1983 වස‍රේ පැවැති තෙවැනි ලෝක ක්‍රිකට් කුසලානය : බටහිර ඉන්දීය දූපත් සතුවූ කිරුළ පෙරදිග ඉන්දියාවට

 ඡායාරූපය:

1983 වස‍රේ පැවැති තෙවැනි ලෝක ක්‍රිකට් කුසලානය : බටහිර ඉන්දීය දූපත් සතුවූ කිරුළ පෙරදිග ඉන්දියාවට

තෙවැනි වරටත් පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පිට පිටම සත්කාරකත්වය ලබා දීමට එංගලන්තයට හැකි විය. මෙවර තරගාවලිය සඳහාද එක්ව සිටි කණ්ඩායම් ගණන 8කි. නමුත් කලින් අවස්ථා දෙකේදී මෙන් මෙවර ටෙස්ට් වරම් නොලැබූ රටවල් 2ක් වෙනුවට එකක් සහභාගී වූ අතර ටෙස්ට් රටවල් 6ක් වෙනුවට රටවල් 7ක් තරගාවලියට එක්ව සිටියහ. ඒ ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් හිමිකර ගෙන සිටි බැවිනි. තරගාවලියට එක්වූ ටෙස්ට් වරම් නොලබා සිටි එකම රට සිම්බාබ්වේ කණ්ඩායමයි. ඒ කොටසින් තරග වැදුණේ එංගලන්තය, පාකිස්ථානය, නවසීලන්තය සහ ශ්‍රී ලංකාවයි. බීකාණ්ඩයට එක්ව සිටි කණ්ඩායම් වූයේ කොදෙව්, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ කණ්ඩායම්ය.

පසුගිය වතාවට වඩා තරගාවලියේ තරග සංඛ්‍යාව වැඩිකර තිබුණේ ලීග් ක්‍රමයට පැවැති තරගවටයට තවත් තරගවටයක් එක්කරමින් ලීග් තරග සංඛ්‍යාව දෙගුණ කරවමිනි. ඒ අනුව එක් කාණ්ඩයක සිටින කණ්ඩායමක් තම කාණ්ඩයේ සිටින අනෙක් රටවල් සමග තරග දෙක බැගින් ක්‍රීඩා කළ යුතු විය. ඒ අනුව එක් කණ්ඩායමකට මූලික වටයේ ලීග් තරගවලදී තරග 6කට ක්‍රීඩා කිරීමට සිදු විය.

තරග සංඛ්‍යාව වැඩි වන විට තරගාවලිය සඳහා එක් කළ ක්‍රීඩාංගණ ප්‍රමාණයද ඉහළ ගියේය. මෙවර ක්‍රීඩාංගණ 15ක් තරගාවලිය සඳහා වෙන් විය. පළමු තරගාවලි දෙක පැවැති ලෝර්ඩ්ස්, ඕවල්, ට්‍රෙන්ට් බ්‍රිජ්, හෙඩින්ග්ලි, එජ්බැස්ටන් සහ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණවලට අමතරව ඩාබි, බ්‍රිස්ටල්, ටෝන්ටන්, සවුත්හැම්ප්ටන්, චෙම්ස්ෆර්ඩ් නගරවල ක්‍රීඩාංගණද, වේල්සයේ ක්‍රීඩාංගණ දෙකක් මේ සඳහා වෙන් විය. එසේම ලීස්ටර් සහ වූස්ටර්හි ක්‍රීඩාංගණ දෙකකද තරග පැවැත්විනි.

පළමු වටය

ලීග් වටයේ සිදුවූ සුවිශේෂම සිදුවීම් වූයේ ලෝක කුසලාන තරගාවලියක් සඳහා පළමුවරට එක්වූ සිම්බාබ්වේ කණ්ඩායම තමන් මුහුණ දුන් පළමු තරගයෙන්ම ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කිරීමයි. විශේෂත්වය වන්නේ එය ඔවුන්ගේ පළමු එක්දින ජාත්‍යන්තර තරගයද වීමයි. ජුනි 9වැනිදා නොටිංහැම්හි ට්‍රේන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 13ක ජයක් ලැබීය.

ජුනි 18 වැනිදා සිම්බාබ්වේ සහ ඉන්දියාව සමග පැවැති තරගයේදී එක් අවස්ථාවක ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 17ක් ලබා සිටියේය. පසුව ලකුණු 140දී 8වැනි කඩුල්ල බිඳ වැටුණද කපිල් දේව්ගේ විශිෂ්ට පිතිහරඹය නිසා ඉන්දීය කණ්ඩායම පන්දුවාර 60 අවසානයේදී කඩුලු 8කට ලකුණු 266ක් ලබා ගැනීමට සමත් විය. පන්දු 138කදී කපිල් දේව් නොදැවී ලකුණු 175ක් රැස් කළේ හතරේ පහර 16ක් සහ හයේ පහර 6ක් සමගිනි. එය එවකට පිතිකරුවකු ක්‍රීඩාකළ විශිෂ්ටතම එක්දින තරග ඉනිම ලෙස එය සැලකිනි. සිම්බාබ්වේ කණ්ඩායම රැස් කළේ ලකුණු 235කි.

එසේම තරගාවලි දෙකක් පුරා එකම තරගයක් හෝ පරාජයවී නොසිටි කොදෙව් කණ්ඩායමද මෙවර තරගාවලියේ පළමු තරගයෙන්ම ඉන්දියාව හමුවේ ලකුණු 34කින් පරාජය විය.

ලීග් වටය අවසන් වන විට ඒ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්ව සිටියේ සහභාගී වූ තරග 6න් 5ක ජය වාර්තා කළ එංගලන්තයයි. පාකිස්ථානය දෙවැනි ස්ථානය ලබා අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය. බී කාණ්ඩයෙන් තමන් සහභාගී වූ තරග 5ක් ජයගත් කොදෙව් කණ්ඩායම සහ තරග 4ක් ජයගත් ඉන්දියාව දෙවැන්නා ලෙසද එම වටයට එක් වූහ.

අවසන් පූර්ව තරග

ජුනි 22 වැනිදා පළමු අවසන් පූර්ව තරගය එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැතිණි. ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේදී පළමුව ලකුණු රැස් කළ එංගලන්තය පන්දුවාර 60දී සියලු දෙනා දැවී ලකුණු 213ක් රැස් කළේය. එංගලන්ත ඉනිමේ එකම අර්ධ ශතකයක් හෝ වාර්තා නොවුණි. වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවා වූයේ ලකුණු 33ක් ලබාගත් ග්‍රැහැම් ෆවුලර්ය. ෆවුලර් පන්දු 59කදී එම ලකුණු සංඛ්‍යාව රැස් කළේය. ක්‍රිස් ටවාරේ 32යි. ඇලන් ලෑම්බ් පන්දු 58කින් ලකුණු 29යි. පසු පෙළ පිතිකරුවෙක් වූ ග්‍රැහැම් ඩිලී පන්දු 26කින් ලකුණු 20ක් රැස් කළ හෙයින් ලකුණු දෙසීයේ සීමාව පසු කිරීමට එංගලන්තයට හැකි විය.කපිල් දේව් කඩුලු 3ක්ද, රොජර් බිනී සහ මොහින්දර් අමරනාත් කඩුලු 2 බැගින් ද දවාලූහ.

ඉන්දීය ආරම්භක පිතිකරුවන් වූ සුනිල් ගවස්කාර් සහ ක්‍රිෂ්ණමචාරී ශ්‍රී කාන්ත්ගෙන් ලකුණු 46ක ආරම්භයක් ලැබූණු අතර පසුව පැමිණි පිතිකරුවන් වූ අමරනාත් (46), යෂ්පාල් ෂර්මා (61) සහ සන්දීප් පතෙල් (නොදැවී 52) ඉන්දියාවට කඩුලු 6ක පහසු ජයක් හිමිකර දීමට සමත් වූහ.

දෙවැනි අවසන් පූර්ව තරගය පැවැතියේ ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී ලෝක ශූර කොදෙව්වන් සහ පාකිස්ථාන කණ්ඩායම අතරයි. පාකිස්ථානය ලබා දුන් ලකුණු 185 ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී රැස් කළ කොදෙව්වෝ තෙවැනි වතාවටද ලෝක කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලැබිය.

අවසන් තරගය

පසුගිය ලෝක කුසලාන අවසන් තරග දෙකම පැවැති ලෝඩ්ස් ක්‍රීඩාංගණයට වයස අවුරුදු 24ක්වූ ළාබාල නායක කපිල් දේව් පිවිසියේ පළමු වටයේදී කොදෙව්වන් පරාජය කිරීමේ ගෞරවය සහිතවය. ඒ වනවිට ලෝක කුසලාන ඉතිහාසයේදී කොදෙව්වන් පරාජය කිරීමට සමත්ව සිටියේ ඔවුන් පමණි.

තමාට වඩා වසර 15ක් ළාබාල නායකයෙකු සමග අවසන් තරගයට පිවිසෙන කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ් ප්‍රමුඛ යකඩයන් රෑන පිටියට පැමිණියේ පිට පිටම තෙවැනි වරටත් ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමේ ප්‍රාර්ථනාවෙනි. පසුගිය ලෝක කුසලාන අවසන් තරගයේ තමන් සමග ක්‍රීඩා කළ ග්‍රිනිජ්, හේන්ස්, රිචඩ්ස්, රොබට්ස්, හෝල්ඩිං සහ ගානර් තමන් සමග සිටීම ලොයිඩ්ට අමතර වාසියක් විය.

කාසියේ වාසිය හිමිකර ගත් ලොයිඩ් පන්දුවට පහරදීම සඳහා ඉන්දියාවට ආරාධනා කළ අතර කඩුලු බිඳවැටීම නිසා ආරම්භයේදීම ඉන්දීය ඉනිම අඩාල විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශ්‍රී කාන්ත් ලකුණු 38ක් පන්දු 57කින් රැස් කිරීමට සමත් විය. මුලු ලකුණු සංඛ්‍යාව 111ක් වන විට ඉන්දීය ඉනිමේ කඩුලු 6ක් බිඳ වැටී තිබුණි. අවසන් පිතිකරුවන් තිදෙනා වූ මදන් ලාල් (17), කිර්මානි (14) සහ ගේ දායකත්වය නිසා ලකුණු 183දක්වා ගමන් කිරීමට ඉන්දීය කණ්ඩායමට හැකි විය.

දෙවරක් ලෝක කුසලාන දිනූ කොදෙව්වන් ඉදිරියේ එය කිසිසේත්ම ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොවීය. එහෙත් ග්‍රිනිජ් එක් ලකුණකට දැවී යාමෙන් කොදෙව් ඉනිම සසල විය. පන්දු 28කින් හතරේ පහර 7ක් සමග ලකුණු 33ක් රැස්කර සිටි විවියන් රිචඩ්ස් විසින් මදන් ලාල්ගේ පන්දුවකට එල්ල කළ පහරක් ඉහළ ගිය අතර පිටියේ ආපස්සට සෑහෙන දුරක් දිව ගිය නායක කපිල් දේව් එය උඩ පන්දුවක් ලෙස රැක ගැනීමත් සමගව කොදෙව් ඉනිම බිඳ වැටීම ඇරඹිණි. එවිට ලකුණු පුවරුව දිස් වූයේ කඩුලු 3ක් දැවී ලකුණු 57ක් ලෙසිනි. ලකුණු 76ක් වන විට 6 වැනි කොදෙව් කඩුල්ලද බිඳ වැටී අවසන් විය. ගරා වැටුණු කොදෙව් ඉනිමට ජීවයක් ලබා දුන් කඩුලු රකින ක්‍රීඩක ජෙෆ් ඩුජෝන් (25) සහ මැල්කම් මාර්ෂල් (18) හයවැනි කඩුල්ලට ලකුණු 43ක් එක්කළහ.

ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වූ මොහින්දර් අමරනාත් ලකුණු 5ක් තුළ ඩුජෝන් සහ මාෂල් ගේ කඩුලු දෙකම දවා ගත්තේය. මුලු ලකුණු සංඛ්‍යාව 126 වන විට 9 වැනි කොදෙව් කඩුල්ලද බිඳ වැටුණි. අවසන් පිතිකරුවා වශයෙන් මයිකල් හොල්ඩිං දැවී යාමත් සමගම පිට පිටම තෙවරක් ලෝක කුසලානය ජය ගැනීමේ කොදෙව් ප්‍රාර්ථනා සුන්වී ගියේය. ඒ අනුව ලෝක කුසලානය ආසියාවට ගෙන ඒමට කපිල් දේව්ට හැකි විය.

 

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා