා ගාතේ නොයන බව ඔහුට සහතිකය. හිටි හැටියේ මැදියම් රැයෙහි ඇහැරෙන තරුණයා ඇ‍ෙඳන් බසින්නේ දියණිය සිහිපත්ව දැවී යන ලය වෑයමින් උසුලා ගනිමිනි.

“කොහෙද ඔය යන්නේ?”

නිදි මරගාතේ වුව තිලකා අසන කල මුසාවක් තෙපලයි.

“අද මගේ බඩ හරි නෑ. කක්කුස්සියට දුවලා එන්නං”

“කෝපි ටිකක් වක් කරන්ඩද?”

“එපා එපා..යි කියමින් ඔහු හැකි ඉක්මණින් පුංචි කාමරයට පිවිසෙයි.

“කළුවරේ යන්ඩෙපා..ටෝච් එක ඇරං යන්ඩ”

බිරින්දෑගේ ඒ උපදෙස ඔහු කෝප ගන්වයි.

“ඹ්කත් ඉතිං මට අමුතුවෙං කියන්ඩ ඕනෑද? අප්පේ මං දන්නෑ. මේ ගෑනි මට හෙටානිද්දා හුස්ම ගන්ඩ කියලත් කියයි. ඇහි පිල්ලං ගහන්ඩ කියලත් සැරින් සැරේ මතක් කරයි.” යි කොඳුරමින් ඔහු ඒ කුඩා ඇඳට විදුලි පන්දම එල්ල කරයි. කොට්ටයත් හැකිළී ගිය ඇඳ ඇතිරිල්ල හා පොරෝනයත් මිසක කෙල්ලක දකින්නට නොලැබීමෙන් ඔහු තිගැස්සෙයි.

“තාරා..” යි ඔහු පහත් හඬින් මුමුණමින් දොර මුල්ල පිරික්සා බලයි. තාරකාගේ කෙසඟ සිරුර දකින තුරු ඔහුට ඉවසිල්ලක් නැත. අන්තිමේදී ඔහුට ඇය හමුවන්නේ ඇඳ යට සිටියදීය. පිටතට ගෙන හිස වැකි මකුළු දැල් පිස ඇඳෙහි හොවා “ඇයි වස්තුවේ..., ඇඳ යට බුදියගත්තේ....? ඇඳ උඩනේ බුදිය ගන්ඩ ඕන..”යි අසන්නේ අපමණ සෙනෙහසකිනි.

“ඇඳ උඩ තමා තාත්තේ මං හිටියේ. එක පාරටම මාරයා ආවානේ”

“මාරයා?”

ඔහුගේ විමතියට නිම් හිම් නැත්තේය.

“ඔව් තාත්තේ..එයා උසම උසයි. කළුම කළුයි. ඇස් දෙක වෙනුවට තියෙන්නේ ගිනි බෝල දෙකක්. නහයේ පණුවෝ ගොඩයි. අර දිග පණුවෝ. කටේ උල් දත් දිගම දිගයි..”

කිරි අම්මලා රොත්තක් එක්ක හැදෙන වැඩෙන කෙල්ලකට මාරයා අමුත්තකු නොවේ. උන්දැලාගේ කටේ තියෙන්නේම මාරයාගේ වග විත්තිය. මාරයා ආ දාට යා යුතු බව විස්සෝපයෙන් කියන ඒ නාකි ගෑනුන්ට ඔහු ශාප කළේය.

“මං ටක් ගාලා ඇඳ යට හැංගුණා. එයා මාව හොයන්ඩැති..හොයලා හොයලා බැරිම තැන එයා යන්ඩැති..”

“මගේ දුව බය වුණාද?”

මාරයා නමින් කෙනෙක් නැතියි තමා රැය පහන් වනතුරු තර්ක කළද ඇය පිළිනොගන්නා බව ඔහු දනියි.

“ඔව්. මං හොඳටම බය වුණා. ඒ වුණාට මට කිරියම්මා ඉතිපිසෝ ගාථාව කියලා දීල තිබ්බනේ. ඉතිං මං ඒ ගාථාව කිය කියා ඇස් දෙක හයියෙන් වහගත්තා.”

ජයසුන්දර සුසුමක් හෙළුවේය.

“එහෙනමං ආයේ කවදාවත් මාරයා එන එකක් නෑ..”

“නෑ..එයා ආයෙත් එනවා..කිරියම්මගෙං අහන්ඩ ඕනෑ මොකද කරන්නේ කියලා..”

වාද නොකළ ඔහු ඇගේ හිස සිඹ ගත්තේය. දුහුවිලි ගන්ධයෙන් ඔහුගේ නැහැපුඬු කීරි ගැහී ගියේය. මේ උදෑසන ඔහු බයිසිකලයෙන් බසින කෙල්ලගේ හිස සිම්බේය.

“දැං ඉතිං මට බැණ බැණ ඉන්ඩ බෑ. මං හැන්දෑවේ එන්නං..”

“හා..” යි කී තාරකා දාස් පෙතියා මල් පඳුරු දෙපේළිය මැදින් මහගෙදරට දිව්වාය.

අඳුරේ වුව ඒ අඳුරු රුව ඇය හඳුනයි. ඇගේ කුඩා ලය ගැහෙන්නට පටන් ගත්තේය. දිවා කල ගොළුව රැයෙහි තොරතෝංචියක් නැතුව නද දෙන රැහැයියා ඇගේ ලයෙහි අරක්ගත්තාක් බඳුය.

“තා..තාත්තේ...”ඇගේ වියළි දෙතොල ඈත් මෑත්ව පිටවිය යුත්තේ ‘අම්මේ’ යන්න නොවෙද? එහෙත් තාරකා හැමදාමත් ඕනෑම අතුරු ආන්තරාවකදී හඬ ගෑවේ තාත්තාටය. බැරි වෙලාවත් ‘අම්මේ’ යි කිවහොත් තිලකා යක්ෂාවේශ වෙයි.

“මොකද ඔය බෙරිහන් දෙන්නේ. ළමයා බුදිය ගත්තා විතරයි.”

වැඩිමලීට කවර මොහොතක හෝ අම්මා අයැදින්නට ඉඩක් නැත්තේය. ඇගේ උකුල හා ළමැද උදුරා ගත්තා වාගේ ඇගේ දවස තත්ත්පරයක් ඉතුරු නොකොට ඒ කුඩාවුන් උදුරා ගන්නා බැවිනි.

මේ රෑ රාත්තිරියේ අම්මා නොව, නංගිලා මල්ලිලා ගැන හිත හිත තැවීමෙන් පළක් නැත්තේය. බරට බරේ අඩිය තබමින් තමා වෙත ළංවන්නාගෙන් බේරෙන්නේ කොහොමදැයි කල්පනා කළ යුතුව තිබේ. එහෙත් පණ නළ උදුරා ගන්නට නම් තමා වැනි හින්නිකිතර එකියකගෙන් ඇති ඵලය කුමක්දැයි සිතා බලන්නටද තාරකා කැමතිය. වේලාව ආ විට යා යුතු බව කියන්නී නොච්චිකුලමේ කිරි අම්මාය. එහෙත් තවම හය අවුරුද්දක් සපුරා නැති තමා යා යුතු වේලාව එළැඹියේද?

“ඉස්කෝලේ යන්නඩත් බැරි වුණා” යි හඬ ගා කියන්නට තාරකාට උවමනා වූයේ නැත. ඇගේ සැලෙන දෙතොලින් ඒ පශ්චාත්තාපය ඉවතට පැන්නේය.

“එවුන්දෑ අකුරු සාත්තරේ නං මායිං කරන එකක් නෑ කෙල්ලේ”

ඒ ගැඹුරු හඬ අඳුරු රාස්සියකගේ වග ඇදහිය නුහුනු කෙල්ල කඩිමුඩියේ හිඳගත්තාය. මේ තාක් කල් නිහඬව පැමිණ නිහඬවම පිටව ගිය මාරයාගේ කටහඬ ඇසුවාමය මේ.... කළුගල් කුට්ටි තරමට ඒ වචන බරය.

මාතෘකා