ඉර හැංගී අඳුරේ ඉන්න මන්දාරම් නුවර

 ඡායාරූපය:

ඉර හැංගී අඳුරේ ඉන්න මන්දාරම් නුවර

නුවරයි මන්දාරමයි වෙන් කරන්න බැහැ. ඒ වගේම තමයි නුවරට ආදරේ කාටත් හැමතිස්සෙම මන්දාරම් සළුපිළි පොරවාගත් සීතලම සීතල මන්දාරම් නුවර ගැන මතකයත් අමතක කරන්න බැහැ. එපමණටම සුන්දර මන්දාරම් නුවර ගැනයි අද 'පිනි' පත්ඉරුව මත දිගහැරෙන්නේ.

මහනුවර සිට හඟුරන්කෙතට ගොස් කිලෝමීටර 140ක පමණ දුරක් ගෙවාගෙන මන්දාරම් නුවරට යෑම පහසු වුණත් නුවරඑළිය, කඳපොළ හරහා මන්දාරම් නුවරට යන මාර්ගය තමයි සොඳුරු දසුන් රැසක් දකින්න ඇස්වලට ඉඩදිය හැකි හොඳම මාර්ගය වෙන්නේ. නුවරඑළියේ සිට යන කෙනකුට නම් මන්දාරම් නුවරට යෑමට තිබෙන්නේ කිලෝමීටර 40ක පමණ දුරක්.

මන්දාරම් නුවරට පා තබන කාගේ සිතටත් නැඟෙන එකම පැනය ඒ ඉසව්වේ ඉර සැංඟී ඇත්තේ කොහේද යන්නයි. ඉර එළිය නෙත නොගැටෙන නමුදු මීදුම වසාගත් කඳු වළල්ල සමඟ ගතට දැනෙන සිසිලස සහ සුන්දරත්වය සොඳුරු කවි හැඟුම් දහසක් මවන්නට තරම් චමත්කාරජනක බව නම් නොකියාම බැහැ.

තිස්සේම මීදුමෙන් වැසීගත් මන්දාරම් නුවර ගැන දන්න අයට වඩා නොදන්නා අය වැඩියි කියලත් අපි දන්නවා. එහෙම කෙනකුට මන්දාරම් නුවර චන්දානන්ද හිමි විසින් සංස්කරණය කරන ලද 'මන්දාරම්පුර පුවත' පද්‍ය කාව්‍යය කියවන්න පුළුවන් නම් එයින් මන්දාරම් නුවර ඉතිහාසය ගැන අපූරු තොරතුරු ටිකක් දැනගත හැකියි.

එහි යන ගමන් මාර්ගය කෙටියෙන් පැහැදිලිව කියනවා නම් මහනුවර සිට හඟුරන්කෙත හරහා නුවරඑළිය දක්වා දිවෙන මාර්ගයේ පදියපැලැල්ලෙන් හැරී මන්දාරම් නුවර මාර්ගයේ ගමන් ගන්නා විට ඓතිහාසික අගයෙන් යුතු මන්දාරම් පුරවරයට පිවිසිය හැකියි.

අතීතයේදී මෙම ප්‍රදේශය හඳුන්වා ඇත්තේ මන්දාරම්පුර ලෙස වන අතර අද එය කාටත් හුරුපුරුදු මන්දාරම් නුවර බවට පත්ව තිබෙනවා. පිදුරුතලාගල කඳුවැටිය, ගෝණපිටිය කඳුවැටිය, කබරගල කඳුවැටිය, උඩගබ්බල ආදී කඳු වළල්ලකින්ම මේ රමණීය බිම් පෙදෙස වටවී තිබෙනවා. ඈතින් දිස්වන රන්කොතනගල කන්ද හරහා කොළපතන ඇල්ලෙහි සිසිල විඳීමට නම් තවත් කිලෝමීටර දෙකකට ආසන්න දුරක කන්දක් නැඟිය යුතුමයි.

හිටිහැටියේ කඩින් කඩ වහින පොද වැස්ස නුවරට වගේම මන්දාරම් නුවරටත් අරුමයක් නම් නෙවෙයි. නමුත් ඒ පොද වැස්ස කාටවත් පීඩාවක් වෙන තරමට මහ වැස්සක් වෙන්නේ කලාතුරකින්. කඳු පාමුල එළවළු ගොවිතැන් කරන ගම්වාසීන් තමන්ගේ ජීවනෝපාය රැකගන්නේ එයින් ලබන ආදායමින්. මන්දාරම් පුරයට ඒ නම ලැබී ඇත්තේ මෙම ප්‍රදේශයේ පරිසරය නිතරම මන්දාරම් අඳුරින් යුක්ත නිසායැයි විශ්වාස කළ හැකියි. 'මන්දාරම් පුර පුවත' පද්‍ය ග්‍රන්ථය සංස්කරණය කළ ලබුගම ලංකානන්ද හිමියන්ගේ අදහස එය වූ බව එම කෘතියේ නව සංස්කාරක චන්දානන්ද හිමියන්ද පවසා තිබෙනවා.

එම කෘතියට අනුව ක්‍රි.ව. 1604 -1627 වර්ෂයෙහි බලයට පත්වූ සෙනරත් රජු කුන්ස්තන්තීනු සෙනෙවියා ප්‍රමුඛ පෘතුගීසීන් පරාජය කොට රටෙහි සංචාරය කරන අවස්ථාවක මන්දාරම් පුරයෙහි වූ මාලිගාවට සැපත්ව දින හයක් පමණ එහි නිදහස් සුවයෙන් ගත කළ බව සඳහන් වනවා.

එසේ නිදහස් සුව විඳීමට කැමති ඕනෑම අයකුට මන්දාරම් නුවර යනු ඊට සුදුසුම පෙදෙසක් බව එහි යන කාට වුවත් හැඟෙනවා නිසැකයි. විමලධර්මසූරිය රජු රටතොට සිරි නැරඹීම සඳහා මන්දාරම් පුරයට පැමිණි අවස්ථාවක දක්ෂයන්ට නොයෙක් ගරු සත්කාර ලැබීමට සැලැස්වූ අතර අමාත්‍යවරයකුට කෙසෙල් ඇවරි තිස් දෙකක් දී සතුට ප්‍රකාශ කළ බවද ජනප්‍රවාදයේ සඳහන් වනවා.

මන්දාරම් නුවර සොඳුරු පෙදෙසට යන ඔබට පිදුරුතලාගල කඳු මුදුන නැරඹීමටද අවස්ථාව සලසා ගත හැකියි. ඊට හේතුව මේ සුන්දර ගම්මානය පිහිටා තිබෙන්නේ මුළුමනින්ම පිදුරුතලාගල කඳු පන්තියෙන් වටවී නිසයි.

නාගරීකරණයෙන් හෙම්බත්වූ බොහෝ කුඩා දූ පුතුන්ට පොත්පත්වලින් විතරක් කියවන්න දැකබලා ගන්න සිදුවී තිබෙන හෙල්මළු වෙල් යායවලින්, කොරටුවලින්, තේ වතුවලින් වගේම ඊට එපිට ඝන කැලෑවෙනුත් වැසී තිබෙන මන්දාරම් නුවර පුරාවටම තිබෙන්නේ අපූර්වතම චමත්කාරයක්.

මන්දාරම් නුවර පෝෂණය වන්නේ හැම තිස්සේම සුදෝසුදු වේලයකින් සැරසිලා කෝල සිනා පාන මනාලියක් වගේ සුන්දරත්වයෙන් යුතු 'කොළපතන' ඇල්ලෙන් ගලාගෙන එන දිය පාරෙන්. ඒ ඇල්ලට ඒ නම වැටුණ හැටි නිශ්චිතව කියන්න ගමේ අයත් නොදන්න හැඩයි.

ගම්වැසියන් බොහෝ දෙනෙක් පවසන්නේ තමන් දන්නා කියන කාලයේ සිට භාවිත කළේ ඒ නම බවයි. ඊට අමතරව කොළපතන ඇල්ල ගැන අපට සොයගත හැකි වූ එකම ජනප්‍රවාදයට අනුව දැනගැනීමට ලැබුණේ රජ කාලයේදී මල්සරා නමින් දේවියක් මේ ඇල්ල නැරඹීමට කොළපතකට බත් ඔතාගෙන ඇවිත් කොළපත එතැනම දමාගොස් තිබූ නිසා එදා සිට ඒ ඇල්ලට කොළපතන ඇල්ල යනුවෙන් නම වැටුණු බවයි.

ඒ කෙසේ වෙතත් කොළපතන ඇල්ල වගේම කොඩ්ඩිආර් ගල, හොල්ලන් ගල ආදී දිය ඇළි කොමළියන්ගෙන්ද මන්දාරම් නුවර තවත් සුන්දර වී තිබෙනවා. එකී නොකී සුන්දර දසුන් රාශියකින්ම යුතු නිසා මන්දාරම් නුවර අසිරිය හිතේ හැටියට විඳින්න කැමති කෙනකුට නම් ඒ සඳහා එක දවසක් ප්‍රමාණවත් නොවිය හැකියි.

එළැඹෙන පාසල් සහ අලුත් අවුරුදු නිවාඩුවේ සොඳුරු පාරාදීසයක අලුත් අත්දැකීමක් විඳගන්න කැමති නම් ඔබත් පවුලේ අය සමඟ සීතල මන්දාරම් නුවරට චාරිකාවක් යන්න අමතක කරන්න එපා.

[තුෂාරා සන්දනායක]

මාතෘකා