ජනේලයෙන් එබිකම් කළ රංගධරයා හෙන්රි

 ඡායාරූපය:

ජනේලයෙන් එබිකම් කළ රංගධරයා හෙන්රි

මිනිහකුට සතුටු වෙන්න තිබුනු එකම දේ තමයි මිනිස්කම - මිනිස්සු අතර දැන් මිනිස්කම් නැහැ! මින්ස්සු කපුටු රැලක් වගේ හැම තිස්සෙම හොයනව - ඉහළට නගින්ඩ හොයනව - අජරාමර වෙන්ඩ හොයනව - අමරණීය වෙන්ඩ හොයනව - මිනිස්සු හැමෝම එක වාගෙ - ඒ නිසා ඒගොල්ලො රූකඩ බවට පත් වෙනව....!

අපගේ හදවත් තුළ ගැස්මක් ඇති කරන මේ දෙබස් ඛණ්ඩය අපට හමුවන්නේ සුවහසක් නාට්‍ය රසික ජනතාව සිය නාට්‍ය කලා නිර්මාණ තිළිණයන්ගෙන් පොබකළ නාට්‍ය කලාවේදී ආචාර්ය හෙන්රි ජයසේනයන්ගේ “ජනේලය” නාට්‍යයෙනි. 1961 දී ලංකා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍ය කලා සංගමය වෙනුවෙන් නිෂ්පාදනය කර වේදිකා ගත කළ ජනේලය.. මුද්‍රිත පිටපතට පෙරවදනක් ලියන හෙන්රි මෙසේ සඳහන් කරයි. ‘ 1956දී බිහිවූ ‘මනමේ’ නාට්‍යයෙන් පසුව එතෙක් පැවත ආ තාත්වික නාට්‍ය සම්ප්‍රදාය තටු සිඳුනු කුරුල්ලකු මෙන් ඇදවැටුණු බව නොකිවමනාය. මනමේ නාට්‍යයත් සමඟම බිහිවු ශෛලීගත සම්ප්‍රදායට අනුකූලව අපගේ එදිනෙදා ජීවිතය ආශ්‍රිත කතාවක් නාට්‍යයට නැංවීම දුෂ්කර ව්‍යායාමයක් බැව් පෙනුනි. ජනේලය නාට්‍ය ලියා නිෂ්පාදනය කරන ලද්දේ එම ප්‍රබල ප්‍රශ්නයට පිළිතුරක් වශයෙනි..’

ඔහු මහා වේදිකාවේ අසඩක්ය. සිංහල සිනමාවේ පියල්ය. රූපවාහිනියේ සුදු සීයාය. සිංහල වේදිකාවට අනුපමේය සේවයක් ඉටු කළ හෙන්රි ජයසේනයන් නාට්‍ය රචකයෙකි, නිෂ්පාදකවරයෙකි, කවියෙකි, පරිවර්තකයෙකි, ගත්කතුවරයෙකි.

ජනේලය, කුවේණිය සහ තවත් උදෑසනක්, මනරංජන වැඩවර්ජන, අපට පුතේ මගක් නැතේ සහ සරණ සියොත් සේ පුතුනි හඹා යන.. ස්වතන්ත්‍ර නාට්‍යයන්ද, අහස් මාලිගා, හුනුවටයේ කතාව, දිරිය මව සහ මකරා පරිවර්තන නාට්‍යයන්ද හෙන්රි ජයසේන නැමති මේ සුන්දර මිනිසා සිංහල වේදිකාව මතට රැගෙන ආවේ දහසකුත් බාධා අභියෝග හා දුක් කම්කටොලු මධ්‍යයේය.

එකල නාට්‍යයක් නිෂ්පාදනයේදී නිෂ්පාදකයකුට ලැබෙන සහය හා අනුග්‍රහය පිළිබඳව බොහෝ නාට්‍යකරුවන් සිහිපත් කරන්නේ සංවේගජනකවය. හෙන්රි ද මෙසේ ලියයි. “ නාට්‍යයක් නිෂ්පාදනය කිරීම, ක්‍රිකට් මැච් එකක්, ටෙනිස් මැච් එකක්, පාපන්දු මැච් එකක් වැනි ක්‍රීඩාවක් සංවිධානය කිරීමට වඩා අසීරු දෙයකි. ක්‍රීඩා කරන අයට රජයේ දෙපාර්තමේන්තුවලින් පවා රාජකාරි නිවාඩු, මෙවලම්, උපකරණ ආදියෙන් රාජ්‍ය අනුග්‍රහය එකලද ලැබුණි. නාට්‍යයක රඟපාන නළුවකුට ලැබුණ වටිනාකම අනුග්‍රහය ප්‍රේක්ෂක අත්පොලසන් නාදය පමණි...” (කරළියක කතාවක් - පිටුව 169)

තමන් ජීවත්වන සමාජයේ හමුවන හුදෙක් බොළඳ පෙම් පුවතක් හෝ හාස්‍යජනක සිද්ධියකට වඩා බැරෑරුම් අදහස් දහරක් සිය නිර්මාණ තුළින් එළිදැක්වීමට දරන උත්සාහය හෙන්රිගේ සෑම නාට්‍යයකම දැකිය හැකි සුවිශේෂ ලක්ෂණයකි. එකල තමා ජීවත්වු නගරයේ බෝඩින්වල ගුලිවී සිටි තරුණ බෝඩින්කරුවන්ගේ නිරස ජීවිතය හා කන්තෝරු ජීවිතයේ ඉහළ නැගීමේ නොතිත් ආශාව හා ඉන් ඇතිවන කලකිරීම මෙන්ම බලාපොරොත්තු සුන්වීම ද ‘ජනේලය’ තුළින් යම් අපූර්වත්වයකින් වේදිකාව මත ප්‍රති නිර්මාණය කළේය.

මනමේ නාට්‍යයත් ඒ සමඟම බිහිවු ශෛලිගත සම්ප්‍රදායට අයත් ගායනය වාදනය සංගීතය හා නැටුම් ද එකම වේදිකාවක් මත රංගාලෝකය යොදාගනිමින් දර්ශන තල දෙකක් මවමින් කතාවේ ගලායාමට අපරදිග නව නාට්‍ය ක්‍රම හා විධි උපයෝගී කර ගැනීම ද එකල නාට්‍ය ප්‍රේක්ෂකයන්ට නවමු අතදැකීමක් වුණි. මෙය අද තරම් තාක්ෂණය නොදියුණු යුගයක සිංහල නාට්‍යය කලාව තුළ සිදු කළ නව අත්හදා බැලීමක් ද විය. ප්‍රේක්ෂකයා පමණක් නොව විචාරකයාද වික්ෂිප්තභාවය පත් කිරීමට සමත් වූ ජනේලයට එක් කළ මේ නවාංග පසු කලෙක වෙනත් නාට්‍යයකරුවන්ද අනුගමනය කිරීම රහසක් නොවේ. විචාරක ප්‍රේක්ෂක සැමගේ නොමද ප්‍රශංසාවට ලක්වු ජනේලය නැවත 1992දි හෙන්රි ජයසේනයන් සිංහල වේදිකාවට දායක වී සිව්දශකයක් සපිරීම හේතුකොටගෙන ප්‍රති නිර්මාණයක් ද බිහිවිය.

සිංහල නාට්‍ය කලවේ සීමා පුළුල් කළ ජනේලය නාටකය නිෂ්පාදනය කිරීමෙන් පසු හෙන්රි ජයසේනයන් නැවත කරලිය වෙත පියනඟන්නේ එනම් 1963දී කුවේණිය සමඟිනි.

සුසුම්ලා යකින්නී - නෙත් කඳුළු ඉසින්නී මෙලෙස සිට කියන්නී - සිංහ පුරවර සොඳා රජ ඉසුරු විඳ විඳා - කරන නොපනත් සඳා නැව් නැඟ හල දා - ලක්දිවට බැස එදා නුග සෙවණ වන මැඳා තනිව උන් සඳ රඳා - බත් බුලත් දී සොඳා මවා විමනක් සොඳා - රද දෙදෙන එහි නිදා........ (කුවේණි අස්න..)

කුවේනණිය පිළිබඳව යටකී අනුවේදනීය යාදින්න රැගත් පුරාවෘත්තය පසු කලෙක සර්වකාලීන පණිවුඩයක් සන්නිවේදනය කරන නාට්‍ය නිර්මාණයක් බවට පත්වේ යයි කිසිවකු ද සිතන්නට නොමැත. සිංහලයාගේ මූලාරම්භයේ කියැවෙන කුවේණි කතාව දෙස ජයසේන නාට්‍යකරුවා බලන්නේ අපට නුහුරු ගැඹුරු දෘෂ්ටි කෝණයකිනි. නාට්‍යකරුවකුට ඕනෑම කතාවක් උඩුයටිකුරු කොට දැක්විය හැකිබව සත්‍යයකි. හෙන්රි කුවේණිය දෙස බැලුවේ සානුකම්පිත දෘෂ්ටියකිනී. කුවේණියට වූ අසාධාරණය අද්‍යතන සමාජයේ අදත් දක්නට ලැබෙන්නකි. මතු අනාගතයේ දී ද සිදුවෙනු ඇත.

මා ජීවත් වු ලෝකයේ ද බොහෝ අවස්ථාවලදී ස්ත්‍රීන්ට සිදුවන අසාධාරණකම් අසන දකින මගේ සිත නිරතුරුවම ‘කුවේණි අස්නෙහි’ යාදිනි ගීත දෝංකාර දෙන්නට විය. (කරළියක කතාවක් - පිටුව 233) ‘වරෙක මා ඇය ගෙපිලක දොරකඩක දුටුවෙමි. මුහුණ අතලෙහි රුවාගෙන හිස් බැල්මෙන් ඈත බලා සිටිනු දුටුවෙමි. පටු අඳුරු මාවතක ගරා වැටුනු බිත්තියකට පිටදී නිදි කිරනු දුටුවෙමි. දරුවන් ඉහින් කරින් කරපින්නාගෙන මහමග ගමන් කරනු දුටුවෙමි... (කරළියක කතාවක් - පිටු 234 ) අතීතයේ සිටම නාට්‍යකරුවන් ගැහැනියකගෙන් සමාජයට ඉටුවිය යුතු මෙහෙවර පිළිබඳව නාට්‍ය නිර්මාණ මගින් සන්නිවේදනය කළ නමුදු හෙන්රි ජයසේනයෝ කුවේණිය මේ සනාතන ගැහැනියට සමාජයෙන් ඉටුවිය යුතු යුක්තිය හා සාධාරණය ගැන කුවේණි නාට්‍ය මගින් සන්නිවේදනය කරන්නේ පුළුල් දැක්මකිනි. තාත්වික හා මිශ්‍ර සම්ප්‍රදායක් ගුරුකොට ගනිමින් නිර්මිත ‘කුවේණි ’ එම වසරේ පැවති නාට්‍ය උත්සවයේදී හොඳම රචනය, හොඳම නිෂ්පාදනය, හොඳම සංගීතය, හොඳම නළුවා, හා හොඳම නිළිය යනාදි සම්මානවලින් පිදුම් ලැබීය.

කුවේණිය නාටකයෙන් පසු හෙන්රි නැවත වේදකාවට ප්‍රවිෂ්ට වන්නේ ‘තවත් උදෑසනක්’ සමගය. එය 1964දී අගෝස්තු මස 07 වැනි දින ප්‍රථම දර්ශනය පවත්වා ඇත. අව්ව වැස්ස පින්න ආදි ස්වභාවික බලපෑම් හේතුකොටගෙන මිනිස් සමාජය තුළ ක්ෂණිකව ඇති වන විපර්යාස මෙන්ම ඒවා ක්‍රමයෙන් කාලයත් සමග යථා තත්වයට පත්වීමේ සංකල්පය ප්‍රේක්ෂකයා වෙත මතුකර දක්වමින්, පාරිසරික වෙනස්කම් ඉදිරියේ නොසැලී සිටින, ඒවා විඳ දරාගන්නා වු අප ගැමියන්ගේ ජීවන ලක්ෂණ මතු කළ අපූර්ව නිර්මාණයක් ලෙස “තවත් උදෑසනක්” නාට්‍ය ප්‍රේක්ෂක මතකයේ රැඳී ඇත.

“තවත් උදෑසනක්” නාට්‍යයෙන් පසු හෙන්රිගේ ඇස යොමු වන්නේ

ශ්‍රී ලංකාවේ ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති වැඩවර්ජන ක්‍රියාදාමයන් වෙතයි. 1965 වසරේ “මනරංජන වැඩවර්ජන” නාට්‍යය නිෂ්පාදනය කරමින් ජයසේනයන් ප්‍රේක්ෂකයන් වෙත මුදා හල පණිවුඩය අදත් වෘත්තීය සමිති සාමාජිකයන්හට වැටහී නොමැත. ගතවූ කාල පරිච්ඡේදය තුළ වෘත්තිය සමිති හා දේශපාලනය එකට ගැටගැසී තිබීමෙන් ඇතිවූ ඛේදවාචකය අපි හොඳින් දනිමු. අද අප වර්තමානයේ දකින අවුල් සහගත වෘත්තිය සමිති ක්‍රියාදාමය නාට්‍යකරුවකු වශයෙන් හෙන්රි දකින්නේ මෙයට දශක ගණනාවකට පෙරසිටය. “මනරංජන වැඩවර්ජන” නාට්‍යය එහි කැඩපතයි.

“මනරංජන වැඩවර්ජන” නාට්‍යයෙන් පසු හෙන්රි ජයසේනයන් නැවත කරළියට පිවිසෙන්නේ මෙරට නාට්‍ය ක්ෂේත්‍රයෙහි මහත් ආන්දෝලනයකට තුඩුදුන් “අපට පුතේ මගක් නැතේ ” නම් දැවැන්ත නාට්‍ය නිෂ්පාදනයත් සමඟිනි. මෙවර ඔහුගේ තියුණු ඇස යොමූවුයේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය කෙරෙහිය. මේ සඳහා වස්තු බීජය ලෙස යොදා ගන්නේ එකල ‘සිලෝන් ඔබ්සවර්’ පත්‍රයේ පළවූ ප්‍රවෘත්තියකි.

“උපාධි අපේක්ෂක තරුණයාගේ සියදිවි නසාගැනීම තවමත් පේරාදෙණිය එහු ගැන කතාබහ කරයි. පියා මියගොස් මවට තනිව වියදම් දැරිය නොහැක” මේ ප්‍රවෘත්තිය පිළිබඳව තම අවධානය යොමු කරමින් දීර්ඝ වශයෙන් කරුණු ගවේෂණය කළ හෙන්රි, මෙම දිවි නසාගත් ශිෂ්‍යයාගේ ජීවිත අන්දරය වේදිකාව මත ප්‍රති නිර්මාණය කිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලය වූයේ 1968 ජුනි මස 6 වැනි දින ලුම්බිනි රඟහලේදී “අපට පුතේ මගක් නැතේ ” නම් දැවැන්ත නාට්‍ය නිෂ්පාදනය කරළිය ප්‍රවිෂ්ට වීමයි.

අපගේ සමාජයේ සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරු කරමින් මහත් වෙහෙසක් දරා කළ නිර්මාණයක් රාජ්‍ය තහනමකටද ලක්වී පසුව අවසානයේදී තහනම ද ඉවත් කරවාගෙන දර්ශන දෙතුන් සියයක් ඉක්මවා ප්‍රදර්ශනය කළ ආකාරයත් නා‍ට්‍යකරුවකු වශයෙන් එකල වින්ද දුක් ගැහැට.. හෙන්රි තම ‘නිම්නැති කතාවක්’ හී තවදුරටත් විස්තරාත්මකව දක්වා ඇත.

හෙන්රි ජයසේනගේ ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණවලියේ අවසාන උත්සාහය ලෙස අපට හමුවන්නේ “සරණ සියොත් සේ පුතුනි හඹා යන” නම් නාට්‍යයයි. 1975 වසරේදී කරළියට නැංවූ “සරණ සියොත් ” හි තේමාව සහ නිර්මාණයට පාදක වූ කරුණු හෙන්රි මෙසේ දක්වයි. ‘රටේ හොඳම රටට අත්‍යවශ්‍ය බුද්ධිමතුන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ශාස්ත්‍රපතින්, විද්‍යාඥයන් වැනි අප රටේ ධනයෙන් නොමිලේ අධ්‍යාපනය ලැබ ආර්ථික වාසි තකා රටින් පැන යති. රට වෙනුවෙන් මවුපියන් ගුරුවරුන් වෙනුවෙන් ඔවුන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් පැහැර හරිති. සීතල මඟහැර සංක්‍රමණය වන සියොතුන් සේ ඔවුහු ඉගිලී යති. (නිම්නැති කතාවක් - 2 – 236) රට හැරයාමත් තම මවුරටට ගුරු දෙගුරුන්හට යුතුකම් ඉටුකිරීම වගකීම පිළිබඳ අරුමය සන්නිවේදනය කරන්නට ‘සරණ සියොත්..’ තුළින් දැරූ ව්‍යයාමය අසාර්ථක වු බව, ජයසේනයන් තම නිම්නැති කතාවක් 2හි අවසානයේ දක්වයි.

මෙතෙක් අප සිදු කළේ මේ සොඳුරු නාට්‍යකරුවාගේ ස්වතන්ත්‍ර නාට්‍ය සමුච්ඡය ගැන කෙටි හැඳින්වීමක් සිදු කරමින් එතුමාගේ නාට්‍ය සේවනය යළි සිහිපත් කිරීමක් පමණි. අද දවසේ අපට මේ නාට්‍ය දැක ගැනීමට දුෂ්කර වුවද එතුමන් අපට ඉතිරි කර ගිය මුද්‍රිත පිටපත් පරිශීලනය කිරීමෙන් එහි සාහිත්‍යමය අගය පමණක් නොව අප ජීවිතයට ද බොහෝ දේ එකතු කර ගත හැකිය. හෙන්රි ඔබට පින්...! දෙයක් වේ නම් යම් - එය සුදුස්සාටම අයිති විය යුතු...... (හුනුවටයේ කතාව) (එතුමාගේ උපන් දිනය පසුගිය ජූලි හය වැනි දිනට යෙදී තිබුනි. මේ කෙටි ලිපිය එතුමන් සිහිපත් කරනු පිණිසය)

මාතෘකා