ජපන්නු ඒරොප්පෙට පහර ෙදමින් ලංකා මුහුදේ නැව් පහක් ගිල්ලුව හැටි

 ඡායාරූපය:

ජපන්නු ඒරොප්පෙට පහර ෙදමින් ලංකා මුහුදේ නැව් පහක් ගිල්ලුව හැටි

එදා 1942 අප්‍රේල් 09 වැනිදාය. මඩකලපුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රින්ස් කාසිනාදන් එදා අවුරදු 16ක කොලූ ගැටයෙකි. මඩකලපුව ඕලන්ද කොටුව මත සිට ඔහු දුටු දෙයින් මවිතයට පත්විය. අහස් කුස වසාගත් ගුවන් යානා සමුහයක් දිගට හරහට මුහුදේ ගමන් කරමින් තිබුණු නැවකට පහර දෙන අයුරු දිස්වන්නට විය. ඒ බෝම්බ පහරට නැගෙනහිර වෙරළ තීරයම ගිනියම්ව ගිගුම් දෙන්නට විය. "ජපන්නු ඇවිල්ලා බෝම්බ දානවා" යැයි එකවරම ඔහුට කියැවිණ.

මෙලෙස බ්‍රිතාන්‍ය හමුදාව අන්දමන්ද කරමින් ජපනුන් එල්ල කළ ගුවන් ප්‍රහාර නිසා බ්‍රිතාන්‍යය හමුදාව සතුව තිබූ නැව් පහක් නැගෙනහිර මුහුදු තීරයේ සීත ගැඹුරු පතුල සිඹ සැතපෙන්නට විය. ඒ අතර ලොව ප්‍රථම ගුවන් යානා ගෙනයන එච්.එම්.එස්. හර්මිස් නෞකාවද විය.

මෙකල දෙවන ලෝක යුධ ගිනිදැල් දරුණුවට ඇවිළ යන්නට විය. ඒ වන විට ජපන්නු තම ශක්තිය වර්ධනය කරමින් ඇමරිකාවේ පර්ල් වරායට පහර දුන්හ. ප්‍රධාන අණදෙන නිලධාරි ඉයුරිකෝ යමොටෝසාගේ අණ පරිදි වයිස් අදමිරල් නගුමෝ ගුකි එහි නායකත්වය ගෙන ජපන් නෞකා මෙහෙය වන්නට විය.

අකාගි නැමැති ගුවන් යානා ගෙන යා හැකි යුධ නැව පෙරටු කරගනිමින් ඉරියු සහ සුරියු ඇතුළු යුධ නෞකා පහක් මේ සඳහා සටන් වදින්නට විය. මෙම නෞකා පිරිවර තායිලන්තය, මැලේසියාව, හොංකොන් සහ පිලපීනය ඇතුළු විරුද්ධවාදීන්ගේ නෞකා දියබත් කරමින් ජයග්‍රාහි ලීලාවෙන් නොනැවති සටන් වැදුණි. 1941 දෙසැම්බර් 12 වැනි දින ප්‍රින්සස් ඔප් වේල්ස් සහ රිපයිස් යන බ්‍රිතාන්‍ය නෞකාවන් දෙකද ටෝර්පිඩෝ බෝම්බ හෙළමින් ජපනුන් විනාශ කරන්නට විය.

1942 මාර්තු 28 වනදා එවකට ලංකාවේ හිටපු නාවික හමුදා ප්‍රධානි සර් ජේම්ස් සෝමවිල්ට අප්‍රේල් 01 වනදා ජපනුන් විසින් ලංකාවට පහර දෙන බවට තොරතුරු ලැබෙන්නට විය.

ඊට පසුදින බෙංගාල බොක්ක ප්‍රදේශයේදි පී.බී.වයි. කැටරිනා වර්ගයේ දිය මතුපිට ගොඩ බෑමට හැකි යානයකින් ගමන් ගනිමින් සිටි බලඝන නායක ලෙනාඩ් බර්චිල් දුටු දෙයින් ඔහු තැති ගත්තේය.

ඒ ජපන් යාත්‍රා සමුහයක් ලංකාව දෙසට ගමන් කරන අයුරු දැකීමෙනි. ඔහු ඒ බව සැණෙකින් රත්මලාන රාජකීය ගුවන් හමුද මුලස්ථානයට දැනුම් දුන්නේය.

නමුත් මොහොතකින් ගුවන් ගතවූ ජපන් ගුවන් යානා සමුහයක් විසින් කැටරිනා යානය බිම දමා ලෙනාඩ් බර්චිල් අත්අඩංගුවට ගන්නා ලදී.

අද්මිරාල් නගුමෝගේ සැලසුම වූයේ අප්‍රේල් 05 වැනිදා ලංකාවට පහර දීමය. ඒ එදින රත්මලාන රේඩර් යන්ත්‍ර නඩත්තු කටයුතු සඳහා වසා දමන නිසාය. 05 වැනිදා ජපන් ප්‍රහාරය හමුවේ කොළඹ වරායේ තිබූ ටෙන්ඩර්ස් නැමැති යුධ නැව ගිල්වා විනාශ කරන්නට විය.

මේ අකාරයෙන් ජපන් ප්‍රහාර දිගින් දිගටම වර්ධනය වෙද්දි බිත්‍රාන්‍ය ජාතිකයින්ගේ මානසික මට්ටම හීන විය. ඒ මොහොතේ සර් ජේම්ස් යාත්‍රා සියල්ලම මාලදිවයිනේ ගැන් දුපතට ගෙන යන ලෙස අණ දුන්නේය. ඒ අනුව එංගලන්තයේ නැව් රැසක් ගැන් දුපතට යාත්‍රා කරන්නට වුහ.

නමුත් ඒ වන විට ත්‍රිකුණාමලය නවතා තිබුණු එච්.එම්. එස්. හර්මිස් නෞකාව එහි නඩත්තු කටයුතු නිසා මාල දිවයින බලා පිටත්වූයේ අප්‍රේල් 09 වැනි දින උදෑසනය.

මෙම හර්මිස් නෞකාව ගුවන්යානා ගෙන යා හැකි ප්‍රථම යුධ නැවය.

ගුවන් යානා 20ක් ප්‍රවාහනය කිරීමට හැකි නාවික භටයින් 700ක් පමණ සිටින එම හරමිස් නෞකාවට පහර දීම ජපනුන්ගේ එක් ඉලක්කයක්ව තිබිණ.

අප්‍රේල් 09 වැනිදා ජපන් ගුවන් යානා 100කට ආසන්න ප්‍රමාණයක් ගොදුරු සොයා පියාඹන රාජාලියෝ සේ වේගයෙන් ශ්‍රී ලංකාව දෙසට පියඹා එන්නට වුහ. ත්‍රිකුණාමලයේ නැව් ගිල්වා එහි තෙල් ටැංකිවලටද පහර දී හානි සිදුකරන්නට ජපන්නු සමත් වූහ. නමුත් හර්මිස් එහි නොමැති වීම ගැන ජපනුන් මවිතයට පත්වුහ. ඒ අතරේ එක් ජපන් ගුවන් යානාවක් විසින් දකුණ දෙසට යාත්‍රා කරමින් සිටි හර්මිස් නෞකාව දුටුවේය.

එවර ක්‍රියාත්මක වූ රාත්තල් 250ක බෝම්බ රැගෙන යා හැකි අයි. ඩී-3 ඒ-1 හෙවත් පසු කාලයේ ගයි ලෙසින් හැඳින්වූ ගුවන් යානා පිරිවරෙන් නැගෙනහිර අහස් කුස වැසී යන්නට විය. එහෙත් එම ගුවන් යානා හිරු නැඟෙන දිශාවෙන් පැමිණි නිසා හර්මිස් නාවිකයන්ගේ දර්ශනයට එකවර හසු නොවීය.

එමෙන්ම ඒ වන විට ඔවුන් සිටියේද පෙරළා ජපනුන්ට පහරදීමට කිසිදු සූදානමක් නොමැතිවය. එම තත්ත්වය තුළ දිගින් දිගටම අනුකම්පා විරහිතව ජපනුන් එල්ල කළ ප්‍රහාර හමුවේ දුම් රොටු නංවමින් ගිනිගත් හර්මිස් සාගර පත්ලට ගිලී යන්නට විය. මෙහි කපිතාන්ආර්.ජි. ඔන්සලෝ ඇතුළු නාවික නිලධාරින් 19 දෙනෙක් සහ නාවික භටයින් 282 සමඟ 302ක් මිය ගියහ. 23 දෙනෙකු පමණක් මහත් වෙහෙසක් දරා ගොඩබිමට පිහිනා යන්තමින් දිවි බේරාගන්නට වුහ.

ඒ සමගම හර්මිස්ට ආරක්ෂාව දෙමින් පැමිණි වැම්පයර් නැවද මෙම ප්‍රහාරය හමුවේ සාගර පතුළට කිදා බැස්සේය. හර්මිස්ට පහර දී දින තුනකින් පසුව මඩකලපුව නාවල්අඩි වෙරළට නාවිකයන් තිදෙනෙකුගේ මළ සිරුර පාවී ආවේය.

ඒ සමඟම බ්‍රිටීස් සාර්ජන් සහ ඇතැල්ස්ටින් නැමැති තෙල් නෞකා දෙක සහ හොලිහොක් නැමති යුද නැවද ජපනුන්ගේ ප්‍රහාර හමුවේ මුහුදු පතුලේ සැඟව ගියේය. ජපනුන් එලෙස නැගෙනහිර වෙරළේ නෞකා 05ක් ගිල්වා දැමුවේ තම යුධ ශක්තිය විදහා පාමිනි.

මෙම ප්‍රහාරය නිසා බ්‍රිතාන්‍ය හමුදාව කම්පනයට පත්වන්නට වූ අතර 1983 වසරේදී හර්මිස් නැවේ නිල ජායාරූප ශිල්පී චාල්ස් මෝර්ගන් මහතා හර්ලිස් ඇඩ්වෙන්ච්රි නම් ග්‍රන්ථයට ජායාරූපයක් ගන්නට ලංකාවට පැමිණියේය. ඒ සඳහා ඔහුට සහය එදී ඇත්තේ දක්ෂ කිමිදුම්කරුවෙකු වූ රොඩ්නි ජොන්ක්ලස් මහතා සහ ඔහුගේ සගයා වු සෙඩ්රික්ය.

චාල්ස් මෝරගන් මිය යන්නට පෙර අවසන් ඉල්ලිමක් කර තිබුණි. ඒ, ඔහු මියගිය පසු ඔහුගේ භෂ්මාවශේෂ හර්මිස් නැව මතුපිටට දමන ලෙසටය. ඒ අනුව 1986 වසරේදී චාල්ස් මෝගන් මහතාගේ පුතු මෙරටට පැමිණියේය. ඒ කටයුත්ත නාවික හමුදාවේ ක්‍රිස්ටි ජයවර්ධන නම් නිලධාරියාට පැවරී ඇති අතර ඉන්පසුව යුධ කලබල පැවති හෙයින් මෙම නැවට පිවිසීමට තිබූ විස්තර අමතක වීම නිසා නැවට පිවිසීම ගැටලුවක් විය.

එකල සංචාරක මාර්ගපද්ශකවරයෙක් වශයෙන් කටයුතු කළ මීගමුවේ ෆිලිෂියස් ප්‍රනාන්දු මහතා පිහිනීමට මෙන්ම කිමිඳීමට මහත් දස්කමක් දැක්වූවකු වන අතර හෙතෙම ගිලුණු නෞකා සොයා කිමිදීම විනෝදාංශයක් කරගත්තෙකි.

හර්මිස් නෞකාව පිළිබඳව දැනගත් ඔහු එම නැව පිළිබඳ සෙවීම ආරම්භ කරන්නේ 1992 වසරේදීය. පැවති යුධ වාතාවරණය ඒ සඳහා දැඩි බාධාවක් ගෙනදුන්නද උත්සාහය අත්නොහළ ඔහු අවසානයේ හර්මිස් නෞකාව සොයාගත්තේය.

ඉතා අලංකාරවත් නෞකාවක් වූ හර්මිස් ජපනුන්ගේ ප්‍රහාර හමුවේ දෙකට කැඩි මීටර් 25ක් ගැඹුර මුහුදු පතුලේ තැන්පත්ව තිබියදී ෆිලිෂියස් විසින් සොයාගත්තේය. එම නෞකාව මුහුදු පතුලේ මීටර් 15ක් පරතරයකින් වෙන්ව තිබෙන බවත් එම ප්‍රදේශයේ ධීවරයින් ඩයිනමයිට් දමමින් මසුන් මරන බවද ෆිලිසියස් මහතා පවසා තිබිණ.

ඇතැල්ස්ටින් ඉන්ධන පිරවුම් නෞකාව සහ හොලිහෝක් නැමති යුධ නැවද කල්මුනේ මුහුදු වෙරළේ සිට කිලෝ මීටර 15ක දුරකින් තිබියදී ධීවරයින්ගේ මඟ පෙන්වීමෙන් ෆිලිෂියස් මහතාට හමුවී තිබේ.

2012 වසරේ අප්‍රේල් 09 වැනිදා ෆිලිෂියන් ප්‍රනාන්දු මහතා ඔහුගේ පුත් ශෂාන් ප්‍රනාන්දු සමඟ මුහුදු පතුලේ ඇති හර්මිස් නැවට ගොස් මල් කළඹක් තබා මිය ගිය අය වෙනුවෙන් ගෞරව දක්වන්නට විය. එතැන් සිට ඔවුහු වාර්ෂිකව එම කටයුත්ත සිදු කරන්නට වුහ.

ඒ අනුව එංගලන්ත සහ ඕස්ට්‍රේලියා ජාතිකයින් මේ සදහා වැඩි උනන්දුවක් දක්වන්නට වුයේ මෙම නෞකාවේ සිය මියගිය පිරිස් අතරේ ඔවුන්ගේ ඥාතීන් වූ නිසාය. මේ වන විට කිමිඳීම සඳහා සංචාරකයින් පැමිණෙන ස්ථානවලින් ලංකාව 10 වැනි ස්ථානයටවත් නොපැමිණ ඇති නමුත් ගිලුණු නැව් සම්බන්ධයෙන් නම් ලංකාව ඇත්තේ අංක එකේය.

[එස්. අමර බන්දු]

මාතෘකා