‘NGO’ මා මුහුණපෑ සමාජ දේශපාලන අත්දැකීම්වල ප්‍රතිඵලයක් : විමල් කැටි‍ෙපආරච්චි

 ඡායාරූපය:

‘NGO’ මා මුහුණපෑ සමාජ දේශපාලන අත්දැකීම්වල ප්‍රතිඵලයක් : විමල් කැටි‍ෙපආරච්චි

‘රැස’ බදාදා ‘ඉති’ කලා අතිරේකයේ කොටස් වශයෙන් පළ වූ විමල් කැටි‍ෙපආරච්චිගේ ‘NGO - නැළවෙන ගී මැද ඕවිල්ල’ නම් පුවත්පත් නවකතාව එළඹෙන අගෝස්තු 7 වෙනිදා සවස 3:30ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී දොරට වැඩීමට නියමිතය. මේ, ඔහු සමඟ යෙදුණු සංවාදයක මුද්‍රිත සටහනයි.

සාකච්ඡා කළේ [චමල් අකලංක පොල්වත්තගේ]

මම - මොකක්ද මේ ‘NGO’? ‘NGO’ මගින් ඔබ පාඨකයාට ඉදිරිපත් කිරීමට යන්නේ කුමක්ද?

කැටිපෙ - ‘NGO හෙවත් නැළවෙන ගී මැද ඕවිල්ල’ කියන්නෙ ‘කෙටි නවකතාවක්’. කතුවරයෙක් කිසියම් කෘතියක් ලියා පාඨකයන්ට පිරිනැමීමෙන් බලාපොරොත්තු වන දේම තමයි මාත් මේ කෘතියෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නෙ මගේ මනසේ නැඟුණු අදහස් සමුදායක් ප්‍රබන්ධාත්මක සමුච්ඡයක් ලෙස පාඨකයාට ලබාදීමයි. මනුෂ්‍ය ජීවිතයේ සංවේදනා පොකුරක් පාඨකයා සමඟ බෙදාහදා ගැනීම සඳහා තමයි මම මෙය ලිව්වේ. එය ප්‍රතිසංවාදයක් ලෙස පාඨකාගාරයෙන් මා වෙත යළි පැමිණෙනවා නම් සහ පාඨකාගාරයේ බුද්ධිමය චාරිකාව අඟලක් හෝ පෙරට යන්නට මින් හැකි වේ නම් එය මට මහමෙරක්.

මම - 'රැස' පුවත්පතින් සතිපතා ‘NGO’ කියවූ පාඨකයකුට මේ පොතත් කියවිය යුතු යැයි ඔබ නිර්දේශ කරනවාද?

කැටිපෙ - නිර්දේශ කිරීමක් නොවේ, මෙය සාහිත්‍යමය යෝජනාවක්. පුවත්පත්වල පළ වූ නවකතා පොත් හැටියට සංග්‍රහ කරලා අපගේ පූර්වගාමීන් අපට දී තිබෙනවා. පත්තරයක් සහ පොතක් කියන්නේ එකිනෙකට වෙනස් මාධ්‍ය දෙකක්. ඒවායින් නඩත්තු කෙරෙන්නේත් පාඨකාගාර දෙකක්. ඒ දෙක වෙතටම ප්‍රවිෂ්ට වීම අයහපතක් උදා කරනු ඇතැයි මා සිතන්නේ නැහැ. සතිපතා විසිරගිය අකුරු එක තැනකට ගෙන සංග්‍රහ කිරීම අනාගතය වෙනුවෙන් කෙරෙන අක්ෂර ආයෝජනයක්. නැවත කියවන පාඨකයකුට අස්වැසිල්ලක්. ඒවගේම ලේඛකයකුට ස්වකීය සාහිත්‍ය චාරිකාවේ මංසලකුණු තැබීමක්.

මම - සාමාන්‍ය නවකතාවක් සහ පුවත්පත් නවකතාවක් අතර යම් යම් වෙනස්කම් තිබෙනවා. එය නවකතාවක ගුණාත්මකභාවයට සිදු කරන හොඳ හෝ නරක බලපෑම ගැන ඔබේ අදහස කුමක්ද?

කැටිපෙ - පුවත්පත් නවකතාව කිසියම් ආකෘතික සිරවීමක් නඩත්තු කරන බව ඇත්ත. උදාහරණයක් හැටියට එක් නිශ්චිත සතියක පළ වෙන එක් නිශ්චිත කොටසක් අවසන් කළ යුත්තේ ඊළඟ සතිය දක්වා පාඨකයා ගෙන යන එක්තරා සාහිත්යික උගුලක පාඨකයා පටලවාය කියන එක නීතියක් නෙවෙයි, රීතියක්. අවශ්‍ය නම් එසේ නොකර සිටිය හැකි වුවත් එසේ කිරීම පුවත්පතේ අලෙවියට හොඳයි. එය ගුණාත්මකභාවයේ ප්‍රශ්නයක් නොවීමට වගබලා ගැනීම කතුවරයාගේ වැඩක්. සමහර ලේඛකයන් පුවත්පත්වලට නොලියන්නේ මීට ඇති අකැමැත්ත නිසා වෙන්නැති. හැබැයි ඉතින් දැන් අප අතර භෞතිකව නැති චන්ද්‍රසිරි දොඩංගොඩ වගේ ලේඛකයෙක් ගත්තොත් ඔහු මේ සෙල්ලමේ කප් ගහපු වැඩකරුවෙක්. මා එය ඒ වචනවලින්ම සඳහන් කරන්නේ ඔහුට ගෞරවයක් ලෙසයි. ඔහුගේ ලේඛන අප වැනි ආධුනිකයන්ට ගුරු වුණා.

මම - මේ නවකතාවේ අනුභූතීන්, භාෂාව හා සංකේත ආදිය ඔබේ අදහස් පිටතට ගැනීමට යොදා ගැනුණේ කෙසේද?

කැටිපෙ - ඔය ප්‍රශ්නය පොතේ කතුවරයාගෙන්ම විමසීම මා කිසියම් සංකීර්ණත්වයකට ඇදදමනවා. අනෙක් අතට එය කයිවාරුවක් වීමේ අවදානමක්. මම සරලව මෙහෙම කියන්නම්. එක්තරා සමාජ දේශපාලන අදහසක් වෙනස් ආකෘතියකින් අකුරෙන් සිත්තම් කරන්න මම පුංචි උත්සාහයක් ගත්තා. ඇත්තටම මගේ අදහස් පොකුර පිටතට එනවාද නැද්ද කියා කිව යුත්තේ අගෝස්තු 07 සවස 3.30ට මහවැලි කේන්ද්‍රයේදී මේ පොත එළිදැක්වූ පසු එය කියවන අයයි. නැතුව මම නොවෙයි.

මම - නවකතාවක් කියන්නෙ ලොකු පරිශ්‍රමයක් දරා ගොඩනැඟෙන සාහිත්‍යමය ප්‍රතිඵලයක්. ඒ සඳහා ප්‍රබල ආවේගයක් අවශ්‍යයි. ‘NGO’ සඳහා ඒ ආවේගය ආවේ කොහොමද?

කැටිපෙ - නවකතාවක් විතරක් නෙමෙයි, ඕනෑම කලා නිර්මාණයක් සඳහා නිර්මාණකරුවකු මහා පරිශ්‍රමයක් දැරිය යුතු වෙනවා. නවකතාව අකුරු ගණනින් හෝ වචන ගණනින් ප්‍රමාණාත්මකව වැඩි නිසා ඊට අදාළ ශ්‍රමය පරිශ්‍රමයක් විය යුතුම තමයි. ඔව්. ඒ සඳහා ආවේගයක්, නිර්මාණාවේශයක් තිබිය යුතුයි. ‘NGO’ සඳහා එය ගොඩනැඟුණේ මා මුහුණ දුන් ආසන්නතම සමාජ දේශපාලන අත්දැකීම් සහ ඒවා මා තුළ පෞද්ගලික වශයෙන් ඇති කළ අභ්‍යන්තර හැලහැප්පීම්වල ප්‍රතිඵලයක් හැටියටයි. මා තුළ ලාවා කැකෑරෙමින් තිබෙන විට ‘රැසෙ’න් ආ ඇරැයුම යමහල් ශිඛරය විවර වීමක් වුණා. එය මා සිහිපත් කරන්නේ ‘රැස’ කර්තෘ මණ්ඩලයට ස්තූතිපූර්වකවයි.

මම - ඔබ දේශපාලනයේත් සක්‍රීයව යෙදෙන පුද්ගලයෙක්. මෙරට දේශපාලනය, සාහිත්‍යය, නවකතාව සහ ඒ පරිසරය තුළ ‘NGO’ ස්ථානගත වීම ගැන ඔබේ කියවීම කුමක්ද?

කැටිපෙ - ලංකාවේ දේශපාලනය එක් නිශ්චිත මංසන්ධියකට ඇවිත් තිබෙනවා. එක පැත්තකින් ඒ අමු ගෝත්‍රවාදී, ජාතිවාදී කඳවුර. අනෙක් පැත්තෙන් උගුරට හොරා බෙහෙත් බොන, ජාතිවාදය සමග රහස් ගනුදෙනු පවත්වන, අවස්ථාවාදී, ඊනියා ලිබරල් කඳවුර. තවත් පැත්තකින් පැරැණි දේ අත්හරින්නට නොහැකිව අලුත් දේ දැක දැකත් වැලඳගන්නට නොහැකිව එහාට මෙහාට තාවර වන සහ එකිනෙකා කුළල් කාගන්නා වාමාංශික කඳවුර. මේ කඳවුරු ත්‍රිත්වය දෙසට යන තෙමං හන්දියේ තමයි ශ්‍රී ලංකාව නමැති දූපත තිබෙන්නේ. තුන්මං හන්දිය හතරමං හන්දියක් බවට පත්කිරීමට නම් අලුත් පාරක් කපන්න ඕනේ. ඒ වෙනුවෙන් වන අංශු මාත්‍රික නිර්මාණාත්මක මැදිහත්වීමක් බවට පත් වන්නට මේ කෘතියට හැකි නම් ඒ ඇති.