සිංහල කවි අපූරුවට ප්‍රාසංගිකව ඉදිරිපත් කළ හැකියි

 ඡායාරූපය:

සිංහල කවි අපූරුවට ප්‍රාසංගිකව ඉදිරිපත් කළ හැකියි

මහාචාර්ය මම්තා ජී. සාගර්

කන්නඩ කිවිඳියක වන මහාචාර්ය මම්තා ජී. සාගර් පසුගියදා තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකතුව (Theertha International Artists’ Collection) විසින් කොළඹදී පවත්වන ලද ‘තීර්ථ අභිවාහ්‍ය කලා වේදිකාව’ (Theertha Performance Platform) තෙවැනි අදියර වැඩසටහනට සහභාගි වීම සඳහා මෙරටට පැමිණ සිටියාය. කවිය හුදෙක් කියවීම සඳහා පමණක් සීමා කළ යුතු හුදෙකලා නිර්මාණ විශේෂයක් නොව, ප්‍රාසාංගික බවක් එක් කරමින් නොහොත් අභිවාහ්‍යකරණයෙන් ජනතාව අතරට ගෙන යා යුතු ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක් යැයි යන ආස්ථානයේ සිටිමින් කාව්‍යකරණයේ නිරත වන මම්තා, කන්නඩ කවිය ලොව පුරා විවිධ රටවල කාව්‍ය රසික පිරිස් අතර ප්‍රචලිත කිරීමට දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන්නියකි.‍ වර්ෂ 1966දී ඉන්දියාවේ බැංගලෝරයේ උපත ලැබූ මම්තා දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ භාෂාව වන කන්නඩ භාෂාවෙන් නිර්මාණකරණයේ යෙදෙන අතර දැනට බැංගලෝර් විශ්වවිද්‍යාලයේ, ඥාන භාරතී මණ්ඩපයේ, කන්නඩ භාෂා අධ්‍යයන කටයුතු පිළිබඳ මධ්‍යස්ථානයේ මහාචාර්යවරියක ලෙස සේවය කරයි. මේ වන විට කාව්‍ය සංග්‍රහයන් තුනක් සහ නාට්‍ය පිටපත් හතරක් රචනා කර ඇති ඇගේ නිර්මාණ හින්දි, මලයාලම්, බෙංගාලි, තෙලිගු සහ ඉංග්‍රීසි ඇතුළු විවිධ භාෂා ගණනාවකටද පරිවර්තනය වී තිබේ. මේ, අප ඇය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

කාව්‍ය අභිවාහ්‍යකරණය අලළා ඔබ මෙරටදී ලැබූ අත්දැකීම් කෙබඳුද?

සාමාන්‍යයෙන් අභිවාහ්‍යකරණය කලාවක් විදියට වඩාත් ප්‍රචලිතව ඇත්තේ දෘශ්‍ය කලා ශිල්පීන් අතරයි. ඒ අත්දැකීම් ඇසුරු කරගනිමින් කවීන් විසින් කාව්‍ය අභිවාහ්‍යකරණය සිදු කරනු ලබනවා. ඒ සම්බන්ධ විවිධ අත්හදාබැලීම් කරමින් කවිය වැඩි පිරිසක් අතරට ගෙන යෑමට මම උත්සාහ ගත්තා. එහිදී මම දෘශ්‍ය කලා ශිල්පීන් සහ සංගීත ශිල්පීන් වැනි විවිධ පිරිස් සමඟ එක්ව කටයුතු කරමින් මගේ කවිය ඉදිරිපත් කළ හැකි නව මාර්ග පිළිබඳව නිරන්තරයෙන්ම අවධානය යොමු කරනවා. මෙවර ලංකාවේ පැවැත්වුණු තීර්ථ අභිවාහ්‍ය කලා වේදිකාව වැඩසටහන සකස් වෙලා තිබුණේ ‘පැවැත්ම පඨිත කිරීම’

(TEXTING BEING) කියන තේමාව යටතේයි. ඒ තේමාවට අදාළව මගේ කාව්‍ය නිර්මාණ කිහිපයක් මම අභිවාහ්‍ය කලා කෘති විදියට ඉදිරිපත් කළා. එහිදී මගේ කවි ඉදිරිපත් කෙරුණේ දෘශ්‍ය නිර්මාණ විදියටයි. එයින් එකක් නිර්මාණය වුණේ හිස් රුධිර අසුරණ යොදාගෙනයි. ඒ හිස් රුධිර අසුරණවල සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ කන්නඩ ඇතුළු විවිධ භාෂාවලින් වචන සටහන් කරලා තිබුණා. ඒ හරහා මම උත්සාහ කළේ මේ විවිධ භාෂා අතර පවතින සම්බන්ධතාව මතුකර පෙන්වන්නයි.

මේ භාෂා අතර තියෙන වෙනස්කම් ඔස්සේම ඒවා අතර කිසියම් සම්බන්ධතාවක් ගොඩනඟා ගත හැකි බව පෙන්වන්නයි මට වුවමනා වුණේ. උදාහරණ විදියට සිංහල සහ දෙමළ භාෂා ගත්තොත් ඒවා අතර භාෂාමය වෙනසක් තියෙනවා. ඒ වගේම දෙමළ සහ කන්නඩ භාෂා අතරත් කිසියම් වෙනසක් තියෙනවා. ඒ වෙනස අතික්‍රමණය කරමින් මේ භාෂා අතර බැඳීමක්, සම්බන්ධතාවක් ගොඩනඟන්න මට වුවමනා වුණා. එයට අමතර වශයෙන්, මම මේ වැඩසටහනේදී ඉන්දියාවේ සහ ලංකාවේ කවිකිවිඳියන්ට එකට එක්ව වැඩ කටයුතු කළ හැකි ආකාරයේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්නත් යෝජනාවක් ඉදිරිපත් කළා. දැනටත් අපි ඉන්දියාවේ එවැනි වැඩපිළිවෙළක් දියත් කරලා තියෙනවා. ‘කාව්‍ය සංජේ’ නමින් ආරම්භ කරපු ඒ වැඩසටහන පවත්වාගෙන යන්නේ බාරකාර පදනමක් හරහායි. ඒ ඔස්සේ කවිය පිළිබඳ බොහෝ ක්‍රියාකාරකම් සිදු කෙරෙනවා. විශේෂයෙන්ම කවි පරිවර්තනය, කවිය ආශ්‍රිත විවිධ ක්‍රියාකාරකම් ව්‍යාප්ත කිරීම, කාව්‍ය පා ගමන් සංවිධානය කිරීම ඇතුළු විවිධ වැඩසටහන් ඒ හරහා කෙරෙනවා. මම ඒ පදනම ගැන පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැත්වුණු තීර්ථ වැඩසටහනේදී ලංකාවේ පිරිස් දැනුවත් කළා. මේ සියලු දේවල් එක්ක පසුගියදා ශ්‍රී ලංකාවේදී මට ප්‍රසාදජනක අත්දැකීමක් ලැබුණා කියලා මට හිතෙනවා.

ඔබට ලැබෙන ප්‍රතිචාර පිළිබඳව ඔබ සෑහීමට පත් වෙනවාද?

ඔව්, ලැබෙන ප්‍රතිචාර ගැන මට ඇත්තටම සතුටුයි. මේ වන විට මම කාව්‍ය සිනමා කෘති නිර්මාණය කිරීමටත් උත්සාහ දරමින් සිටිනවා. එහිදී සිදු වන්නේ කවි කියවීමක් පමණක් නෙවෙයි. එය කවිය දෘශ්‍ය මාධ්‍යයට නැඟීමක්. ඒ සඳහා සිනමාකරුවන් සමඟ සහයෝගීතාවයෙන් යුතුව වැඩ කරන්න මට අවස්ථාව ලැබෙනවා. මම හිතන විදියට මේ සහයෝගීතාව ඉතා වැදගත්. විවිධ සාහිත්‍ය කලා නිර්මාණ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් අතර එවැනි සහයෝගීතාවක් ඇති නොවන තාක් කල් කවිය ඇතුළු සියලු කලාවන් සමාජයට ආගන්තුක දේවල් විදියට පවතින්න ඉඩ තියෙනවා. ජන සමාජය සහ කලාකරුවන් සමඟ වඩාත් සමීප සම්බන්ධතාවන් ගොඩනඟාගැනීමත් ඉතා වැදගත්. ඒ සඳහා විවිධ කලා නිර්මාණ සඳහා දායකත්වය ලබාදෙන කණ්ඩායම් සහභාගි කරවා ගනිමින් වැඩමුළු සහ දැනුවත් කිරීම් වැඩසටහන් පැවැත්විය යුතුයි. විශේෂයෙන්ම කවිකිවිඳියන් සඳහා සිංහල භාෂාවෙන් පැවැත්වෙන අභිවාහ්‍ය වැඩමුළුවක් පැවැත්වීමත් වැදගත් කියලා මම හිතනවා. ඒ කලාව ගැන අවබෝධයක් තියෙන විදෙස් කලා ශිල්පියකුට හෝ ශිල්පිනියකට ආරාධනා කරලා එවැනි වැඩමුළුවක් ලංකාවේ පවත්වන්න පුළුවන් නම් හරි වටිනවා. මට ලංකාවෙන් එවැනි වැඩමුළුවක් සඳහා ආරාධනාවක් ලැබුණොත් මමත් ඉතාම කැමැත්තෙන් එයට සහභාගි වෙනවා.

කාව්‍ය සිනමා කෘති නිර්මාණය ගැන පැහැදිලි කළොත්?

දැනටමත් කාව්‍ය සංජේ පදනම හරහා ඒ සඳහා අදාළ වන මූලික වැඩ කටයුතු දියත් කර තිබෙනවා. කාව්‍ය සිනමා කෘති නිර්මාණය කිරීම අලුත් වැඩක්. එහිදී කවියක වචන පමණක් යොදාගනිමින් කාව්‍ය සිනමා නිර්මාණය කරන්නත් පුළුවන්. ඒ වගේම වචන නැතිවත් ඒ සිනමා කෘති නිර්මාණය කරන්න පුළුවන්. වචන මොනවාද කියලා දකින්නෙත් නැතිව කවියේ අදහස ඉදිරිපත් කරන්න පුළුවන්. කවිය වෙනස්. දෘශ්‍ය රූපත් වෙනස්. එහෙත් ඒ දෘශ්‍ය රූප හරහා කවියේ අදහස ඉදිරිපත් කරන්න සිනමා මාධ්‍යයට පුළුවන්. ඒ හරහා කවියේ අදහස සිනමාත්මකව මතුකිරීම ඉතාම වැදගත්. අභිවාහ්‍යකරණයේදී ඒ සිනමාරූපී බව අවශ්‍ය වෙන්නත් පුළුවන්, අවශ්‍ය නොවෙන්නත් පුළුවන්. හැබැයි කාව්‍ය සිනමා කෘති හරහා සිදු වන්නේත් එක්තරා ආකාරයක අභිවාහ්‍යකරණයක් බවයි මගේ අදහස. එයට අමතරව කාව්‍ය අභිවාහ්‍යකරණයේදීත් කාව්‍ය සිනමා නිර්මාණ වෙනස් ආකාරයකට උපයෝගී කරගත හැකියි.

අභිවාහ්‍යකරණය ඔස්සේ කවිය ප්‍රචලිත කළ හැකිද?

ඔව්, ඒ සඳහා කවිකිවිඳියන් සහ වෙනත් කලා ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් සාමූහිකව කටයුතු කළ යුතුයි. මේ අභිවාහ්‍යකරණයන් මූලික වශයෙන්ම සිදු විය යුත්තේ ලේඛක පර්ෂදයන් තුළයි. එය කළ හැක්කේත් ලේඛකයින් සහ කලාකරුවන් සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කරන පසුබිමකදී පමණයි. කාව්‍ය අභිවාහ්‍යකරණය තුළ තියෙන්නේ කවිය සහ සෙසු කලාවන්ගේ මුසුවක් බව ඔවුන් හඳුනාගත යුතුයි. අභිවාහ්‍යකරණය ඔස්සේ ඉදිරිපත් කළත් කවියේ ශක්‍යතාව වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කාව්‍ය අභිවාහ්‍යකරණය තුළ තියෙන්නේත් කවියම මිස අන් දෙයක් නෙවෙයි. ඉදිරිපත් කරන ආකාරය වෙනස් වුණා කියලා කවිය වෙනස් වෙන්නේ නැහැ. අභිවාහ්‍ය කලාව වැදගත් වෙන්නේ එය ජනතාව අතරට වඩාත් ප්‍රබල ආකාරයෙන් ගෙන යෑම සඳහායි. මම කිසි විටෙක අභිවාහ්‍ය කලා ශිල්පිනියක විදියට මාව හඳුන්වාදෙන්නේ නැහැ. මම කිවිඳියක්. මගේ කවිය වඩාත් දැනෙන ආකාරයට රසිකයා වෙතට ගෙනියන්න අභිවාහ්‍ය කලාව යොදාගත හැකියි කියලා මම විශ්වාස කරනවා. මගේ කවිය වගේම වෙනත් භාෂාවලින් ලියැවෙන කවිත් මේ කලාව හරහා වඩාත් සාර්ථකව රසිකයා අතරට ගෙනියන්න පුළුවන් කියලා මම හිතනවා. විශේෂයෙන්ම සිංහල වගේ භාෂාවකින් ලියැවෙන කවි අභිවාහ්‍යකරණය ඔස්සේ ඉතා අපූරුවට ඉදිරිපත් කරන්න පුළුවන්. මට දැනෙන විදියට සිංහල භාෂාව ඉතාම ධ්වනි පූර්ණ ගුණයෙන් යුක්තයි. මේ භාෂාවේ වචන තුළ ධ්වනිය තියෙනවා. සිංහල වචන කතා කරනකොට පවා ඒ ධ්වනිය පිටතට විහිදෙනවා. එය වඩාත් විධිමත් ආකාරයකට ඉදිරිපත් කිරීමට අභිවාහ්‍යකරණය උපයෝගී කරගන්න පුළුවන්. කවිය ඉස්මතු කිරීම සඳහා යොදාගත හැකි හොඳ මාධ්‍යයක් හැටියටත් අභිවාහ්‍යකරණය යොදාගත හැකියි කියලා මම හිතනවා. එහිදී කවිය හුදු වචනවලින් සහ අදහස්වලින් ඔබ්බට ගෙන යෑම සඳහා සිරුර, අංග චලනය සහ බාහිර උපාංග ආදියත් උපයෝගී කර ගත හැකියි. මේ සියල්ලත් එක්ක කාව්‍ය අභිවාහ්‍යකරණය කියන්නේ කවියේ දිගුවක් කියලයි මම හිතන්නේ.

කවියට සමාජ බලපෑමක් කළ හැකිද?

ඔව්. ඒත් හුදෙක් කවියක් ලියා පළ කළ පමණින්ම එය සමාජයේ අවධානයට ලක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න අපට බැහැ. හොඳ කවි වැඩි රසික පිරිසකට සමීප කිරීම සඳහා අලුත් ක්‍රම සොයා ගත යුතු වන්නේ ඒ නිසයි. අද වන විට සමාජ මාධ්‍ය ජාල සහ විශේෂයෙන්ම මුහුණුපොත වැනි නව මාධ්‍ය ඔස්සේ කවිය සමාජගත වෙමින් පවතිනවා. ඒක යහපත් තත්ත්වයක්. එයට අමතර වශයෙන් කවිය වඩාත් සජීවී ආකාරයෙන් සෘජුවම සමාජය හමුවේ ඉදිරිපත් කිරීම වඩාත් වැදගත් කියලා මම විශ්වාස කරනවා. ප්‍රාසාංගික බවකින් යුක්තව කවි ඉදිරිපත් කිරීම හෙවත් කාව්‍ය අභිවාහ්‍යකරණය ඒ සඳහා යොදාගත හැකි එක් ක්‍රමයක් බවයි මගේ අදහස.

කන්නඩ කිවි ජයන්ත් කයිකිනි පසුගියදා දකුණු ආසියානු සාහිත්‍යය සඳහා පිරිනැමෙන DSC ත්‍යාගය හිමිකරගත්තා?

එය ඉතාම විශිෂ්ට තත්ත්වයක්. කන්නඩ වැනි ප්‍රාදේශීය භාෂාවලින් කෙරෙන නිර්මාණ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වෙලා පළ වුණාම ඒවා බොහෝ පිරිසකගේ අවධානයට ලක් වෙනවා. ජයන්ත් කයිකිනිගේ පොතත් ඇගයීමට පාත්‍ර වුණේ එහි ඉංග්‍රීසි පරිවර්තනය පළ වූ නිසයි. ඔහු කාලයක් තිස්සේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් නිර්මාණකරණයේ යෙදී සිටින ලේඛකයෙක්. එහෙත් ඔහුට මෙවැනි සම්මානයක් හිමි වුණේ ඔහුගේ නිර්මාණ ඉංග්‍රීසියෙන් පළ වීමෙන් පසුවයි. මුල් කාලවලදී ඉන්දියානු සාහිත්‍යය විදියට ලෝකයේ බොහෝ අය දැනහඳුනාගෙන සිටියේ ඉන්දියානු ලේඛක ලේඛිකාවන් විසින් ඉංග්‍රීසි භාෂාවෙන්ම රචනා කරන ලද නිර්මාණ පමණයි. එහෙත් ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු ඒ නිර්මාණවලට වඩා විශාල නිර්මාණ ප්‍රමාණයක් ඉන්දියාවේ වෙනත් ප්‍රාදේශීය භාෂාවලින් ලියැවී තිබෙන බව සහ ලියැවෙමින් තිබෙන බව අද ලෝකය පුරාම විසිරී සිටින අය දන්නවා. ඒ නිර්මාණ ගැන ඔවුන් දැනගන්නේ ඒවායේ ඉංග්‍රීසි පරිවර්තන හරහායි. වෙනත් භාෂාවලින් ලියැවෙන නිර්මාණ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වීම ඉතා වැදගත් වන්නේ ඒ නිසයි. මෙවර ලංකාවට පැමිණීමට කලින් පසුගියදා මැලේසියාවේ පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩල ලේඛක හමුවකට මම සහභාගි වුණා. එහිදී සාකච්ඡා කෙරුණේ දකුණු ආසියානු කලාපයේ ලේඛක ලේඛිකාවන් විසින් තමන්ගේ මවුභාෂාවලින් රචනා කරන නිර්මාණ වෙනත් භාෂාවලට පරිවර්තනය වීමේ වැදගත්කම ගැනයි. එවැනි පරිවර්තන පළකිරීමේ සහ ඒවා සඳහා වෙළෙඳපොළක් නිර්මාණය කරගැනීමේ වැදගත්කම ගැනත් එහිදී සාකච්ඡා කෙරුණා. ඒ නිර්මාණ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වීම වැදගත් බව ඒ ලේඛක ලේඛිකාවන් සියලු දෙනාම පිළිගත්තා. එහෙත් ඒවා ඉංග්‍රීසි භාෂාවට පමණක්ම පරිවර්තනය විය යුතු යැයි යන අදහසට මම නම් එකඟ වුණේ නැහැ. මගේ අදහස වුණේ ඉංග්‍රීසි භාෂාවට වගේම වෙනත් භාෂාවලටත් ඒ නිර්මාණ පරිවර්තනය විය යුතු බවයි. උදාහරණයක් විදියට සිංහලෙන් ලියැවෙන නිර්මාණ කන්නඩ භාෂාවටත් කන්නඩ භාෂාවෙන් ලියැවෙන නිර්මාණ සිංහල භාෂාවටත් පරිවර්තනය වීම වැදගත් බවයි මගේ අදහස. ඒ පරිවර්තන කාර්යයේදී ඉංග්‍රීසි භාෂාව මැදිහත් කරගත යුතු නැහැ. එවැනි පරිවර්තන සඳහාත් කුමන ආකාරයකින් හෝ කිසියම් වෙළෙඳපොළක් නිර්මාණය කරගැනීමට අපට සිදු වෙනවා. ඉංග්‍රීසි භාෂාව යොදා නොගෙන කන්නඩ කවිය සෘජුවම වෙනත් භාෂාවලට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීමට දැනටමත් අපි යම් යම් වැඩසටහන් දියත් කර තිබෙනවා. කාව්‍ය සංජේ වැඩමුළු හරහාත් එවැනි වැඩ කටයුතු කිහිපයක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

පරිවර්තනයේදී කවිය වාෂ්ප වෙනවා කියනවා?

ඔව්, බොහෝ අවස්ථාවලදී එහෙම වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මම විශ්වාස කරන විදියට නම් පරිවර්තනය කියන්නෙත් නිර්මාණ කටයුත්තක්. පරිවර්තන කාර්යය කියන්නේ මුල් නිර්මාණයටම වහල් වෙමින් එක් භාෂාවකින් තවත් භාෂාවකට වචන පෙරළන ආකාරයේ වහල් මෙහෙවරක් නෙවෙයි. කිසියම් නිර්මාණයක් එක් භාෂාවකින් තවත් භාෂාවකට පරිවර්තනය කිරීම සඳහා විශාල වෙහෙසක් දරන්නට සිදු වෙනවා. ඒ සඳහා පරිවර්තන කාර්යය පිළිබඳ අවබෝධයක් වගේම දැඩි ආසාවක්, උද්‍යෝගයක් සහ කැපවීමක් තිබිය යුතුයි. එය කිසිසේත්ම වචන පෙරළියක් පමණක් බවට පත්කර ගත යුතු නැහැ. පරිවර්තනයක් කියන්නේ මුල් නිර්මාණයේ තවත් ස්වරූපයක්. කන්නඩ භාෂාවෙන් ලියැවෙන මගේ කවියක පරිවර්තනයක් කියන්නේ මගේ නිර්මාණයේම තවත් එක් ස්වරූපයක්. එය තවදුරටත් මගේ කවියම නොවෙන්නත් පුළුවන්. මගේ කවියක පරිවර්තනයක් කියන්නේ තවත් අලුත් නිර්මාණයක්. ඒ අලුත් නිර්මාණය සඳහා ප්‍රවේශය ලැබෙන්නේ මගේ කවියෙන් විය හැකියි. එහිදී මගේ කවියෙන් කෙරෙන්නේ තවත් කවියක් නිර්මාණය වීමට අවශ්‍ය පසුබිම සැකසීම පමණයි. පරිවර්තනයක් සැමවිටම මුල් කෘතියට සැම අතින්ම සමාන විය යුතු යැයි කියන අදහසට මම එකඟ නැහැ. එයින් අදහස් වන්නේ පරිවර්තනයේදී මුල් කෘතිය නොසලකා කටයුතු කළ යුතු බව නෙවෙයි. එහෙත් ඇතැම් අවස්ථාවලදී මුල් කෘතියට ඕනෑවටත් වඩා වහල්වීම නිසා පරිවර්තනය නිසි ලෙස සිදු නොවන්නට ඉඩ තියෙනවා. විශේෂයෙන්ම සංස්කෘතික සන්දර්භයන් නිසි ආකාරයට හඳුනා නොගෙන මුල් කෘතිය ඒ ආකාරයෙන්ම පරිවර්තනය කරන්නට උත්සාහ ගැනීමේදී අසාර්ථක සහ විසුළු සහගත ලියැවිල්ලක් පමණක් පරිවර්තනයක් හැටියට ඉදිරිපත් වෙන්නට ඉඩ තිබෙනවා.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා