වර්තමාන අනුභූතීන් අයිසින්වල ඔතලා දෙන්න බෑ - අසංක සායක්කාර

 ඡායාරූපය:

වර්තමාන අනුභූතීන් අයිසින්වල ඔතලා දෙන්න බෑ - අසංක සායක්කාර

අසංක සායක්කාරගේ ‘වසරේ හොඳම කෙටිකතාව’ නම් කෙටිකතා සංග්‍රහයය එළඹෙන අගෝස්තු 7 වෙනිදා සවස 3:30ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී දොරට වැඩීමට නියමිතය. මේ, ඔහු සමඟ යෙදුණු සංවාදයක මුද්‍රිත සටහනයි.

සාකච්ඡා කළේ [චමල් අකලංක පොල්වත්තගේ]
 

මම - ඔබේ කෘතියේ නම ‘වසරේ හොඳම කෙටිකතාව’. ඔබ මේ නම යොදාගන්න හේතුව මෙරට සාහිත්‍යයේ වර්තමාන ජනප්‍රිය සම්මාන උෙලළ සංස්කෘතියද? එසේ නැත්තම් මෙය මාර්කටිං ගේම් එකක්ද?

අසංක - මේ පොතට ‘වසරේ හොඳම කෙටිකතාව’ කියා නම යොදන්න ප්‍රධානම හේතුව මේ කෘතිය තුළ ඒ නමින් කෙටිකතාවක් තිබීම. සාමාන්‍යයෙන් කෙටිකතා පොත්වලට නම් දානකොට ඇතුළෙ තියෙන කෙටිකතාවක නමක් පාවිච්චි කිරීම තමයි හුඟ දෙනෙක් කරන්නෙ. තවත් කෙටිකතා ගණනාවක් තියෙද්දී ඇයි ඒ නමම පොතට ගත්තේ කියලා ඇහුවොත් එතනදි දෙන්න තියෙන උත්තරේ තමයි ඔව්, ඒක දැම්ෙම් මාර්කටින් තේරුමකින්.

එතකොට පොත ඇතුළෙ ඒ නමින් කෙටිකතාවක් ලියවුණේ ඇයි කියල ඔබට පෙරළා අහන්න පුළුවන්. ඒ නමින් කෙටිකතාවක් ලියවෙන්න ප්‍රබලම කාරණය තමයි සම්මාන, සාහිත්‍යය සහ වෙළෙඳපොළ අතර තියෙන ගැටුම. අවුරුදු ගණනක් මේ ගැටුම බාහිරව නිරීක්ෂණය කළ කෙනෙක් විදියට සහ අවුරුදු ගණනක් මේ ගැටුම තුළ නියෝජනය වුණු කෙනෙක් විදියට මට දැනුණු අදහස, විවේචනය තමයි ඒ කෙටිකතාව තුළ දිගහැරෙන්නෙ.

මම - ලංකාවේ දේශපාලනය, සාහිත්‍යය, කෙටිකතාව සහ ඒ පරිසරය තුළ ‘වසරේ හොඳම කෙටිකතාව’ ස්ථානගත වීම ගැන ඔබේ කියවීම කුමක්ද?

අසංක - මේ කෘතිය ස්ථානගත වෙන තැන ගැන මම පූර්ව නිගමන, විනිශ්චය දෙන්නෙ නැහැ. මම දන්නෙ නෑ මේක අපේ පාඨක සමාජය කොයි විදියට භාරගනීද කියල. ඒවගේම විචාරක සමාජය මේකට කොයි විදියට ප්‍රතිචාර පායිද කියලවත් මම දන්නෙ නෑ. ඒ හැරුණාම වෙළඳ සමාජය මේ කෘතියට මොන විදියට ඉඩක් ලබාදෙයිද කියලවත් මට කියන්න බැහැ. හැබැයි කෘතිය පුරාවට සෑම කෙටිකතාවක්ම මගේ දේශපාලනයට අනුගතයි. ඒ තුළ මට දැනෙන සමාජ විවේචනය වගේම මීට වඩා යහපත් සමාජයක් ගැන මට තියෙන ප්‍රාර්ථනාව අකුරක් ගා‍නේ අන්තර්ගත වෙනවා.

මම - ඔබ පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේත් වගකීම් දරන්නෙක්. අද දිගින් දිගටම සිදු වන සාහිත්‍ය කෘතීන් වාරණය සම්බන්ධයෙන් ප්‍රකාශකයන්ගේ නිහඬතාව පිළිබඳව ඔබ දරන අදහස කුමක්ද?

අසංක - පළමු කොටම ඒ ගැන තියෙන්නෙ කනගාටුවක්. අප්‍රසාදයක්. වාරණය කියෙන්නෙ කිසිසේත්ම මම අනුමත කරන දෙයක් නෙමෙයි. කලාවට ඒක අදාළ කර ගැනීමට මම එකහෙළාම විරුද්ධයි. ඒ විරුද්ධ වීම වගේම අපි මේ වාරණයේ ස්වරූපය මොකක්ද කියලා තේරුම් ගත යුතුයි. මේක ඉතාම නරක තත්වයක්. මේ නරක තත්ත්වයට රාජ්‍ය සහ නීතිය එකතු වුණාට පස්සෙ තත්ත්වය විශාල අනතුරක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේකට එරෙහිව දැන්ම ක්‍රියාත්මක වුණේ නැත්තම් අපිට මුහුණදෙන්න වෙන තත්ත්වය කිසිසේත්ම සුබවාදී නෑ. ඒ නිසා පටු ආස්ථානවල හිරවෙන්නෙ නැතුව කලාකරුවන් වගේම පොදු ජන සමාජය එක පොකුරට මීට එරෙහිව පෙළ ගැහෙන්න ඕනේ. ඔබේ ප්‍රශ්නයේ අනික් අන්තය වුණේ ප්‍රකාශකයන්ගේ නිහඬතාව. ඇත්තටම ඒක ඛේදයක්. මේ තත්ත්වයට එරෙහිව ඉදිරියට ආවේ ප්‍රකාශකයෝ හරිම අතළොස්සයි.

මම - මේ සංවාදය පළ වෙන්නෙ රාජ්‍ය මාධ්‍යයක. ශ්‍රී ලංකාවෙ රාජ්‍ය මාධ්‍ය, සාහිත්‍යය සහ සාහිත්‍යකරුවා අතර ඇති සම්බන්ධය ගැන ඔබ අදහස කුමක්ද ?

අසංක - රාජ්‍ය මාධ්‍ය ගැන මට තියෙන්නෙ කලකිරුණු අදහසක්. මේ සම්මුඛ සාකච්ඡාව පළ වෙන ඔබේ පුවත්පත පවා හසුරුවන්නේ රාජයෙන්. ඒ හැසිරවීම මැද යම් යම් අහස්කූරු පත්තු වෙනවා තමයි. ඒත් ඒක සිද්ධ වෙන්නෙ වැඩ කරන මාධ්‍යවේදීන්ගේ වුවමනාවට සහ හැකියාවට සාපේක්ෂව. රාජ්‍ය මාධ්‍ය හැම එකකම පොදු තත්වය ඕක තමයි. ගොඩක් මාධ්‍යවලට සාහිත්‍ය කලාව අදාළම නෑ. හොඳම උදාහරණය ජාතික රූපවාහිනිය. නාට්‍ය කලාව වෙනුවෙන් තිබුණු හොඳම වැඩසටහන වුණු ‘රංග භූමි’ වලට පහුගිය මාස හතර පහ තුළ කරපු දේවල් ටිකම ඇති මේ තත්වය තේරුම් ගන්න.

මම - මේ කෙටිකතා සංග්‍රහයේ අනුභූතීන් යොදාගැනීම, භාෂාව හා සංකේත හැසිරවීම ආදිය ගැන කතාකරුවා විදියට ඔබ විස්තර කරන්නේ කෙසේද?

අසංක - මෙහි එන හැම කෙටිකතාවකටම අදාළ අනුභූතීන් ලැබුණේ මේ දේශපාලන සමාජයෙන්ම තමයි. ඇතැම් වෙලාවක ඇතැම් කෙනෙකුට මේවා කියව්වාම සැර කුණු ගඳක් වහනය වෙනවා වගේ දැනෙන්න පුළුවන්. ඒකට කරන්න දෙයක් නෑ. මං මේ අනුභූතීන් අහුලගන්නේ ඔබත් මමත් ජීවත් වෙන මේ කුණු වෙලා ජරාජීර්ණ වුණු සමාජයෙන්ම තමයි. ඒවා ගඳයි. අයිසින්වල ඔතලා මට ඒවා නැවත ඔබට ඉදිරිපත් කරන්න බෑ.