විශ්වයේ අප තනිවීදැයි සොයා දෙන ඩ්‍රේක් සමීකරණය (2 ෙකාටස)

 ඡායාරූපය:

විශ්වයේ අප තනිවීදැයි සොයා දෙන ඩ්‍රේක් සමීකරණය (2 ෙකාටස)

ඩ්‍රේක් සමීකරණය යනු අපි ජීවත් වෙන විශ්වයේ, අපි මේ ඉන්නා මන්දාකිණියේ (ගැලැක්සිය) හෙවත් "මිල්කිවේ" (ක්ෂීරපථය) නමින් අප හඳුන්වන සර්පිලාකාරය මන්දාකිණියේ වෙනත් ග්‍රහලෝක සමඟ "සන්නිවේදනය කළ හැකි" එහෙමත් නැත්නම් වෙනත් ග්‍රහලෝකවල ජීවය සමග "සබඳතා පවත්වා ගත හැකි" මට්ටමට දියුණු වෙච්ච ජීවය සහිත ශිෂ්ඨාචාර තියෙන ග්‍රහලෝක කීයක් තියෙනවාද යන්න අනුමාන කිරීම සඳහා සකස් කරපු සමීකරණයක්. ඒ ග්‍රහලෝකවල තිබෙන ශිෂ්ටාචාර මේ පෘථිවියේ ඉන්න අපි එක්කම සබඳතා තියාගන්න එකට විතරක් නෙමෙයි මේක සීමා වෙන්නෙ. ඔවුනොවුන් අතරෙ වුණත් සබඳතා තියාගන්නවා වෙන්න පුළුවන්. වෙනත් ග්‍රහලොවක සිටින ජීවීන් සමග සන්නිවේදනය කිරීම තමයි මෙතනදි අදාළ වෙන්නේ. 2019.03.21 වැනි බ්‍රහස්පතින්දා මෙම විශේෂාංගයේ පළමු කොටස පළවිය.

සමීකරණ

ගණිතය භාෂාවක් නම්, ඒ අපූරු භාෂාවේ ව්‍යාකරණ රීති තමයි "සමීකරණ" කියන්නෙ.....යම් කිසි තත්වයක් නිර්මාණය කරන්න බලපාන සියලු විචල්‍ය සාධක ( Variables), නියතයන් ( Constants ) ඒ තත්වයට / අගයට / පරිචයට එන්නෙ, මේ සාධක අතර මොන මොන ආකාරයේ සම්බන්ධතා නිසාද කියන එක සළකලා, ඒ සම්බන්ධතා ගැන ප්‍රකාශයක්, වගන්තියක් ගොඩ නගන එක තමයි, අපි සමීකරණ වලින් කරන්නෙ.....එතකොට ඔය කියපු සාධක එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම, ඒවා අතර සබඳතා, වෙනත් සබඳතා සමග වැඩිකිරීම, අඩු කිරීම, එකතු කිරීම, බෙදීම, ප්‍රතිශතයක් ලෙස ඉදිරිපත් කිරීම වගේ දේවල් තමයි අපි සමීකරණ වල පේළි අතරින් බලාපොරොත්තු වෙන්නේ....

මේ ඩ්‍රේක් සමීකරණය කියන්නෙත් ඒ වගේ දෙයක්.... නමුත් අපිට සැක හැර කියන්න පුලුවන්, මේ සමීකරණය, මේ ලෝකයේ මිනිසාගේ දැනුම විසින් හඳුනා ගන්නා ලද විශාලම සාධක තුලනය කිරීමක් කියන එක.... ඒ වගෙම මෙමඟින් හඳුනා ගන්නට උත්සාහ කරන්නේ, අපි අපේ දැනුමෙන් සොයා යන පුළුල්ම විෂය හෙවත් අපගේ ජෛවගෝලයට පරිබාහිරව ඇති සත්ව විෂය හඳුනා ගැනීම.....

ආචාර්ය ෆ්‍රෑන්ක් ඩ්‍රේක්

මේ තමයි අපේ කථානායකයා..... මෙතුමා ඇමරිකානු ජාතිකයෙක්.... ඉලිනොයිස් ප්‍රාන්තයේ චිකාගෝ හි උපත ලද එතුමා, මේ වනවිට 88 හැවිරිදිව, ඉතාම නිරෝගීව ජීවත් වෙනවා.....

මෙතුමා "පාරභෞම ජීවය" ( එක්ස්ට්‍රාටෙරස්ට්‍රියල් ලයිෆ් ) හෙවත් පිටසක්වළ ජීවය පවතීද යන කරුණ පිළිබඳව ගවේෂණය කරන ප්‍රකටම ආයතනය වන "සේටි" ( SETI - Search for Extraterrestrial Intelligence) නම් ආයතනයේ නිර්මාතෘවරුන්ගෙන් කෙනෙක්..... මේ ආයතනය කරන බොහෝ ගවේෂණ අතර, සන්නිවේදන තාක්ෂණික ක්ෂේත්‍රයේ නියුතු අයට වැදගත්ම ගවේෂණය තමයි, වෙනත් ග්‍රහ තාරක මණ්ඩල වල සිට තරංග ජාල ඔස්සේ පණිවිඩ සම්ප්‍රේෂණය කරන්න තරම් දියුණු ශිෂ්ඨාචාර වලින්, එහෙම සම්ප්‍රේෂණය කළ පණිවිඩ ග්‍රහණය කරගන්නට උත්සාහ කිරීම.....

මේක කියවන කෙනෙක් දැන් මගෙන් අහයි, ගුවන් විදුලි තරංග, විද්‍යුත් තරංග භාවිතා කරමින් පණිවිඩ සම්ප්‍රේෂණය කිරීම වෙනත් ග්‍රහලෝකවල, තාරක මණ්ඩල වල සිටින ජීවිනුත් කරනවා කියලා හිතාගෙන, ඒවා ග්‍රහණය කරගන්න බලා සිටීම මොන තරම් පටු චින්තනයක්ද කියලා....

සේටි ආයතනය තමන්ගේ ගවේෂණ සියල්ලටම පදනම කරගත්තු එක තර්කයක් තිබෙනවා....... ඒ තර්කය තමයි, මේ විශ්වයේ තිබෙන ඕනම විෂය වස්තුවකින් ( විශ්වයට විෂය වෙච්ච ) විවිධ ශක්තීන් තරංගාකාර සම්ප්‍රේෂණයන් සිදුවන බව.... ඒක මුළු විශ්වයටම පොදුවේ නිරීක්ෂණය කරන්න පුලුවන් දෙයක් බවත්, විවිධ තත්වයන් මත ඒ තරංග සහ ඒවායේ සම්ප්‍රේෂණ ශක්තීන් සහ සංඛ්‍යාත වෙනස් උනත්, සිද්ධාන්තයක් ලෙස එසේ තරංග විප්‍රේෂණය වීම සිදුවන බවත් ඔවුන් විග්‍රහ කරනවා .....තරංග වල ස්වභාවය සහ ස්වරූපය පමණක් සිද්ධියෙන් සිද්ධියට, තත්වයෙන් තත්වයට වෙනස් වෙනවා උනත්, තරංග විමෝචනය සහ එසේ විමෝචනය කිරීමට උත්තේජනයන් සමත් වීම, යන දෙක විශ්ව සාධාරණ ක්‍රියාදාමයන් බව නිසා, තරංග යොදාගෙන සන්නිවේදනය කීරීම කියන න්‍යාය විශ්වයේ ඕනෑම සංකීර්ණ ජීවී ශිෂ්ඨාචාරයක් විසින් සකස් කරගනු ඇති තාක්ෂණයක් බව ඔවුන් අනුමාන කරනවා.....

ෆ්‍රෑන්ක් ඩ්‍රේක් කියන්නෙ උඝ්‍ර ක්‍රිස්තියානි දෙමව්පියන්ගෙ දරුවෙක්.... ඒ දෙමාපියන් කෙතරම් අන්තවාදීද කිව්වොත්, දරුවන් සහ දෙමාපියන් අතර පවත්ව ගත්තේ මධ්‍යකාළීන යුරෝපයේ දෙමාපිය - දාරක සබඳතාවල තියෙන පරතරයට කිට්ටු පරතරයක්..... ඩ්‍රේක්ට නව යොවුන් විය වෙනකොට ක්‍රිස්තියානිය හිසරදයක් වෙලා තිබුනෙ......ඒ වෙනකොටත් මිනිසා විසින් සොයාගෙන තිබුණු දැනුම අනුව, විශ්වය ගැන හිතනකොට, ක්‍රිස්තියානියෙන් බළහත්කාරයෙන් ඔලුවට ඔබන චින්තනය මොන තරම් පටුද කියලා ඩ්‍රේක්ට කල්පනා උනා..... එයා විවෘත මනසක් ඇති කරගන්න උත්සාහ කළා......මහ පොළවේ ජීවය අන්තිම අහම්බයක් බව පුංචි කාළයේ සිටම විශ්වාස කළ ඩ්‍රේක්, ඒ අහම්බය නිසාම, විශ්වයේ අනෙක් තාරකා වටේත් පෘතුවියට සමීප තත්වයන් තිබෙන ග්‍රහලෝක තිබිය හැකි නිසා, ඒ ග්‍රහලෝකවලත් අපට සාපේක්ෂව දියුණු හෝ නොදියුණු බුද්ධි ජීවීන් සිටින ශිෂ්ඨාචාර පැවතිය හැකි බවත්, තරයේ විශ්වාස කරා..... ඒ අනුව අපි විශ්වයේ හුදෙකළා වී නැති බව තමයි ඔහු හැම වෙලාවෙම තමන් ආශ්‍රය කළ අයට කිව්වෙ......

මේ චින්තනයේ සහ ආගමික චින්තනයේ තියෙන ප්‍රබලම ගැටීම තමයි, ආගමික චින්තනය මගින් පෘතුවියේ මිනිස් වර්ගයාගේ පැවැත්ම සහ ආධිපත්‍යය "සුවිශේෂී" දෙයක් කරන්න උත්සාහ දැරීම.... ඒක දෙවියෙක්ගෙන් ලද උතුම් ත්‍යාගයක්, දානයක් ලෙස හෝ, අදේවවාදික ආගමික විශ්වාස අනුව "පෙර ජීවිත වලදී කරන ලද යහපත් ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස ලැබුණු දෙයක් වශයෙන් උත්කර්ෂයට නංවන්න ආගමික චින්තනය පෙළඹෙද්දි, විද්‍යාව කිව්වෙ ඊට හාත් පසින්ම වෙනස් දෙයක්.......

ඩ්‍රේක් තාරකා විද්‍යා ක්ෂේත්‍රයට එන්නෙ, හාවඩ් විශ්ව විද්‍යාලයේ "රේඩියෝ ඇස්ට්‍රොනොමි" හෙවත් "ගුවන් විදුලි තරංග තාරකා විද්‍යාව පිළිබඳව හැදෑරීමෙන් පසුව.....ඔහුට 1958 වසරෙදි වෙස්ට් වර්ජිනියා ප්‍රාන්තයේ ග්‍රීන් බෑන්ක් හි පිහිටි "ජාතික ගුවන් විදුලි තරංග තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය" ( National Radio Astronomy Observatory)නම් මධ්‍යස්ථානයේ ....ඔහුව බඳව ගන්නේ රේඩියෝ ඇස්ට්‍රොනොමර් කෙනෙක් හැටියට.....

"මිනිස්සු කියන්නේ අහම්බයන් රාශියක් එකිනෙකට ගැළපීමේ සංකීර්ණ අවසන් ප්‍රතිඵලයක්..... දැන් අපි එහෙම නම්, අපි වගේම තවත් අහම්බයන් රාශියක් ලස්සනට එකට ගැළපීම නිසා බිහිවෙච්ච වෙනත් සංකීර්ණ ජීවීන් අති විශාල ප්‍රමාණයක් විශ්වයේ සිටිය හැකියි....." කියන මේ සිතුවිල්ලෙන් තමයි ඩ්‍රේක් මම ඉහත කියපු ආයතනයේ රැකියාව පටන් ගැනීමෙන් පසුව කරපු පළමු ව්‍යාපෘතිය වන "ඔස්මා" ව්‍යාපෘතිය ආරම්භ කළේ ....

රේඩියෝ ටෙලෙස්කෝප්

Radio Telescope

ඔස්මා ගැන කථා කරන්න කළින් මම ඔබට ඉතාම සැකෙවින් කියල දෙන්නම් රේඩියෝ ටෙලස්කෝප් එකක් කියන්නෙ මොකක්ද, ඒක ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියන එක...

සාමාන්‍යයෙන් අපි දන්න "ආලෝක දුරේක්ෂයන්" ( අපි ගාව තියෙන කුඩා දුරේක්ෂ වල ඉඳලා, දැවැන්ත ආකාශ වස්තු නිරීක්ෂණාගාර වල තිබෙන යෝධ දුරේක්ෂ දක්වා ) හෙවත් "ඔප්ටිකල් ටෙලස්කෝප්" කරන්නේ අපි විසින් "විද්‍යුත් චුම්භක වර්ණාවලිය" ලෙස ක්ෂේත්‍ර ගත කර තිබෙන තරංග වර්ගීකරණයේ, "දෘෂ්‍ය ආලෝක පරාසයේ" තිබෙන විකිරණ නාභිගත කරගෙන, ඒවා වැඩි දුර විශ්ලේෂණය කරන්න පුලුවන් යන්ත්‍රෝපකරණ වෙතට යවන එක.....නැත්නම් අපේ ඇසට සහ මොළයට එවන එක ( කුඩාම ඔප්ටිකල් ටෙලස්කෝප් වලදි ) .....

මේ රේඩියෝ ටෙලස්කෝප් වල ක්‍රියාන්විතය ඒවයින් වෙනස් වෙන්නෙ, ඒවා කරන්නෙ අපිට දෘෂ්ඨි හෝ සංවේදක ගෝචර නොවන, ගුවන් විදුලි තරංග පරාසයේ තිබෙන, දීර්ඝ තරංග ආයාම සහිත තරංගයන් "රීසිවර්ස්", එහෙමත් නැත්නම් "ග්‍රාහකයන්" මඟින් ග්‍රහණය කරගෙන, අන්න ඒවා වැඩි දුර විශ්ලේෂණය කරන්න පුලුවන් උපකරණ කරා යවන එක......මෙහි ක්‍රියාන්විතය බොහෝ දුරට ඔබ කාගේත් නිවෙස් වල චන්ද්‍රිකා රූපවාහිනි සේවාව ලබාගන්න බිත්ති වල, වහලෙ එහෙම අටවලා තියෙන කුඩා උපකරණයට සමානයි.... ඔබ ඒක අමතන ජනප්‍රිය නම තමා "ඩිෂ් ඇන්ටෙනා" ....වෘත්තිකයන්, තාක්ෂණ ශිල්පීන්, ඉන්ජිනේරුවන් ඕක හඳුන්වන්නේ "පැරබෝලික් ඇන්ටෙනා" කියලා..... ඒකෙ කෙරෙන දේම තමයි මේ රේඩියෝ ටෙලස්කෝප් එකේ කෙරෙන්නෙ....වෙනස් වෙන්නෙ ඒවා සුසර කර තිබෙන සංඛ්‍යාත සහ ඒවායේ "බැක් එන්ඩ්" එකේ තියෙන ප්‍රෝසෙසින් ඩිවයිස් අරේ එක.....මේ දෙක ක්‍රියාන්විතය අතිනුත් සියයට සීයක් සමාන නෑ.....සිද්ධාන්ත බොහෝ දුරට සමානයි.....

ඔය ඩිෂ් වල තියෙන පරාවලයික ස්වරූපය ( පැරබෝලික් ෂේප් ) ගණිතමය ව්‍යුහයක් ලෙස සකස් කර තිබෙන්නෙ, ඒකට වැටෙන රේඩියෝ තරංග, එහෙමත් නැත්නම් ඇතැම් අවස්ථාවල පොදු විකිරණ, පරාවර්තනය කරලා, ඒ ඇන්ටෙනාවට උඩින් තියෙන උප-පරාවර්තක උපකරණයකට ( Sub - reflector ) කේන්ද්‍රගත කරන්න.....මේ උප-පරාවර්තකය කරන්නේ, එසේ කේන්ද්‍රගත වන ගුවන් තරංග ආපසු ඒවා මුලින් පරාවර්තනය වෙලා ආපු තැටිය දෙසටම පරාවර්තනය ( ප්‍රතිපරාවර්තනය ) කරලා, පහළින් තියෙන පරාවලයික තැටියේම ඇති "ෆීඩ්-හෝන්" නම් උපකරණ එකතුවට නාභිගත කරන එක......ඒ කේන්ද්‍රයේ තියෙන විශාල "ෆීඩ්-හෝන්" මඟින් අදාළ තරංග ඇන්ටෙනා කොටසේ රිසීවරය වෙත යවනවා.... එයින් පසුව බොහෝ විට බෑන්ඩ් පාස් ෆිල්ටරයක් හෝ සරල නොයිස් ෆිල්ටරයක්, ඇම්ප්ලිෆයර් එකක්, රිසීවරයක්, සංඛ්‍යාත අව පරාසයකට ගෙනෙන Down කන්වර්ටර් එකක්, සමග අවශ්‍ය කරන පණිවිඩ තරංග සමග මුහුකර එවන "වාහක තරංග" වලින් අදාළ පණිවිඩ තරංග පරාසය හෝ සුසර කරන ලද තරංග පරාසය වෙන් කරනු ලබන "ඩිමොඩියුලේටර්" එකක්, ඛේතගත කර එවන පණිවිඩ වල අන්තර්ගතය නිර්ඛේතගත කරණ ඩිකෝඩර් එකක් යනාදි වශයෙන් උපකරණ මාලාවක් හරහා මේ ගුවන් විදුලි තරංග / වෙනත් විකිරණ බොහෝ විට විද්යුත් සංඥා බවට පත්ව, ඒවා විශ්ලේෂ්ණය කරන්න පුලුවන් පරිපථ මාලාවකට පැමිණෙනවා.....

ඕක තමයි රේඩියෝ ටෙලස්කෝප් එකේ සරල සිද්ධාන්තය.....

"ඔස්මා"

මෙම ව්‍යාපෘතිය ඩ්‍රේක් ආරම්භ කලේ 1960 වර්ෂයෙදි.....ව්‍යාපෘතිය වුනේ, ග්‍රීන්බෑන්ක් හි රේඩියෝ තාරකා නිරීක්ෂණාගාරය සතු රේඩියෝ දුරේක්ෂය හර්ට්ස් 1420 ට සුසර කර, දවසකට පැය හයක් බැගින් පුරා මාස හතරක කාළයක් නිරීක්ෂණ තත්වයේ තැබීම මඟින්, අභ්‍යවකාශයේ ඇති සිසිල් හයිඩ්‍රජන් අනු වලින් විමෝචනය වන විකිරණයන්ගෙන්, එම සංඛ්‍යාතයේ ක්‍රියාත්මක වෙනත් ග්‍රහලෝකයකින් පැමිණෙන ගුවන් තරංග සම්ප්‍රේෂණයක් ග්‍රහණය කර ගැනීම.....

මේ ග්‍රීන්පාක් රේඩියෝ ටෙලස්කෝප් එකේ පරාවලයික තැටියේ විෂ්කම්භය මීටර් 85 ක් පමණ වෙනවා.... ඒක ඒ කාලේ තිබිච්ච විශාලතම රේඩියෝ ටෙලස්කෝපය.... අද නම් මීට වඩා විශාල ටෙලස්කෝප් තියෙනවා..... පුවටෝ රිකෝ කියන රටේ තියෙන "අරේසිබෝ" නම් රේඩියෝ ටෙලස්කෝප් එකට මීටර් 305 ක් පමණ විෂ්කම්භයක් සහිත අති දැවැන්ත පරාවලයික තැටියක් තිබෙනවා.....ඒක තමයි අද ලෝකයේ විශාලතම රේඩියෝ ටෙලස්කෝප් එක.....

මේ ටෙලස්කෝප් සතු යෝධ ඇන්ටෙනා පද්ධති වල මා ඉහත කියපු උපකරණ යම්කිසි සංඛ්‍යාත පරාසයකට සුසර කරලා තිබ්බාම, ඒක ඒ සක්‍රීය කාළය පුරාවටම ඒකට අභ්‍යවකාශයෙන් එන විකිරණ වලින්, අර ටියුන් කරල තියෙන සංඛ්‍යාත පරාසයේ තිබෙන විකිරණ තරංග පමණක් ග්‍රහණය කරගෙන විශ්ලේෂණය සඳහා එවන එකයි කරන්නෙ.... ඒකයි "ස්පෙසිෆික් ෆ්‍රීක්වන්සි ටියුන් අප්" කියලා ඒක හඳුන්වන්නෙ....මේ අපි කථා කරන "ඔස්මා" පරීක්ෂණයෙදි නම් හර්ට්ස් 1420 ක සංඛ්‍යාත සහිත, සෙන්ටිමීටර් 21 පමණ තරංග ආයාමය සහිත විකිරණ.....

දැන් ඔබට හිතෙනවා ඇති, මේ පරීක්ෂණය මොන තරම් පටුද කියලා.... ඔව්.....පටුයි තමා.....ඔස්මා කෙරිච්ච කාලේ මේ රේඩියෝ ටෙලස්කෝප් සමත් වුනේ එක් සංඛ්‍යාතයක් නිරීක්ෂණය කරන්න පමණයි.... නමුත් අද කාලේ තාක්ෂණය දියුණු නිසා, අද තියෙනවා "බහු සංඛ්‍යාත" එකවර නිරීක්ෂණය කරන්න පුලුවන් රේඩියෝ ටෙලස්කෝප්......නමුත් විශ්වයෙන් කොච්චර පරාසයක විකිරණ තරංග එනවද?.... මොන තරම් සංකීර්ණ ආකාශ වස්තු ප්‍රමාණයක්, ඒ වගේම වායව සංඝටක වලාවන් පරාසයක්, කොච්චර පුළුල් විකිරණ විමෝචනය කරන තැනක්ද මේ විශ්වය කියන්නෙ?......ඒක අනන්ත අප්‍රමාණ පරාසයක්.....අනෙක අපි කොහොමද දන්නේ ඔය පිට ග්‍රහලෝකවල ඉන්න ජීවීන් හරියටම මේ අපි අපේ රේඩියෝ ටෙලස්කෝප් එක ටියුන් කරලා තියාගෙන බලා ඉන්න ෆ්‍රික්වන්සි එකෙන්ම අපිට එන්න පණිවිඩයක් සම්ප්‍රේෂණය කරයිද කියලා.... එහෙම හිතලා බැලුවොත්, මේ කරල තියෙන්නෙ ඉතාම පටුම පටු සොච්චම් වැඩක්.... නෙහ්...?

නමුත් මෙහි වැදගත් කම තමයි, වෙනත් ග්‍රහලෝකවල පවතින සංකීර්ණ ජීවයක් අපිව හොයාගෙන එනකල්ම බලාගෙන ඉන්නෙ නැතුව, ඔවුන්ගෙන් අපිට එන යම් පණිවිඩයක් තියෙනවද කියල හොයන්න පෙළඹිච්ච එක..

අපි සාමාන්‍යයෙන් අවට කවුරු හරි කෙනෙක් ඉන්නවද කියලා බලන්න ඕන උනාම, එක්කො අපි සොයන පරාසය බොහොම ළඟ නම් හයියෙන් කෑ ගහලා අහනවා "මේ.....කවුරුත් ඉන්නවදෝ?" කියලා......අපිට කවුරු හරි ඉන්නවද කියන එක දැන ගන්න ඕන ඊට වඩා බෙහෙවින්ම දුරස්ථ පරාසයක නම් අපි විවෘත ගුවන් විදුලි පණිවිඩයක් සම්ප්‍රේෂණය කර, කවුරු හරි ඊට ප්‍රතිචාර දක්වන කල් ඉන්න එකනෙ කරන්නෙ.......ඇතැම් විට, ඒ අපි හොයන ග්‍රහලෝක වල ඉන්න අයත්, තමන් අවට විශ්වයේ කවුරු හරි ඉන්නවද බලන්න එහෙම පණිවිඩයක් සම්ප්‍රේෂණය කරල ඇති.......දැන් පසුගිය වසර පනහක පමණ කාළය තුල අපිත් ඔය වගේ ඒවා කරානේ......1974 වසරෙදි "අරෙසිබෝ පණිවිඩය" නමින් හැඳින්වෙන අන්තර් සෞර ග්‍රහ මණ්ඩල ගුවන් විදුලි පණිවිඩයක් "අරෙසිබෝ" රේඩියෝ ටෙලස්කෝප් එක පාවිච්චි කරලා සම්ප්‍රේෂණය කළා.....අපි ගැන තොරතුරු සහිත මතක තැටි තිබෙන " වොයේජර් 1, 2 " ආදී වශයෙන් ප්‍රෝබ්ස් අභ්‍යවකාශ ගත කර, විශ්වයේ නිමා නොවෙන ගමනක් පිටත් කළා.... ඉතින් ඒ ගොල්ලත් එහෙම කරනවද කවුද දන්නෙ?..... ඒ නිසා සුළු දෙයකින් හෝ ආරම්භ කර, ටිකෙන් ටික පුළුල් පරාසයකට ගෙනියන සෙවීමක් තමයි මිනිසා කළ යුත්තෙ....ඒ සඳහා ආරම්භයක් හැටියට ඩ්‍රේක් කරපු වැඩේ සෑහෙන වටිනවා....

මේ ඔස්මා කියන ව්‍යාපෘතියට ඒ නම තිබ්බේ, අර ෆ්‍රෑන්ක් බෝවුම් ගේ සුප්‍රකට ළමා කථාව වන "විසාර්ඩ් ඔෆ් ඔස්" කියන කථාවේ, "ඕස්" කියන රාජ්‍යයට රැජිණ වූ ඔස්මා රැජිණගේ නමින්.....

එතකොට කොහොමද මේ රේඩියෝ ඇස්ට්‍රොනොමර්ස්ලා දන්නෙ, යම් කිසි විකිරණ තරංගයක් විශ්ලේෂණය කළාම, මේක හරියටම පිටසක්වළක ඉන්න බුද්ධි ජීවි ශිෂ්ඨාචාරයකින් එවපු පණිවිඩ සම්ප්‍රේෂණයක් කියන එක.....?.......ඒක වෙන්නෙ මෙහෙමයි.....

මේ තරංග, විද්‍යුත් පරිපථ වල "දත්ත" බවට පත් කළ පසු, මේ විශේෂඥයන් ඒවායේ නිශ්චිත රටාවන් සොයාගන්න උත්සාහ කරනවා..... විශ්වය හරහා එන "අචේතනික" වස්තු වල තියෙන මූලද්‍රව්‍ය වෙනත් මූලද්‍රව්‍ය බවට පත්වෙද්දි හෝ ක්ෂය වෙලා යද්දි විමෝචනය කරන ශක්ති තරංග වල "නිශ්චිත පැටර්න් එකක්" නෑනෙ..... ඒවා අහම්බයෙන් නිර්මාණය වෙන තරංග.... උදා: ඔය අපි උඩදි කියපු හයිඩ්‍රජන් හීලියම් බවට හෝ, පහළ ශක්ති මට්ටම් වල හයිඩ්‍රජන් බවට රූපාන්තරණය වෙද්දි විමෝචනය වන ශක්තිය මගින් නිර්මාණය වන තරංග වල ස්වභාවය ( ප්‍රොපටීස් ) විශ්ලේෂණය කරන කොට ඒ ස්වභාවයේ කිසිදු "නිශ්චිත" බවක් පේන්න නෑ.... පැටර්න් එකක් පේන්න නෑ.....

නමුත් විශ්වයේ කොහේ හෝ ඉන්න යම්කිසි බුද්ධි ජීවයක් විසින්, උවමනාවෙන්ම, හිතල මතලා, යම්කිසි අදහසක්, අරමුණක් ඇතුව සම්ප්‍රේෂණය කරනු ලබන පණිවිඩ තරංග වල මොනවා හෝ පැටර්න් එකක් අපිට දකින්න පුලුවන් වෙයි.... මේ රේඩියෝ ඇස්ට්‍රොනොමර්ස්ලා කරන්නෙ, තමන්ට ලැබෙන දත්ත වල -

- නිශ්චිත කාළ අන්තර

- නිශ්චිත ස්පන්දන රටා

තිබේදැයි බලන එක.....

වැඩේ තේරුණාද? අන්න එහෙමයි වෙන්නෙ.....

ඉතිරි කොටස ලබන සතියට..

මාතෘකා