රටක් හෙල්ලූ ප්‍රහාරයෙන් ලොවක හදවත් සෙලවුණු හැටි

 ඡායාරූපය:

රටක් හෙල්ලූ ප්‍රහාරයෙන් ලොවක හදවත් සෙලවුණු හැටි

පව් කළ නොකළ කවුරුත් දෙවියන් හමුවට යන්නේ කළ පව් සමා කරගන්නටය. නැතහොත් යළි පව් නොකරන බව කියන්නටය. එහෙම ගිය මිනිසුන් දෙව්මැදුරින් පිටතට එන්නේ නව ප්‍රාර්ථනාවන් කන්දකින් හදවත් පුරවාගෙනය. පසුගිය පාස්කු ඉරිදාවත් එහෙම දවසකි. පාස්කු ඉරිදාව යනු කිතුනුවන් නත්තලටත් වඩා බැතියෙන් සමරන උතුම්ම මංගල්‍යයකි. ලොව පුරා කිතුනු බැතිමතුන් මෙන්ම මෙරට කිතුනුවෝද ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන වීම සිහිකරන පාස්කුව සමරන්නට පසුගිය ඉරිදා බැති සිතින් දෙව්මැදුරු කරා ගියහ. එසේ ගිය සිය ගණනක් බැතිමතුන්ගේ ජීවිත ඛේදවාචකයක් කරන්නට තවත් මිනිසෙක් දෙව්මැදුරකට එන්නේ කෙසේද?

එහෙත් ඔහු ආවේය. නිරායුද අවිහිංසක මිනිසුන් රැසකට මරණය රැගෙන රුදුරු බෝම්බයක විලාසයෙන් ඔහු ආවේය. පාස්කු ඉරිදා දෙව්මැදුරුවල ප්‍රදර්ශනය කෙරෙන මරණයෙන් උත්ථාන වූ ජේසුස් වහන්සේගේ ප්‍රතිමාවේ සුරත දරන ධවල ධජය මත බැතිමතුන්ගේ උණුසුම් ලේ දහරා විසුරුවමින් ඔහු උතුම් පාස්කු දිනය ඛේදවාචකයක් බවට පත් කළේය. එවැනි අදමිටුවන් තිදෙනකු පාස්කු ඉරිදා උදෑසන කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේත් මීගමුව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේත් මඩකළපුව සියෝන් දේවස්ථානයේත් සිදුකළ බෝම්බ ප්‍රහාර තුළින් අවිහිංසකයන් රැසක් මරු වැලඳ ගත්හ. ඉන් නොනැවතී අගනුවර ප්‍රසිද්ධ හෝටල් තුනක්ද බොම්බ ප්‍රහාරවල රුදුරු බිල්ලක් බවට පත්විය.

ජීවිත දෙසීයකට අධික සංඛ්‍යාවක් බිළිගනිමින් පන්සිය ගණනකට බරපතළ තුවාල සිදුකළ එම සැහැසි ක්‍රියාදාමය රටේම ජනතාව අතිශය කම්පාවට පත්කරන්නට සමත් විය. ඒ සානුකම්පිත මොහොතේ රටක් ලෙස ජනතාව ඊට ප්‍රතිචාර දැක්වූ අයුරුද මේ මොහොතේ අමතක කළ නොහැකිය. බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් සඳහා රුධිරය පරිත්‍යාග කරන ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මාධ්‍ය ඔස්සේ ජනතාවගෙන් කළ ඉල්ලීමත් සමඟ පැය කිහිපයක් යන විට ලේ පරිත්‍යාග කිරීමට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙහි දිගු පෝලිම් දැකගැනීමට ලැබිණි. ඒ හේතුවෙන් එම ස්ථානයේ ඇතිවූ අධික තදබදය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු රුධිර පරිත්‍යාග අවශ්‍ය නොවන බව දැනුම් දීමටද ජාතික ලේ බැංකුවට සිදුවිය. සිය සමීපතමයාට මෙන්ම නාඳුනන පුද්ගලයාට පවා සිදුවූ විපත හමුවේ සානුකම්පිත වූ ශ්‍රී ලාංකික ජනතාවගේ හදෙහි ළතෙත් බවට එසේ වැල නොකැඩී ලේ බැංකුව වෙත ඇදී ආ ජනතාව නිහඬව සාක්ෂි දරයි.

එමෙන්ම බෝම්බ පිපිරීම්වලින් පසුව රට පුරා ආරක්ෂාව තර කිරීමට රජය විසින් පියවර ගැනීමත් සමඟ අවුරුදු නිවාඩු ලබා සිටි ආරක්ෂක හමුදා සාමාජිකයන් පවා වහාම සිය නිවාඩු අවලංගු කර සේවයට වාර්තා කර තිබිණ. ඛේදජනක සිදුවීම් සිදුවී පැය කිහිපයක් ගතවීමට පෙර රට පුරා දේවස්ථාන ඇතුළු ප්‍රසිද්ධ සහ පොදු ස්ථාන පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කළ අතර ඒ සඳහා පොලිසියේ ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයන්ගෙන් විශාල සේවයක් ඉටුවිය. බෝම්බ ප්‍රහාරවලින් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමේදී රෝහල් සහ සෞඛ්‍ය අංශවල කාර්යමණ්ඩල වෙතින් ඉටුවූයේ හුදෙක් රාජකාරියක් පමණක් නොවේ. සැබවින්ම එය ඔවුහු දේවකාරියක් කරගත්හ. මරණය හමුවේ ජීවිතය අයදින කිහිපදෙනකු බේරාගන්නට ඔවුහු මේ වන විටද දැඩි වෑයමක නිරත වී සිටිති.

සිදුවූ ඛේදවාචකය ගැන ශ්‍රී ලාංකිකයන් ලෙස අපි අපි වෙනුවෙන්, අපේකම වෙනුවෙන් එසේ කටයුතු කරන විට ලෝක නායකයන් ඇතුළු විදෙස් රටවල් රැසක්ම මේ අවස්ථාවේදී සිය ශෝකය පළ කරන්නට අමතක නොකළහ.

ඒ අතර කතෝලික සභාවේ වත්මන් නායකයා වන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ, ලෝ ප්‍රකට රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන්, ජාත්‍යන්තර සංවිධාන, ක්‍රිකට් ක්‍රීඩකයන්, කලාකරුවන් ඇතුළු බොහෝ දෙනෙක් මෙම සිදුවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින් ට්විටර් පණිවිඩ නිකුත් කර තිබිණ.

පාස්කු ඉරිදා වතිකානුව ශාන්ත පීටර් චතුරස්‍රයේ ප්‍රධාන දේව මෙහෙයට සහාභාගි වෙමින් පාප්වහන්සේ මෙම ප්‍රහාරය 'කෲර ප්‍රචණ්ඩත්වයක්' ලෙස සඳහන් කරමින් හෙළා දුටුවෝය. එමෙන්ම උන්වහන්සේ නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ එම කෲර ප්‍රචණ්ඩත්වය හේතුවෙන් විපතට පත් වූ ශ්‍රී ලංකාවේ කිතුනු ප්‍රජාවට මිත්‍රශීලී සුහදතාව ප්‍රකාශ කරන බවය. පාස්කු ඉරිදා දින එනම් ක්‍රිස්තියානි භක්තිකයන්ට ශුද්ධෝත්තම දිනයක් වූ පාස්කු ඉරුදින දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාවේදී එල්ල කළ අති බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සංවේගයෙන් යුතුව ප්‍රකාශ කර තිබිණ. මෙම ප්‍රහාරය පිළිබඳ ට්විටර් නිවේදනයක් නිකුත් කළ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කිතුනු දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කරගෙන එල්ල වූ බිහිසුණු ප්‍රහාරය පිළිබඳව තමන් දැඩි ලෙස කනගාටු වන බව සඳහන් කළේය. එමෙන්ම ශ්‍රී ලංකාවට සහාය දීමට තමන් සූදානම්ව සිටින බවත් ඔහු එම නිවේදනයෙන් තහවුරු කර තිබේ.

මෙම ත්‍රස්ත ප්‍රහාරය ගැන ට්විටර් නිවේදනයක් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් නිකුත් කිරීමට ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිද කටයුතු කළේය. මෙම සංවේගජනක අවස්ථාවේදී ඉන්දියාව, ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින බවත් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ යුතු බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබිණ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පෞද්ගලිකවම දුරකථනයෙන් අමතා ඇති ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට සිය රජයේ සහාය ලබාදෙන බවද එහිදී පවසා ඇත.

ලෝක සිතියමේ පුංචි තිතක් වූ ශ්‍රී ලංකාව ලොව බොහෝ රටවල් හඳුනාගත්තේ ක්‍රිකට් ක්‍රීඩාව නිසාය. අදටද ඇතැම් විදේශිකයන් ලංකාව හඳුන්වන්නේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නම්වලිනි. බොහෝ ශ්‍රී ලාංකිකයන්ද ක්‍රිකට් ක්‍රීඩාවට ආගමකට තරම් බැතිබරය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පමණක් නොව විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ද ලංකාවට සිදුවූ ඛේදවාචකය ගැන තම ශෝකය පළකර තිබුණේ ඔවුන්ද මේ පුංචි දිවයිනට ආදරය කරන බව ලොවටම විදහා පාමිනි.

"මේ තරම් සුන්දර මිනිස්සු ඉන්න රටකට මෙහෙම විපතක් වුණේ කොහොමද? අනේ දෙවියනේ ඔවුන්ට පිහිට වෙන්න" කීර්තිමත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ඇලන් ඩොනල්ඩ් ඒ පිළිබඳ සිය කම්පාව සටහන් කර තිබුණේ එලෙසිනි. ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ටොම් මූඩිද මෙම ප්‍රහාරයෙන් කම්පාවට පත්ව සටහනක් තබා තිබේ.

"අතීතයේදීද බොහෝ වේදනාවන්ට මුහුණ දුන් මේ සුන්දර රටට සිදු වූයේ කුමක්ද? ඒ සියලු දෙනා වෙනුවෙන් මම යාඥා කරමි" ටොම් මූඩි සිය කම්පනය සටහන් කර තිබුණේ එලෙසිනි. විරාත් කෝලි යනු ඉන්දියාව බිහිකළ අග්‍රගණ්‍ය පිතිකරුවෙකි. සමහරු ඔහු සලකන්නේ ආඩම්බරකාරයකු ලෙසටය. එහෙත් ඔහු ශ්‍රී ලංකාවට සිදුවූ මේ විපතින් තිගැස්සී කම්පාවට පත්ව සිටී.

"මම බොහෝ කම්පා වුණා. මම ඔවුන් වෙනුවෙන් යාඥා කරනවා" කෝලි සිය ශෝකය සටහන් කර ඇත්තේ එලෙසිනි. රෝහිත් ෂර්මා, බ්‍රයන් ලාරා, මාක් නිකලස්, ඩේල් ස්ටේන් රෝහිත් ෂර්මා වැනි ක්‍රීඩකයන්ද මෙම විපත ගැන කම්පාවෙන් ට්විටර් පණිවුඩ තබා තිබේ.

ඩේල් ස්ටේන් පවසන්නේ "මේ සිදුවීම අවාසනාවන්තයි. ඔබ දන්නවද ඒ රට ඉතා සුන්දරයි. ඒක සාමකාමී රටක්. මේ ප්‍රහාරය මට අදහාගන්න බෑ." කියාය.

පාස්කු ඉරිදා මෙරට ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාර පිළිබඳ දැඩි ලෙස හෙළා දුටු ලෝක නායකයන් අතර ඇමෙරිකානු ජනාධිපති, ප්‍රංශ ජනාධිපති, රුසියානු සහ තුර්කි ජනාධිපතිවරු වෙති. එමෙන්ම රටවල් රැසක අගමැතිවරුද වෙති. කැනඩා ජනාධිපති ජස්ටීන් ටෲඩෝ පවසන්නේ එය ඉතා භයානක පුවතක් වූ බවයි. කිතුනු දේවස්ථාන සහ හෝටල්වලට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් හෙතෙම සිය පණිවුඩයෙන් ප්‍රකාශ කර තිබේ. රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින්ද මෙම සාහසික ප්‍රහාරය දැඩිව හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර ජාත්‍යන්තර ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා විශ්වාසවන්ත සගයකු ලෙස ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන බවද සඳහන් කර ඇත.

ඒ අතරින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් මෙම සාහසික ප්‍රහාරය හෙළා දකිමින් සමස්ත ශ්‍රී ලාංකේය ප්‍රජාව තුළම සාමූහිකත්වය ඇතිකරගැනීමේ වැදගත්කමද අවධාරණය කරමින් පණිවුඩයක් නිකුත් කර තිබිණ. එසේම මෙරට දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයක් වෙත එල්ල වූ එම සාහසික ප්‍රහාරය පිළිබඳ ශෝකය පළ කරමින් පෙරේදා (21දා) මධ්‍යම රාත්‍රී 12ට ප්‍රංශයේ සුප්‍රකට අයිෆල් කුලුෙන් විදුලි පහන් විනාඩි 5ක් නිවා දමා එය අන්ධකාරයේ ගිල්වීමටද ප්‍රංශ බලධාරීහු කටයුතු කළහ.

එපමණක් නොව ශ්‍රී ලංකාවට සිදුවූ ඛේදජනක සිදුවීම තවත් බොහෝ රටවල්වලට ශෝකය ගෙනදුන් සිදුවීමක් බවට පත්වී තිබිණ. ඊශ්‍රායලයේ තෙලව්වි නගර ශාලාව ශ්‍රී ලංකා ධජයෙන් වර්ණ ගන්වමින් පීඩාවට පත්වූ සියලු ශ්‍රී ලාංකිකයන් වෙත තම සංවේගය පුද කරනු ලැබීය.

සිය පාපන්දු තරගය ආරම්භ වීමට ප්‍රථම ලෝක ප්‍රකට රියල් මැඩ්‍රිඩ් කණ්ඩායම සිය ප්‍රතිවාදී කණ්ඩායම සමඟ එක්ව නිශ්ශබ්දතාවක් පවත්වා ශ්‍රී ලංකාවේ සිදුවූ ඛේදවාචකය ගැන සංවේගය පළ කරද්දී තිස් දහසකට අධික ක්‍රීඩා ලෝලීන්ද ඊට එක්වූහ.

වටිනා ජීවිත රැසකට මරු කැඳවමින් සහ සිය ගණනකට තුවාල සිදුකරමින් පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය තමන් දැඩිව හෙළා දකින බවත් මේ අසීරු පැයේ ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම සඳහා පාකිස්තානය නැඟී සිටින බවත් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ද නිල නිවේදනයක් මඟින් ප්‍රකාශ කර තිබිණ.

තෙරේසා මේ යනු බ්‍රිතාන්‍ය අගමැතිනියයි. ඇයද මෙම සිදුවීමෙන් කම්පිතව සටහනක් තබා තිබේ. "මේ අභාග්‍යසම්පන්න අවස්ථාවේ ඊට මුහුණ දුන් ශ්‍රී ලංකාව සමඟ අප සිටිනවා. සංවේගය බෙදා ගන්නවා" යනුවෙන් ඇය පවසයි.

"පාස්කු ඉරිදා දේව මෙහෙයට ගිය බැතිමතුන්ට එල්ල කළ ප්‍රහාරය පිළිකුල් සහගතයි. මම ඉන් තැති ගත්තා" යනුවෙන් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් ප්‍රකාශ කර තිබේ.

සැබවින්ම මෙම සිදුවීම ලොවම සලිත කළ ත්‍රස්ත්‍රවාදී ක්‍රියාවකි. ලොව කිසිම දහමක් අනුන් නසා සිය විමුක්තිය තනාගන්නා ලෙස කියා දී නැත. හොඳම ආගම යනු මනුෂ්‍යත්වයයි. එසේනම් මනුෂ්‍යත්වයට එරෙහි මෙවැනි හැම ම්ලේච්ඡ ක්‍රියාවක්ම උපදින්නේ දෙවියන්ගෙන් නොව යක්ෂයාගෙනි. එහෙත් ම්ලේච්ඡත්වයට ම්ලේච්ඡත්වයෙන් පිළිතුරු දීම මනුෂ්‍යත්වයට නොවටින බවද සියලු ආගමික ශාස්තෘවරුන් විසින් වදාළ ආගම්වල මූලික හරයයි. අප ගතකරමින් සිටින්නේ වේදනාත්මක අවස්ථාවක් බව සැබෑවකි. එහෙත් මේ අන් කවරදාටත් වඩා අපි කාට කාටත් ඉවසීම, උපේක්ෂාව මෙන්ම අවධානය සහ සැලකිල්ලද අත්‍යවශ්‍ය අවස්ථාවක් බවද කිව යුතුය.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා