නේමාර් සහ පේලේ

 ඡායාරූපය:

නේමාර් සහ පේලේ

පේලේට මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව ආබාධයක් පවතින බවත් ඒ වෙනුවෙන් කඩිනමින් සැත්කමක් කළයුතු බවත් පසුගිය කාලයේ වෛද්‍යවරුන් ඔහුට නිර්දේශකර තිබිණි. පේලේ මේ හේතුවෙන් පසුගියදා ප්‍රංශයේ රෝහලකට ඇතුළත් කරනු ලැබූ අතර සැත්කමකටද භාජනය විය.

එලෙස සැත්කමකට භාජයවූ පාපන්දු රජු පේලේගේ සුවදුක් බැලීමට බ්‍රසීලයේ නූතන පාපන්දු වීරයා ලෙස සැලකෙන නේමාර් පැමිණ තිබුණු බව පසුව ජනමාධ්‍ය වාර්තා කර තිබිණි. නේමාර් පේලේ ගේ සුවදුක් බැලීමෙන් අනතුරුව ඔහු හා ඡායාරූප කීපයක් ලබාගෙන තිබූ අතර පසුව එය ඉන්සටර්ග්‍රෑම් වැනි සමාජ ජාල ඔස්සේ බෙදා හැර තිබුණේය. මේ හේතුවෙන් නේමාර් සහ පේලේ එකිනෙකා හමුවූ බව ජනමාධ්‍යට වාර්තා විණි.

හෑත්තෑ අට වැනි වියේ පසුවන පේලේ තෙවරක් ලෝක පාපන්දු ශූරතාව දිනාගත් බ්‍රසීල කණ්ඩායමේ සාමාජිකයෙකි. මෙලෙස ප්‍රංශ රෝහලකදී තම සැතකමකට භාජනය වීමෙන් අනතුරුව සුවය ලබා ඔහු යළි පසුගිය අඟහරුවාදා සියරට බලා ගොස් තිබිණි.

නේමාර් එම ප්‍රංශ රෝහලේ ඇඳක් මත පේලේ හා ලබාගත් ඡායාරූපය ඉන්ස්ටග්‍රෑම් ජාලයේ සටහන් කර තිබුණේ රජු සමඟ යන සිරස් තලය සමඟිනි. එයින් කියැවෙනුයේ නූතනයේ ඩොලර් මිලියන ගණනින් තීරණය කරනු ලබන පාද ප්‍රහාර ඉක්මවා තවමත් ලෝක ගෞරවය සහ දක්ෂතාව මෙන්ම ක්‍රීඩක පිළිගැනීම හිමිකරගැනීමට පේලේ සමත්ව ඇති බවය.

පසුගිය කාලයේ ආබාධයකට ලක්වූ පේලේ දරුණු මුත්‍රා අර්බුදයකට ලක්ව තිබූ බව සඳහන්වේ. ඒ අනුව ඔහු ප්‍රතිකාර ලබාගත්තේ ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ඇමරිකානු රෝහලකදීය. එහි ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව බ්‍රසීලයේ Guarulhos ජාත්‍යන්තර ගුවන් තොටුපොළට තොටුපොළට පැමිණෙන විට විශාල පාපන්දු ලෝලීන් පිරිසක් සහ මාධ්‍යවේදීන් සංඛ්‍යාවක් එහි පැමිණ තිබූ බව බ්‍රසීල වාර්තා තවදුරටත් සඳහන් කළේය. තමන්ගේ රිය වෙත යාමට ඔහු විශාල උත්සහයක නියැලුණු බවද සඳහන් වේ.

පේලේ මේ වනවිට දණහිස, ඉන ඇතුළු ස්ථාන කීපයක් සම්බන්ධයෙන් විවිධ ආබාධ රැසකින් පීඩා විඳින අතර පසුගිය ලෝක කුසලාන තරගාවලි සමයේදීද එය නැරඹීමට ගොස් තිබුණේ රෝද පුටුවෙනි. මෙවර වෛද්‍ය ප්‍රතිකාර ලබා පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් අමතමින් ඔහු ප්‍රකාශ කළේ, ‘මම පසුගිය කාලයේ දරුණු මුත්‍රා අර්බුදයකින් පීඩි වින්දා. ඒ වෙනුවෙන් සැත්කමකට මුහුණ දෙන ලෙසත් දීර්ඝ වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසත් වෛද්‍යවරු නිර්දේශ කළා. එය කඩිනමින් කරන ලෙසට ලැබුණු නියෝග අනුවයි මම ප්‍රංශයට ගියේ’ යනුවෙන් පැවසීය.

පෙලේගෙන් පසු බ්‍රසීලය සොයාගත් විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයකු ලෙසින් සැලකෙන්නේ නේමාර්ය. දෙදෙනා අතර පවතින සමීප සම්බන්ධතාවය පිළිබඳ ක්‍රීඩාලෝලීන් දක්වන්නේ සතුටකි. එය පේලේද නිසැකවම අගයකරන බව මෙම රෝහලේදී සහ ඊට පෙර ඔවුන් දෙදෙනා එක්ව ලබාගත් ඡායාරූප වලින් ස්ථිරය.

මාතෘකා