සාහිත්‍ය කලාව සහ ප්‍රතිසංස්කෘතික චින්තනය

 ඡායාරූපය:

සාහිත්‍ය කලාව සහ ප්‍රතිසංස්කෘතික චින්තනය

සාහිත්‍යකරුවාගේ කාර්යභාරය නිමාණකරණයට පමණක් සීමාවන්නක්ද, එසේ විය යුතුද යන්න පිළිබඳ විවිධ කතිකාවත් ගොඩ නැඟී ඇත. මෙහිදී බහුලව ඇත්තේ ආන්තික නිගමන මුලික කරගත් කතිකා බව පෙනේ. සාහිත්‍යකරුවාද සමාජීය සත්වයෙකි. නිර්මාණකරුවාගේ සමාජ චින්තනය නිර්මාණයෙන් විශද කෙරෙන ජීවනාලෝකය තරමටම වැදගත් වෙයි. මේ දෙක වෙනම ගත නොහැකි තරමට එකට ගමන් කරයි. එහෙත් නිර්මාණකරුවාගේ සමාජ චින්තනය කෘතියෙහි චරිත ලවා ගිරා පෝතකානුසාරයෙන් කියැවෙයි නම් එය ප්‍රචාරකවාදී කෘතියක් බවට පත් වෙයි. නිර්මාණකරුවා යටපත් කරගෙන සමාජ ශෝධකයා ඉස්මතු වෙයි. එහෙත් චින්තන නිදහස හා ගුරුකුලවාදයෙන් තොර වීම සහ පසුගාමී දෘෂ්ටියෙන් නිදහස් වීම යන කරුණු ලේඛකයා ඉදිරිගාමී අයෙකු බවට පත් කරන හෙයින් ඔහු අර අගතියෙන් මිදේ. උදාහරණයක් වශයෙන් මාර්ටින් වික්‍රමසිංහ ගනිමු. ඔහු පරිනාමවාදය සහ දර්ශනය උනන්දුවෙන් කියවූවෙකි. සංස්කෘතික ප්‍රතිඅර්ථකථනයට රුචි වූ අයෙකි. ඔහු ලියූ තුන් ඈඳුතු නවකතාවෙහි කිසි තැනක ලේඛකයාගේ මතවාද චරිත ලවා නොකියවයි. එහෙත් එම නවකතාවල චරිත ගොඩනැඟීම හා සිදුවීම් විකාශය අනුව ඔහුගේ හැදෑරීමෙහි ප්‍රතිපල පෙනේ.

ඔහු ලියූ ශාස්ත්‍රීය ග්‍රන්ථ සම්භාරය අදහස් , මතවාද හැලහැප්පීම් හා සමාජ නිරීක්ෂණ රඟමඬලකි. එවැනි ලේඛක පරපුරක් රටකට අවශ්‍ය වෙයි. දියුණු සමාජ චින්තනයක් අහිමි වන රටක පසුගාමී අදහස් හා ගතානුගතිකත්වය රජයයි. ආගම සහ මිථ්‍යාව මුල් අදී. දේශපාලනය කුණු වෙයි.

උක්ත ප්‍රවේශය ප්‍රතිසංස්කෘතික චින්තනය වැදගත් කොට සලකන නූතන නිර්මාණකරුවකුගේ විචාර එකතුවක් වන සිතුවිලි සිතිජය පිළිබඳ මූලික කියවීමක් සඳහාය. කතුවරයා මහාචාර්ය ලියනගේ අමරකීර්තිය. පාඨකයන් දැනටමත් දන්නා පරිදි ඔහු මහත් කැප වීමෙන් හා ඉවසීමෙන් ශාස්ත්‍රීය ශික්ෂණය වගා කරගනිමින් එහි බොහෝ පල පාඨකයන්ට නෙළා දෙන ලේඛකයෙකි. ඔහු මේ දෙය කරන්නේ නිර්මාණකරුවකු හැටියට තම භූමිකාවද නියෝජනය කරන අතරය. විවිධ විෂය දැනුමැති ලේඛකයන් අපට හිඟය. ඒ දැනුම සමාජය සුන්බුන් කිරීමට නොව සමාජය ගොඩ නැඟීම පිණිස භාවිත කරන උගත්තු ඊටත් වඩා හිඟ වෙති. දැනුම ඇතත් ප්‍රතිභා හීනත්වය නිසා මුඩු වූ මනසෙහි ලැගුම්ගත් වහල් චින්තනය, ඊර්ෂ්‍යාව, කුඩුකේඩුකම සහ ඊටම ගැළපෙන නරුමකම අනුව ලිවීම නටවන පුස්ලෝඩං ලේඛකයන් බහුල රටක උන්ගෙන් බැටකමින් ලේඛනයෙහි යෙදීම අසීරු කටයුත්තකි. ඒ සඳහා කුපිත නොවන හදක්ද මුදු මොලොක් බවක්ද දැඩි ඉවසීමක්ද ලේඛකයකුට අවශ්‍ය වේ.

ඒ ශික්ෂණය මත පිහිටා ලියැවෙන නිබන්ධ සමාජ චින්තනයෙහි කැටපත් බවට පත් වෙයි. සිතුවිලි සිතිජයෙහි ඇතුළත් වන්නේ එබඳු නිබන්ධ සරණියකි.

කතුවරයා මේ විවරණ හඳුන්වන්නේ "අන්තර් සංස්කෘතික විඥානය ප්‍රසාරණය උදෙසා තුලනාත්මක රචනා" වශයෙනි. මේ නිබන්ධ විවිධ අවස්ථාවල විවිධ හේතු මත ලියැවුණු ඒවාය. ගණනින් විසිතුනකි. පුළුල් විෂය පදාසයක් නියෝජනය කෙරේ. මෙය රචනා එකතුවක් බවද පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ලිපියකදී තරම් සුපරීක්ෂාවෙන් ශාස්ත්‍රීය ලේඛන ශෛලිය අනුගමනය නොකරන බවද ලේඛකයා සඳහන් කරයි.

මෙබඳු ලේඛන දෙස් විදෙස් සාහිත්‍ය කෘති ඔස්සේ අපට හමු වේ.

ශාස්ත්‍රීය ලේඛනයක මූලධර්ම අනුගමනය නොකළද එහිදී ශාස්ත්‍රීය ශික්ෂණය අවශ්‍ය වේ. කතුවරයාගේ හැඟීම්, නිරීක්ෂණ, විමර්ශන, සුහදබව සහ විරෝධාකල්පද මෙවැනි ලේඛනවල අන්තර්ගත වේ.එ බඳු රචනා ලිවීමෙහි ශූරයකු වූ මාර්ටින් වික්‍රමසිංහගේ නිබන්ධයක "පොල් පිති බිඩංගයක් වැනි නහයක් සමාධි පිළිමයට සවිකළ "කටුගෙයි පණ්ඩිතයන්" ගැන සඳහන් වෙයි.

සිතුවිලි සිතිජයෙහි ඇතුළත් වන "අන්තර් සංකෘතික අනුරාගය: දුර්ලභ සාහිත්‍ය දේශනයක හරය, වෙළෙඳපොළ තර්කනයට එරෙහිව අධ්‍යාපනයෙහි සංස්කෘතික හරය, සංස්කෘතික අතිසරලකරණය, ජනමාධ්‍ය සහ සංස්කෘතිකවත් පුරවැසියා’’ යනාදී නිබන්ධ රැසක විචාරාත්මක කියවීම් සුහද සම්භාෂණයකට මඟ සාදන බව කිව යුතුය."කුමාරතුංග නම් අදීන චින්තකයාගේ සංස්කෘතික විඥානය" පොදු පාඨකයාගේ මෙන්ම කුමාරතුංගගේ අඩිපාරේ යන බව කියමින් කුමාරතුංග චින්තනයට හතුරු චින්තනයක් සමාජගත කරමින් සිටින අනුගාමිකයන්ගේද බුද්ධි ප්‍රබෝධය පිණිස හේතුවේ යැයි සිතමි. කුමාරතුංග අමද්‍යප කතිකාවතට අභියෝග කළ අයුරු එහි නානා නයින් පරීක්ෂා කොට දැක්වෙයි.

"බුද්ධාගමේ නමින් මත්පැන් නිෂ්පාදනයට හා වෙළෙඳාමට විරුද්ධ වන අමද්‍යප නායකයන් ප්‍රාණඝාතයට, මුසාවාදයට විරුද්ධ නොවන්නේ මන්දැයි කුමාරතුංග මහතා අසයි. එපමණක් නොව අමද්‍යප ව්‍යාපාරය ආරම්භ කළ නායකයකු එසේ කළේ යම් තැනකින් නොමිලේ අරක්කු නොලැබුණු කෝපයට යැයි කතුවැකි කිහිපයක්ම ලියයි. ඔහු විසිවන සියවස මුල වන විට ලංකාවේ දේශීය ප්‍රාග්ධන සංචිතකරණයෙහි එක් වැදගත් මූලාශ්‍රයක් වූ අරක්කු නිෂ්පාදනය හා වෙළෙඳාම ආරක්ෂා කළේ අදීන ආර්ථික චින්තකයකු ලෙසය. ඔහු අරක්කු ආරක්ෂා කළේ අපට බොන්නට නොවේ. සුරා පානය වරදක් යැයි නොදක්නා අන් රටවලට යවා විදේශ විනිමය ඉපැයීමටය. භාෂාව සම්බන්ධයෙන් සිංහලයේ සුවිශේෂ අනන්‍යතාව අවධාරණය කළ ඒ මහතා ආර්ථික වශයෙන් ලංකාව පරිකල්පනය කළේ සෙසු ලෝකය හා බැඳුණු හා ඒ බැඳීම නිසා වාසි ලබන රටක් හැටියටය."(සිතුවිලි සිතිජය 53,54 පිටු)

20 වැනි සියවසෙහි මුල මෙරට බුද්ධි ප්‍රබෝධයට සහ බුද්ධිමය සම්ප්‍රදායක් ගොඩ නැඟීමට අඩිතාලම දැමූ ආචාර්ය කුමාරස්වාමි, මාර්ටින් වික්‍රමසිංහ සහ කුමාරතුංග මුනිදාස යනාදී විද්වතුන් පිළිබඳ මෙබඳු කියවීමක් අවශ්‍ය වන්නේ ඔවුන් ජාතික වීරයන්ගේ ලැයිස්තුවට දමා වන්දනා කිරීමෙන් කිසිදු සෙතක් නොවන බැවිනි.

විමර්ශී

ඉතිරි කොටස ලබන සතියේ...

මාතෘකා