රන්මැලි සෑ රදුන් අලුත් සහලින් පුදයි

 ඡායාරූපය:

රන්මැලි සෑ රදුන් අලුත් සහලින් පුදයි

වර්තමානයේ අතරමැදියන් හා ජාවාරම්කාරයන්ගේ ග්‍රහණයෙන් ඈත් වී ගොවිතැන ඉන් මුදාගෙන අහිංසක ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා පියවර ගන්නැයි රුවන්වැලි චෛත්‍යාරාමාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියහ.

රුවන්වැලි මහ සෑ මලුවේ පැවැති අලුත් සහල් මංගල්‍යයේ ප්‍රධාන අනුශාසනාව සිදුකරමින් නාහිමියෝ මේ බව කීහ.

ශ්‍රී බෝධින් වහන්සේ අබියස වාර්ෂිකව සංවිධානය කෙරෙන අලුත් සහල් මංගල්‍යට සමගාමීව මෙවර රුවන්වැලි චෛත්‍ය රාජයා වෙත මහවැලි එච්. කලාපයේ අලුත් සහල් පිදීමේ මහා මංගල්‍යය ප්‍රථම වරට පසුගියදා (07) සංවිධානය කර තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හේමරතන නාහිමියෝ රුවන්වැලි චෛත්‍ය රාජයා උදෙසා කරන අග්‍ර සශ්‍ය පූජාව වාර්ෂිකව බකමහ චාරිත්‍රයක් ලෙස සිදුකරන ලෙසද ඉල්ලා සිටියහ.

“මෙය චාම්, එනමුත් ගැඹුරු අදහසක් ඇති වටිනා පිංකමක්. ගොවි ජනතාව දාඩිය මහන්සියෙන් ලබාගත් අස්වැන්නේ පළමු කොටස, බුද්ධ භෝගය නැතහොත් අග්‍ර සශ්‍ය තුන් ලෝකයේම උසස් අසදෘෂ ස්වර්ණමාලි චෛත්‍ය උදෙසා පිදීම මහවැලි එච්. කලාපයේ ජනතාව සිදුකරන මහා පුණ්‍යකර්මයක්. මෙය වාර්ෂිකව චාරිත්‍රයක් ලෙස බක්මහේ සංවිධානය කරන්න කියා මා ඉල්ලා සිටිනවා. කැත්ත උදැල්ල හරකා බාන දෑතට හුරු ජනාධිපතිතුමා මෙම අවස්ථාවට එක් වීම හැමෝගෙම සතුටට කරුණක්. මේ සඳහා ඇති ඇල්ම බැල්ම වැඩි නිසා එතුමා සියලු දේ පසකට දා මුලින්ම අද මෙතැනට පැමිණියා. ඒක අගය කළයුතු කරුණක්. අද යුගයේ අහිංසක ගොවි ජනතාවගේ තත්ත්වය උසස් කිරීම සඳහා ඇඟට දැනෙන රාජකාරියක් සිදු කිරීම මඟින් මීට වඩා ගොවීන්ට වටිනාකමක් දීම අවශ්‍ය දෙයක්.

“වර්තමාන ආර්ථික රටාවේ හැටියට මෙතෙක් කළ තොවිතැන අතරමැදියන්ගේ හා ජාවාරම්කරුවන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා පත්ව ඇති නිසා ඔබතුමා ඒ පිළිබඳව අවධානය යොමුකර නිසි පියවර ගන්නේ නම් අපි වඩාත් සතුටු වෙනවා. එසේ කීමට භික්ෂුන් හැටියට අපට පරම අයිතියක් තිබෙනවා. මන්ද අප සැම එම ජනතාවගේ සිවු පසයෙන් යැපෙන නිසා. තවත් විශේෂ කටයුත්තක් සඳහා ජනාධිපතිතුමාට ප්‍රශංසාව පිරිනමන්න කැමතියි. ඒ දැනට දින කීපයකට පෙර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගත් තීන්දු තීරණ. මෙතෙක් කිසිදු රාජ්‍ය නායකයෙක් නොගත් තීරණ සෘජුව අරන් ක්‍රියාත්මක වීම ගැන ඔබතුමාට රත්නත්‍රයේ හා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලැබෙනවා. ගොවිතැන් සාර වී අටු කොටු පිරේවා. ආර්ථික ශක්තියෙන් පිරුණු රටක ජීවත්වීමට ජනතාවට අවස්ථාව ලැබේවා කියා මා පතනවා” යැයි නාහිමියෝ පැවසූහ.

මහවැලි සංවර්ධන අධිකාරිය ඇතුළු රජයේ ආයතන ඒකාබද්ධව සංවිධානය කළ එම අලුත් සහල් මංගල්‍යය රුවන්වැලි චෛත්‍යාරාමාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් සිදුවිය. අලුත් සහල් පිදීමේ චාරිත්‍රය සඳහා ආගමික වතාවත් ඉටු කරනු ලැබුවේ මහා විහාර පිරිවෙනේ ආචාර්ය කුඩාගාලවැවේ ඥාණවිමල හිමියන් විසිනි.

එම අවසථාවේදී මහ සෑ රදුන්ට පෙරහැරින් රැගෙන ආ කිරි ආහාර පූජා කරමින් ජනාධිපතිවරයාද පිංකමට එක්විය. ජනාධිපතිවරයා සමඟ කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන්, උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, වීරකුමාර දිසානායක හා උතුරුමැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක අනිල් රත්නායක ඇතුළු මහජන නියෝජිතයන්ද විශාල ගොවිජනතාවක්ද එක් වූහ.

[සරත් මනුල වික්‍රම]

මාතෘකා