බැංකු ගිණුමේ කෝටි සීයේ කතාව බොරුවක්!

 ඡායාරූපය:

බැංකු ගිණුමේ කෝටි සීයේ කතාව බොරුවක්!

හොරොව්පතානේ පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගැනීම

සහරාන් කල්ලිය සමග සබඳතා පැවැත්වීම සහ අන්තවාදී ආගමික අදහස් පැතිරවීමේ චෝදනාව මත හොරොව්පතාන පොලිසිය විසින් ඉකුත් මැයි මස 24 වන දා ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබිණි. ඊට පසු දින එනම් මැයි 25 දා මෙරට ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක මුල් පිටුවේ මේ පිළිබඳ පළ වූයේ සහරාන් කල්ලියේ පස් දෙනාගේ බැංකු ගිණුම්වල කෝටි 100ක් යන මැයෙන් වූ ප්‍රධාන සිරස්තලයද සහිතවය.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කැබිතිගොල්ලෑව පොලිස් වසමට අයත් ඇල්ලවැව ගම්මානයේ නුහුගේ සකරියා, සේනුල් අබ්දිල් ඉර්ෆාන්, ලේබ්බේ තම්බි ජැස්මින්, සේනුල් අබ්දින් කලිෆතුල්ලා සහ හොරොව්පතාන පොලිස් වසමේ කිවුලේකඩ ග්‍රාමයේ පදිංචි මොහිදින් බාවා නවුෆර් යන පුද්ගලයන්ය. එම ප්‍රවෘත්තියට අදාළව අත්අඩංගුවට පත් සැකකරුවන් පස් දෙනාගේ ඡායාරූපද ඒ සමග පළ විය. හැඳුනුම්පත් අංක මගින් කරන ලද පර්යේෂණයකට අනුව විදෙස් රටවලින් සහ මෙරට යම් යම් පුද්ගලයින්ගේ ගිණුම් හරහා එම මුදල ලැබී තිබූ බව වැඩිදුරටත් එම පුවතේ සඳහන්ව තිබුණි.

 

නීති වාර්තා හෙළි කළ තොරතුරු

මේ වන විට අත්අඩංගුවට පත් පුද්ගලයින් පස් දෙනා සම්බන්ධ ත්‍රස්ත විමර්ශන වාර්තාව සහ කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාව නිකුත් වී ඇත. බී වාර්තාව නිකුත් කර ඇත්තේ ඉකුත් මැයි 27 වනදාය. එම නීතිමය වාර්තා තුළ මෙම අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ ගිණුම්වල කෝටි 100 ක මුදලක් තිබූ බවට කිසිදු සඳහනක් නොමැත.

හොරොව්පතාන පොලිසියෙන් මේ පිළිබද විමසීමේදී පොලිස් ස්ථානාධිපති රොෂාන් සංජීව මහතා ප්‍රකාශ කර සිටියේ මෙම සැකකරුවන්ගේ ගිණුම් සතුව කෝටි 100ක මුදලක් තිබූ බවට තමා හෝ සිය පොලිස් ස්ථානයේ සෙසු නිලධාරීන් කිසිවිටෙකත් මාධ්‍යට ප්‍රකාශ නොකළ බවයි. අදාළ පුවතේ සඳහන්ව තිබූ එම සාවද්‍ය කරුණු හේතුවෙන් හොරොව්පතාන පොලිසියටද ගැටලුවලට මුහුණපෑමට සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය විසින් හොරොව්පතාන පොලිස් ස්ථානයට විරුද්ධව පරීක්ෂණයක්ද සිදු කළ බැව් ඔහු අනාවරණය කළේය.

අත්අඩංගුවට පත් අය කවුද?

අත්අඩංගුවට පත් සේනුල් අබ්දිල් ඉර්ෆාන් ඇල්ලවැව ග්‍රාමයේ පදිංචි අයෙකි. දෙදරු පියකු වන ඉර්ෆාන් පල්ලියක ගුරුවරයෙකු හෙවත් මවුලවිවරයෙක් වශයෙන් සේවය කර ඇති අතර බිරිඳ ගෘහිණියකි. පුද්ගලයන් 15කින් සමන්විත, පවුල් 5ක් වෙසෙන කුඩා නිවසක ඉර්ෆාන්ද සිය බිරිඳ සහ දරුවා සමග ජීවත් වෙයි. ඔහුගේ බිරිඳ ෆාතිමා ශාහිදා පැවසුවේ කෝටි 100ක මුදලක් ගිණුම්ගත වීමේ චෝදනාව තම සැමියා වෙතද එල්ලව ඇති නමුත් ඔහු සතුව අවම වශයෙන් ඉතිරි කිරීමේ බැංකු ගිණුමක් හෝ නොමැති බවයි. "එදා පොලිසිය ඇවිත් ගෙදර ගොඩක් වෙලා සෝදිසි කළා. ඒත් සොයාගන්න කිසිවක් අපි ළඟ තිබුණෙ නැහැ. "ඇය සිය හඬ අවධි කළේ එලෙසිනි. දිනපතා පල්ලියේ ඉගැන්වීම් කටයුතු සදහා පැය එක හරමාරක් පමණ ගෙවා පයින් ගමන් කරන ඉර්ෆාන්ට පාපැදියක් ගැනීමට හෝ වත්කමක් නොමැති බව ඉර්ෆාන්ගේ පියා අනාවරණය කළේය.

අත්අඩංගුවට පත් තවත් අයෙක් වන ජැස්මින් ගුරුවරයෙකු වශයෙන් සේවය කළ එක්දරු පියෙකි. ඔහුගේ බිරිඳද ගුරු වෘත්තියේ නියැලෙන අතර ප්‍රාථමික මට්ටමින් අඩක් ඉදි කළ නිවසක ඔවුහු වාසය කරති.

ජැස්මින්ගේ බිරිඳ පාසල් සමිතියක් හරහා ණයක් ලබා ගැනීමට කටයුතු කර ඇති අතර ඇගේ වැටුපෙන් රු.20,000ක මුදලක් මාස් පතා ණය සදහා වෙන් වෙයි. පෙරදී සැමියාගේ වැටුපද ලැබුණු බැවින් සිය පවුල ජීවත් කරවීම එය ප්‍රමාණවත් වුවද දැන් ඔහුගේ රැකවරණයද අහිමිව යෑමෙන් ඇය අසරණ තත්වයකට වැටී ඇති බව හෙළි කළාය. "දෙපාරක් ඇවිල්ල ඔවුන් සෝදිසි කෙරුවා නමුත් කිසිම දෙයක් අරන් ගියේ නැහැ." කෝටි 100ක චෝදනාව සම්බන්ධයෙන් පුවත්පතේ පළව තිබුණද පොලිසියෙන් හෝ වෙනත් නීති අංශයකින් මේ වන තෙක් එවැනි චෝදනාවක් සිය සැමියාට එල්ලවී නොමැති බවද ඇය අනාවරණය කර සිටියාය.

අත් අඩංගුවට පත් මොහිදින් බාවා නවුෆර් හොරොව්පතාන ගම්මානයේ උපාධිධාරී සංවර්ධන නිලධාරියෙකු වූ සිව් දරු පියෙකි. ඔහුගේ බිරිඳ රජයේ පාසලක ගුරුවරියක ලෙස සේවය කරයි. මෙම අත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලන පළිගැනීමක් ඇති බවට ඔහුගේ බිරිඳ සැක පළ කරයි. මාධ්‍යවල පළ වූ චෝදනා පිළිබද පිළිබද අදහස් දක්වමින් ඇය පෙන්වා දුන්නේ දැනට ඔවුන් ජීවත් වන අඩක් නිම කළ නිවසේ ඉදිරිපස කොටස තනා ගත්තේද අමානා බැංකුවෙන් ලබා ගත් නිවාස ණය මුදලකින් බවයි. තවත් වසර ගණනක් එම ණය මුදල ගෙවිය යතු බවද ඇය වැඩිදුරටත් සදහන් කළාය. අත්අඩංගුවට ගත් දින ඔවුන්ගේ මුළු නිවසම පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඔහුට අයත් බැංකු පොත සහ විදේශ ගමන් බලපත්‍රයද පොලිස් භාරයට ගෙන ඇත.

‍නූහුර්ගේ සකරියා ඇල්ලවැව ග්‍රාමයෙන් අත්අඩංගුවට පත් තවත් අයෙකි. බඩ ඉරිගු වගාවෙන් ජීවිකාව ගෙන ගිය සකරියා තිදරු පියකු වන අතර ඔහුගේ බිරිඳ ගෘහිණියකි. කෝටි 100ක් සතුව තිබූ බවට පුවත්පතේ පළ වූ චෝදනාව පිළිබද අදහස් දක්වමින් සකරියාගේ බිරිඳ පවසා සිටියේ "අපිට වත්කමකට කියලා තියෙන්නේ මේ දරුවො ටිකයි ඉන්න ගෙදරයි විතරයි. සහරාන් කියලා කෙනෙක් ගැන දැන ගත්තෙත් අපි මේ සිද්ධියෙන් පස්සෙ. අපේ පවුල රැකුණෙ මහත්තයා ගොවිතැන් කරලා ගෙනාපු ආදායමෙන්. දැන් එයා නැති නිසා අපි ගොඩක් අසරණ වෙලා ඉන්නෙ. අහල පහල කවුරුහරි අපි ගැන අනුකම්පා කරලා දෙන දෙයක් කාලා තමයි දැන් අපි ජීවත් වෙන්නෙ." යනුවෙනි.

කලිෆතුල්ලා ඇල්ලවැව ග්‍රාමයෙන් අත්අඩංගුවට පත් පස්දරු පියකු වන අතර අබු හුදෙයිපා අරාබි පාසලේ ගුරුවරයෙකු වශයෙන් සේවය කර ඇත. ඔහුගේ බිරිඳගේ පියා කලිෆතුල්ලාගේ දරුවන් වෙත දෑත් දිගු කරමින් පවසා සිටියේ "මේ දරුවන්ගේ කන්වල තිබෙන තෝඩු දිහා බලන්න. ඒවා රත්තරන් නෙවෙයි. රත්තරන් තෝඩු දෙකක් එයාලට දෙන්නවත් අපට වත්කමක් නැහැ. මම මගේ දුවට දීලා තියන ඉඩමයි මේ ගෙදරයි දරුවො පස් දෙනයි තමයි අපට තියන එකම වත්කම." යනුවෙනි.

පොලිසි දෙකක පිළිවෙත

හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුව ගැනීමට පෙර සැකකරුවන් සියලු දෙනාවම කැබිතිගොල්ලෑව පොලිසිය විසින් කැඳවීමක් කර කට උත්තර සටහන් කර ගැනීමට කටයුතු කර ඇති බව අත්අඩංගුවට පත් අයගේ පවුල්වල සාමාජිකයෝ අනාවරණය කර සිටියහ. මේ පිළිබද අප කැබිතිගොල්ලෑව පොලිසියේ ස්ථානාධිපතිතුමන්ගෙන් විමසීමක් කළෙමු. ඔහු පවසා සිටියේ මෙම සැකකරුවන් සහරාන් කණ්ඩායමට සම්බන්ධ බවට හෝ කෝටි 100ක මුදලක් ගිණුම්ගතව පැවති බවට තමාට කිසිදු තොරතුරක් නොලැබුණු අතර ඉස්ලාම් ආගමික මතවාද පැතිරවීම සම්බන්ධයෙන් ලද තොරතුරක් සම්බන්ධයෙන් පොලිසියට කැඳවා කට උත්තර සටහන් කර ගත් බවයි. එම විමර්ශන කටයුතු සිදු වෙමින් තිබෙන අතරතුර හොරොව්පතාන පොලිසියෙන් ඔවුන් අත් අඩංගුවට ගත් බැවින් කැබිතිගොල්ලෑව පොලිසිය සිදු කළ විමර්ශන කටයුතු නවතා දැමීමට සිදු වූ බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ප්‍රාථමික මූලාශ්‍රවලින් හෙළි වූ තොරතුරු

මෙම පුවත පළ කිරීමට පෙර එහි නිරවද්‍යතාව විශ්වසනීය සාක්ෂි හා මූලාශ්‍ර හරහා තහවුරු කර ගැනීමට පුවත්පත කටයුතු කළාද යන්න අප එම පුවතපතේ ප්‍රධාන කතුවරයාගෙන් හා පුවත වාර්තා කළ මාධ්‍යවේදීන් දෙදෙනාගෙන් විමසීමක් කළෙමු. එහිදී කර්තෘවරයා පවසා සිටියේ එවැනි විමර්ශනයක් කිරීමට නොහැකි වූ බවත් පුවතේ පළව ඇති තොරතුරු සාවද්‍ය බවට හෙළි වීම පිළිබද තමා දැඩිව කනගාටු වන බවත්ය. කර්තෘ මණ්ඩල මාධ්‍යවේදිනිය පැවසුවේ කෝටි 100ක් ගිණුම්ගත වීමේ තොරතුර ලබා ගත්තේ හොරොව්පතාන පොලිසියෙන් නොවන බවත් එම තොරතුරුවල විශ්වසනීයත්වය තහවුරු කර ගැනීමට කටයුතු කළේද නැද්ද යන්න අප කරන විමසුමට කිසිදු පැහැදිලි කිරීමක් සිදු කිරීමට තමා බැඳී නොසිටින බවත්ය. අනතුරුව අපි එම පුවත වාර්තා කළ ප්‍රාදේශීය වාර්තාකරුවද සම්බන්ධ කර ගතිමු. ඔහු පැවසුවේ කිසිදු නීතිමය විමර්ශන වාර්තාවක් හෝ එම පස්දෙනාගේ බැංකු ගිණුම් වාර්තා හෝ අධ්‍යයනය කිරීමට තමාට ඉඩ නොලැබුණු නමුත් තොරතුරු පැවසුවේ පොලිසිය බැවින් එය විශ්වසනීය මූලාශ්‍රයක් ලෙස සලාකා පුවත වාර්තා කළ බවය.

ඡායාරූප ලබා දුන්නේ කවුද?

සැකකරුවන් සහරාන්ට සම්බන්ධද නැද්ද යන්න අවසන් අධිකරණ තීන්දුව නිකුත් වීමට පෙර මතු නොව අවම වශයෙන් නඩුවේ බී වාර්තාව හෝ නිකුත් වීමට පෙර ඔවුන්ගේ පැහැදිලි පින්තූර පුවත සමග පළව තිබුණේ සැකකරුවන්ව සහරාන්ගේ කල්ලිය ලෙසින් හැදින් වූ සිරස්තලයක් යටතේය. තොරතුරුවල නිරවද්‍යතාව තහවුරු කර ගැනීමට උත්සාහයක් නොකළ පසුබිමක් තුළ එවැනි සිරස්තලයක් යටතේ පින්තූර පළ වූයේ වාර්තාකරුවන්ගේ අනුදැනුම යටතේද යන්න අප කළ විමසීමේදී පොලිසියේ උසස් නිලධරයෙකු තමාට එම පින්තූර ලබා දුන් බව ප්‍රාදේශීය වාර්තාකරු අනාවරණය කර සිටියේය.

ඒ අනුව අප හොරොව්පතාන පොලිසියෙන් කළ විමසුමකදී එහි ස්ථානාධිපතිතුමන් වන රොෂාන් සංජීව මහතා ප්‍රකාශ කර සිටියේ තමා කිසි විටෙකත් සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍යට ලබා නොදුන් බවය.

මෙම පින්තූර පහ දෙස බැලීමේදී පසක් වන සුවිශේෂ කරුණු කිහිපයක් ඇත. ප්‍රධානම කරුණ නම් සැකකරුවන් පස් දෙනාම පින්තූරයට සිය මුහුණ පැහැදිලිව පෙනෙන සේ සීරුවෙන් සිට කැමරාවට මුහුණ දී ඇති බවය. එනම් මෙම පින්තූර ඔවුන්ද දැනුවත්ව එකම ස්ථානයකදී ලබා ගත් ඒවා බවය. ඒ අනුව ඒවා අත්අඩංගුවට ගත් දිනම එකම ස්ථානයකදී ලබා ගත් පින්තූර බව පැහැදිලිය.

සැකකරුවන්ට මූල්‍ය චෝදනා

මෙම අත්අඩංගුවට පත් සැකකරුවන් පස් දෙනා වෙත එල්ල වී ඇති මූල්‍ය චෝදනාවක් පිළිබද නඩුවේ බී වාර්තාවේ සදහන්ව ඇත. ඒ ආගමික ස්ථානයක් ඉදි කිරීමට ලද මුදල් ආධාරයක් වූ රුපියල් ලක්ෂ 25ක මුදලක් කේන්ද්‍ර කර ගනිමිනි. සැකකරුවන් 5 දෙනාටම එකී මූල්‍ය චෝදනාව එල්ල වී ඇති නමුදු ඔවුන් පස් දෙනාගේම බැංකු ගිණුම්වල එවැනි මුදලක් තිබූ බවට තවමත් හෙළිදරව් වී නොමැත. ඔවුන් අතුරින් එක් අයෙක් වන ලෙබ්බේ තම්බි ජෙස්මින් යන අයගේ ගිණුමට පමණක් 2013 වසරේ ජනවාරි මස සිට ඔක්තෝබර් මස දක්වා වාර කිහිපයකට එම ලක්ෂ 25ක මුදල් ලැබී ඇති බව බැංකු වාර්තා පෙන්වා දෙයි.

මේ වන විට ජැස්මින්ට එම මුදල් ලබා දුන් තැනැත්තා වන දෙහිවල කව්ඩාන පාරේ පදිංචි මොහොමඩ් සහීම් නසූර්දීන් නීතිමය වාර්තාවක් ඉදිරිපත් කරමින් තමා ලබාදුන් මුදල් ප්‍රමාණයන් හා ඊට අදාළ තොරතුරු රැසක් අනාවරණය කර ඇත. එහි සඳහන් පරිදි 2005 වසරේ සිට 2015 දක්වා නසූර්දීන් ටෙලිකොම් ඉන්ජිනේරුවරයෙකු වශයෙන් සවුදි අරාබියේ රැකියාවක නිරතව ඇති අතර මිය ගිය සිය පියාණන්ව සිහිවීම පිණිස 2013 වසරේදී කැබිතිගොල්ලැව ප්‍රදේශයේ පෙර පාසලක් ඉදි කිරීමට ලක්ෂ 20ක මුදලක් ප්‍රදානය කර ඇත. එම මුදල් සම්බන්ධීකරණය කර ඇත්තේ මෙම සිද්ධියේ අත්අඩංගුවට පත්ව සිටින සිය මිතුරෙකු වන ලෙබ්බේ තම්බි ජැස්මින් යන බවද වැඩිදුරටත් සදහන් කර ඇත.

ඉලක්කයක් වූයේ කෙසේද?

වැඩිදුර තොරතුරු ගවේෂණයේදී ඇල්ලවැව ගම්මානයේ තක්වා මුස්ලිම් පල්ලියේ පූජකතුමන් වන ඉබ්රාහිම් අබ්දුල් හාලික් විසින් සුවිශේෂ කරුණු කිහිපයක් අනාවරණය කරනු ලැබිණි.

අත්අඩංගුවට පත් පිරිස සහ ඔවුන් අනුගමනය කරන ඇදහීම් ක්‍රමවලට වෙනස් ආගමික මත දරන ගමේ වෙනත් පිරිසක් අතර කලක් පුරා ආගමික මතවාද සම්බන්ධයෙන් මතගැටුම් පැවතිණි. බොහෝ කාලයක් දෙපිරිසම එකම පල්ලියක වැදුම් පිදුම් කළද මතවාදීමය විරසකය උච්චස්ථානයට පැමිණීමේ හේතුවෙන් අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් අයත් ආගමික කණ්ඩායමේ පිරිසක් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇත. ඒ සඳහා මුල් තැන ගෙන කටයුතු කර ඇත්තේ දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සැකකරුවන් පස්දෙනාය. එම නඩුවේ අවසන් අධිකරණ තීන්දුව වී ඇත්තේ මතවාදීමය ගැටුම් හේතුවෙන් මෙම දෙපිරිසටම තවදුරටත් එකම පල්ලියක් තුළ වැඳුම් පිදුම් කළ නොහැකි බැවින් ගම තුළ වෙන් වෙන්ව ආගමික ස්ථාන ඉදි කළ යුතුය යන්නයි. එම නියෝගයෙන් අනතුරුව මේ දෙපිරිසට වෙන් වූ ආගමික ස්ථාන ද්විත්වයක් බිහි වූ අතර එය දෙපිරිස අතර විරසකය වඩාත් වර්ධනය කරන්නටද හේතුවක් වූ බව පූජකතුමා සහ ගම්වාසීහු අනාවරණය කර සිටියහ.

ඉකුත් අප්‍රේල් 27 වනදා සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග තවුහිද් ජමාත් යන නාමය අසන සැණින් ත්‍රස්තවාදය පිළිබඳ හැඟීමක් ජනිත වන තත්වයක් රට තුළ උද්ගත විය. එම සිදුවීම දැනට අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් සමග පෙර පැවති පුද්ගලික අමනාපකම් පිරිමසා ගැනීමේ අවියක් ලෙසින් අනෙක් ආගමික මත දරන කණ්ඩායම භාවිත කර ඇති බවට සැකකරුවන්ගේ පවුල්වල සාමාජිකයෝ සහ ගම් වැසියෝ සැක පහළ කරති.

පරිවර්තන සහය [ශබීර් මොහොමඩ්]

[නිරාශා පියවදනි]

මාතෘකා