එක්තරා රාත්‍රියක්

 ඡායාරූපය:

එක්තරා රාත්‍රියක්

එක් රැයක මා අතරමං විය. එය සිදු වූයේ මීට වසර කිහිපයකට පෙරය. මා එසේ අතරමං වූයේ බිරිඳ සමඟ අමනාප වී ගෙදරින් එළියට බැසීමට හදිසියේ ගත් තීරණයක් නිසාය. මා බිරිඳ සමඟ අමනාප වීමට හේතු මෙතනට අදාළ නැති බැවින් එය නොපවසමි.

වීරමන් අසනීපව සිටින බව මට දැන ගන්නට ලැබුණේ දැනට මාස කිහිපයකට පෙරය. මා දැනට කළුතර පදිංචිව සිටියත් පානදුරේ ඔහුගේ නිවසට ඔහු බලන්නට යෑමට නොහැකි වීම ගැන කනගාටුවෙන් සිටින අවස්ථාවකය, මට ඔහුගේ මරණය පිළිබඳ ආරංචිය ලැබුණේ. ඔහු කාලයක සිට පානදුරේ පදිංචිව නොමැති බවත් ඔහු සිය ගෙය විකුණා දමා රත්නපුරේ සොයුරියගේ නිවසේ විසූ බවත් අසනීප වී මියගොස් ඇත්තේ එහිදී බවත් පසුව සොයා බැලීමේදී දැන ගන්නට ලැබුණි. එය සිතට යම් අස්වැසිල්ලකි.

එහෙත් මා බිරිඳ හා අමනාප වී පානදුරේ නගරයට ගොස් අතරමං වූ දිනයේ මගේ පිහිටට සිටියේ වීරමන්ය. එදා මා ඔහුගේ නිවසට ගිය ගමන කිසිදා මට අමතක නොවේ.

නගරයේ යන එන මං නැතිව සිටි මට එදා ඒ මොහොතෙහි එක්වරම ඔහු සිහිපත් විය. රාත්‍රිය වෙනදාටත් වඩා කළුවරය. වේලාව ගැන මට නිනව් නැත. එහෙත් නගරයේ සෙනඟ සිටියේ නැත. ඒ පාළු භූමියේ මට වැඩිපුර සිත සිතා සිටීමට කාලයක් තිබුණේ නැත. මම වහා ඔහු සොයා යෑමට තීරණය කළෙමි. වීරමන් යනු මා සමඟ එකම වැඩපොළේ අවුරුදු විසි ගණනක් එකට වැඩ කළ මිත්‍රයෙකි. ඔහු වීරමන් මහපටබැඳිය. ඇතැම්හු ඔහුට පටබැඳි කියාද කීහ.

මා වීරමන්ගේ පියාගේ අවමංගල්‍යයට ඔහුගේ නිවසට ගොස් තිබුණි. එනිසා මට ඔහුගේ නිවසට යන පාර මතකය. ඒත් ඒ මීට අවුරුදු විස්සකට පමණ පෙරය. ප්‍රධාන පාරේ සිට මංගල පෙදෙසට හැරී පළවෙනි පටුමඟෙහි ගිය විට ඔහුගේ නිවස හමු වේ. මා මංගල පෙදෙසට හැරෙන විට පාරේ අනෙක් පසින් කිසිවකු එන බව පෙනුණෙන් මම මොහොතකට නතර වීමි. ඒ, ඔහු විය නොහැකිද? කණාමැදිරි එළි විහිදුවන වීදි පහන් කණුවේ එළියෙන් කිසිවකු දුරදී හඳුනා ගැනීම අපහසුය. ඒත් පුදුමයකට මගේ ඇස් පෙනුණි. ඒ, ඔහුය. වීරමන් මහබැටබැඳිය. වසර විස්සකට පෙර අප සමඟ එකට වැඩ කළ ඔහුය. මේ කාලය තුළ ඔහු කෙතරම් වෙනස් වී ඇත්ද!

ඔහු මංගල පෙදෙසට හැරී මා දෙස නොබලා යන්නට ගියේය. ඔහුට මා නොපෙනුණාද නැතිනම් හඳුනා නොගත්තාද වෙන්නට පුළුවන. මා මේ මොහොතේ මෙතනදී හමු වේ යැයි ඔහු කෙසේ සිතන්නද?

අඩ අඳුරේ වුවද මම එකවරම ඔහුගේ රූප කාය ඇසින් අල්ලා ගත්තෙමි. හකුපාඩා හැකිලී, තට්ටය පෑදී, කුහර දෙකෙහි ඇස් ගිලුණු ඔහුගේ මුහුණ අඩ අඳුරට පෙනුණේ වෙස් මුහුණක් ලෙසය. ඇඟපත කෙට්ටු වී ඇති තරම පෙනෙන්නේ ඇඳ සිටි කමිසයේ හා කලිසමේ මිමි හා සසඳන කල්හිය. ඒවා ඔහු ගමන් කරන විට සුළඟේ ලෙළ දුන්නේ කොඩි කණුවක එල්ලා ඇති කොඩි දෙකක් මෙනි.

"වීරේ! වීරේ!" මම හඬගෑවෛමි. එහෙත් වට පිට නොබලා එක එල්ලේ යන ඔහුගේ ගමන නොවෙනස්ව ඇත. මගේ කටහඬ හා ඔහුගේ ගමනේ වේගය අතර ඇති හිදැසේ මගේ හඬ සුළගේ පාවී යයි.

මම ඔහුට යන්නට හැර බලා සිටියෙමි. ගමන් වෙහෙසත් මුහුණ දී ඇති මානසික තැවුලත් නිසා මගේ ශරීරය දහදියෙන් නැහැ වී ඇත. මා නොවැටී සිටින්නේ රාත්‍රියට කඩයෙන් ආහාර ගෙන සිටි නිසාය. කඩ කෑම කෑ විට ඇති වන පිපාසය නම් බලවත්ව නැඟී එයි. මා පත්ව සිටින්නේ බරපතල අකරතැබ්බයකටය. මට මා කාත්කවුරුවත් නැති අසරණයෙකැයි හැඟේ. එහෙත් දැන් කළ යුතු එකම දෙය ඔහු පසුපසින් යෑමය. ඔහු මා හඳුනාගත්තේ නම් මඟහැර යන්නේ නැත. නොපිළිගෙන සිටින්නේද නැත.

එවකට මා ඔහුගේ හොඳ මිතුරෙකු වී සිටියේය. වැඩිය කා සමඟ වුව කතාබහට නොයන ඔහු මා සමඟ හොඳින් කතාබහ කළේය. ඔහුගේ ජීවිතයේ බොහෝ දේ ඔහු මට කීමට පෙළඹී සිටියේය. මා කළේ ඔහුට සවන් දීම පමණි. මට ඔහු කියන ගැටලුවලට විසඳුම් තිබුණේද නැත. එහෙත් ඔහු කිසි විටෙක ඊට විසඳුම් ඉල්ලාද නැත. උදව් ඉල්ලාද නැත.

දැන් වීරේ පේන මානයක නැත. මම මඳ අඳුරේ පාළු වතුපිටි, සොහොන් බිම් පසු කරමින් සෙමින් සෙමින් ඔහුගේ නිවස සොයා යමි. මට බයක් දැනේ. එහෙත් මට වෙන යන්ට තැනක් නැත. මම සිත දැඩි කරගෙන සිටිමි.

අන්තිමේ මම වීරේගේ ගේ සමීපයට පැමිණියෙමි. මංගල පෙදෙස පසු කළ තැන් පටන් මට පාර මතක තිබූ නිසාය. මට මහත් සහනයක් දැනුණි. මා සෙමෙන් ගේට්ටුව ළඟට පැමිණ එය ඇරීමට අත තැබුවෙමි. එය බුරුල් වූ දතක් මෙන් සෙලවී ඇරුණේය. අනතුරුව මම ගෙයි දොරකඩට පැමිණ ඔහුට දෙතුන් විටක් හඬ ගා කථා කළෙමි. එහෙත් ඔහු නිවස ඉදිරිපිටට පැමිණ මා දැක හොල්මනක් දුටු පරිදි බලා සිටියේය.

ජරාවාස වූ නිවස පරණ වලව් පැලැන්තියට නෑකම් කියන ලකුණු කියාපායි. වසර විස්සකට පෙර තිබූ තත්වය දැන් මට සිතින් සැසඳීමට නොහැකිය. මිදුලේ මඳ සහන්එළියෙන් මා නිවසේ චිත්‍රය සිතෙහි සටහන් කර ගත්තේ අද රෑ මා නවාතැන් ගත යුත්තේ මෙහි යැයි සිතමිනි.

මිදුලේ දණක් උසට වල් තණකොළය. මම තවත් නිවස ඉදිරියට යමි.

"වීරේ! මං ගුණේ. ගාල්ලෙ සමන් ගුණවර්ධන!"

එවර ඔහු මා හඳුනා ගත්තේය.

"ගුණේ!" සුපුරුදු සුහද ලීලාවෙන් ඔහු මා පිළිගත්තේ ඉදිරියට පැමිණය.

මම මට වූ අකරතැබ්බය පළමුවෙන්ම ඔහුට කීවෙමි.

"නෑ. කිසි ප්‍රශ්නයක් නෑ. අපට තියෙන දෙයක් කාලා නිදාගන්න පුළුවන්."

මා කෙරෙහි වූ ඔහුගේ හිතවත්කමෙහි වෙනසක් නැත. මගේ බර සැහැල්ලු වූවා සේ දැනේ. එහෙත් ඒ විශාල ගෘහය මා තුළ ගුප්ත හැඟීම් ඇති කරයි. එහි සැම තැනම අඳුරුය. කාමර කිහිපයක් ඇතත් ඒවා වසා දමලාය. නිවසේ විදුලි බුබුළක් ඇති බවක් නොපෙනේ. බිත්තියේ එල්ලූ කුප්පි ලාම්පුවෙන් පෙනෙනුයේ තැන තැන අබලන් ලීබඩු ගොඩ ගසා තිබෙනුය. වහලය සිදුරු වීම නිසාදෝ බිත්ති දිගේ බේරුණු වැහි වතුර පහරවල් බූත රූප මෙනි.

ඔහු මට තේ පිළියෙල කිරීමට කෑම කාමරය යැයි සැලකිය හැකි කොටසට ගියේය. ඔහු ගෑස් ලිපක් තබාගෙන මුළුතැන්ගෙය ලෙස භාවිත කරන්නේද එතැනය.

"අම්මා ඉන්න කොට බලා කියාගන්න මනුස්සයෙක් හිටියා. ඒත් අම්මා නැති වුණාට පස්සේ මම එයාව යැව්වා."

ඔහුගේ මව මියගොස් ඇත්තේ මීට මාස කිහිපයකට කලිනි. අසනීප වී වසර කිහිපයක් නිවසේ ඇඳටම සීමා වී ඇත. ඇයට සාත්තු සප්පායම් කර ඇත්තේ ඔහු තනිවමය. අර පුද්ගලයා නවතා ගෙන ඇත්තේ ඇයගේ අවසාන කාලයේදීය. ඔහුගේ පවුලේ සිටින්නේ ඔහුත් වැඩිමල් සහෝදරියත් පමණකි. රත්නපුරේ කෙනෙකු සමඟ හිතුමතයට කර ගත් විවාහයෙන් පසු සහෝදරිය පදිංචිව සිටින්නේ එහිය. ගෙදරත් සමඟ තිබූ සම්බන්ධය පළුදු වීමෙන් පසුව සහෝදරිය හෝ ඇගේ සැමියා හෝ ළමයින් හෝ දෙමව්පියන් බලන්නට පැමිණ නැති තරම්ය. පැමිණියද ඒ, හිත හොඳකින් නොවේ. එනිසා පසු කාලයේ ඇගේ පැමිණීම නතර වීම ඇත.

වීරේ මේ තොරතුරු මා සමග පැවසුවේ තේ බොන ගමන්ය. ඔහුගේ තේ එක රසය. තනිවම උයාගෙන පිහාගෙන කන්නට පුරුදු වී සිටින කෙනෙකුට රසට තේ එකක් හදා ගන්නට පුළුවන් වීම පුදුමයක් නොවේ.

ඔහු තනිකඩව සිටින බව පැහැදිලිය. එය නැවත අසා ඔහුගේ සිත පාරවන්නට නොසිතුවෙමි. ඔහු පැවසුවේ පියාගේ මරණයෙන් පසු තමා සිය මව ජීවත් වන තුරු රැකබලා ගෙන සිටි බවය. මවත් පියාත් කොතෙක් ඇවිටිලි කළද වීරේ විවාහය ගැන උනනදූ වූයේ නැත. එකල අප සමඟ වැඩ කළ යහළු මිතුරෝද ඔහුට ඒ ගැන කරදර කළෝය. එහෙත් ඔහු නොවේ, ඒවා මායිම් කළේ. නැන්දා - ලේලි හබය ගැන ඔහු බොහෝ සිතූ බව මට වැටහී තිබුණේ ඔහුගේ කතාබහේදීය. ඇත්තටම ඔහු සිය මවට බොහෝ ඇලුම් කළේය.

"මොන වගේ ගෑනියෙක් හම්බවේද කියල කවුද දන්නෙ? අපි ගෑනු කාලා බලලා ගේන එකක්යැ." ඒ, ඔහු බොහෝ විට දුන් පිළිතුරය.

ආ ගිය තොරතුරු කතාබහෙන් පසු වීරේ රෑ කෑමට සූදානම් වන බව පෙනේ. මා ඊට පෙර ඇඟපත සෝදා ගත යුතුය. හදිසියේ වුවත් අතට අසු වූ දෙයක් බෑගයේ දමාගෙන පැමිණි නිසා සරමක්, තුවායක් හා කමිසයක් මා සතු විය. නාන කාමරය පිහිටියේ නිවස පිටුපසය. නිසි නඩත්තුවක් නොමැති එහි වතුර බටවලින් වතුර කාන්දු වෙයි. වතුර මලෙන් වතුර වැටෙන්නේ හොන්දු මාන්දු ගතියෙනි.

ඇඟපත සෝදා ගත් පසු සිතට සහනයක් ලැබිණි. මට දැන් අවශ්‍ය වෙහෙස නිවා ගැනීමට කොතැන හෝ ඇල වීමටය. එවිට සිතෙහි ඇති සියලු ප්‍රශ්න හෙට උදේ වන තුරු හෝ සිතින් ඇකී මැකී යනු ඇත.

මා රෑට කඩෙන් ආහාර ගත් බව පැවසුවද ඔහුගේ පෙරැත්ත මත මටද කෑම මේසයට ඉඳ ගැනීමට සිදු විය.

"මං උදේට විතරයි උයන්නෙ. ඒ, දවල්ටත් එක්ක. නිවාඩු දවසට නම් දවල්ට උයනවා. රෑට කඩෙන් පානුයි, හොදියි අරගෙන එනවා."

එදින නිවාඩු දිනයක් බැවින් ඔහු දවල්ටද පිසූ බත් ඉතිරි වී තිබුණි. මම පාන් කෑල්ලක් කන්නට කැමති වූයෙමි. කෑම කා අවසන් වූ පසු ඔහු ඉතිරි බත් හා මාළු පිනි පිඟානකට දමා ඇනුවේය.

"ඒ කාටද?"

"බල්ලාට."

මා නිවසේ බල්ලකු සිටින බව දැනගත්තේ එවිටය. ඌ නාන කාමරය අසල නිසොල්මනේ වැතිර සිටියි. මා මීට පෙර එතැනින් නාන කාමරයට යන විට ඌ සෙලවුණේවත් නැත.

"රෑට ලිහල දානවා"යි වීරේ පැවසුවේ මා උගේ හැසිරීම ගැන යම් පුදුමයකට පත්ව ඇති බව දුටු නිසා විය යුතුය. ඔහුගේ එකම ආරක්ෂකයා ඌ බව පෙනේ. කළු පැහැ ලොම් හැලුණු, වයසට ගිය උගේ ශරීරයෙන් ඉහළ පැළැන්තියේ බල්ලෙකුගේ පෙනුම තවම වැහැරී ගොස් නැත.

අප සාලයට පැමිණි පසු එහි අඳුර මෝරා තිබුණි. ඔහු කීවේ වරක් විදුලිය කැපූ පසු නැවත බිල් ගෙවා විදුලිය නොගත් බවය. පසුව ඔහු තවත් දෙයක් හෙළිදරව් කළේය.

"වතාවක් ගෙදරට හොරු පැන්නා. ටීවී, ෆෑන් ඔක්කොම හොරු ගෙනිච්චා. අන්තිමේ මම ඕනම කරන බඩු ටික විතරක් කඩෙන් ආපහු ගත්තා. ඔයින් මෙයින් ලයිට් ඕන එකත් නැති වුණා."

"ඉතින් පාළු නැද්ද රෑට? ටීවී එකක සද්දයක්වත් නැතුව?"

"නෑ. ගෙදර ඇවිල්ලා වැඩ ටික ඉවර වෙනකොට රෑ වෙනවා. ඊට පස්සෙ නිදා ගන්නවා."

හොරු පැමිණ ඇත්තේ ඔහු නිවසේ නැති අවස්ථාවකය. අහල පහළ අය සිතා ඇත්තේ නිවස අලුත්වැඩියා කිරීමට බඩු අස්පස් කරන බවකි. බල්ලාගේ නිහඬ ප්‍රතිචාරය හොරුන්ට වාසිදායක වී ඇත. වාහනයකින් පැමිණි හොරුන් ගෘහ භාණ්ඩ කිහිපයක් හැරෙන්නට වටිනා සියලු දේ රැගෙන ගොස් ඇත්තේ පැයක් පමණ කාලයක් එහි ගත කිරීමෙන් පසුය. පොලිසියේ පැමිණිල්ලක් දැමීමටද වීරේ උනන්දු වී නැත.

දැන් රෑ දහය පසු වී ඇත. ඔහුගේ නිදන වෙලාවද ළංවී ඇති බවට ඉඟි පළ වෙයි. මට අවශ්‍යව ඇත්තේ එයයි.

"නිදාගන්න එක තමයි ප්‍රශ්නෙ! මගේ කාමරේ ඇඳන් දෙකක් තියෙනවා. මේක මගේ්. අරක අම්මා නිදාගත් ඇඳ."

ඔහු ඈතින් ඇති වියන් ඇඳක් වැනි පුරාණ ඇඳක ලකුණු පෙන්වන යමක් පෙන්වීය. එහෙත් ඔහු කීවේ ඒ ඇඳට දමා ඇත්තේ වතුර පිර වූ මෙට්ටයක් බවය. එසේ කර ඇත්තේ මවගේ අසනීප තත්ත්වය නිසාය. එහෙත් වතුර මෙට්ටය මිනිසුන් දස දෙනෙකට වුව එසවිය නොහැකි තරම් බරලු. මටද එය අනුමාන කළ හැකිය. එහි වතුර හිස්කර තැබීමට ඔහුද උත්සාහ දරා නැත.

එහි නිදා ගැනීමට තරම් මගේ සිත හදාගත නොහැකිය. "මට පැදුරකුයි කොටටෙකුයි දෙන්න. මම සාලෙ මෙතන නිදා ගන්නම්." අන්තිමේ මම කීවෙමි.

වීරේ හමු වූ තැන් පටන් මෙතෙක් සිදු වූ දේ මගේ සිහියට නැඟෙයි. මගේ සිතට බයක් දැනේ. ඈත රූස්ස ගසකින් ඇසෙන බස්සකුගේ හුම් හඬ ඒ බිය තවද වැඩි කරයි. එහෙත් දැන් මට මෙතනින් පලා යා නොහැකිය. මම සිත දැඩි කර ගතිමි. ටික වෙලාවකින්ම වීරේ ගොරවන හඬ ඇසෙයි. මම බලෙන් ඇස් පියා ගනිමි. එහෙත් වැඩි වේලා එසේ කළ නොහැක. කාමරවලින් නොයෙක් ශබ්ද ඇසෙයි. ඒ, මීයන් විය යුතුය. සාලයේ සිවිලිම මත දිව යන්නේ උගුඩුවකු බව සිතෙන්නේ ඔහු එය කලින් කියා තිබූ බැවිනි.

මට බොහෝ වෙලාවක් යන තුරු නින්ද නොගියේය. නින්ද යන හැම විටම බියකරු දේ පෙනෙන්නට පටන් ගනියි. මම අවදි වී බිත්තියට පිට දී හිඳ ගනිමි. මගේ ඉහින් කනින් දහදිය වැගිරේ. පිපාසයද දැනේ.

මට වීරේ නැඟිටුවන්නට සිතෙයි. එහෙත් මම එලෙසම හිඳගෙන සිටිමි. බිත්ති ඔරලෝසුවේ හඬ සිත ඇතුළෙහිම රැව් දෙයි. ඔරලෝසුවේ පැය කටුව වසාගෙන විනාඩි කටුව ඒ මතට පැමිණ ඇත. කාලය ගලා යන්නේ ඉතා අලස බවකිනි. පහුවදා ඉරඑළිය නොවැටේ යැයි මට මහ අමුතු සිතුවිල්ලක් එයි.

මට නොයෙක් අබූත කල්පනා පහළ වෙයි. මා බූත බංගලාවක, මර උගුලක සිර වී ඇතැයි හැඟේ. මා ඊයේ කලබල වී ගත් තීරණය වැරදි යැයි මට සිතේ. බිරිඳ මට ආදරේය. මම ඇගෙන් වුවමනාවට වඩා ආලය බලාපොරොත්තු වීමි. එහෙත් එහි ප්‍රතිඵලය විරසකයකි. ඒ විරසකය කලබල නොවී විසඳා ගත හැකිව තිබූ ප්‍රශ්නයකි. මා ඉක්මන් වූවා වැඩිය. එසේ නොවූවා නම් මා මෙවැනි අකරතැබ්බයකට මුහුණ දෙන්නේ නැත. මා ගෙදර සිටියා නම් මේ වන විට සුවපහසු ඇඳක සිහින දකිමින් සුවසේ නිදාගෙන සිටිමි. ඒ සුවදායක බව වෙනුවට දැන් මම නිදි වරමින් මේ පාළු නිවසේ තනි වී බියෙන් තැති ගැනී සිටිමි.

එළිය වැටෙන විටම මා වීරේගෙන් හා පාළු නිවසින් සමු ගත්තේ මුළු රැයම නිදි වැරීමෙන් ඉතා වෙහෙසට පත් වූවකු පරිද්දෙනි. මා වීරේගේ නිවසින් බැහැර වෙද්දී වීරේ මෙසේ කීවේය.

“ආයේ දවසක එන්න. මං හැමදාම මෙහෙම ඉන්නවා.”

සැබැවින්ම වීරේගේ ඒ පාළු නිවස තවම එහි ඇද්දැයි මට සිතේ.

සු.ප්‍රි. සමරසිංහ

----

කෙටිකතා එවන්න
ඔබේ ස්වතන්ත්‍ර කෙටිකතා නිර්මාණ අප යොමු කරන්න. අතින් ලියූ අත්පිටපත් වශයෙන් නොව පරිගණක අක්ෂර සංයෝජනය කළ ‘වර්ඩ්’ පිටපත් වශයෙන් (PDF නොකර), වචන 2500කට නොවැඩිව එෆ්.එම්. අභය අකුරින් හෝ ඉස්කෝල පොත අකුරින් ටයිප් කර යොමු කරන්න. අපගේ ඊමේල් ලිපිනය මෙසේය: [email protected]

මෙය භයංකාර රස ගෙනෙන කතාන්දරයකි. එහෙත් ඒ භයානක රසය තුළ ජීවිතය පිළිබඳ කිසියම් අඳුරු සිතුවමක් අප හමුවේ දිග හැරේ. කතාකරුවා මෙහිදී කීමට යන්නේ තමා කිසියම් දිනෙක ලත් අමුතු අත්දැකීමකි. එහෙත් එය ඒ අමුතු අත්දැකීමෙන් එහා ගොස් පාඨකයාට අද්භූත රසයක්ද ජීවිතාවලෝකනයක්ද ලබා දේ. මේ කතාව කියවාගෙන යෑමේදී මා සිත්ගත් තවද අංගයක් වේ. එනම් එහිදී පාඨකයා කතාවට වඩා මොහොතින් මොහොත ජනනය වන රස සමඟ බැඳීමය. කුතුහලය මෙහි ඇත. එහෙත් ඒ කතුහලය කතාව නොවේ, එළවන්නේ. එහිදී මතු වන්නේ රසය. කෙළවර ඒ රස තුළින් ජීවිතය ගැන මහා දොම්නසක්, අනිත්‍යතාවක්, අර්ථ ශුන්‍යත්වයක් පාඨකයාට දැනේ. එනිසා මෙය කෙටිකතාවක් වශයෙන් ප්‍රශස්ත වෑයමකි.
- සංස්කාරක
 

මාතෘකා