ආරූඪය රෝගී තත්ත්වයක්ද?

 ඡායාරූපය:

ආරූඪය රෝගී තත්ත්වයක්ද?

ආරූඪය යනු බොහෝ දෙනාගේ කතාවට ලක්වන මතෘකාවක්. එය එක් එක් අය විවිධාකාරයෙන් අර්ථ දක්වනවා. මායා රෝගය නමින් හඳුන්වන මේ රෝග තත්ත්වය මානසික රෝග අතර අතිශය පැරණි රෝගී තත්ත්වයක් ලෙස හැඳින්විය හැකිය. මුල් කාලයේදී මේ රෝගී තත්ත්වය හඳුනා ගත්තේ කාන්තාවන්ට පමණක් ඇතිවන රෝගී තත්ත්වයක් විදියටයි. නමුත් පසු කාලයකදී මෙය පිරිමින්ටත් වැළඳිය හැකි රෝගී තත්ත්වයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

අතීතයේ සිට විවිධ ආගම් සහ සංස්කෘතීන් තුළ මෙම රෝගී තත්ත්වය සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම භාවිත කරනවා. ඒ වගේම තමයි විවිධ ආගම්වල මේ තත්ත්වය විවිධ ආකාරයට අර්ථ දක්වනවා. නූල් දැමීම්, තෙල් මැතිරීම් වැනි ශාන්තිකර්ම වගේම වෙනත් ප්‍රතිකාර අතීතයේදී වගේම අදටත් මේ සඳහා යොදා ගැනෙනවා.

නමුත් මේ රෝගයට මනෝ විද්‍යාත්මක පදනමක් තිබෙනවා. මනෝ විද්‍යාවේදී මෙම රෝගය හඳුනා ගන්නේ 'මායා රෝගය' නමින්. ජීවිතේදී අපි මුහුණ දෙන ආතතිකාරී සිදුවීමකදී මානසිකව ඔබට සිදුවිය හැකි හානිය වළක්වා ගන්න මෙවැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ආරූඪය කියන්නේ මායා රෝගයේ එක් අවස්ථාවක් පමණයි. මනසේ තැන්පත් වූ පීඩනකාරී තත්ත්වයක් සංකේතාත්මකව ඉදිරිපත් කිරීමක් තමයි මේ තුළින් සිදුවන්නේ.

අපස්මාර තත්ත්වයන් මතුවීම, යම් යම් රෝගී තත්ත්වයන් හේතුවෙන් ඇතිවන වෙව්ලීමේ තත්ත්වයන්, ඇස්වල දෝෂයක් නොමැතිව අන්ධ බවක් ඇතිවීම, හේතුවක් නොමැතිව ඇතිවන බිහිරි බව, අහේතුකව ඇතිවන සිහි නැතිවීම, ආතති සිදුවීම් සම්බන්ධව ඇතිවන අමතකවීම් තත්ත්වයන්, කටහඬ නැති වී යෑම, කළු කුමාරයා වැනි ආරූඪ තත්ත්වයන් මේ රෝගී තත්ත්වය තුළදී ඇතිවිය හැකිය. නමුත් මෙහි වැදගත්ම කරුණක් තමයි මේ වගේ තත්ත්වයක් ඇති වූ පමණින්ම එය මානසික රෝගී තත්ත්වයක් වෙන්නේ නැහැ. දීර්ඝකාලීනව මෙවැනි තත්ත්වයක් පවතිනවා නම් ප්‍රතිකාරවලට යොමුවීම වැදගත්.

මෙම රෝගී තත්ත්වයට මුල් කාලීනව මෝහන ප්‍රතිකාර යොදාගත්තද වර්තමානයේදී එම ප්‍රතිකාරය භාවිත වන්නේ නැහැ. මනෝ විද්‍යාත්මක සහාය තුළින් මෙවැනි තත්ත්වයන් මඟහරවා ගන්න පුළුවන්. නමුත් තවමත් මෙම තත්ත්වයට ගතානුගතික ප්‍රතිකාර ක්‍රම භාවිත කිරීම වගේම බොහෝ දෙනෙක් තවමත් ඒවා විශ්වාස කිරීමත් නිසා මෙවැනි තත්ත්වයන් සම්පූර්ණයෙන් සුව කිරීම අසීරුය.

මාතෘකා