ලෝකයේ දාහය නිවන්න ඉර ඩිම් කරමුද?

 ඡායාරූපය:

ලෝකයේ දාහය නිවන්න ඉර ඩිම් කරමුද?

අප අව්වේ ඇවිදින විට කුඩයක් වැනි යමක් හෝ අවම වශයෙන් තොප්පියක්වත් දාගෙන යෑමට පුරුදු වී සිටින්නේ ඉර එළිය ඍජුවම ශරීරයට පතිත වීම වැළැක්වීමට. එය ඕනෑම කෙනකු විසින් සිදු කරන සරල සංසිද්ධියක්. මේ ක්‍රමයම ලෝකයට ආදේශ කර කුඩයකට සමාන ආචරණයක් ඇති කර පෘථිවියට පතිත වන සූර්ය කිරණ ප්‍රමාණය අඩු කළ හැකිනම්, පෘථිවියේ රත්වීම පාලනය කළ හැකි බවට ඇමරිකාවේ හාවඩ් සහ MIT විශ්වවිද්‍යාලවල පර්යේෂකයන් පිරිසක් යෝජනා කර තිබෙනවා. එසේ වුවත් මේ ක්‍රමය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩිවීම නිසා සිදුවන ගෝලීය උණුසුම පාලනයට යොදා ගත නොහැකියි. එය වෙනම අංශයක්. නමුත් මේ නිසා ඒ වෙනුවෙන් වුවත් සිදු වන ආචරණය ඵලදායකයි.

මේ දිනවල පවතින අධික රස්නයෙන් අපි හැම දෙනාම එකසේ පීඩා විඳින බව මෙය කියවන ඔබටත් අප සැමටත් නොරහසක්. බොහෝ ප්‍රදේශවල පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 25-30ත් අතර වුවත්, ශරීරයට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 33-40 දක්වා ඉහළ අගයක තිබෙනවා. අනුරාධපුරය වැනි ප්‍රදේශයක මේ අගය සෙල්සියස් අංශක 40ක් දක්වා ගොස් ඇත්තේ රට මැදට වන්නට ඇති වියළි කාලගුණයත් සමඟ.

ඒ මදිවට රෑට රෑට විදුලියත් විසන්ධි කරන විට වායු සමන යන්ත්‍ර නොමැති අයට විදුලි පංකාවක්වත් ක්‍රියාත්මක කරගෙන දාහය නිවාගන්නට බැරි වන විට දන්නා සහ නොදන්නා අයගේ කර මතින් ඒ නොසතුට පිටාර ගලනවා. බොහෝ දෙනා මේ රස්නය වනාන්තර විනාශය, නගර කොන්ක්‍රීට්කරණය වැනි ලංකාවේ වට ප්‍රමාණයේ වපසරියට පමණක් ලඝු කර විවිධාකාර අර්ථකථන දුන්නත් සැබැවින්ම මෙය ලෝකයටම පොදු වූ ප්‍රශ්නයක් බව විවෘතව - පුළුල්ව විශ්ලේෂණය කිරීමේදී පෙනී යනවා. උතුරු ඇමරිකාවේ පසුගියදා ඇතිවූ වාර්තාගත හිම පතනය සහ වාර්තාගත උෂ්ණත්වය අඩු වීම, ඕස්ට්‍රේලියාවේ පසුගිය ජනවාරියේ ඇති වූ අධික උෂ්ණ තත්ත්වයන්, විනාශකාරීත්වයෙන් අංක 4, 5 තත්ත්වයේ සුලි කුණාටු, මෝසම් වැසි වාරවල, සංවහන වැසිවල ඇතිවන වෙනස්වීම් යන මේ සියල්ලම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ ජාලගත ක්‍රියාදාමයේ ඒකක අවස්ථායි.

මිනිසා සිය පරිණාමයේදී විවිධාකාර දුෂ්කර අවධි පසු කර පැමිණියත් විද්‍යාඥයන් පවසන අන්දමට මිනිසා පසුකරමින් පවතින මේ පාරිසරික ප්‍රශ්නය එනම් වනාන්තර විනාශය, ගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයේ ඉහළ යෑම, ගෝලීය උණුසුම ඉහළ යෑම, ඒ නිසාම සිදුවන සත්ත්ව වඳවී යෑම, මුහුදු මට්ටම ඉහළ යාම වැනි එකිනෙකට බැඳුණු විනාශකාරී ක්‍රියාදාමයන් මිනිසා කිසිදු අවධියක මුහුණ දුන් අභියෝග නොවන බව පසක් වී තිබේ. 18 වැනි ශතවර්ෂයේ මැද සිට කෙමෙන් ඇරඹුණු පළමු කාර්මික විප්ලවය සහ අවසානයේ ෆොසිල ඉන්ධන සොයාගැනීමත් සමඟ ඇරඹි දෙවන කාර්මික විප්ලවය සමඟ එතෙක් ලොව වායුගෝලයේ පැවති කාබන්ඩයොක්සයිඩ් මට්ටම වූ 380 ppm, (වායුගෝල කොටස් මිලියනයකට කාබන්ඩයොක්සයිඩ් කොටස් 380ක්) අද වන විට 412ක් දක්වා ඉක්මවා ගොස් ඇත. මේ වැඩිවීමත් සමගම ලෝකය නැවත ආපසු හැරවිය නොහැකි අවස්ථාවක් (Tipping Point) පසුකර ගොස් ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි.

මේ කාරණයටම එකතු වන වන විනාශය නිසා කාබන්ඩයොක්සයිඩ් පරිසරයෙන් ඉවත් කිරීමත් අඩුවෙමින් පවතිනවා. වන විනාශය සිදු වන්නේ ලංකාවේ පමණක් නොවෙයි. ලොව පුරාම සිදුවන වන විනාශය නිසා වසරකට වනාන්තර මිලියන දහඅටක් ලොවට අහිමි වන බව ගණන් බලා තිබෙනවා. මේ මිනිසා ලොවට සිදු කරන අකටයුත්තක එක දශමයක් පමණයි. මෙසේ කරුණු කාරණා සිදුවෙද්දී ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය කෙමෙන් කෙමෙන් ඉහළ යනවා. එවිට ධ්‍රැවාසන්නයේ වූ හිම තට්ටු කෙමෙන් කෙමෙන් දිය වී යනවා. දැන් දැන් ඒ හිම තට්ටු දිය වී යාමේ ශීඝ්‍රතාවත් ඉහළ ගිහින්. උත්තර ධ්‍රැවයේ හිම තට්ටු දියවීම පසුගිය වසර දහය තුළ සාමාන්‍ය සිද්ධියක් වුවත් දැන් දැන් දක්‍ෂිණ ධ්‍රැවයේද හිම තට්ටු දියවීමට පටන් ගැනීම අනතුරක පෙර නිමිත්තක් කියා පානවා. හිම තට්ටු අපට වැදගත් වන්නේ ඒවා සුදු පැහැයට ලස්සනට ඇති නිසාම පමණක් නොවෙයි. ලෝකයේ උෂ්ණත්වය යාමනය කරන්නේ මේ ධ්‍රැවීය හිම තට්ටු නිසා. ඒවා ඉර එළිය පෘථිවියට පතිත වන විට සැලකිය යුතු ප්‍රමාණයක් ආපසු හරවා යවනවා. එසේම සීත දියවැල්වල ආරම්භය සිදු වන්නේ මේ ධ්‍රැවීය හිම තට්ටු නිසා. ඒ නිසා ලෝකයේ උෂ්ණත්වය නියාමනය වගේම සුළං, කුණාටු ඇතිවීමටත් බලපානවා. මේ හිම තට්ටු අඩු වීම නිසා කෙමෙන් කෙමෙන් ලෝකය රත්වීම වැඩි වෙනවා.

 

අප දැන් සිදුකරන ආකාරයටම කාබන් විමෝචනය සිදු කළහොත් වසර 2200 වන විට ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 9කින් ඉහළ යා හැකි බව විද්‍යාඥයන් ගණන් බලා තිබෙනවා. නමුත් අප ශීඝ්‍රව කාබන් විමෝචනය අවම කර පරිසරයට සිදු කරන විනාශයන් නතර කළහොත් වැඩි වන්නේ සෙල්සියස් අංශක 1.5ක් වැනි සුළු උෂ්ණත්ව වැඩිවීමක් පමණයි. ලෝක උෂ්ණත්ව වැඩිවීම පිළිබඳ පළ කර ඇති පින්තූරය සලකා බැලුවහොත් අප දැනට සිටින තැන මේ අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් වැඩි ඈතක නොවන බව ඔබට පෙනේවි. මේ නිසා අප දැන් දැන් ක්‍රියාත්මක වී ලෝකය බේරා ගැනීමට අප දැනට කරන විනාශයන් නවත්වා එය ආපස්සට හැරවීමේ ක්‍රියාවලීන් ඇරඹිය යුතුමයි.

අප අව්වේ ඇවිදින විට කුඩයක් වැනි යමක් හෝ අවම වශයෙන් තොප්පියක්වත් දාගෙන යෑමට පුරුදු වී සිටින්නේ ඉර එළිය ඍජුවම ශරීරයට පතිත වීම වැළැක්වීමට. එය ඕනෑම කෙනකු විසින් සිදු කරන සරල සංසිද්ධියක්. මේ ක්‍රමයම ලෝකයට ආදේශ කර කුඩයකට සමාන ආචරණයක් ඇති කර පෘථිවියට පතිත වන සූර්ය කිරණ ප්‍රමාණය අඩු කළ හැකිනම්, පෘථිවියේ රත්වීම පාලනය කළ හැකි බවට ඇමරිකාවේ හාවඩ් සහ MIT විශ්වවිද්‍යාලවල පර්යේෂකයන් පිරිසක් යෝජනා කර තිබෙනවා.

 

එසේ වුවත් මේ ක්‍රමය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩිවීම නිසා සිදුවන ගෝලීය උණුසුම පාලනයට යොදා ගත නොහැකියි. එය වෙනම අංශයක්. නමුත් මේ නිසා ඒ වෙනුවෙන් වුවත් සිදු වන ආචරණය ඵලදායකයි.

ඔවුන් මේ සඳහා යෝජනා කර තිබෙන්නේ අභ්‍යවකාශයේ රඳවා ඇති සූර්ය කිරණ පරාවර්තනය සහ අපවර්තනය කළ හැකි අංශු මඟින් පෘථිවියට පතිත වන හිරු එළියෙන් යම් ප්‍රමාණයක් පරාවර්තනය හෝ අපවර්තනය කිරීමයි. මේ නිසා ඒකක කාලයකදී පොළවට ලැබෙන සූර්ය ශක්තිය අඩු කර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මෙය ස්ථිර විසඳුමක් ලෙස හෝ අදාළ පරාවර්තනය සිදු කරන අංශූන් ප්‍රමාණය වැඩි කර සම්පූර්ණයෙන්ම අහස අඳුරු කිරීමට හෝ ඔවුන් යෝජනා කරන්නේ නැහැ. අහස සම්පූර්ණයෙන්ම අඳුරු වීම නිසා ඈත වසර මිලියන ගණනකට පෙර සිදු වූ අයිස් යුගයේ මෙන් පෘථිවිය සම්පූර්ණ අඳුරකට පත් වීම මෙයින් සිදු වන්නේ නැහැ. නමුත් පෘථිවියට පතිතවන කිරණ කිසියම් ප්‍රමාණයක් අඩු කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

මෙය Solar Geoengineering නමින් හඳුන්වනවා. ඔවුන් මෙය සමාන කරන්නේ අධික රුධිර පීඩනයට භාවිතා කරන ඖෂධයක් ලෙසින්. එම ඖෂධ භාවිතා කරන්නේ අධික රුධිර පීඩනය අඩු කර පීඩනය යාමනය කිරීමට. නමුත් ඒ ඖෂධ වැඩියෙන් ගතහොත් ඊට වඩා දරුණු අනතුරක් වන්නට පුළුවන්. මේ නිසා මේ කටයුත්තද ඉතාම පරෙස්සමින් - නිසි ප්‍රමාණයට පමණක් කළ යුත්තක් වනවා.

මේ නිසා ලබාගත හැකි ප්‍රතිඵල රාශියක් වෙනවා. ලෝකයේ උෂ්ණත්වය යාමනය කිරීම නිසා පරිසර උෂ්ණත්වය අඩුවීමක් සිදු වෙනවා. මේ නිසා ජලය වාශ්පීකරණය අඩු වී ජල මූලාශ්‍ර සහිත ප්‍රදේශවල ජලය වැඩිපුර රැඳීම නිසා ජල සම්පත ආරක්‍ෂා වීම, සිසිලනයට වැයවන ශක්තිය අඩුවීම, මිනිසුන්ගේ ශරීරවලට දැනෙන පහසුව වැඩිවීම මෙන්ම සමහර ප්‍රදේශවලට පතිතවන අධික වර්ෂාපතනය අඩු කිරීම, කුණාටුවල බලය අඩු වීම නිසා සිදුවන හානිය අඩු කිරීම වැනි සුවිශේෂී ප්‍රතිඵලදායක කරුණු රාශියක් සිදු වෙනවා.

මෙය කෙසේ කරන්නේද යන්න තවමත් ඔවුන් විසින් හදාරමින් පවතිනවා. මෙය කෙසේ කළත් මේ කටයුත්ත සඵල කර ගැනීමට ලෝක නායකයන් මෙන්ම ලෝකයේ අටෝරාසියක් පරිසරවේදීන්, ක්‍රියාධරයන් වැනි අයගේ පිළිගැනීම අවශ්‍ය වෙනවා. මෙය සමහරවිට යෝජනාවක්ම පමණක් විය හැකි වන්නේ මේ සියලුම දෙනා එක මතයකට ගැනීමට ඒ තරම්ම අපහසු නිසා. මිනිසා විසින් සිදු කරනු ලබන ක්‍රියාකාරකම් නිසා ගෝලීය උණුසුම ඉහළ යන්නේ යැයි කියන මතයටත් පක්‍ෂ හා විරුද්ධ කණ්ඩායම් දෙකක් ලොව පුරා සෑදී සිටීමෙන්ම මේ කටයුත්තට කෙතරම් සහයක් ලැබේදැයි අනුමාන කරන්නට කිසිවකුට නොහැකියි.

කෙසේ නමුත් ගෝලීය උණුසුම පාලනයට ලෝකයට කුඩ ඔසවා පමණක් සිසිලනය කිරීමට නොහැකියි. අනිවාර්යයෙන්ම අප දැනට ලෝකයට එකතු කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය හැකි තරම් අඩු කිරීම සිදු කළ යුතුමයි. මෙසේ අප විනාශකාරී මාවතක ගියහොත්, අනිවාර්යයෙන්ම මේ රටත්, සමකය අවට අන් රටවලුත් සහරා කාන්තාරය මෙන් වෙනවා නොඅනුමානයි. අප අව්වේ සිටින අවස්ථාවක ගසක් යටට වී සෙවණ ලබා ගත්තත් නැවත ගසක් සිටුවන්නට එකතු වන්නේ හෝ අනුබල දෙන්නේ කීයෙන් කී දෙනාද?

දැන් අපට සිතන්නට කාලයයි..

ඒත් මේ වන විටත් අපි ප්‍රමාද වැඩියි....

ආචාර්ය

[පියල් ආරියනන්ද]

මාතෘකා