ගුණ රැසක් ඇති දූරියන්

 ඡායාරූපය:

ගුණ රැසක් ඇති දූරියන්

දූරියන් කියන්නේ මේ දවස්වල සුලභ පලතුරක්. ඒ වගේම මේ පලතුරට ඇතැමුන් දැඩි ප්‍රියතාවක් දක්වන අතර තවත් සමහරුන්ට දූරියන්වල සුවඳ දැනීමද මහත් අප්‍රසන්න අත්දැකීමක් ගෙනදෙන්නක්. නමුත් දූරියන්වල බොහෝ දෙනෙක් නොදන්නා කරුණු රාශියක් තිබෙනවා. නිවර්තන පලතුරු අතර රජකු ලෙස සැලකෙන දූරියන් මාංසයෙන් පිරුණු මිහිරි හා දැඩි සුවඳකින් යුක්ත පලතුරක් වන අතර ඇතැමකුට එම සුවඳ දරාගත නොහැකි වන්නේද එම අධික සුවඳ නිසාමයි. අග්නිදිග ආසියාවට ආවේණික පලතුරක් වන දූරියන් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසකින් සමන්විතයි. විශේෂයෙන් විටමින් හා ඛනිජ පදාර්ථ රැසක් අඩංගු වන දූරියන් ඉතා පෝෂණීය පලතුරක් බව පෝෂණවේදීන්ගේ අදහසයි.

දූරියන්වල අඩංගු පෝෂණ ගුණ අතර රුධිර පීඩනය නිසි මට්ටමේ පවත්වාගෙන යෑමට උපකාරී වීම සහ හෘද සෞඛ්‍යයට හිතකර වීම විශේෂයි. එමෙන්ම දූරියන් යනු ජීර්ණයට පහසු තන්තුවලින් සමන්විත පලතුරකි. විඩාව නිවන ආහාරයක් ලෙසද ප්‍රචලිතය.

එමෙන්ම දූරියන් යනු ෆෝලික් අම්ලය සහ යකඩ අඩංගු හොඳ සංයෝගයකි. මෙම ඛනිජ රුධිරයේ හිමෝග්ලොබින් නිෂ්පාදනය සඳහා උපකාර කරන අතර රතු රුධිර සෛල සෑදීම සහ වර්ධනය කිරීම සඳහා උපකාරී වේ. ජාත්‍යන්තර ඖෂධීය පර්යේෂණවලට අනුව දූරියන්වල ඇමයිනෝ අම්ල අඩංගු වන අතර එය සුව නින්දකටද උපකාරී වේ. නින්ද සහ මනෝභාවය අතර සබඳතාවක් තිබෙන බැවින් මානසික අවපීඩනය හා ආතතිය අවදානම අඩු කිරීමටද දූරියන්වලට හැකිය. දූරියන් කැල්සියම් සහ පොස්පරස්වල හොඳ මූලාශ්‍රයක් වන බැවින් එය අස්ථි ශක්තිමත් කරයි. පිරිමින්ගේ සඵලතාව වැඩිකරන පලතුරක් ලෙසටද දූරියන් ප්‍රකටය.

[ශ්‍යාමලි නිශාන්ති]

මාතෘකා