ජීවිතාපේක්ෂාව පතා එන මිනිසුන්ට නොමසුරුව පිහිට වන මහරගම මිනිස්සු

 ඡායාරූපය:

ජීවිතාපේක්ෂාව පතා එන මිනිසුන්ට නොමසුරුව පිහිට වන මහරගම මිනිස්සු

නිරෝගී බවේ අගය දැනෙන්නේ ගිලන් වූ විටය. නිරෝගී බව අහිමි වූ ගිලන් හදවතක් නිබඳවම අපේක්ෂා කරන්නේ සෙසු අයගේ දයාව සහ කරුණාවයි. ඇතැම් විට ඖෂධවලින් කළ නොහැකි හාස්කම් සෙනෙහස දයාව, කරුණාව ආදී මානුෂික හැඟීම්වලින් කළ හැකිය. මරණය තමා සමීපයේ ඇති බව දැනගෙන ජීවත්වන හදවත්වලට එවැනි මානුෂික හැඟීම්වලින් ලැබෙන සැනසීමේ වටිනාකම කිව නොහැකි තරම්ය.

වර්තමානයේ බෝවන රෝගවලටත් වඩා සීඝ්‍රයෙන් මෙරට පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබීම ශෝකාන්තයකි. එවැනි මාරාන්තික රෝගයකින් පීඩා විඳිමින් තවදුරටත් ජීවත්වීම පිළිබඳ අපේක්ෂා දල්වාගෙන දිවයිනේ නන් දෙසින් දිනපතා මහරගම අපේක්ෂා රෝහලට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව අසීමිතය.

එවැනි රෝගීන්ගෙන් බොහෝදෙනකු ඈත දුෂ්කර ගම්මානවල සිට පැමිණෙන එදාවේල සරිකර ගැනීමට තරම්වත් වත්කමක් නැත්තෝය. ඇතැම්විට ඔවුන්ගේ රෝගියා හත හතර නොතේරෙන කුඩා දරුවෙකි.

තවත් විටක යෞවනයේ එළිපත්තේ සිටින තරුණ පුතෙකි. දියණියකි. නැතහොත් මුළු පවුලේම බර කරට ගත් දිරිය මවකි. පියෙකි. ඒ කෙසේ වූවත් මාරායාට නම් එහි වගක් නැත.

කොපමණ දුෂ්කරතා අසීරුතා තිබුණද තමන්ගේ රෝගියා තවත් දිනක් හෝ වැඩිපුර ජීවත් කර ගැනීමේ පැතුම දරාගෙන දුර බැහැර ගෙවාගෙන මහරගම අපේක්ෂා රෝහල කරා පැමිණෙන රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල උදවියගේ සංඛ්‍යාවේ අඩුවක් නැත්තේ ඒ නිසාය.

ඈත පිටිසර ගම්මානවල සිට එම කොන්ක්‍රීට් පුරවරයට පැමිණෙන බොහෝ දෙනෙකුට මඟතොට ගැන දැනුමක් නැත. විඩාව නිවාගන්නට නවාතැන් ගන්නට දන්නා කියන හිතවතකු හෝ ඥාතියකු නැත. බොහෝදෙනකු දුක කියාගන්නට යන්නේ රෝහල අවට ඇති පන්සලකටය. ඒ කාගෙත් දුකට පිහිටවන බුද්ධ පුත්‍රයන්ගෙන් හෝ සරණක් බලාපොරොත්තුවෙනි.

වසර ගණනාවකට ඉහතදී මහරගම අපේක්ෂා රෝහල අසල පන්සලක වැඩ විසූ රාහුල නම් ස්වාමීන්වහන්සේ නමක් රෝහලට පැමිණෙන රෝගීන්ටත් ඔවුන්ගේ භාරකාරයන්ටත් තමන්ට හැකි අයුරින් පිළිසරණ වූහ. ඔවුන් වෙනුවෙන් පන්සලේ බතක් ඉදෙන්නත් ඉඳුම් හිටුම් දෙන්නටත් පටන් ගත්තේ ඒ අයුරිනි.

හාමුදුරුවන්ගේ ප්‍රජා සත්කාරය ක්‍රම ක්‍රමයෙන් ප්‍රචලිත වෙද්දී පන්සල කරා එන පිරිසද වැඩි වන්නට විය. එසේ පැමිණෙන රෝගීන්ගෙන් සහ ඔවුන්ගෙන් වැඩිදෙනා කාන්තාවන්ය.

වැසිකිළි කැසිකිළි පහසුකම් පවා අඩු පන්සලේ කාන්තාවන්ට එවැනි පහසුකම් සැලසීම අසීරු තත්ත්වයක් බවට පත්වද්දී රාහුල හාමුදුරුවන් සිත් තැවුලට පත්වූයේ මේ අසරණයන් වෙනුවෙන් තමාට කළ හැකි දේ සීමා සහිත වූ නිසාය.

උන්වහන්සේ නිහඬව කරගෙන යන එම ප්‍රජා සත්කාරයට හැකි හැමවිටම හැකි අයුරින් දායක වන මහරගම තරුණ බෞද්ධ සංගමයේ නිලධාරි මහතුන්ට මේ වෙනුවෙන් වැඩි යමක් කළ හැකි බවට රාහුල හිමි දුටුවේ ඒ අතරතුරදීය. තරුණ බෞද්ධ සංගමය සඳහා ඉඩකඩ ඇති ගොඩනැගිල්ලක් ඉදි කිරීමට සුදුසු ඉඩමක් ලැබෙන්නේද ඊට පසු කලෙකදීය.

"මම කරගෙන යන කටයුත්ත ඔබතුමන්ලා හදන අලුත් ගොඩනැගිල්ලෙදි හොඳින්ම කරන්න පුළුවන්. අසරණ රෝගීන් වෙනුවෙන් එහෙම දෙයක් කරන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්"

රාහුල හාමුදුරුවන්ගේ ඒ අදහස ඉතා යහපත් එකක් බව දුටු තරුණ බෞද්ධ සංගමයේ ඇත්තෝද ඒ අදහසට එකඟ වූහ. මීට වසර 15කට පෙර මහරගම තරුණ බෞද්ධ සංගමය විසින් අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් සහ ඔවුන්ගේ භාරකරුවන් වෙනුවෙන් 'බාහිර පිළිකා රෝගීන්ගේ සුභසාධන ව්‍යාපෘතිය' ආරම්භ කරන්නේ ඒ අනුවය.

එදා රාහුල හිමියෝ අඩු පහසුකම් යටතේ අසරණ රෝගීන් වෙනුවෙන් කරගෙන ගිය සත් කාර්යය අද මහගරම තරුණ බෞද්ධ සංගමය ඉතා සාර්ථකව කරගෙන යන්නේ සුවහසක් රෝගීන්ටත් ඔවුන්ගේ භාරකරුවන්ටත් විසල් සැනසිල්ලක් අත්කර දෙමිනි. මහගරම තරුණ බෞද්ධ සංගමය විසින් පහළොස් වසරක් තිස්සේ ඉටුකරන මෙම සත්කාර්යය පිළිබඳ අපි එම සංගමයේ ප්‍රධාන ලේකම් ඊ.අයි.වී.පී. සමරසේකර මහතාගෙන් විමසුවෙමු.

"එදා රාහුල හාමුදුරුවන්ගෙන් ලැබුණු ආභාසය සහ මඟපෙන්වීම අපේ කාර්යයට ලොකු ශක්තියක් වුණා. මේ වන විට උන්වහන්සේ අපවත් වී සිටියත් උන්වහන්සේට අපි හැමදෙනා තුළම ලොකු ආදරයක් තිබෙනවා. මේ ව්‍යාපෘතිය පන්සල හා සම්බන්ධ නැහැ. අපේ සංගමයේ විශේෂ ව්‍යාපෘතියක් විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ.

අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ගන්න එන රෝගීන් සහ ඔවුන්ගේ එක් භාරකරුවකුට අපි කිසිම භේදයකින් තොරව අපේ ආයතනයේ කෑම බීම ඇතුළු නවාතැන් පහසුකම් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙනවා. මේ වෙනකොට මහගරම අපේක්ෂා රෝහලට පැමිණෙන රෝගීන්, භාරකරුවන් ඇතුළු 39,643 දෙනෙකුට අපි නවාතැන් පහසුකම් සපයා දී තිබෙනවා."

රුපියල් සතවලට මිනිසත්කම් දියාරු වන යුගයක සතපහක්වත් අයනොකර සිදුකරන එම සමාජ සත්කාරය මිල කළ නොහැකිය. ජාති, කුල, ආගම් හෝ උස් පහත් භේදයක් නොමැතිව ක්‍රියාත්මක වන මෙම සත්කාර සේවය ලබාගැනීම සඳහා රෝගීන් ඇතුළු භාරකරුවන්ට තිබිය යුත්තේ අවම සුදුසුකම් දෙකක් පමණි. ඒ මහරගම අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ලබන බව තහවුරු කරමින් රෝගියාට රෝහලෙන් නිකුත් කර තිබෙන කාඩ් පත සහ රෝගියාගේ භාරකරුගේ ජාතික හැඳුනුම්පතයි.

"රෝගියා සමග එක් භාරකරුවකුට පමණක් අපි මේ පහසුකම් ලබාදෙන්නේ රෝගීන් වැඩි දෙනකුට පහසුකම් ලබාදීමට අවශ්‍ය නිසයි. රෝගියාගේ ප්‍රතිකාර සඳහා නැවතී සිටින කාලය පුරාවට අපි ඔවුන්ට කෑම බීම, සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සියලුම පහසුකම් ලබාදෙනවා. ඒ වගේම රෝගියාට රෝහලට යාමට ඒමට ත්‍රී රෝද රථයකින් ගමන් පහසුව සලසා දෙනවා. සමහර රෝගීන්ට රෝහලෙන් නියම කරන පිටින් ගත යුතු ඖෂධ මිලදී ගන්නවත් වත්කමක් නැහැ.

ඒ වගේ අවස්ථාවලදී අපි ඔවුන්ට ඒ ඖෂධ අරගෙන දෙනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී සී.ටී ස්කෑන් වැනි මිල අධික පරීක්ෂණ කර ගැනීමටත් රෝගීන්ට මූල්‍ය අනුග්‍රහය ලබාදෙනවා. ඒ සඳහා අපේ ආයතනයේ බාහිර පිළිකා රෝගීන්ගේ සුභසාධන භාරය නමින් අරමුදලක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයත් ලැබෙනවා. මේ වෙනකොට අපේ ආයතනය සතුව ඇඳන් 82 ක් තියෙනවා. ඒවා තට්ටු ඇඳන් වශයෙන් තියෙන්නේ. උඩ ඇඳ භාරකරුටත් පහළ ඇඳ රෝගියාටත් විදිහට.

ඒ ඇඳන් අපිට ලබාදුන්නේ ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලය හරහා එම රජයෙන්. ඇඳන් සඳහා මෙට්ට සපයා දුන්නේ රිචඩ් පීරිස් සමාගමෙන්. ඇඳක් සඳහා කබඩ් එකකුත් මදුරු දැල් සහ විදුලි පංකා සපයා තිබෙනවා. රෝගීන් සහ භාරකරුවන් සඳහා ඉහළම සේවයක් සපයමින් ඔවුන්ට පහසුවෙන් රෝගියාගේ ප්‍රතිකාර කටයුතු කරගෙන යාමට සහාය වීම තමයි අපේ අපේක්ෂාව. ඒ සඳහා පස් දෙනෙකුගෙන් සමන්විත කාර්යමණ්ඩලයක් සේවයේ යෙ‍දෙනවා. ඔවුන්ට අපි මාසික වැටුපක් ගෙවනවා. ඒවා ඇතුළු සියලුම වියදම් සඳහා මාසිකව අපි රුපියල් දෙලක්ෂ විසි පන්දහසක් පමණ මෙම ආයතනය වෙනුවෙන් වැය කරනවා."

එවැනි වියදමක් දරමින් මෙම ආයතන පවත්වාගෙන යාම අභියෝගයක් නොවන්නේද යන පැනය අපි ඊ.අයි.වී.පී. සමරසේකර මහතාගෙන් විමසුවෙමු.

"ඇත්තටම නැහැ. මේ සත්කාරය සඳහා දැන් අපිට ගොඩක් පරිත්‍යාගශීලීන්ගෙන් ආධාර උපකාර ලැබෙනවා. ගොඩක් අය දානමය පින්කම් සඳහා මෙහි නේවාසිකව සිටින අයට ආහාරවේලක් ලබාදීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා. මේක සමාජ සත්කාරයක් වගේම විශාල පුන්‍යකර්මයක්.

තරුණ බෞද්ධ සංගමය විදිහට අපි ඉතාම කැමැත්තතෙන් මෙම කාර්යය සඳහා දායක වී සිටිනවා. පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව දවසින් දවස වැඩිවෙනවා. මෙහෙට එන රෝගීන්ගේ ජීවිත කතා ඉතාම සංවේදියි.

අපි ඔවුන්ට උපරිම පහසුව සලසන්න කටයුතු කරනවා. ඒ විදිහට හෝ මැරෙන බව දැන දැන ජීවත් වන රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් වෙනුවෙන් උපකාරයක් කරන්න ලැබීම ගැන අපි හදවතින්ම සතුටු වෙනවා. රෝගියෙක් කියන්නේ කායිකව වගේම මානසිකවත් විශාල වේදනාවක්,පීඩාවක් විඳින කෙනෙක්.

විශේෂයෙන් පිළිකා රෝගීන්ට ඒ වේදනාව ඊටත් වැඩියි. රෝගියා වගේම ඔහුගේ පවුලේ අයත් මානසිකව ඒ වේදනාව විඳිනවා. ඒ නිසා අපි හැම දෙනාගෙන්ම ඉල්ලන්නේ පිළිකා රෝගීන්ට ඔබේ ආදරය, කරුණාව දෙන්න කියලයි."

සමරසේකර මහතා ඒ ඉල්ලීම කරන්නේ මිනිසත්කම හඳුනන සියලු දෙනාගෙනි. දුර කතර ගෙවගෙන මහරගම අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ගන්නට පැමිණෙන ඕනෑම රෝගියකු සහ භාරකාරයකු වෙනුවෙන් මහගරම තරුණ බෞද්ධ සංගමයේ බාහිර පිළිකා රෝගීන්ගේ සුභසාධන ව්‍යාපෘතියේ දොරටු විවෘතව තිබෙන බවද ඔහු කීවේය. ඒ සඳහා අවශ්‍ය නම් 011 2839956 සහ 011 2746279 යන දුරකතන අංකවලින් විමසීම් කළ හැකි බවද මතක් කරමු.

මෙම සමාජ සත්කාරය හැරුණු විට මහරගම අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ගන්නට පැමිණෙන රෝගීන්ට සහ ඔවුන්ගේ භාරකරුවන්ට උදව් උපකාර කරන ආයතන කිහිපයක්ම ක්‍රියාත්මක වන බව දැනගන්නට ලැබිණ. රෝගීන් වෙනුවෙන් දෙළුම් සහ තැඹිලි සපයන පුද්ගලයන්ද ස්වේච්ඡා සේවයේ යෙදෙමින් මේ රෝගීන්ගේ සුවසෙත වෙනුවෙන් වෙහෙසෙන බවද වාර්තා විය. මිනිසත්කම හඳුනන මහරගම ප්‍රදේශයේ වෙසෙන එවැනි 'හිත හොඳ මිනිසුන්' සියලුදෙනාට තුතිමල් මිටක් පුද කරන්නට අපි අමතක නොකරමු.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා