කිලිපොලා යන දඬුවම් දෙමින් උඩරට නඩු අහපු හැටි

 ඡායාරූපය:

කිලිපොලා යන දඬුවම් දෙමින් උඩරට නඩු අහපු හැටි

රාජාණ්ඩු, ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී යන සෑම පාලන ක්‍රමයක් තුළම ඇති පොදු ලක්ෂණයක් නම් අධිකරණය හා දණ්ඩ නීතියයි. මිනිස් අයිතීන් සුරක්ෂිත කිරීම උදෙසාත් සමාජීය ආරක්ෂාව උදෙසාත් රටක අධිකරණය හා දණ්ඩ නීතිය විවිධාකාරයෙන් යොදා ගනියි.

අප මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට යන්නේ උඩරට රාජධානිය තුළ තිබූ අධිකරණය හා දණ්ඩ නීතිය පිළිබඳවයි. උඩරට රාජධානියේ ක්‍රමානුකූල අධිකරණ සම්ප්‍රදායක් පැවතියා යන්නට ඇති තරම් සාධක අපට ඉතිහාසයෙන් හමුවේ. රජුගේ මූලිකත්වයෙන් හා අදිකාරම්වරුන්ගේ සහය ඇතිව පැවැත්වූ අධිකරණය ‘මහ නඩුව’ ලෙස හැඳින්වුණි. මෙහි පරම මහෝත්තම බලය පැවරී තිබුණේ රජු වෙතයි.

දිසා, කෝරළ, ගම් තුළ නඩු විසදීමේ බලය පැවරී තිබුණේ ඒ ඒ ප්‍රදේශවල ප්‍රධානීන් වෙතයි. එම ප්‍රදේශෙවල බරපතල නඩු විසඳන ලද්දේ රජු විසිනි. මහ නඩුව රජ මාලිගයේදී හෝ ඒ අවටම වූ ගොඩනැගිල්ලකදී කෙරිණි. දිසාවක නම් නඩු දිසාවගේ වලව්වෙදී, කෝරළයක නම් කෝරළගේ නිවසේදී විසඳන ලදී. මීට අමතරව සුළු නඩු විසඳීම සදහා ගම්සභා ක්‍රමයක්ද දක්නට ලැබේ.

මෙම කාලයේදී අපරාද ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කරනු ලැබුණි. ඒ රාජාපරාද හා සාමාන්‍ය අපරාද ලෙසයි. මෙම අපරාද විසඳනු ලැබූ අධිකරණය එකිනෙක වෙනස් වූ අතර නඩු විභාග කරනු ලබන පුද්ගලයා අනුවද එය වෙනස් විය. රාජ්‍යයේ ආරක්ෂාව හා රාජ්‍යත්වයට තර්ජනයක් වූ අපරාද විසඳන ලද්දේ රජු විසිනි.

ජෝන් ඩොයිලිගේ වාර්තා අනුව රාජ්‍ය අපරාධ ලෙස දැක්වෙන්නේ; හැම වර්ගයකටම අයත් මිනීමැරුම්, අංග විකෘතිය හෝ ඡේදනය, රජුගේ ධනය හෝ දේපළ සොරකම් කිරීම, හොර කාසි අච්චු ගැසීම, පිළිම හා බෝගස් විනාශ කිරීම හා භික්ෂුවකට පහර දීම වැනි ආගම් විරෝධී ක්‍රියා හා උඩරට හා මහනුවරට යාබද පෙදෙස්වල ඇතුන් මැරීමය.

මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද පවසන අන්දමට එකල රාජ්‍ය අපරාධ වී ඇත්තේ; රජු, බිසව හෝ කුමාරවරු මැරීමට කුමන්ත්‍රණ කිරීම, බිසව දූෂණය කිරීම, රජුගේ යකඩ දෝලිය නොහොත් අප්‍රධාන බිසවුන් දූෂණය කිරීම, රාජ අපරාධ කිරීමට කුමන්ත්‍රණය හා රජුට හූනියම් කිරීමය. මෙම දෙදෙනාගේම කරුණු සන්සන්දනයෙන් එකල රාජ අපරාධ යන්නෙන් සැලකුවේ මොනවාද යන්න වටහාගත හැකියි.

රජුට පමණක් දෙවෙනි වූ අධිකරණමය බලතල හිමිවූයේ අදිකාරම්වරුන් හටයි. තමන් වෙත පැවරී තිබෙන ප්‍රදේශයේ සිවිල් හා අපරාධ නඩු සම්බන්ධව කටයුතු කිරීමට අදිකාරම්වරුන්ට බලතල හිමි වී තිබුණි. උඩරට නඩුවලින් ඉඩම් පිළිබඳ ලිඛිත නියෝග, දිවුරීම් පිළිබඳ ලියූ ලිඛිත ප්‍රකාශ දීමේ බලය හිමිවූයේ අදිකාරම් හටයි.

අදිකාරම්වරයාගේ මැදිහත් වීමෙන් විසඳිය හැකි වූයේ ගෙවල් බිඳීම, කොල්ලකෑම, සොරකම, පහරදීම හා අනෙක් සුළු වැරදි පමණි. ප්‍රමාණය පිළිබඳ සීමාවක් නොමැතිව ශාරීරික දඬුවම් දීම, සිරගත කිරීම හා දඩගැසීම සම්බන්ධව ඔවුන්ට බලතල හිමි විය. රාජ්‍ය සේවයේ නියැලෙන්නන් හට දඩුවම් දිය හැකි වුයේ රජුට පමණි.

නඩුවක් සම්බන්ධයෙන් විත්තිකරුවාට අසාධාරණ තීන්දුවක් ලැබුවේ යැයි හැඟේ නම් වර්තමානයේ එයට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කළ හැකියි. අතීතයේද එවැනි ක්‍රමයක් පැවතුණි. අදිකාරම්වරයා විසින් දෙනු ලැබූ නඩු තීන්දුව අසාධාරණයි යැයි හැඟුණු විට රජුට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි විය. මෙය ‘කන්නලව් කිරීම’ ලෙස එකල හැඳින්වුණි. වර්තමානයේ දිසා අධිකරණයක් තුළ දිසාපතිවරයා එහි නඩු විනිශ්චය කරනවා ලෙසම එකල දිසාවේවරුන් කටයුතු කර තිබේ.

පහත් පෙළ කෝරාළවරු, ආරච්චිලා, විදානේවරු හා සාමාන්‍ය ගොවි වංශය දිසාවේගේ අධිකරණ බලයට යටත් වූවෝ වෙති. වර්තමානයේ මෙන් රක්ෂිත බන්ධනාගාර ක්‍රමයක්ද එකල තිබුණි. අතීතයේදී එම වැඩකටයුත්ත පැවරී තිබුණේ ‘කටුබුල්ලේ’ නමින් හැඳින්වුණු ආරක්ෂක අංශය වෙතයි. දිසාවේ විසින් නඩු ඇසීමේදී ඔහුට කෝරාළවරු හා මොහොට්ටාලවරු සහය විය.

කාර්යංශ තුළ හෝ තමන්ට අයත් ප්‍රදේශ තුළ සීමිත ලෙස අධිකරණ බලතල හිමි වූ නිලධාරීන් ලෙස ලේකම්වරු, රටේ මහත්වරු, මොහොට්ටාලවරු, කෝරාළවරු, වන්නියා, ආරච්චිල සහ විදානේ යන අය දැක්විය හැකියි. පුද්ගල ආරවුල්, සොරකම් කිරීම් සහ මායිම් ප්‍රශ්න වැනි සිවිල් නඩු මොවුන් විසින් විසදීමට අවසර ලබාදී තිබුණි.

මෙකල සමාජයේ යමෙකු කළ වැරැද්දකට දඬුවම් දීම මහජනයා ඉදිරියේදී සිදු කළේය. එමගින් යමෙක් කළ අපරාදවලට රජය විසින් දෙන දඬුවම් මොනවාදැයි දැනුවත් කිරීමක් බලාපොරොත්තු විය. එකල දණ්ඩ නීති සංග්‍රහය ලිඛිතව මහජනතාව අතර දැකගැනීමට නොතිබූ නිසා ඔවුන්ට ඒ ඒ අපරාදවලට අදාළ දඬුවම් දැන ගත හැකි වූයේ මෙම මහජන ප්‍රදර්ශනයේ දඬුවම් පැමිණවීමෙන්ය.

උඩරට දණ්ඩ නීති අනුව දෙනු ලැබූ දඬුවම් අතර මරණ දණ්ඩනය හා අංග විකෘති කිරීම වැනි දැඩි දඬුවම්ද, තනතුරින් පහ කිරීම, අපකීර්තියට පත් කිරීම, කසපහර දීම, සිරගත කිරීම, අතුල් පහර දීම, ඉපල් පහර දීම, දඬු කඳේ ගැසීම, රොඩී රැහැට දැමීම සහ වේවැලෙන් තැලීම වැනි දඬුවම්ද විය.

එකල මරණීය දණ්ඩනයට නොදෙවෙනි දඬුවමක් ලෙස දේශයෙන් පිටුවහල් කිරීම හැඳින්වීමට පුළුවන. උදාහරණයක් ලෙස දෙවන රාජසිංහ රජුගේ කාලයේදී සිදුවූ අඹන්වෙලරාළගේ කැරැල්ල නිසා එයට සහභාගි වූ අයට මරණ දණ්ඩනයත් අඹන්වෙලරාළව රටින් පිටුවහල් කිරීමත් දැක්විය හැකියි.

මරණීය දණ්ඩනය වුවද ක්‍රම කිහිපයකට එකල සිදු විය. මරණ දණ්ඩනය ලැබූවන්ගේ හිසට රතුමල් වඩමක් දමා සිරුර සුදු හුණුවලින් නාවා මහනුවර වීදි දිගේ කසපහරදී වදකස්ථානයට ගොස් මරණ දඬුවම ලබා දේ. උසස් පවුල්වල අයට මරණ දණ්ඩනය දෙනු ලැබුවේ කඩුවෙන් හිස ගසා දැමීමෙනි. මධ්‍යම පාන්තිකයන්ට මරණ දඬුවම දෙනු ලැබුවේ හෙල්ලයකින් ඇණීමෙනි. මෙහිදී මෘත ශරීරය සියලුම දෙනාට පෙනෙන සේ තබයි. එසේ තබන්නේ එම අපරාද කිරීමට මිනිසුන් තුළ බියක් ඇති කිරීමටය. මෙකල මරණ දඬුවම් ක්‍රම අතර ජනශ්‍රැතියේ දැක්වෙන තවත් ක්‍රමයක් තිබේ.

එනම් මරණ දඬුවම ලැබූ පුද්ගලයාව බහිරවකන්දට ගෙන ගොස් ඇතුළත උල් ඇති ලීවලින් සාදා තිබූ බෙරයක් තුළට අදාල පුද්ගලයාව ඇතුළු කර කන්දෙන් පහලට තල්ලු කිරීමයි. මෙහිදී එම උල් මගින් අදාල පුද්ගලයාට දරුණු තුවාල ගෙනදී මරණය අත්කර දෙයි. රොබට් නොක්ස් විසින් එදා හෙළදිව කෘතියේ මෙසේ සදහන් කරයි; “වදකස්ථානයේ දී ඇතැම්හු දිවස් හුල හිඳුවති. ඇතැමෙකුගේ අත් පා ගස්හි බැඳ කපා හරිති. ඇතැමෙකු අලින් ලවා පාගවති. වරදකරුවන් හට දඬුවම් පමුණුවන මෙම වදක ස්ථානය නගරයේ ඉතා උස් අවකාශ ස්ථානයක පිහිටවා ඇත්තේ ය.”

දරුණු අපරාදකරුවන්ව තරමක් මිනිස් ගැවසීමකින් තොර ප්‍රදේශවල සිරගත කර තිබූ සාමාන්‍ය අපරාදකරුවන්ව එළිමහන් සිර කඳවුරුවල සිරගත කර තැබීය. උඩරට දේශසීමාව තුළ පමණක් සිටීමට නියෝග ලැබූ සිරකරුවෝද සිටිති. එයට කදිම උදාහරණයක් ලෙස රොබට් නොක්ස් හැඳින්විය හැකිය. ඔහු ක්‍රි. ව. 1660 සිට ක්‍රි. ව. 1679 දක්වා වසර දහනමයක කාලයක් උඩරට නිදහස් සිරකරුවෙකු ලෙස සිට ඇත. මෙකල ඔහු ගෙවූ ජීවිතය ගැන ඔහු ලියූ වාර්තාවලින් මනාව පැහැදිලි වේ.

රාජකාරි පැහැර හැරියහොත් තාවකාලිකව හෝ සදහටම බලයෙන් පහ කිරීමද සිදු කෙරිණි. යමෙක් කුමන හෝ හේතුවකට සියදිවි නසාගත හොත් ඔහු හෝ ඇය එසේ සියදිවි නසා ගැනීමට හේතු වූ පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායමට දඬුවම් පමුණුවා තිබේ. කුඹුරු සම්බන්ධ අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවලදී සාප කිරීමේ ක්‍රමයක් යොදාගත් බව සදහන් වේ. විත්තිකරු හා පැමිණිලිකරු යන දෙදෙනාම අදාළ කුඹුර වෙත ගොස් මඩ වතුර අහුරු තුන බැගින් අහසට විසිකොට ඒ කුඹුරේ හිමිකරු තමා බවත්, එසේ නොවන්නේ නම් දින දහහතරක් ඇතුළත තමන්ට දේව ශාපය ලැබිය යුතු බවත් පැවසිය යුතු විය.

මෙසේ විවිධාකාර වූ දඬුවම් ක්‍රම එකල තිබුණු අතර මහනුවර රාජධානි සමයේදී ක්‍රමවත් අධිකරණ සම්ප්‍රදායක් තිබූ බව පැවසිය හැක.

මූලාශ්‍ර: 1)සිංහලේ ආණ්ඩු ක්‍රම – ජෝන් ඩොයිලි (පරි. එච්.එම්. සෝමරත්න) 2)එදා හෙළදිව – රොබට් නොක්ස් (පරි. ඩේවිඩ් කරුණාරත්න) 3)මහනුවර රාජධානියෙහි නීතිය හා අධිකරණය – පී. මනම්පේරි 4)මහනුවර යුගයේ රාජ්‍ය ආරක්ෂක ක්‍රමෝපාය – ජී.ඇස්. ගමගේ

[මිථිල ප්‍රනාන්දු]

මාතෘකා