මැණික් සොයන අයට මෙන්න ඉල්ලම්

 ඡායාරූපය:

මැණික් සොයන අයට මෙන්න ඉල්ලම්

මැණික් සම්පත ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට සපයන්නේ විශාල දායකත්වයකි. ලාංකික පතල්කරුවාගේ ශිල්පීය ඥානය ලොවම මවිත කරවන සුලුය. අඩි සිය ගණනක් පොළොව පතුලේ රැඳී ඇති අගනා මිණිකැට පරිසර හිතකාමීව නෙළා ගැනීමේ අපූර්වත්වයට සියවස් ගණනක ඉතිහාසයක් තිබේ.

එහෙත් අසීමිත ලෙස මැණික් සම්පත නෙළා ගැනීමේ ආශාවන් පසුපස ලුහුබැඳ ගිය මැණික් පතල් කරුවන් සහ ව්‍යාපාරිකයෝ වැඩි වැඩියෙන් මැණික් සෙවීමේ නිරතවූහ. මෙමඟින් සිදුවූ අනිටු ප්‍රතිවිපාකයන්ද රත්නපුරේ මිනිසුන් විසින් ම විඳ දරාගත්හ. එතෙක් පරිසරය අසීමිත පරිදි විනාශ වීම නිසා මතුවන ගැටලු සඳහා විසඳුම් පිණිස සිදුවූයේ මැණික් කැණීම වෙනුවෙන් පැවැති සරල නීති රීති ක්‍රම ක්‍රමයෙන් දැඩි වීම ය.

මේ නිසාම දැනට වසර තුන හතරකට පමණ පෙ‍ර සිට මැණික් කර්මාන්තයට කණ කොකා හඬන්නට විය. පැනවූ දැඩි නීති රීති හේතුවෙන් නීත්‍යානුකූලව මැණික් ගැරීම සඳහා බලපත්‍ර ලබා ගැනීමේ ප්‍රතිශතය හරි අඩකින් පමණ අඩු විය. මැණික් කැණීමේ බලපත්‍රයක් ලබා ගැනීමට යොමු වූ පුද්ගලයෙකුට ඒ සඳහා මාස හතරක් පහකට එහා ගිය දීර්ඝ කාලයක් බලා සිටින්නට සිදුවිය. හිමිකම නිරවුල්වූ පුද්ගලික ඉඩමක මැණික් ගැරීම සඳහා යොමු කළ අයදුම්පත්‍රයක් පවා ක්‍රියාත්මක නිලධාරිවරයා හරහා ප්‍රාදේශීය කළමනාකරුටත් ඉන් පසුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නීති අංශයට ද ඉදිරිපත් කළ යුතු විය. එමඟින් ලංකාව පුරා ඉල්ලුම්පත්‍ර විශාල ප්‍රමාණයක් නීති අංශයේ නිලධාරීන්ට පරීක්ෂා කළ යුතු විය. එනිසා විශාල කාලයක්, ධනයත් ශ්‍රමයත් නිකරුණේ අපතේ ගියේය. මේ ප්‍රමාදය නිසා වාර්ෂිකව ලැබෙන මැණික් බලපත්‍ර ඉල්ලීම් ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු විය. පතල් කැණීමට යොමු වීම් ප්‍රවණතාවය අඩුවීමට ද ඍජුවම මෙම තත්ත්වය බලපෑවේ ය.

තත්ත්වය මෙසේ පවතිද්දී පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, වට්ටියක් කූඩයක් රැගෙන පස් ටිකක් ගරා කුඩා දලං කැබැල්ලක් සොයාගෙන එදිනෙදා ජීවිතය සරිකරගත් දහස් ගණනකගේ ජීවිතයට තර්ජනයක් බවට පත්විය. ඔවුන් අල්ලා දරාගත නොහැකි දඩ නියම කරන ලදී. මැණික් ගලක් සොයා ගැනීම අසීරු විය. පොදුවේ මැණික් පතල් කරුවාගේ සිට ජාත්‍යන්තර වෙළෙඳපොළට මැණික් සැපයුම්කරන ව්‍යාපාරිකයෝ දක්වාම දැඩි අසීරුතාවයකට මුහුණ දුන්හ. මේ නිසා ම 2014 වසර වනවිට පතල් ක්ෂේත්‍රයේ රැකියා කළ පිරිස අතුරින් 70% ක් ම අඩු විය. මැණික් ගෙන යාමට පැමිණෙන විදේශික ව්‍යාපාරිකයා ද ශ්‍රී ලංකාව මග හැර ගියේ ය.

එහෙත් මේ වනවිට රටේ ජනාධිපතිවරයා ඇළක දොලක කූඩයෙන් මැණික් ගැරීමට අසරණ මිනිසුන්ට අවස්ථාව ලබා දෙන බව පවසා තිබේ. ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනා බව පවසා තිබේ. ඔවුන්ට එරෙහිවන ආරක්ෂක අංශවලට එසේ නොකරන ලෙස අවවාද කර තිබේ.

මේ අතර ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ හා පතල්කරුවන්ගේ මහා සංගමය තම වෘත්තීය ගැටලු පිළිබඳව ඉදිරිපත් කළ යෝජනාවලට සවන් දී වර්තමාන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සාධනීය ක්‍රියාමාර්ග රැසකට යොමු වී ඇත. මේ නිසාම ශ්‍රී ලංකාවේ මැණික් ක්ෂේත්‍රයට යහපත් කලක් උදාවේය යන විශ්වාසය යළිත් ගොඩ නැඟී ඇත.

මේ සම්බන්ධයෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති පේෂල ජයරත්න පැහැදිලි කිරීමක් කරයි.

‘‘අපේ රටේ මැණික්වලට ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් තිබෙනවා. මම සභාපති තනතුරට පත්වන විට තත්ත්වය විශ්ලේෂණය කර බලද්දී පෙනී ගියේ මැණික් අපනයනය කිරීම ඉතා අඩු මට්ටමක පවතින බව‍. මේ පිළිබඳ කරුණු සොයා බැලීමේදී අනාවරණය වූ කරුණු කීපයක් තියනවා.

මැණික් පතල් කැණීමේදී එක් පතලයක් සඳහා රුපියල් විසිදහසකට වැඩිය වැයවෙනවා. එය ප්‍රායෝගික නැහැ. ඒ නිසා අප රජය සමඟ සාකච්ඡා කරල රුපියල් හාරදහසක් (4000/=) දක්වා අඩු කළා. මීට රුපියල් දහසක තැන්පතු මුදලක් ඇතුළත්.

මැණික් පතලක් සඳහා ඉදිරිපත් කරන අයදුම්පත්‍රයක් ක්‍රියාත්මක නිලධාරී සහ ප්‍රාදේශීය කළමනාකරුගේ නිර්දේශ ඇතිව ප්‍රධාන කාර්යාලයට ලැබුණු පසු එය නිකරුණේ නීති අංශයට යොමුවුණා. ඉඩම පිළිබඳ හිමිකම ඉතාම පැහැදිලිව තිබියදීත් විශාල කාලයක් ගියා බලපත්‍රය නිකුත් කරන්න. අපි අලුත් ක්‍රමයට අනුව නීති අංශයට යවන්නේ ඉඩම පිළිබඳ ගැටලු පවතිනවා නම් පමණයි. මේ නිසා දින 14 ක් ඇතුළත මැණික් ගැරීමේ බලපත්‍රයක් ලබාගැනීමට අවස්ථාව සැලසෙනවා. කාලයත් ශ්‍රමයත් මෙයින් ඉතිරි වෙනවා වගේ ම උද්යෝගයෙන් යුතුව මැණික් කර්මාන්තයේ නියැළීමට හැකිවෙනවා. මෙහිදී අපට මතුවන ගැටලුව තමා මැණික් ගරා ගත්තාට පසුව ඉතිරිවන වළවල් වැසීම. පූර්ව අත්දැකීම් මත එම තත්ත්වය පාලනය කර ගැනීමට බලපත්‍ර ලාභියා විසින් දිවුරුම් කොමසාරිස්වරයෙකු ඉදිරියේ අත්සන් කරන දිවුරුම් ප්‍රකාශයක් අයදුම්පත්‍රයට ඇතුළත් වෙනවා. හදිසියේ හෝ හෑරූ පතල් වළ නොවැසූවොත් ඔහුට හෝ ඇයට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කිරීමේ බලය එමඟින් ලැබෙනවා.‍

ඒ වගේ ම බැකෝ යන්ත්‍ර යොදාගෙන පතල් කැපීම සඳහා බලපත්‍ර ගාස්තු වශයෙන් මීට පෙර රුපියල් විසිහත් ලක්ෂ පනස් දාහක් අය කළා. නමුත් මේ පිළිබඳවත් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා එය රුපියල් නව ලක්ෂයකට පහත දමා තිබෙනවා. මෙම මුදලින් රුපියල් හාරලක්ෂ පනස් දහසක් පමණ ඇප මුදල වශයෙන් රඳවනවා. බැකෝ යන්ත්‍ර බලපත් ලාභියා ද ඉහත කී දිවුරුම් ප්‍රකාශය දිය යුතුයි. පතල් වළ නොවැසීම පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවීමේ අවස්ථාව අප සතුව තියෙනවා.

බොහෝ දුරට බැකෝ යන්ත්‍ර යොදාගෙන මැණික් පතල් කැණීමේ දී බරපතළ පාරිසරික හානියක් වන බව පසුගිය කාලයේ දැඩි කථාබහට ලක්වුණු කරුණක්. මේ නිසා අපි තවත් අයුරකින් මෙම තත්ත්වයට මුහුණදීමට සූදානම් වෙමින් සිටිනවා. එනම්, පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් මඟින් ඊට සහය ලබාගෙන රඳවා තිබෙන මුදල් ලබාදී පතල් වළවල් වැසීමේ නව වැඩපිළිවෙළක් දියත් කිරීමට සාකච්ඡා කරමින් තිබෙනවා. මෙමඟින් නව ප්‍රවණතාවයක් පතල් කර්මාන්තය හරහා ගොඩනැඟීමට අපි උත්සාහ ගනිමින් සිටිනවා. අවම වශයෙන් පතල් කැණීම් බලපත්‍ර දස දහසක් ලබාදීම අපේ ඉලක්කය වෙනවා. මේ වනවිට ලංකාව පුරාම නිකුත් කර තිබෙන්නේ බලපත්‍ර 2700 ක් පමණයි. දින 14 ක් වැනි ඉතා කෙටි කාලයකින් බලපත්‍ර නිකුත් කිරීමට අප බලාපොරොත්තු වන්නේ පරිගණක ජාල ගත කිරීම ඔස්සේයි. (ඔන්ලයින් ක්‍රමය) එවිට විශාල කාලයක් බලාසිටීමට අවශ්‍ය නැත.

පරිසරය ආරක්ෂා කිරීමට දැඩි විනයක් තිබිය යුතු ය. ඒ ගැන මැණික් කර්මාන්තයේ නියැළෙන පිරිස වගකීමෙන් කටයුතු කිරීම අවශ්‍යයි. එසේ කළහොත් පමණයි මේ වැඩපිළිවෙළට තවත් පහසුකම් එකතු කිරීමට ලැබෙන්නේ‍. මම විශ්වාස කරනවා එය එසේ සිදුවෙයි කියලා. මේ පිළිබඳව ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ හා පතල්කරුවන්ගේ මහා සංගමය විශාල මැදිහත්වීමක් වුණා. ජනාධිපතිතුමා අගමැතිතුමා විෂයභාර ඇමැතිතුමා ඇතුළු සමස්ථ රජය මේ පිළිබඳව ඉතා සුබවාදීව කටයුතු කරනවා.

ඉන් රටටත් ජනතාවටත් වඩා යහපතක් උදාකිරීම ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අරමුණ’’ යැයි සභාපතිවරයා "රැස"ට පැවසීය.

ඡායාරූප අන්තර්ජාලයෙනි.

[තුෂාර හෙට්ටිආරච්චි]

මාතෘකා