නැති දෙයක් නැති සියලු දේ සපිරි පිටකොටුවේ සවාරියක්

 ඡායාරූපය:

නැති දෙයක් නැති සියලු දේ සපිරි පිටකොටුවේ සවාරියක්

බක්මහේ ඇරඹුම අපි කාට කාටත් මතක් කර දෙන්නේ තවත් දවස් කිහිපයකින් උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්දයි. අලුත් අවුරුද්දට ඇඳුම්පැලඳුම්, බඩුමුට්ටු ගන්න, සාප්පු සවාරි යන්න අපේක්ෂාවෙන් සිටින බොහෝ දෙනකුගේ මතකයට නැඟෙන්නේ කොළඹ පිටකොටුවයි. නොනිදනා නගරයක් බඳු පිටකොටුව ලන්දේසීන් අපට ඉතිරි කර ගිය ඔවුන්ගේ අපූරු නගර නිර්මාණ සැලසුම මතක් කරමින් තවමත් විරාජමාන වන්නේ එයටම ආවේණික ගාම්භීරත්වයක්ද සමඟයි.

පිටකොටුව හෙවත් කොළඹ 11, කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි උප නගරයක් ලෙසින් සැලකෙන්නේ එම නගරය තුළ තිබෙන විශේෂත්වය නිසාමයි. ඒ අතරින් කොළඹ ලන්දේසි කෞතුකාගාරය, පිටකොටුව 4 වැනි හරස්වීදියේ පිහිටා ඇති කයිමන් දොරකඩ, පැරණිම මුස්ලිම් පල්ලිය මෙන්ම යුනෙස්කෝ ලෝක උරුමයක්ද වන පිටකොටුව දෙවන හරස් වීදියේ පිහිටි ජමි උල්-අල්ෆාර් පල්ලිය හෙවත් කවුරුත් දන්නා 'රතු පල්ලිය' සහ ඉන්දියාවේ බොම්පාහි හී ඛාන් පවුල විසින් මෙරට ඉදිකරන ලද පිටකොටුව වෙළෙඳපළ පිවිසුම ආසන්නයේ පිහිටි ඛාන් ඔරලෝසු කණුව සුවිශේෂී ස්ථාන ලෙස හැඳින්විය හැකිය.

ගුවනේ සිට බලන විට මෙම අපූර්වතම නගරය දිස්වන්නේ කුඹුරක ලියැදි ලෙසිනි. මනාව සැලසුම් කළ මෙම නගරයේ එක් එක් වීදි සහ මාවත් එක් එක් භාණ්ඩ වෙනුවෙන් වෙන්කර තිබීම මෙම නගරයේ තිබෙන තවත් සුවිශේෂී ලක්ෂණයකි. එම නිසාම ශතවර්ෂ ගණනාවක් තිස්සේ තවමත් පිටකොටුව තොග සහ වෙළෙඳාමට ප්‍රසිද්ධ එකී වෙළෙඳාමේ කේන්ද්‍රස්ථානයක් වී තිබේ. එම නිසාම වාහන ගමන්කිරීමට තබා නිදහසේ ඇවිද යෑමටවත් ඉඩක් නොමැති තරමට පිටකොටුවේ වීදි අතිශයින් ජනාකීර්ණය. මේ උත්සව කාලයේ සාප්පු සවාරි යෑමට කැමති කාටත් වැඩි රස්තියාදුවකින් තොරව පිටකොටුවෙන් ඒ හැමදෙයක්ම මිලදී ගත හැකිය. එහෙත් ඒ ඒ වීදිවල විකිණීමට තිබෙන බඩුභාණ්ඩ මොනවාදැයි දැනගෙන ගියහොත් අඩුවෙන් රස්තියාදු වී පහසුවෙන් තමන්ට අවශ්‍ය දේවල් මිලදීගත හැකිය.

එමෙන්ම මද්දහන වන තෙක් නොසිට උදේ අට නවය වන විටම සවාරිය ඇරඹීම සෞඛ්‍යයට හිතකර වන්නේ මේ දවස්වල එළියට බහින්නට බැරි තරමටම හිරුගේ රශ්මිය දැඩි නිසාය.

කෝච්චියෙන් කොළොම්පුර එන අයට පහසුවෙන් සොයාගත හැකි ආකාරයට අපි කොළඹ කොටුව දුම්රියපළ ඉදිරියෙන් තිබෙන මල්වත්ත පාරෙන්ම මේ සවාරිය අරඹමු.

පිටකොටුවේ වීදිවලට සමාන්තරව පිහිටි හරස් වීදි පෙළෙහි එක් ආරම්භයක් වන්නේ මල්වත්ත පාරය. කාලයකට පෙර පැරණි කැසට්පටවලට මල්වත්ත පාර ප්‍රකටව තිබුණත් අද මල්වත්ත පාර වැඩිපුරම ප්‍රසිද්ධ පාවහන්, බෑග්, ඔරලෝසු ආදියටයි. මල්වත්ත පාරේ එක් පසෙක දිගටම පිහිටි කුඩා සපත්තු කඩ අපට සිතාගන්නටත් බැරි තරම් විවිධාකාර විලාසිතාවල සපත්තු එකතුවකින් යුතුය. විශේෂයෙන් රුපියල් දෙදහස් පන්සියයක් පමණ වටිනා පිරිමි සපත්තු රුපියල් දාහේ, එක්දහස් පන්සීයේ සිට මිල ගණන්වලට ලබාගත හැකිවීමත් මෙම සපත්තු කඩවල තිබෙන විශේෂත්වයකි.

මල්වත්ත පාර දිගේ ඉදිරියටම ගොස් විමලධර්ම ඔරලෝසු සාප්පුව ඉදිරියෙන් දකුණට හැරී ප්‍රධාන වීදියට පිවිසෙන තැනම පිහිටි 'කන්සිස්ටරි' ගොඩනැඟිල්ලේ බිම් මහල කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩු පාරාදීසයකි. කුඩා දරුවන්ගේ කාර්, බයිසිකල් ඇතුළු ආනයනික සෙල්ලම් භාණ්ඩ සඳහා එහි පිහිටි සාප්පු ප්‍රසිද්ධය. වරාය පැත්තට ගිය විට හමුවන 'පොලැක්' වෙළෙඳසැල සහ ඒ අසල පිහිටි කුඩා කඩවල ජංගම දුරකථනවල අමතර කොටස් අඩු මිලට ලබාගත හැකිය. එමෙන්ම තරුණ තරුණියන් අතර ජනප්‍රිය මොබයිල් ෆෝන් උපාංග වන ස්පීකර, සෙල්ෆි ස්ටික්, චාජර්, බැටරි, කවර ආදිය පළමු හරස් වීදියේ මෙන්ම ප්‍රධාන වීදියේ කෙළවර තිබෙන කුඩා කඩපේළිවලින්ද අඩු මිලට මිලදී ගත හැකිය.

ජංගම දුරකථන සහ උපාංග ඕල්කට් මාවතේ මෙන්ම දුම්රියපළ ඉදිරිපිටද කඩසාප්පුවලද විකිණීමට තිබෙන නමුත් ඒවා තරමක් මිල අධිකය. නමුත් පළමු හරස් වීදියේ මැද හරියේ ඇති වෙළෙඳසල්වල ඊට වඩා අඩු මුදලට එම භාණ්ඩ ලබාගත හැකිය. එමෙන්ම සී.ඩී, ඩී.වී.ඩී, පෙන්ඩ්‍රයිව් වැනි පරිගණක භාණ්ඩ පළමු හරස් වීදියේ කෙළවර පිහිටි 'ස්පෙන්සර් ප්ලාසා' වෙතින් ලබාගත හැකිය.

බක් මාසයත් සමඟ මනාලියන්ගේ වසන්ත කාලයත් ආරම්භ වන නිසා මනාලියන් වීමට පෙරුම්පුරන යුවතියන්ට පිටකොටුවේ සවාරියක් තුළින් තමන්ගේ මංගල උත්සවය සඳහා අවශ්‍ය කළමනා රැසක්ම මිලදී ගත හැකිය. මංගල උත්සව සඳහා අවශ්‍ය වන කේක් පෙට්ටි, මංගල ඇරයුම්පත් තෝරාගැනීමට ඔබ යා යුත්තේ මැලිබන් වීදියටයි. ඊට අමතරව ලිපි ද්‍රව්‍ය තොග වශයෙන් අඩු මිලට මිලදී ගැනීමට යා යුත්තේද මැලිබන් වීදියටයි. එමෙන්ම ගෑස්පහ හන්දිය පසුකර බෝධිරාජ මාවතේ ඉදිරියට එන විට හමුවන 'පීපල්ස් පාර්ක්' ගොඩනැඟිල්ල තුළ පාසල් ලිපි ද්‍රව්‍ය, උපකරණ, පාසල් බෑග්, වතුර බෝතල්, කෑම පෙට්ටි, ජාතික කොඩි සහ ආගමික කොඩි, ප්ලාස්ටික් භාණ්ඩ, කොසු ඉදල් ඇතුළු ආම්පන්න, පොලිතින් බෑග් ආදී භාණ්ඩ රැසක් මිලදී ගත හැකිය. එමෙන්ම බැංකු කටයුතු, ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීම්, බිල්පත් ගෙවීම් ආදී කටයුතු රැසක්ද ඔබට මෙම පීපල්ස් පාර්ක් ගොඩනැඟිල්ල තුළදී ඉටුකර ගත හැකිය.

මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ගැළපෙන ප්ලාස්ටික් මල්, මල් වැල් ආදිය හිතේ හැටියට තෝරාගැනීමට නම් ඔබ බංගසාල වීදියට යා යුතුය. ප්‍රධාන වීදියේ සිට වරාය දෙසට ඇවිද යන විට එම වීදිය හමුවේ. මංගල උත්සවය සඳහා කේක් සෑදීම සඳහා අමුද්‍රව්‍ය අඩු මිලට පහසුවෙන් ලබාගැනීමට නම් පරණ මාළු කඩේ පිහිටි ස්ථානය ආසන්නයේ ගබෝස් ලේන් වෙත යා යුතුය. එහි කේක් අමුද්‍රව්‍ය සඳහාම වෙන්වූ වෙළෙඳසැල් කිහිපයක්ම තිබෙන අතර බෙහෙත් බඩු කඩවල් කිහිපයක්ද එහි වේ. උත්සව අවස්ථාවලට අවශ්‍ය වන පේපර් ප්ලේට්, සර්වියට්, කෝප්ප, පිරිසුදුකාරක, පොලිතින්, කුණු දමන ආදිය මෙන්ම විසිතුරු භාණ්ඩ සහ වීදුරු භාණ්ඩ චයිනා වීදියෙන් මිලදී ගත හැකිය.

එදා පැරණි මාළු වෙළෙඳ‍ෙල පිහිටි ස්ථානයේ දැන් පිහිටා තිබෙන ගෝල්ඩ් මාකට් එකෙන් මනාලියන්ට තම රන් අබරණ මිලදී ගැනීමටද හැකිය. මනාලියන්ගේ කණකර අබරණ සහ අරුමෝසම් ආී බඩුද මැලිබන් විදියේ කෙළවර පිටකොටුව බෝගහ පැත්තට වන්නට පිහිටි කඩවල තොග වශයෙන් අලෙවි කෙරේ. නමුත් මංගල දිනයේ රනින් සැරසෙන්නට කැමති යුවතියන් තමන්ගේ මංගල අබරණ මිලදී ගැනීමට ගෑස්පහ හන්දියට ගොස් එතැනින් හෙට්ටි වීදියට පිවිසීමෙන් නවීන විලාසිතාවල රන් අබරණ හිතේ හැටියට තෝරාගත හැකි වන්නේ ජනප්‍රිය ස්වර්ණාභරණ ආයතන රැසක්ම හෙට්ටිවීදියේ තිබෙන නිසාය.

මනාලියන් ගැන කතාකළ නිසා මංගල සාරි ගැනද කතා නොකරම බැරිය. මංගල සාරි මෙන්ම ඕනෑම අවස්ථාවකට ගැළපෙන ඕනෑම සාරියක් මිලදී ගැනීම සඳහා කේසර් විදියේ ඇතුළත පිහිටි 'අස්ලාම් මාකට්' යනු විශේෂයෙන් මනාලියන් සහ රූපලාවණ්‍ය ශිල්පීන් ශිල්පිනියන් අතර ජනප්‍රියම ස්ථානයකි. නිවසට අවශ්‍ය ඇද ඇතිරිලි, තුවා, බෙඩ්ෂීට් ආදිය දෙවැනි හරස් විදීයේ සහ ඒ යාබද වීදිවල ඇතිතරම් විකුණන්නට තිබේ. ටී ෂර්ට්, සරොම්, සාය බ්ලවුස් ආදී සියලු ඇඳුම් මෙන්ම රෙදිපිළිද දෙවැනි හරස් වීදියේදී මිලදීගත හැකිය. මෙම වීදිවල පාර දෙපස ලෑලි තට්ටු මත විවිධ මාදිලියේ කාන්තා යට ඇඳුම් ප්‍රසිද්ධියේම වෙළෙදාම් කරනුද දැකිය හැකිය. නමුත් උත්සව අවස්ථාවන්ට ගැළපෙන ඉහළ තත්ත්වයේ සාරි, සල්වාර්, කලිසම් , ටයි, කමිස, පාවහන් ආදිය මිලදී ගැනීමට අවශ්‍ය නම් ප්‍රධාන වීදිය දෙපස ඇති ප්‍රසිද්ධ වෙළෙඳසල්වලට යා යුතුය.

මෙම දෙවැනි සහ තෙවන හරස් වීදිවල බොහෝ විට ඇත්තේ තොග වශයෙන් විකුණන ඇඳුම් වෙළෙඳසල් වුවත් ව්‍යාපාරයක් වශයෙන් ඇඳුම් මැසීමේ නිරතවූවන්ට තොග වශයෙන් එම වෙළෙඳසල්වලින් අමුද්‍රව්‍ය ලබාගැනීම ලාභදායකය. ඒ අතර සිල්ලර වෙළෙඳාමේ නිරත වෙළෙඳසල්ද තිබෙන නිසා ඇඳුමක් දෙකක් මසා ගැනීමට අලංකාර රෙදි මීටර කිහිපයක් මිලදී ගැනීමට සොයන කෙනකුටද එම වෙළෙඳසැල්වලින් තම අවශ්‍යතාව සපුරා ගත හැකිය.

හැඩවැඩ ගැන උනන්දු වන යුවතියන් සහ කාන්තාවන්ට අවශ්‍ය රූපලාවණ්‍ය උපකරණ, සුවඳ විලවුන්, ෂැම්පෝ, කන්ඩිෂනර්, නිය ආලේපන ඇතුළු එකී නොකී සියලු දේ අඩු මිලට ලබාගත හැකි ස්ථානයක් ලෙස දෙවැනි හරස් වීදියේ කෙළවර පිහිටි 'අන්ඩර්ග්‍රවුන්ඩ් මාකට්' හැඳින්විය හැකිය.

නිවසට අවශ්‍ය විදුලි උපකරණ මිලදී ගැනීමට නම් යා යුත්තේ පළමු හරස් වීදියටය. කොටුව දුම්රියපොළ දෙසින් පළමු හරස් වීදියට පිවිසෙන විට මුලින්ම හමුවන්නේ විශාල ශබ්ද පරිපාලක උපකරණ සහ ඉලෙක්ට්‍රොනික් බඩු බාහිරාදිය විකුණන කඩය. ඒවායේ එක් එක් මාදිලියේ සී.එෆ්.එල් බල්බ් සහ විවිධාකාරයේ ආලෝක කොටස් මිලදී ගත හැකිය.

මේ උත්සව සමයේදී මෙන්ම දන්සැලක්, දානයක් වැනි විශාල අවස්ථාවන් සඳහා තොග වශයෙන් සිල්ලර බඩු මිලදී ගැනීමට අවශ්‍ය වූ විටක හාල්, පිටි, සීනි, පරිප්පු සහ කරවල හාල්මැස්සෝ ආදී බඩුබාහිරාදිය මිලදී ගැනීමට නම් පිටකොටුවේ 4 වැනි සහ 5 වැනි හරස් වීදිවලට යා යුතුය. ඉවුම්පිහුම් සඳහා අවශ්‍ය හට්ටි මුට්ටි, වළං, පිඟන් ආදිය බෝධිරාජ මාවතේ කෙළවර තොග වශයෙන් මිලදී ගත හැකි අතර එළවළු තොග වශයෙන් මිලදී ගැනීමට නම් මැනිං මාර්කට්ටුවට යා යුතුය. පිටකොටුව බෝගහ ආසන්නයේ කඩවල ඇපල්, දොඩම්, මිදි ආදී පලතුරු විකුණන කඩවල් රැසක් තිබුණද විවිධ මාදිලියේ විදෙස් චොකලට්, ජෙලි, රසකැවිලි, රටඉඳි, ඇපල්, දොඩම්, දෙළුම් ආදිය සහ විවිධ රසකැවිලි මිලදී ගැනීමට සුදුසු කඩ කිහිපයක්ම රතු පල්ලිය ආසන්නයේ තිබේ. රතු පල්ලිය පසුකර යන විට මැහුම් ගෙතුම්වලට අවශ්‍ය වන විවිධ නූල්, රේන්ද, ඉලාස්ටික්, හැගර් ආදී මෙකී නොකී සියලු දෑ මිලදීගත හැකි කඩ පෙළක්ම හමුවේ.

ගිනි මද්දහනේ සාප්පු සවාරියේ ගොස් වෙහෙස වූ ඔබට ප්‍රධාන වීදියේ පිහිටි බොම්බෙ ස්වීට් හලකින් රසවත් ෆලූඩා වීදුරුවක හෝ පලතුරු යුෂ වීදුරුවක රස බලා ගිම් නිවාගත හැකිය. එමෙන්ම පිටකොටුවේ වීදි කිහිපයකම දැකිය හැකි රසවත් අච්චාරු අලෙවි කරන 'නියාස් ෆැමිලි' අච්චාරු කරත්තද නිතර දෙවේලේ පිටකොටුවේ සාප්පු සවාරියේ යන අයට නම් ආගන්තුක නැත.

[සුරේඛා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා