සිංහල ප්‍රේක්ෂකාගාරයේ පුටු හිස් වුණාට ඉංග්‍රීසි නාට්‍ය හවුස්ෆුල්

 ඡායාරූපය:

සිංහල ප්‍රේක්ෂකාගාරයේ පුටු හිස් වුණාට ඉංග්‍රීසි නාට්‍ය හවුස්ෆුල්

නිලංක නිසලාංජල්

‘අතරමැදියා’ නිලංක නිසලාංජල්ගේ පළමු දිගු වේදිකා නාට්‍යයයි. නූතන තාරුණ්‍යය ගැන කතා කරන ‘අතරමැදියා’ නාට්‍යයේ අධ්‍යක්ෂ නිසල් සමඟ ‘ඉති’ කළ සංවාදයයි මේ.

 නිලංක හඳුන්වන්න කැමති කොහොමද?

මගේ පාසල කොළඹ රාජකීය විද්‍යාලය. එතැන තමයි මම නාට්‍යවලට අත්පොත් තැබුව තැන. ඉන්පසුව මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ‍භෞතික විද්‍යා උපාධිය හැදෑරුවා. ඉන්පසුව ලියෝ බර්ට් ආයතනයේ කොපි රයිටර් කෙනකු ලෙස සේවය කළා. දැන් මම පෞද්ගලිකව කොපි රයිටර් කෙනකු ලෙස වැඩකරනවා. ඒ වගේම දිගටම නිර්මාණ කටයුතු සමඟ හිටියා. ‘අතරමැදියා’ වේදිකා නාට්‍ය අපේ අලුත්ම නිර්මාණය.

 මීට කළින් කරපු නිර්මාණ ගැනත් කීවොත්?

මීට පෙර කෙටි නාට්‍ය ගණනාවක් නිර්මාණය කළා. ඊට අමතරව වෙබ් ටෙලි නාට්‍යය මාලාවක් කළා. කෙටි චිත්‍රපට, මියුසික් වීඩියෝවල නිර්මාණ කටයුතු කළා.

උවමනාවක් තිබුණා දිගු නාට්‍යයක් කරන්න. කාලයක් තිස්සේ ඉගෙනගත්තු දේවල් සහ ලබාගත් අත්දැකීම් එක්ක නිර්මාණයක් කිරීමේ උවමනාව තිබුණේ. ඒ උවමනාවේ ප්‍රතිඵලයක් විදිහට මේ අවුරුද්දේ ‘අතරමැදියා’ නිර්මාණය වෙන්නේ.

 ‘අතරමැදියා’ කියන්නේ මොන වගේ නාට්‍යයක්ද?

‘අතරමැදියා’ නූතන නාට්‍යයක්. ඕන කෙනකුට වාඩිවෙලා බලන්න පුළුවන් විදිහේ සහ හරිම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදිහේ නිර්මාණයක් ලෙස සලකන්න පුළුවන්. විශේෂයෙන් එහිදී නූතන තාරුණ්‍ය ගැන තමයි කතා කරන්නේ. නමුත් එහිදී අපි අතීතය අතහැරලා නෑ. අතීතය සහ අනාගතය මැද සිටින තාරුණ්‍යයේ හැසිරීම කොයි වගේද කියන එක තමයි නාට්‍යයෙන් සාකච්ඡා වෙන්නේ. වත්මන් තාරුණ්‍ය ආදරය, ජීවිතය, වැනි මාතෘකා කියවන්නේ කොහොමද කියන පුළුල් වපසරියක සාකච්ඡාව සිදුවෙනවා.

කුසල් මදුරංග ‘නදීර’ගේ චරියත් සිලිඳු රංවල ‘අමන්දි’ගේ චරිතටත් මම ‘ෂේන්’ගේ චරිතයටත් රංගනයෙන් දායක වෙනවා. ෂේන් කියන්නේ you tuber කෙනෙක්. අමන්දා කියන්නේ නර්තනය උපාධියක් හදාරන ඒ ගමන් කොපි ෂොප් එකක part time job එකක් කරන කෙනෙක්. නදීර කියන්නේ ටීවී චැනල් එකක් නිෂ්පාදකයෙක්. ඒ චරිත තුන අතර පවතින සම්බන්ධතා ගැන මතුකරමින් කතාව දිව යනවා.

 නාට්‍ය කණ්ඩායම ගැන කතා කළොත්?

නාට්‍ය කණ්ඩායමේ පහළොස්දෙනෙක් විතර ඉන්නවා. අපි තුන්දෙනෙක් රංගනයේ නිරත වෙනවා.

 ලාභ උපයන්න වේදිකා නාට්‍ය කරන එක ලේසි නෑ. බොහෝ විට නාට්‍යය කරන්නේ උණට. මේකත් උණට කරපු නාට්‍යයක්ද?

මේක ආසාවට කරපු වැඩක්. ඕනෑම නාට්‍යයක් කරන්නේ ආසාවට වෙන්න ඇති. වේදිකා නාට්‍ය කරලා සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා හිතන්න බෑ.

දෙවැනියට නිර්මාණකරුවා සහ නිෂ්පාදකයා ලෙස හිතුවා ඔබ කියන ප්‍රශ්නයට විසඳුමක් සොයන්නත් ඕන කියලා. අපි මේ නිර්මාණය ගැන කියලා පෝස්ටර් ගැහුවේ නෑ. Social media campaign එකක් අපි කළේ ඇත්තටම. මීට පෙර නාට්‍යයක් නරඹන්න online ටිකට් වෙන් කරගන්න ක්‍රමයක් සකස් කරලා තිබුණේ නෑ මම දන්න විදිහට. අපි ඒ විදිහට ටිකට් අලෙවි කළා. විකල්ප සහ නූතන ක්‍රමවේද අත්හදා බැලුවා නාට්‍යය ප්‍රසිද්ධ කරන්න.

හැමදාම නාට්‍යය බලන්න එන්නේ එකම පිරිසක්. නාට්‍යය නිර්මාණවල නිරත වෙලා සිටින පිරිසක්. ඒ නිසාම ජීවිතේට නාට්‍යය නරඹපු නැති කෙනෙක්ට නාට්‍යයක් බලන්න ආසාවක් ඇතිවෙන විදිහට අපි campain එක කරන්න උත්සහ කළා. ඒ කියන්නේ අලුත් ප්‍රේක්ෂකාගාරයක් හදන්න උත්සහ කළා. එහි සාර්ථකත්වයක් තිබුණා. හිතුවට වඩා ටිකට් අලවි වුණා වගේම නැරඹීමට පැමිණි ප්‍රමාණයෙන් වැඩි දෙනෙක් මීට පෙර නාට්‍යය නරඹපු අය නෙවෙයි. අපි නොහිතන වට්ස්ඇප්, ස්නැප්චැට් භාවිත කරන අවුරුදු දහනවයක වයසේ තරුණ තරුණියන්ටත් මේ නාට්‍ය තේරෙනවා. නාට්‍ය නොබලපු, නාට්‍ය අත්හැරපු කොල්ලන්ට, කෙල්ලන්ටත් මේ නාට්‍යය නරඹන්න පුළුවන් නිසා මේකට ගමනක් තියෙයි කියලා හිතෙනවා.

 මේ ප්‍රේක්ෂකයන් රඳවා ගන්න උපක්‍රම ගැන හිතලා තියෙනවා කියලා පේනවා?

නිතරම අලුත් වන campaign එකක් කරන්න ඕනෑ. හැම දර්ශන වාරයකට කළින්ම අලුතින් art works ප්‍රචාරය කර හරිනවා. ඒ වගේම නිතරම නිර්දේශ හරහා නාට්‍ය දර්ශනය කරවනවා. ශ්‍රී ලංකාවේ නාට්‍ය වර්ග දෙකක් තියෙනවා. දර්ශන වැඩි නාට්‍ය සහ දර්ශන නොයන කලාත්මක නාට්‍යය කියන දෙක. පොදුවේ කියන්නේ දර්ශන වැඩිපුර දුවන නාට්‍යය හරි නෑ කියලා. ප්‍රහසන වගේ නාට්‍ය හඳුන්වන්නේ ඒ විදිහට. වැඩිපුර දර්ශනය නොවන නාට්‍යය විදිහට සම්මාන ලබන නාට්‍යය විදිහට සමාජය හඳුනාගෙන තියෙන්නේ. අපට ඕන වුණේ ඒ අතරමැද ස්ථානගත වෙන්න. මෙතින්න එහාට අපි කරන හැම නිර්මාණයක්ම අන්න ඒ තැන ස්ථානගත කරන්නයි අපි උත්සහ කරන්නේ.

 මේ නිර්මාණයක් එක්ක අලුත් වැඩක් කරන්න හිතන්නේ නැද්ද?

තාම මේ නිර්මාණය ඉපදුනා විතරයි. හුරතල් කරන ගමන්නේ ඉන්නේ. ඒ වගේම මේ නාට්‍යය ඉංග්‍රීසි පරිවර්තනය කරන්න සූදානම් වෙනවා. එසේ පරිවර්තනය කළ යුතු නාට්‍යයක් කියලා මං විශ්වාස කරනවා. ඉංග්‍රීසි ප්‍රේක්ෂකයන් අතරටත් මෙය යවන්න උවමනාවක් තියෙනවා.

 එහි විශේෂත්වයක් තියෙනවද?

ශ්‍රී ලංකාවේ හොඳ ඉංග්‍රීසි නාට්‍ය ප්‍රේක්ෂකත්වයක් තියෙනවා.

 නමුත් මේ සාකච්ඡාව සමාජය ස්පර්ෂ නොකරන තැනක් නේද?

සිංහල නාට්‍ය ගැන කතාබහක් තියෙනවා කියලා අපි හිතනවා. නමුත් පුටු ටික හිස්. ඉංග්‍රිසි නාට්‍ය ගැන කතාබහක් නැති වුණාට හවුස්ෆුල්. ඉංග්‍රීසි නාට්‍යය දර්ශන පහළොවක් ගියොත් ඒ පහළොවටම ප්‍රේක්ෂකයන් ඉන්නවා. ඒක තමයි ඇත්ත.

 සිංහල නාට්‍යය ප්‍රේක්ෂකාගාරය හිස් කියලද ඔබ කියන්නේ?

සිංහල නාට්‍යය ගැන කතාව විතරයි තියෙන්නේ. මගේ නාට්‍යය බලන්නත් සිංහල නාට්‍යය කරන අය ආවේ නෑ. එහි සියයට හැත්තෑවකට වඩා හිටියේ සාමාන්‍ය ප්‍රේක්ෂකයන්. අපි පළමු දර්ශනය සඳහා ටිකට් ගැහුවේ රුපියල් 1005යි. 505 සහ 305 විදිහට. එහිදී රුපියල් 1005 ටිකට්ස් ටික ඉවර වුණේ ඇත්තටම. ඒ සාමාන්‍ය ප්‍රේක්ෂකයන් මිලට ගත් නිසා. බහුතරයක් නාට්‍යකරුවන්ට තමයි 305 ටිකට් එක ගැහුවේ. අපි නාට්‍යකාරයෝ සල්ලිකාරයෝ නෙවෙයි කියලා දන්නවා. අපි උත්සාහ කරන්නේ නාට්‍යයක් බලන්න ඔවුන් එතනට ගේන්න. ඒත් එහෙමවත් ප්‍රේක්ෂකාගාරයකට ඔවුන් එන්නේ නැත්නම් කොහොමද සිංහල නාට්‍ය ප්‍රේක්ෂකාගාරය පුරවන්න පටන් ගන්නේ?

ඒත් ඉංග්‍රීසි ප්‍රේක්ෂකාගාරය එහෙම නෑ. නාට්‍යය කරන්නේ නැති ප්‍රේක්ෂකයන් ඉංග්‍රීසි නාට්‍යය ප්‍රේක්ෂකාගාරයේ ඉන්නවා.

 නාට්‍යය ගොඩගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවද?

මේ සංවාදය කියවන කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ට කියන්නේ මොනවා වුණත් කමක් නෑ මේ නාට්‍ය පුළුවන්නම් බලන්න. මේක අපි ‘අපේ නිර්මාණයක්’ කියලා හඳුන්වන්නේ. අපි කියන්නේ තරුණ පිරිස කියන එක. අතීතකාමයක තමයි ශ්‍රී ලංකා සමාජය ඉන්නේ. මේ සමාජයේ දිනන්නත් පුළුවන් අතීතකාමය මතින් ගියොත්. නමුත් නූතන තාරුණ්‍යයේ ප්‍රශ්න ගැන කතා කරන්න අපි උත්සහ කරනවා. දැන් අපි අලුත් දේ ගැන කතා කරන්න පටන් ගන්න ඕන. ඒ නිසා ඔක්කොටම කළින් මේ නාට්‍ය නරඹන්න කියනවා.

 ඉදිරි නාට්‍යය දර්ශන ගැනත් සිහිපත් කළොත්?

අගෝස්තු 17 වැනිදා බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියෙටර්හිදී සවස 3.30 සහ 6.54 වාර දෙකක් දර්ශනය කිරීමට නියමිතයි. ඊට අමතරව 23 වැනිදා රෝයල් තැබ්‍රොපේන් එකේදිත් දර්ශනය කිරීමට නියමිතයි.

සාකච්ඡා කළේ [රසිකා හේමමාලි]

මාතෘකා