ජීවිත කරකවා අතාරින විෂ දුමට ලන්ඩන් විසඳුමක් 

 ඡායාරූපය:

ජීවිත කරකවා අතාරින විෂ දුමට ලන්ඩන් විසඳුමක් 

ඓතිහාසික මහනුවර නගරයේ පවතින අධික වායු දූෂණය හමුවේ මුඛවාඩම් පැලඳීම යෝග්‍ය බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඕ.ඒ. ඉලේපෙරුම මහතා පවසයි. දිනකට මහනුවර නගරය තුළට රථවාහන ලක්ෂයක් පමණ ඇතුළු වන බව කී සම්මානිත මහාචාර්යවරයා එහි පවතින වායු දූෂණය කොළඹ නගරයට වඩා හතර ගුණයකින් හෝ පස් ගුණයකින් වැඩි බව කියා සිටියේ පර්යේෂණ වාර්තා උපුටා දක්වමිනි.

මහනුවර නගරය කඳු වළල්ලකින් වටවී පිහිටා තිබීම හේතුවෙන් කොළඹ නගරයේ මෙන් දූෂිත වායු විසිරී යෑමක් සිදු නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ජනාකීර්ණ ලන්ඩන් නගරයේ වායු දූෂණය පාලනය කිරීමට බ්‍රිතාන්‍යය අලුත් පියවරක් ගැනීමට තීරණය කර තිබේ. එය ඉතා නිර්භීත තීරණයක් ලෙසද සැලකේ.

කොළඹ සහ මහනුවර වැනි නගරවල පවතින වාහන තදබදය අවම කර ගැනීම සඳහා ලන්ඩන් නුවර ගෙන ඇති දීර්ඝ කාලීන පිළියම් කෙරෙහි ශ්‍රී ලංකාවද යොමු විය යුතු බව මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන හා සැපයුම් දාම අධ්‍යයන අංශයේ මහාචාර්ය අමල් කුමාරගේ මීට පෙර බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කර තිබුණි. කොළඹ නගරයේ පවතින වාහන තදබදය නිසා රටට සිදුවන පාඩුව දිනකට රුපියල් බිලියනයකට අධික බව ඔහු පැවසීය. ඔහු තවදුරටත් කියා සිටියේ අනවශ්‍ය ලෙස ඉන්ධන දහනය වීම සහ කාලය අපතේ යාම නිසා ශ්‍රී ලංකාවට වසරකට රුපියල් බිලියන 397ක පාඩුවක් සිදුවන බවය.

පසුගිය සඳුදා (අප්‍රේල් 08) සිට මධ්‍යම ලන්ඩනයට ඇතුළු වන වාහන සඳහා නව ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය තීරණය කර තිබේ. වැඩිපුර දූෂිත වායු විමෝචනය කරන රථවාහන පාලනය කිරීම තුළින් වායු දූෂණය අවම කර එමඟින් රෝග පාලනය සහ අකල් මරණ ගණන අඩු කිරීම මෙහි අරමුණ වේ.

මෙම ක්‍රමවේදය හඳුන්වා දෙන්නේ වායු දූෂණය මඟින් සිදුවන බලපෑම් මුලින් සිතූ ප්‍රමාණයට වඩා අධික බවට විද්‍යාඥයන් පවසන අතරතුරය. ලන්ඩනයේ නගරාධිපති සාදික් ඛාන් බීබීසීයට පවසා ඇත්තේ වායු දූෂණය පියවි ඇසට නොපෙනුණද එය පාලනය කිරීම හදිසි මහජන සෞඛ්‍ය අවශ්‍යතාවක් බවය.

වායුගෝලයේ පවතින නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ වෙනත් කුඩා අංශු ශරීරය අභ්‍යන්තරයට ඇතුළු වී දීර්ඝකාලීන හානි සිදු කළ හැකි බව පර්යේෂණවලින් හෙළිවී තිබේ. ශ්වසන ක්‍රියාවලියට මෙමගින් දැඩි බලපෑම් ඇතිවේ. උදාහරණ වශයෙන් ඇදුම වැනි ශ්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයන් අවදානමට පත්විය හැකි අතර නිදන්ගත රෝග මෙන්ම හෘදයාබාධ ඇතිවීමටද හේතුවක් විය හැකි බව පැවසේ.

එමෙන්ම වායු දූෂණය කුඩා ළමුන්ටද අහිතකර ලෙස බලපාන බව පර්යේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති. වායු දූෂණය බහුල මාවත් ආසන්නයේ වැඩෙන කුඩා දරුවන්ගේ පෙණහලුවල ධාරිතාව වායු දූෂණය අවම ප්‍රදේශයක ජීවත්වන ළමුන්ට වඩා 5%කින් පමණ අඩු මට්ටමක පවතින බව ඔවුහු පවසති. වායු දූෂණය බහුල ප්‍රදේශවල උපදින දරුවන් වැඩි අභියෝගවලට ලක්විය හැකි බව මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරන ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ වෛද්‍ය බෙන් බැරට් පවසයි.

Emphysema සහ නිදන්ගත බ්‍රොන්කයිටිස් වැනි ශ්වසන රෝග රැසක් උත්සන්න කිරීමට මෙන්ම පෙණහලු ආශ්‍රිත පිළිකා ඇතිවීමට පවා මෙය හේතුවක් විය හැකි බව පර්යෙක්ෂකයන්ගේ අදහස වී තිබේ. එමෙන්ම යම් පුද්ගලයකුගේ පෙණහලු අභ්‍යන්තරයට ඇතුළු වන විෂ අංශු කොටස් රුධිරයට එක්වීමෙන් යම් රෝගී තත්ත්වයන් ඇතිවිය හැකිය. මේ නිසා හෘදය වස්තුවේ ධමනි අවහිර වී ආඝාතය ඇතිවීමට ඇති අවස්ථාව ඉහළ යන බවත් එසේම හෘද රෝග සහ හෘදයාබාධ ඇතිවිය හැකි බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.

එමෙන්ම එම කුඩා අංශු රුධිරය ඔස්සේ මොළය දක්වා සංසරණය වීම නිසා මොළයටද හානි පැමිණිය හැකි බව පෙන්වා දෙන පර්යේෂකයෝ ‘ඩිමෙන්ශියාව’ වැනි රෝග සඳහා හේතුවක් විය හැකි බවද පෙන්වා දී තිබේ.

මේ අතර ඉකුත් වසරේ චීනය එළිදැක්වූ වාර්තාවකින් වායු දූෂණය සහ මොළයේ ක්‍රියාකාරිත්වය අඩු වීම අතර සම්බන්ධයක් පවතින බව පෙන්වා දී ඇත. එසේම පසුගිය සතියේ බ්‍රිතාන්‍යයේ නිකුත් වූ වාර්තාවකින් කියවුණේ යෞවනයන්ගේ මන්ද මානසික හැසිරීම් සහ පරිසර දූෂණය අතර සම්බන්ධයක් ඇති බවයි. එහිදී වායුව දූෂිත ප්‍රදේශවල දිවි ගෙවූ පුද්ගලයන්ගේ පෙණහලු සෛලවල හමු වූ කුඩා කළු ලපවලට සමාන ලප වැදෑමහවලද සොයා ගැනීමට හැකි වීම පර්යේෂකයන් පුදුමයට පත් කිරීමට හේතු වී තිබේ.

“වායු දූෂණය නිසා පෙණහලු අභ්‍යන්තරයේ සෛල මත පිහිටි කුඩා කළු ලප පිළිබඳව පමණයි මෙතෙක් දැනගෙන හිටියේ. නමුත් ඒ හා සමාන ලක්ෂණ සහිත වැදෑමහක්ද දක්නට ලැබුණා. මේ ලක්ෂණ මත තීරණය කළ හැකියි මෙයත් වායු දූෂණයේ බලපෑම මත සිදු වූවක් කියා.” යැයි එම විශ්වවිද්‍යාලයේ වායු දූෂණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන නෝරිස් ලු පවසයි.

ලිපියේ අයිතිය බීබීසී සිංහල සේවය සතුයි

මාතෘකා