තුනී වන මායිමේ ලියලන හාදකම්

 ඡායාරූපය:

තුනී වන මායිමේ ලියලන හාදකම්

‘මායිම් ගම්මාන’යනු යුද්ධයත් සමඟ ශබ්දකෝෂයට එක් වුණු වචනයකි. යුද්ධය නිම වීමෙන් පසු එය භාවිතයෙන් ඈත් වෙමින් තිබේ. ඒ, මායිම් තුනී වී පැරණි සබඳකම් යළි මතු වෙමින් තිබෙන නිසාය. තිරියායේ එවුන් ‘ඕඩි හෙලෙයි’ කියන විට, ‘හෙලෙයියා’ යැයි ඉතිරි පදය පිරුවේ කල්ලරාවේ උන්ය. පාරම්පරික මාදැල් කර්මාන්තය ජීවනෝපාය කරගත් අසල්වැසි ගම්මාන දෙකක පදිංචිකරුවන් වූ ඔවුන්ට එකිනෙකාගෙන් තොර පැවත්මක් නොවීය. ඒ අවුරුදු 30 කට පෙරය.

‘‘ඉස්සර අපි මාදැල ඇද්දේ තිරියායේ දෙමළ අයත් එක්ක. අපේ ගමේ කෙල්ලෝ මාදැල අදින්න ආපු හයි හක්තිය තියෙන කොල්ලොත් එක්ක යාළු වුණා. පැනලා ගියා. අපේ කොල්ලෝ තිරියාය ගමේ කෙල්ලොත් එක්ක යාළු වුණා. බැන්දා.. මේ නිසා අපි දෙගොල්ලෝ ඥාති වුණා. ඒත්, යුද්දේ පටන් ගත්තහම අපේ ගමට දෙතුන් වතාව කොටි ගැහැව්වා. ඒ ආපු කොටි වැඩි දෙනෙක් තිරියාය ගමේ එවුන් කියලා අපිට ආරංචි ආවා අන්තිමේදි වුණේ නෑදෑයො පවා විරසක වෙච්ච එකයි.”

පරණ හාදකම්

දොන් අන්තෝනි සෙබස්තියන්, ඉතිහාසයේ අඳුරු ඉසව්වක් සීරුවෙන් පාදාදෙමින් කීවේය. ඒ කටහ‍ඬෙහි වූයේ ගැඹුරු උපේක්ෂාවකි. කල්ලරාව ගම්මානයේ පැරණිම සාමාජිකයා මෙන්ම හිටපු සභාපතිවරයාද වන ඔහු, ඒ අන්ධකාරය නිමා වී පොළොව මත නව හිරු රැස් පතිත වනු දකින්නට තරම් වාසනාවන්තය. ඒ වෙනස ඔහු මෙසේ විස්තර කරයි.

‘‘දැන් ආයෙත් පරණ ඥාති හිතවත්කම් පටන් අරන්. අපේ පල්ලියේ මංගල්ලෙටත් තිරියායෙ කතෝලික ඈයෝ එනවා. කොල්ලෝ මාදැලට එනවා. මැරෙන්න කලින් පරණ සම්බන්ධකම් අලුත් වෙච්ච එක ගැන සතුටුයි. එකම වාඩියේ උයාපිහා ගෙන වාඩි බත කනවා. ඒක කොයි තරම් දෙයක්ද? සන්තානම් මෑණියන්ට පිං සිද්ධ වෙන්න එහෙම කාලයක් ආයේ එයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ.”

යුද සමයේ කොටි නායක ප්‍රභාකරන්ගේ මර්මස්ථානය වූයේ, මුලතිව්ය. කෝකිලායි ගම්මානය, මුලතිව් දිස්ත්‍රක්කයට අයත් එකම සිංහල ගම්මානය විය. යුධ ගැටුම් පැවති සමයේ එය පාලනය වූයේ, ත්‍රිකුණාමලයෙන් හා අනුරාධපුරයෙනි. මේ නිසාම මුලතිව්වලට අයත් එකම සිංහල ගම්මානය ඉවත් කිරීමට කොටි සංවිධානයට දැඩි උවමනාවක් තිබුණි.

කෝකිලායි–කරනාටකේනි

කෝකිලායි ගම්මානයට අවස්ථා කිහිපයකදීම කොටි පහර දුන්නද, එහි වැසියන් ගම හැරදා ගියේ නැත. එසේම දිගු කාලයක් මුළුල්ලේ අල්ලපු ගම වූ කරනාටකේනි සහෝදර දමිළ ජනයා සමඟ පැවති පයිරුපාසානම ඒ කිසිවකින් පළුදු වූයේද නැත.

මේ පයිරුපාසානම විටක කොටින්ට මෙන්ම හමුදාවටත් ප්‍රශ්නයක් විය. ඉදිරි ආරක්ෂක වළල්ල නමින් එකල ප්‍රකට වූ බංකර් පෙළ ඉදි වුණේ මෙම ගම්මාන දෙක දෙපසට කරමිනි. කෝකිලායි හා කර්නාටකේනි ගම්මාන දෙකෙහි ජනයා වසර විස්සක පමණ කාලයක් වෙන් කර තැබීමට මේ බංකර පෙළ සමත් විය.

කෙසේ වෙතත්, යුද්ධය අවසන් වූ වහාම ඉදිරි ආරක්ෂක වළල්ල බිද වැටී කෝකිලායි වැසියන් හා කර්නාටකේනි වැසියන්ගේ සහෝදරත්වය යළිත් දළුලා වැඩෙමින් තිබේ.

මාවිල් ආරුව

කොටි සංවිධානය මාවිල්ආරුව වසා යුද්ධයට මුල පුරන තෙක් බොහෝ දෙනකු මාවිල්ආරුවක් ගැන අසා නොතිබුණි. ත්‍රිකුණාමලය සේරුවිල ජනපදයට මායිම්ව පිහිටි මාවිල්ආරුව ලෝක ප්‍රසිද්ධියට පත්වූයේ යුද්ධය නිසාමය. එදා කිසිදු වටිනාකමක් නොමැතිව තිබූ මාවිල්ආරුව අද වෙෙළඳ නාමයක් ලෙස මාර්කට් කිරීමට ප්‍රදේශවාසීන්ට හැකි වී තිබේ. කල්ලාර් හංදියේ ඉදි වූ මාවිල්ආරු යුධ ස්මාරකයද සංචාරකයන්ගේ නැරඹුම් ස්ථානයකි. මේ වන විටත් ප්‍රදේශය පුරා ස්ථාන කිහිපයකම මාවිල් ආරු හොටෙල්, මාවිල්ආරු ගෙස්ට්, මාවිල්ආරු රිෂෝට් නමින් සංචාරක නවාතැන් පොළවල් රැසක් බිහි වී තිබේ.

මාවිල්ආරු යුධ ස්මාරකය

“ඔය මාවිල්ආරුවට වතුර එන්නේ පොලොන්නරුවේ කන්දල්කාඩුවේ ඉදලා. කන්දල්කාඩුවලදී මහවැලි ගඟ අතු ගංගා දෙකකට බෙදෙනවා. එකක් වෙරුගල් පැත්තට යනවා. අනික මාවිල්ආරු අමුණට එනවා. අපිට වතුර වැඩියෙන් ඕන වෙන කාලෙට අල්ල ගොවි ජනපදයේ හැමෝම කන්දල්කාඩු ගිහින් දවස් ගණනාවක් කැලේ නැවතිලා වෙරුගල්වලට යන අතු ගංගාව හරස් කරන්න වැලි කොට්ටා ගහනවා. මේ වැඩේට සිංහල දෙමළ මුස්ලිම් හැමෝම ගියා. අපි එකම වාඩියේ උයා පිහාගෙන කාලා අඩියක් ගහලා එකම ඉටි කොළේ නිදිය ගෙන හරි සමගියෙන් ඔය වැඩේ කෙරුවේ. නමුත්, යුද්දෙත් එක්ක මේ හැම දෙයක්ම වෙනස් වුණා.” අල්ල ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජී.බී.රත්නසිරි තවත් අපූරු සබඳතාවක් හෙළි කරමින් කියයි.

‘පසමිතුරු’ වැලිකොට්ට

”85න් පස්සේ අපිට එහෙම යන්න ලැබුණේ නැහැ. කොටි මාවිල්ආරුව වැහැව්වට පස්සේ අපිට ආරංචි වුණා, අපිත් එක්ක වැලි කොට්ට ගහපු දෙමළ අයව කොටි එක්කන් ගිහින් හමුදාවට විරුද්ධව සටන් කරන්න වැලි කොට්ට ගස්සනවා කියලා. ඒ විතරක් නෙවෙයි, අපිත් හමුදාවට බංකර් ගහන්න වැලි කොට්ටා පුරවලා උදව් කෙරුවා. දැන් ඒ ඔක්කොම ඉවරයි. අවුරුදු තිහකට විතර පස්සේ අපි හැමෝම ආයෙත් මහවැලි ගඟට වැලි කොට්ටා ගහන්න කන්දල්කාඩු යනවා. ඒක අපිට පුදුමාකාර සතුටක්.”

එදා කොලු ගැටයන් සේ මහ වනය මැදට ගිය ඒ සොඳුරු ගමන මැදි වයසේදී හෝ නැවත යෑමට හැකිවීම මහත් භාග්‍යක් බව පැරණි මතකයට අලගු තබන මාවිල්ආරු ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් ඩග්ලස් ධර්මලිංගම් කියන්නේය. කෙසේ වෙතත්, එදා එම ගමන ගිය බොහෝ දෙනකු මේ වන විට ජීවන ගමනෙන් සමුගෙන සිටීමද ධර්මලිංගම් ආවර්ජනය කරන්නේය.

“ඒ කාලේ කන්දල්කාඩු කැලේට යන්න කලින් අපි ඔක්කොම කල්ලාර් හංදියේ පුල්ලියාර් කෝවිලේ පූසයක් කරනවා. කෝවිලේ අය්යර් තමයි, උක්කු බංඩා මාමා.එයා පුල්ලියාර් දෙය්යෝ නාවන්න පොට්ටු තියන්න දෙන්නේ, අපි වගේ බැදපු නැති ඉලන්දාරි අයට. පුල්ලියාරේ කැමති නැතිලු කසාද බැදපු අයට. මොකද පුල්ලියාරෙත් තනිකඩයා හිංදා. අපි ඉතින් පුල්ලියාරෙට කොලොප්පං කර කර නාවද්දී,උක්කු බංඩා මාමා කියනවා ඔය අන්තිම වාරේ.. ඊළග සැරේ ඔය වැඩේ බැහැ කියලා. දැන් උක්කු බංඩා මාමා ජීවතුන් අතර නැහැ. ඒත්, මාවිල්ආරු යද්දී තාමත් පුල්ලියාරෙට පූසේ දෙද්දී උක්කු බංඩා මාමා කියපු වචන මතක් වෙනවා.”

මායිම් නැති විට..

මායිම් ගම්මාන සංකල්පය අතුරුදහන්වීමත් සමග හොද දේ මෙන්ම නරක දෑද ජන සමාජයට අඩුවැඩි වශයෙන් එක් වී තිබේ. යුද්ධයෙන් පසු බොහෝ සිංහල ගම්මාන තුළ මත්පැන් අලෙවිහල් බිහි වී ඇත්තේ, හතු පිපෙන්නා සේය. මේ හේතුවෙන් සේරුවිල මහින්දපුර එකල ජයටම කෙරුණු හොර අරක්කු ජාවාරමට තිත වැටී ඇතත්, දමිළ ගම්මාන තුළ ඒවායේ අගහිඟයක් නැත.

දන්න දා සිට හොර අරක්කුවල රස බැලූ මහින්දපුර බී.එල්. සෝමරත්න, ටිංවල අසුරා බාර්වල අලෙවි කරන කසිප්පු හා සමාන බීර ටිංවලට වැඩි මනාපයක් නැත. මුළු දවසම කය වෙහෙසා කුඹුරු කොටන සෝමරත්න හවස් ජාමයේ කාටත් හොර රහසේ බයිසිකලයක නැගී අසල්වැසි පූනගර් ගමට ගොස් හොර අරක්කු වඩියකින් සප්පායම් වී රෑ දෙගොඩ හරියේ නැවත මහින්දපුරට පැමිණෙන්නේ, “සිය රට දේ සිරි සැප දේ.” යැයි කියමිනි.

මෙදා එසේ වුවද එදා විවිධ හේතුන් මත නොදැනුවත්කමින් පූනගර් ගමට ගිය මහින්දපුර හා සේරුවිල සිංහල වැසියන් මේ වන තුරුත් පැමිණ නැත. පූනගර් එකල කොටින්ගේ අඩවියට ඇතුල් වන ප්‍රධාන මාර්ග බාධකය මෙන්ම පිටතින් පැමිණෙන්නන්ගෙන් බදු අය කළ ස්ථානයයි.

මූතුර් ‘දෙහිවත්ත‘ද පසුගිය කාලයේ තර්ජිත හෙවත් මායිම් ගම්මානයකි. දෙහිවත්තට තර්ජන එල්ල වූ ගම කාංගවේලියයි. මායිම් ගම්මාන නැතිවීම කොතරම් සුන්දරද කියතොත්, දෙහිවත්තේ චන්දරේ හා කාංගවේලියේ තංගරාජා ඉරනමංකේනියේදී බණ්ඩි කියතින් බුරුත - පලු - හල්මිල්ල දෙපළු කරනුයේ, දෙමස්සිනාලා පරද්දමිනි. චන්දරේ පට්ටලේ උඩය, තංගරාජා යටය!

[මංගලනාත් ලියනාරච්චි]

මාතෘකා